المختصر المفيد للمسلم

المختصر المفيد للمسلم

මුස්ලිම්වරයෙකුට ඵලදායී සංක්ෂිප්ත මාර්ගෝපදේශය

Language: lang_si
Prepared by:
Version: 1.0
Translations 45
Assamese Azerbaijani Bulgarian Bambara +41
Attachments 7
PDF
Audio
Video
+3

මුස්ලිම්වරයෙකුට ඵලදායී සංක්ෂිප්ත මාර්ගෝපදේශය

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්

පෙරවදන

සියලු පැසසුම් විශ්ව පරමාධිපති වූ අල්ලාහ්ට ම ය. ශාන්තිය හා සමාදානය නබිවරුන් හා දහම් දූතවරුන් අතුරින් ශ්‍රේෂ්ඨතම නබිවරයාණන් වන අපගේ නබි මුහම්මද්තුමාණන් කෙරෙහි ද, එතුමාණන්ගේ පවුලේ උදවිය හා හිතමිතුරන් ඇතුළු සියලු දෙනා කෙරෙහි ද හිමි වේවා!

එකී ප්‍රකාශයෙන් පසු:

මිනිසා වෙත අල්ලාහ් පිරිනමා ඇති විශාලතම ආශිර්වාදය නම්, ඔහුට ඉස්ලාමය පිරිනමා ඒ මත ස්ථාවරත්වය ඇති කර එහි නීති හා පිළිවෙත් අනුව කටයුතු කිරීමේ අවස්ථාව පිරිනැමීම යි. මෙම ග්‍රන්ථය තුළ මුස්ලිම්වරයෙකු, මෙම ශ්‍රේෂ්ඨ දහමේ මූලිකාංග පැහැදිලි කරන කෙටි ක්‍රමයක් ඔස්සේ තම දහම ස්ථාවර කරගන්නා මූලධර්ම ඉගෙන ගනු ඇත. එමඟින්, තම උත්තරීතර පරමාධිපති ගැන ද, ඉස්ලාම් දහම ගැන ද, නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳ ව ද සිය දැනුම වැඩි කරගෙන ඉතා පැහැදිලි ව හා අවබෝධයෙන් යුතු ව උත්තරීතර අල්ලාහ්ට අවනත ව ඔහු නැමදුම් ඉටු කරයි.

ගැත්තන් මැවීමේ ප්‍රඥාව

උත්තරීතර අල්ලාහ් අප ව මවා ඇත්තේ, උතුමාණන්ට කිසිවක් සමාන නොකොට, උතුමාණන්ට පමණක් අවනත ව නැමදුම් කිරීම නම් වූ ශ්‍රේෂ්ඨ ප්‍රඥාවක් හා අරමුණක් සඳහා ය. සුවිශුද්ධ අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරන සේක: තව ද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට අවනත ව ගැතිකම් කිරීමට මිස වෙනත් යමක් පිණිස මම නොමැව්වෙමි. (අද් දාරියාත්: 56) එනම්: හවුල්කරුවෙකු නොමැති ව උතුමාණන්ට පමණක් වන්දනාමාන කිරීම පිණිස ය. මෙලොවෙහි අපගේ සියලු ක්‍රියාවන් හා අභිප්‍රායන් මෙම උතුම් අරමුණ වටා කේන්ද්‍රගත වී ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: නියත වශයෙන් ම අපි නුඹලා නිකමට මවා ඇතැ යි යනුවෙන් ද, එසේ ම සැබැවින් ම නුඹලා අප වෙත නැවත හැරී නොඑනු ඇතැ යි යනුවෙන් ද නුඹලා සිතුවෙහු ද? එහෙයින් සත්‍ය රජු වූ අල්ලාහ් උත්තරීතර ය. ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. (ඔහු) කීර්තිමත් අර්ෂ්හි (පරමාසනයෙහි) පරමාධිපති ය. (අල්-මුඃමිනූන්: 115, 116)

මාගේ පරමාධිපති අල්ලාහ් වේ.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: අහෝ ජනයිනි, නුඹලා හා නුඹලාට පෙර සිටි අය මැව්වා වූ නුඹලාගේ පරමාධිපතිට නමදිනු (අවනත වනු). නුඹලා බියබැතිමත් විය හැකි වනු පිණිස (හා පාපයෙන් ද දේව දඬුවමෙන් ද ආරක්ෂා වනු පිණිස එසේ අවනත වනු). (අල් බකරා 2:21)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: ඔහු ම ය අල්ලාහ්. ඔහු හැර (නැමදුම් ලැබීමට සුදුසු වෙනත්) දෙවියෙක් නොමැත. (අල් හෂ්ර්: 22)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසන සේක: "ඔහු මෙන් (කිසිවක් හෝ) කිසිවෙක් නැත. තව ද ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය." (අෂ් ෂූරා 42:11)

අල්ලාහ් වන ඔහු ම ය මාගේ පරමාධිපති වනුයේ. එමෙන් ම සියලු දෑහි පරමාධිපති ද ඔහු ම ය. ඔහු රජු ය, මැවුම්කරු ය, පෝෂකයා ය, සියලු දෑ සැලසුම් කරන්නා ය.

නැමදුම් ලැබීමට සුදුස්සා වනුයේ ඔහු පමණ ය. ඔහු හැර වෙනත් පරමාධිපතියෙක් නොමැත. ඔහු හැර වෙනත් දෙවියෙක් නැත.

උතුමාණන් විසින් ම තහවුරු කළ හා ඔහුගේ නබිවරයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විසින් තහවුරු කළ අලංකාර නාම හා සුවිශේෂී ගුණාංග උතුමාණන් සතු යි. ඒවා අලංකාරයේ හා පූර්ණත්වයේ උපරිමය සපුරා ඇත. ඔහු මෙන් කිසිවක් නැත. ඔහු සර්ව ශ්‍රාවක ය. සර්ව නිරීක්ෂක ය.

ඔහුගේ අලංකාර නාම කිහිපයක්:

අර්-රස්සාක්, අර-රහ්මාන්, අල්-කදීර්, අල්-මලික්, අස්-සමීඃ, අස්-සලාම්, අල්-බසීර්, අල්-වකීල්, අල්-කාලික්, අල්-ලතීෆ්, අල්-කාෆි, අල්-ගෆූර්.

අර්-රස්සාක්: තම ගැත්තන්ගේ හදවත් හා ශරීර ශක්තිමත් කරවන ඔවුන්ගේ ආහාර හා සියලු පෝෂණ සම්පත් තම භාරකාරත්වය යටතේ පත්කර ගෙන සිටින්නා අර්-රස්සාක් ය.

අර-රහ්මාන්: සර්ව අයුරින් ව්‍යාපිත ශ්‍රේෂ්ඨතම සහ අතිමහත් කරුණාවේ හිමිකරු ය.

අල්-කදීර්: දුර්වලභාවයක් හෝ මන්දගාමීභාවයක් හෝ නොමැති පූර්ණ බලය ඇත්තා ය.

අල්-මලික්: ශ්‍රේෂ්ඨත්වය, විශිෂ්ට පාලනය හා මනා සැලසුම යනාදි ගුණාංගවලින් වර්ණනා කරනු ලබන්නා ය. විශ්වයේ ක්‍රියාත්මක වන සියලු දෑහි පාලනය ඇත්තා ය.

අස්-සමීඃ: රහසේ හා ප්‍රසිද්ධියේ ඇසෙන සියලු ශබ්දයන් ද, තම ගැත්තන්ගේ ප්‍රාර්ථනාවන් සහ උතුමාණන් වෙත කරන ඔවුන්ගේ බැගෑපත් කන්නලව් ද ශ්‍රවණය කරන්නා ය.

අස්-සලාම්: සියලු අඩුපාඩු, පීඩා හා කැළැල්වලින් තොර තැනැත්තා ය.

අල්-බසීර්: සෑම කරුණක් ම එය සියුම් හා කුඩා වුව ද තම බැල්මෙන් ආවරණය කර සිටින්නා ය. සියලු දෑ ගැන මනා බැල්මක් යොමු කරන, ඒ ගැන තොරතුරු නිරීක්ෂණය කරන, එහි අභ්‍යන්තරය වෙත ගැඹුරින් දකින්නා ය.

අල්-වකීල්: තම මැවීම්වලට පෝෂණ සම්පත් පිරිනැමීමේ භාරකාරත්වය දරන්නා ය. එමෙන් ම ඔවුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු සම්පාදනය කරන්නා ය. ඔහුගේ ආදරයට පාත්‍රවූවන්ගේ භාරකාරත්වය දරන්නා ය. ඔවුනට පහසුකම් සලසන්නා ය. සියලු කටයුතු ඔවුනට සෑහීමට පත් කරවන්නා ය.

අල්-කාලික්: වස්තූන් උත්පාදනය කරන්නා ය. පූර්ව උදාහරණයකින් තොර ව ඒවා නිර්මාණය කරන්නා ය.

අල්-ලතීෆ්: තම ගැත්තන්ට සත්කාර කර, ඔවුන්ට කරුණාව දක්වා, ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙන්නා ය.

අල්-කාෆි: තම ගැත්තන්හට අවශ්‍ය වන සියලු දෑ ප්‍රමාණවත් පරිදි පිරිනමන්නා ය. තව ද වෙනත් අයගේ උපකාරයෙන් තොර ව උතුමාණන්ගේ උපකාරය පමණක් සෑහිමකට පත් කරවන්නා ය. ඔහු වෙතින් පමණක් උපකාර ලබනා අයුරින් අනෙක් අයගේ උපකාරයෙන් තොරභාවය ඇති කරවන්නා ය.

අල්-ගෆූර්: තම ගැත්තන්ගේ පාපකම්හි හානියෙන් ඔවුන් ආරක්ෂා කරන්නා ය. ඒ උදෙසා ඔවුනට දඬුවම් නොකරන්නා ය.

මාගේ නබිවරයා වනුයේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "(ඒක දේවත්වය විශ්වාස කරන්නනි,) නුඹලා අතුරින් වූ ධර්ම දූතයෙකු නුඹලා වෙත සැබැවින් ම පැමිණ ඇත. නුඹලා දුෂ්කරත්වයට පත්වීම ගැන ඔහු බලවත් සේ කණගාටුවන්නෙකි. ඔහු නුඹලා කෙරෙහි දැඩි සැලකිලිමත් වන්නෙකි. දේවත්වය විශ්වාස කරන්නන් හට (ඔහු) සෙනෙහෙවන්ත ය; මහා කාරුණික ය." (අත්-තව්බා: 128)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "තව ද ලෝවැසියන් හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි (නබි මුහම්මද්) ඔබ ව නොඑව්වෙමු." (අල් අන්බියා: 107)

කරුණාවේ ත්‍යාගශීලීභාවයේ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ:

ඔහු මුහම්මද් බින් අබ්දුල්ලා බින් අබ්දුල් මුත්තලිබ් බින් හාෂිම් ය; හාෂිම්වරු යනු කුරයිෂ් වංශයෙන් පැවත එන්නෝ ය. කුරයිෂ්වරු අරාබිවරුන්ගෙන් පැවත එන්නෝ ය.

එතුමාණන්ගේ මව ආමිනා බින්ත් වහ්බ් වන අතර, කිරි මව හලීමා අස්සඃදියා ය. එතුමාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) බිරියන් එකොළොස් දෙනෙක් සමඟ විවාහ වූ අතර, ඔවුන්ගෙන් නව දෙනෙක් (එතුමාණන් ජීවත් ව සිටිය දී) මෙලොව හැර ගියහ.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දරුවෝ සත් දෙනෙක් වූහ. එනම් පිරිමි දරුවන් තිදෙනෙක් සහ ගැහැනු දරුවන් සිව් දෙනෙකි. පිරිමි දරුවන් වනුයේ අල්-කාසිම්, අබ්දුල්ලාහ් සහ ඉබ්රාහිම් වන අතර ගැහැනු දරුවන් වනුයේ සෙයිනබ්, රුකයියා, උම්මු කුල්සූම් සහ ෆාතිමා ය.

එතුමාණන් නියෝග කළ දෑහි එතුමාණන්ට අවනත වීමත් එතුමාණන් දන්වා සිටි දෑහි එතුමාණන් ව සහතික කිරීමත් එමෙන් ම එතුමාණන් කවර කරුණක් තහනම් කොට ඉන් වළක්වා ඇත්තේ ද ඉන් වැළකී සිටීමත් අනිවාර්ය වන්නේය. එමෙන් ම එතුමාණන් ආගමානුගත කළ දෑ හැර වෙනත් යම් දෙයකින් මහිමාන්විත අල්ලාහ් ව නැමදුමට ලක් නොකළ යුතු ය.

එතුමාණන්ගේ දූත පණිවිඩය හා එතුමාණන්ට පෙර සිටි සියලු නබිවරුන්ගේ දූත පණිවිඩය වූයේ අල්ලාහ්ට කිසිදු හවුල්කරුවෙකු සම්බන්ධ නොකොට ඔහුට පමණක් නැමදීම සඳහා ඇරයුම් කිරීම යි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි: "තව ද නියත වශයෙන් ම (අල්ලාහ් වන) මා හැර වෙනත් දෙවියෙක් නොමැත. එහෙයින් නුඹලා මට ම නමදිනු’ යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස නුඹට පෙර කිසිදු ධර්ම දූතයෙකු අපි නොඑව්වෙමු." (අල් අන්බියා :25)

එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නබිවරුන් හා දූතවරුන්ගේ අවසාන නබිවරයා ය. සුවිශුද්ධ අල්ලාහ් මෙසේ පවසයි: "මුහම්මද් නුඹලාගේ පිරිමින් අතුරින් කිසිවකුගේ පියෙක් නොවීය. එහෙත් ඔහු අල්ලාහ්ගේ ධර්ම දූතයා ය. තව ද නබිවරුන් අතුරින් අවසාන නබිවරයා ය. තව ද සියලු දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානී ය." (සූරා අල් අහ්සාබ් :40)

උත්තරීතර අල්ලාහ් ඔහු ව ඉස්ලාම් දහම සමඟින් සමස්ත මිනිස් වර්ගයා වෙත එව්වේය. උත්කෘෂ්ට වූ අල්ලාහ් මෙසේ පවසයි: "තව ද සමස්ත ජනයාට ම ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි ඔබ නොඑව්වෙමු. එහෙත් ජනයා අතුරින් බහුතරයක් දෙනා නොදනිති." (සබඃ: 28)

එතුමාණන් වෙනුවෙන් සෑම මුස්ලිම්වරයෙකු මත ම පැවරෙන උතුම් වූ යුතුකම් අතුරින් කිහිපයක් වනුයේ:

1- එතුමාණන්ගේ නබිත්වය, සත්‍යවාදීභාවය සහ එතුමාණන් රැගෙන ආ ශ්‍රේෂ්ඨ ධර්මයේ නිර්දෝෂීභාවය විශ්වාස කර, එහි ලා එතුමාණන්ට කීකරු වී එතුමාණන් ව අනුගමනය කිරීම. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරන සේක: "තව ද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි." "එය හෙළිදරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස (අන් කිසිවක්) නොවේ." (අන්-නජ්ම්: 3,4)

2- තමන්ට, තම දරුවාට සහ සියලු මැවීම්වලට දක්වන ආදරයට වඩා එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත ආදරය දැක්වීමේ වගකීම. එම ආදරය, නබි තුමාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මඟ පෙන්වීමට අනුකූල වීමටත්, එතුමාණන් නියෝග කළ දෑහි එතුමාණන්ට අවනත වීමටත්, එතුමාණන් වැළැක්වූ දැයින් වැළකී සිටීමටත් අනිවාර්ය කරයි.

3- එතුමාණන්ට ගරුබුහුමන් දැක්වීමේ, සහයෝගය දැක්වීමේ, ගෞරවය දැක්වීමේ, සහ උසස් කොට සැලකීමේ අනිවාර්යයභාවය.

4- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් පැවසීම. එනම්, එතුමාණන්ට ප්‍රශංසා කිරීම සහ එතුමාණන්ගේ ශ්‍රී නාමය උසස් කරන ලෙසත්, එතුමාණන්ගේ ගෞරවය හා ශ්‍රේෂ්ඨත්වය වැඩි කරන ලෙසත් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම යි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "කෙනෙකු මා වෙත (ආශිර්වාද පතා) සලවාත් කියන්නේ ද ඔහුට අල්ලාහ් දසවරක් ආශිර්වාද කරනු ඇත." මූලාශ්‍රය: මුස්ලිම් ග්‍රන්ථය

5- එතුමාණන් සම්බන්ධයෙන් අතිශයෝක්තියෙන් කටයුතු කිරීමෙන් හා අල්ලාහ් එතුමාණන්ට ලබා දුන් නිලයට වඩා ඉහළින් එතුමාණන් ව ඔසවා තැබීමෙන් වළකින ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉතා දැඩි ව අවවාද කළ අතර එතුමාණෝ මෙසේ පැවසූහ: "කිතුනුවන් මර්යම්ගේ පුතණුවන් අතිශයෝක්තියෙන් ප්‍රශංසා කළාක් මෙන් නුඹලා මා අතිශයෝක්තියෙන් ප්‍රශංසා නොකරන්න. සැබැවින් ම මම (අල්ලාහ් වන) ඔහුගේ ගැත්තෙක් පමණි. එබැවින් නුඹලා දේව ගැත්තා, දේව දූතයා ලෙස පවසන්න." මූලාශ්‍රය: බුහාරි ග්‍රන්ථය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඇතැම් ගුණාංග:

සත්‍යවාදීබව, කරුණාව, දරා සිටීම, ඉවසීම, ධෛර්යය, ත්‍යාගශීලිබව, යහපත් චරිතය, සාධාරණය, නිහතමානීබව හා සමාව දීම.

ශුද්ධ වූ අල් කුර්ආනය මාගේ පරමාධිපතිගේ ප්‍රකාශය වේ.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "අහෝ මිනිසුනි, නුඹලාගේ පරමාධිපතිගෙන් සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. තව ද නුඹලා වෙත පැහැදිලි ආලෝකයක් අපි පහළ කළෙමු." (අන් නිසා:174)

ශුද්ධ වූ අල් කුර්ආනය යනු උත්තරීතර අල්ලාහ් සත්‍ය වශයෙන් ම ප්‍රකාශ කළ උතුමාණන්ගේ වචනය යි. එය ඔහුගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කළේ මිනිසා අන්ධකාරවලින් බැහැර කොට ආලෝකය කරා ගෙනැවිත් ඍජු මාර්ගය වෙත ඔවුනට මග පෙන්වීම පිණිස ය. කවරෙකු එය පාරායනය කරන්නේ ද ඔහුට මහඟු තිළිණ හිමි වනු ඇත. කවරෙකු එහි මගපෙන්වීම අනුව ක්‍රියා කරන්නේ ද ඔහු ඍජු මාර්ගයක ගමන් කරනු ඇත. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවරෙකු අල්ලාහ්ගේ පුස්තකයෙන් එක් අකුරක් කියවන්නේ ද ඔහුට යහඵලයක් හිමි ය. එම යහඵලය දස ගුණයකි. අලිෆ් ලාම් මීම් යන්න එක් අකුරක් බව නොකියමි. එහෙත්, අලිෆ් අකුරකි; ලාම් ද අකුරකි; මීම් ද අකුරකි." ඉමාම් තිර්මිදි විසින් මෙය වාර්තා කර ඇත.

සර්වබලධාරී අල්ලාහ් උතුම් කුර්ආනය වෙනස්කම්වලට භාජනය වීමෙන් හා විකෘති වීමෙන් ආරක්ෂා කර, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා එය සදාකාලික සංඥාවක් බවට පත් කළේය. සුවිශුද්ධයාණන් වන උතුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: "නියත වශයෙන් ම අප ම ය මෙම මෙනෙහි කිරීම (අල් කුර්ආනය) පහළ කළේ. තව ද නියත වශයෙන්ම අපි එයට ආරක්ෂකයෝ වෙමු." (අල් හිජ්ර්: 9) එබැවින් කවරෙකු අල්-කුර්ආනය අසම්පූර්ණ බව හෝ විකෘති කරනු ලැබූ බවට පවසා සිටින්නේ ද, ඔහු උත්තරීතර අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ව බොරු කරන්නෙක් මෙන් ම ඉස්ලාම් දහමෙන් බැහැර වූවෙක් ද වේ.

ශුද්ධ වූ අල් කුර්ආනය, පෙර පැවති ග්‍රන්ථවල අන්තර්ගත වූ දෑ ද, ඊට අමතර ව දිව්‍යමය ඉගැන්වීම් සහ ආධ්‍යාත්මික සාරධර්ම ද අන්තර්ගත කරගෙන ඇති අතර, ඒවායෙහි සඳහන් සත්‍යයන් සහතික කරන්නක් ද වෙයි. ශුද්ධ වූ අල් කුර්ආනය හැර, මෙම කාල වකවානුවේ දී අනුගමනය කිරීමට, ශුද්ධ ලෙස සැලකීමට, එය පාරායනය කිරීම නැමදුමක් කර ගැනීමට සහ ඒ අනුව ක්‍රියා කිරීමට අනිවාර්ය වන අල්ලාහ් වෙතින් වූ වෙනත් කිසිදු ග්‍රන්ථයක් නොමැත. ඇත්තේ උතුම් වූ කුර්ආනය පමණි.

මගේ දහම ඉස්ලාම් වේ.

දහමේ අදියර තුනකි: ඉස්ලාම්, ඊමාන් සහ ඉහ්සාන් ය.

පළමු අදියර: ඉස්ලාම්

ඉස්ලාම් යනු: අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන උතුමාණන්ට යටහත් වීම, කීකරු වීම, උතුමාණන්ට අවනත වීම, බහු දේවවාදයෙන් හා එහි අනුගාමිකයන්ගෙන් වෙන් වීම.

ඉස්ලාමයේ මූලිකාංග

නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩනැගී ඇත. එනම් අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නොමැති බවත් සැබැවින් ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම, සලාතය විධිමත් ම ස්ථාපිත කිරීම, සකාත් නිකුත් කිරීම, රමළාන් මාසයේ උපවාස ශීලය රැකීම හා දේව නිවස වෙත හජ් වන්දනාව දියත් කිරීම.” බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කර ඇත.

ඉස්ලාමයේ මූලිකාංග යනු සෑම මුස්ලිම්වරයකු ම පිළිපැදිය යුතු අත්‍යවශ්‍ය නැමදුම් ය. ඒවා අනිවාර්ය වන බව විශ්වාස කොට ඒ සියල්ල ක්‍රියාවට නැංවීමෙන් මිස මිනිසාගේ ඉස්ලාමය වලංගු වන්නේ නැත. ඊට හේතුව සැබැවින් ම ඉස්ලාමය ඒ මත ගොඩ නැගී ඇති බැවිනි. ‘අර්කානුල් ඉස්ලාම්’ ඉස්ලාමයේ මූලිකාංග (ඉස්ලාමයේ කුලුනු) ලෙස නම් කර ඇත්තේ ද එබැවිනි.

එම මූලිකාංග මෙපරිදි ය:

පළමු මූලිකාංගය: අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සැබැවින් ම සුදුසු වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත් නියත වශයෙන් ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "එහෙයින් (නබිවරයාණනි,) ඔබ දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත." (මුහම්මද්:19)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "(විශ්වාස කරන්නනි,) නුඹලා අතුරින් වූ ධර්ම දූතයකු නුඹලා වෙත සැබැවින් ම පැමිණ ඇත. නුඹලා දුෂ්කරත්වයට පත්වීම ගැන ඔහු බලවත් සේ කණගාටු වන්නෙකි. ඔහු නුඹලා කෙරෙහි දැඩි සැලකිලිමත් වන්නෙකි. දේවත්වය විශ්වාස කරන්නන් හට (ඔහු) සෙනෙහෙවන්ත ය; මහා කාරුණික ය." (අත්-තව්බා: 128)

‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යන මහා සාක්ෂි දැරීමේ වදනෙහි තේරුම: අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සත්‍ය වශයෙන් ම සුදුසු වෙනත් යමක් නැත. සැබැවින් ම පූජනීය වන්නේ අල්ලාහ් පමණි.

සැබැවින් ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව සාක්ෂි දැරීමේ අර්ථය නම්: එතුමාණන් නියෝග කළ දෑහි එතුමාණන්ට අවනත වීමත්, එතුමාණන් දන්වා සිටි දෑහි එතුමාණන් ව සහතික කිරීමත්, එතුමාණන් තහනම් කළ හා හෙළා දුටු දැයින් වැළකී සිටීමත්, තව ද එතුමාණන් ආගමානුගත කළ දෙයකින් හැර වෙනත් යම් දෙයකින් අල්ලාහ් නැමදුමට ලක් නොවීමත් ය.

දෙවන මූලිකාංගය: සලාතය විධිමත් ව ඉටු කිරීම.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "තව ද නුඹලා සලාතය ස්ථාපිත කරනු." (අල් බකරා: 110)

සලාතය ඉටු කළ යුත්තේ උත්තරීතර අල්ලාහ් ආගමානුගත කළ පරිදි හා ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අපට ඉගැන්වූ පරිදි ය. එලෙස එය විධිමත් ව ඉටු කළ යුතු යි.

තුන්වන මූලිකාංගය: සකාත් නිකුත් කිරීම.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "zසකාතය ද දෙනු" (අල් බකරා: 110)

මුස්ලිම්වරයාගේ විශ්වාසය තහවුරු කිරීමට පරීක්ෂණයක් ලෙසින් ද ඔහුගේ පරමාධිපති ඔහුට ආශිර්වාද කළ සම්පත් සඳහා ඔහු උතුමාණන්ට කෘතඥතාව දැක්වීමක් ලෙසින් ද දුගී දුප්පතුන්, අවශ්‍යතාවෙන් පෙළෙන්නන්ට උපකාරයක් ලෙසින් ද අල්ලාහ් සකාත් අනිවාර්ය කර ඇත.

සකාත් පිරිනැමීම සිදු විය යුත්තේ එය ලැබීමට සුදුසු උදවියට ලබා දීම මඟිනි.

සිය වත්කම් නියමිත ප්‍රමාණයක් ලබා ඇති විටෙක එම ධනයෙන් අනිවාර්යයෙන් දිය යුතු වගකීමකි සකාතය. ශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් සඳහන් කළ පාර්ශ්ව අටකට එය දෙනු ලැබේ. ඔවුන් අතුරින් ‘ෆකීර්’ හෙවත් දිළිදා සහ ‘මිස්කීන්’ හෙවත් යාචකයා ද ඇතුළත් ය.

එය (සකාතය) ඉටු කිරීම තුළින් කරුණාව සහ දයාව විදහා දැක්වෙන අතර, මුස්ලිම්වරයාගේ චරිතය හා ධනය පවිත්‍ර වීමත්, දුප්පත් සහ අසරණ ජනයාගේ මනස සතුටු කිරීමත් සිදු වේ. එමෙන් ම එය මුස්ලිම් සමාජයේ සාමාජිකයන් අතර ආදරය සහ සහෝදරත්වයේ බැඳීම් ශක්තිමත් කරයි. එබැවින්, යහපත් මුස්ලිම්වරයෙකු සිත් සතුටින් යුතු ව මෙය ඉටු කරන්නේ, එමගින් අන් අය ව සතුටට පත් කිරීමට හැකි වන බැවිනි.

ධනය සඳහා වූ සකාත් ප්‍රමාණය, ඉතිරි කර ඇති රන්, රිදී, මුදල් සහ ලාභ ලැබීමේ අරමුණින් විකිණීමට හෝ මිල දී ගැනීමට සූදානම් කර ඇති වෙළඳ භාණ්ඩවල වටිනාකමින් 2.5% කි. මෙය අදාළ වන්නේ එම ධනය නියමිත අවම ප්‍රමාණයට (නිසාබ්) ළඟා වී, සම්පූර්ණ වසරක් සන්තකයේ පැවති පසු ව ය.

එමෙන් ම, යම් අයෙකු සතු ව නියමිත සංඛ්‍යාවකට වඩා ඇති සතුන් (ඔටුවන්, ගවයන් සහ එළුවන්/බැටළුවන්) සඳහා ද සකාත් අනිවාර්ය වේ. මෙය අදාළ වන්නේ එම සතුන් වසරේ වැඩි කාලයක් තම හිමිකරු විසින් ලබා දෙන ආහාර මත යැපෙන්නේ නැති ව, ස්වාභාවික තණබිම්වලින් ආහාර ලබා ගන්නේ නම් පමණි.

එලෙස ම, පොළොවෙන් ලැබෙන දෑ සඳහා ද සකාත් අනිවාර්ය වේ. උදාහරණයක් ලෙස ‘රිකාස්’ (ඉපැරණි කාලයේ මිහිදන් කර තිබී හමුවන වස්තුව (නිධන්)), මෙන් ම ධාන්‍ය වර්ග, පලතුරු සහ ඛනිජ ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයකට (නිසාබ් ප්‍රමාණයට) ළඟා වූ විට ඒ සඳහා සකාත් නිකුත් කළ යුතු ය.

සිව්වැනි මූලිකාංගය: රමළාන් මාසයේ උපවාසය රැකීම.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "අහෝ විශ්වාස කළවුනි, නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි නියම කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය නියම කරනු ලැබී ය." (අල් බකරා: 110)

රමළාන් යනු: හිජ්රි දින දර්ශනයට අනුව වසරේ නවවන මාසය යි. එය මුස්ලිම්වරුන් අතර අතිශයින් ම ගෞරවනීය මාසයක් වන අතර, වසරේ සෙසු මාසවලට වඩා එයට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. එම මාසය පුරා උපවාසයේ (සව්ම්) යෙදීම ඉස්ලාමයේ මූලික කුලුනු පහෙන් එකකි.

රමළාන් උපවාසය යනු: මහිමාන්විත අල්ලාහ්ට වන්දනාමාන කිරීමේ අරමුණින්, රමළාන් මාසය පුරා අලුයම (ෆජ්ර්) උදාවේ සිට හිරු බැස යන තෙක් ආහාර ගැනීමෙන්, පානය කිරීමෙන්, ලිංගික ඇසුරෙන් සහ උපවාසය බිඳෙන අනෙකුත් සියලු ම දේවලින් වැළකී සිටීම යි.

පස්වන මූලිකාංගය: ශුද්ධ වූ අල්ලාහ්ගේ නිවස වෙත හජ් ඉටු කිරීම.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "තව ද හජ් සඳහා පහසුකම් ඇත්තවුන්ට එම ගෘහයෙහි හජ් වන්දනාමාන කිරීම වනාහි අල්ලාහ් වෙනුවෙන් වූ ජනයා හට පැවරුණු වගකීමකි." (ආලු ඉම්රාන්: 97)

හජ් වන්දනාව යනු ඒ සඳහා ශක්තියක් ඇති අයෙකුට තම ජීවිත කාලය තුළ එක් වරක් ඉටු කිරීම අනිවාර්ය වූවකි. එනම්: නියමිත කාලයක දී, නියමිත වත්පිළිවෙත් ඉටු කිරීමේ අරමුණින් මක්කමෙහි පිහිටි ශුද්ධ වූ දේව මන්දිරය (කඃබාව) සහ ශුද්ධ වූ ස්ථාන වෙත ගමන් කිරීම යි. මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙන් ම එතුමාණන්ට පෙර සිටි අනෙකුත් නබිවරුන් ද හජ් වන්දනාව ඉටු කර ඇත. මිනිසුන් හට හජ් වන්දනාව සඳහා කැඳවුම් කරන ලෙස අල්ලාහ් දේව දූත ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්) තුමා හට අණ කළේය. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් ශුද්ධ වූ අල්-කුර්ආනයේ මෙපරිදි පවසන සේක: "තව ද හජ් ගැන ජනයා අතර ඔබ නිවේදනය කරනු. ඔවුහු පා ගමනින් ද ගිරිදුර්ග ස්ථානයන්හි සිට පැමිණෙන වැහැරී ගිය සෑම ඔටුවකු මත හිඳ ද ඔබ වෙත පැමිණෙති." (අල් හජ්: 27)

දෙවන අදියර: අල් ඊමාන් හෙවත් දේවත්වය කෙරෙහි වන අචල විශ්වාසය.

ඊමාන් (විශ්වාසය) යනු: අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් විශ්වාස කරන ලෙස අණ කළ සියලු කරුණු සම්පූර්ණයෙන් ම පිළිගැනීම, ස්ථිර ලෙස තහවුරු කිරීම සහ පූර්ණ ලෙස අනුමත කිරීම යි. එමෙන් ම එය බාහිර ව හා අභ්‍යන්තර ව අවනත වීමකි. එය හදවතින් කරන තහවුරු කිරීමක් වන අතර, හදවතින් කෙරෙන ක්‍රියාවන් මෙන් ම ශාරීරික ක්‍රියාවන් ද ඊට ඇතුළත් වේ. මෙය සමස්ත ආගමික පිළිවෙත් ඉටු කිරීම ආවරණය කරන අතර, යහපත් ක්‍රියා (දෙවිඳාණන් කෙරෙහි වූ මෙහෙයන්) මඟින් එය වර්ධනය වන අතර පාපකම් මඟින් එය පිරිහීමට ලක් වේ.

ඊමානයේ මූලිකාංග

ඊමානය පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: “අල්ලාහ් පිළිබඳ ව ද ඔහුගේ මලක්වරුන්, ඔහුගේ දහම්, ඔහුගේ දූතවරුන් හා අවසන් දිනය පිළිබඳ ව ද ඔබ විශ්වාස කිරීම හා පෙර නියමය පරිදි හොඳ නරක සිදුවන බවත් ඔබ තරයේ විශ්වාස කිරීම යි.”

ඊමානයේ මූලිකාංග යනු සෑම මුස්ලිම්වරයකු ම අනිවාර්යයෙන් පිළිපැදිය යුතු හදවත් හා බැඳුණු නැමදුම් ය. එකෙරෙහි අචල පිහිටීමෙන් හා එයට අනුකූල ව ක්‍රියා කිරීමෙන් තොර ව මිනිසාගේ ඉස්ලාමය වලංගු වන්නේ නැත. ‘අර්කානුල් ඊමාන්’ විශ්වාසයේ මූලිකාංග (විශ්වාසයේ කුලුනු) යනුවෙන් නම් කරනු ලැබ ඇත්තේ ද එබැවිනි. ඉස්ලාමයේ මූලික කුලුනු (අර්කානුල් ඉස්ලාම්) සහ ඊමාන්හි මූලික කුලුනු (අර්කානුල් ඊමාන්) අතර වෙනස වන්නේ: ඉස්ලාමයේ කුලුනු යනු සාක්ෂි දැරීමේ ප්‍රකාශ දෙක මුවින් පැවසීම, සලාතය සහ සකාතය වැනි මිනිසා තම අවයව මඟින් ඉටු කරනු ලබන බාහිර ක්‍රියාවන් වීම යි. ඊමාන්හි කුලුනු යනු අල්ලාහ්, ඔහුගේ මලක්වරුන්, දේව ග්‍රන්ථ සහ දූතයන් කෙරෙහි විශ්වාසය තැබීම වැනි මිනිසා තම හදවතින් ඉටු කරනු ලබන අභ්‍යන්තර ක්‍රියාවන් ය.

පළමු මූලිකාංගය: උත්තරීතර අල්ලාහ් ව විශ්වාස කිරීම.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නන් වන්නේ අල්ලාහ් ගැන විශ්වාස කළවුන් ය." (අන්-නූර්: 62)

අපි අල්ලාහ්ගේ පැවැත්ම විශ්වාස කරමු. එමෙන් ම ඔහුගේ රුබූබිය්යත් (විශ්වයේ පාලනය හා නිර්මාණය), උලූහිය්යත් (වන්දනාමාන ලැබීමට ඇති පුර්ණ අයිතිය) සහ ඔහුගේ නාමයන් හා ගුණාංගයන්හි ඒකීයභාවය අපි ස්ථිර ව ම විශ්වාස කරමු. අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම (ඊමාන්) යන්නට පහත කරුණු ඇතුළත් වේ.

සුවිශුද්ධ උත්තරීතරයාණන්ගේ පැවැත්ම විශ්වාස කිරීම.

සුවිශුද්ධ උත්තරීතරයාණන්ගේ පරිපාලනය විශ්වාස කිරීම. සැබැවින් ම සෑම දෙයක ම හිමිකරු ඔහු බවත් ඔහු ඒවායෙහි මැවුම්කරු, පෝෂක හා සැලසුම්කරු වන බවත් විශ්වාස කිරීම.

ඔහුගේ දේවත්වය විශ්වාස කිරීම. සැබැවින් ම නැමදුම් ලැබීමට සුදුස්සා ඔහු බවත් ඒ කිසිවක ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැති බවත් විශ්වාස කිරීම. ඒ අතුරින් සලාතය, ප්‍රාර්ථනාව, භාරය, සත්ව කැපය, උදව් පැතීම, ආරක්ෂාව පැතීම හා ඒ හා සමාන අනෙකුත් සියලු ම නැමදුම් ඊට ඇතුළත් වේ.

අල්ලාහ් තමන් වෙනුවෙන් තහවුරු කර ඇති හෝ එතුමාණන්ගේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් උතුමාණන් වෙනුවෙන් තහවුරු කර ඇති උතුමාණන්ගේ අලංකාර නාම (අස්මාඋල් හුස්නා) සහ උතුම් ගුණාංගයන් කෙරෙහි විශ්වාස කිරීමත්, උතුමාණන් තමන් සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කළ හෝ නබිතුමාණන් උතුමාණන් සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කළ දෑ ඔහුගෙන් බැහැර කිරීමත් මෙයට ඇතුළත් වේ. එමෙන් ම ඔහුගේ නාමයන් සහ ගුණාංගයන් සම්පූර්ණත්වයේ හා අලංකාරයේ උපරිම සීමාවට පැමිණ ඇති බවත්, ඔහුට සමාන කිසිවක් නොමැති බවත්, ඔහු සියල්ල අසන්නා සහ සියල්ල දකින්නා බවත් විශ්වාස කළ යුතු ය.

දෙවන මූලිකාංගය: මලක්වරුන් පිළිබඳ විශ්වාස කිරීම.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "අහස් හා මහපොළොව නිර්මාණය කළා වූ ද; පියාපත් දෙක බැගින් ද, තුන බැගින් ද, හතර බැගින් ද යුත් මලක්වරුන් (තම) දූතයින් බවට පත් කළා වූ ද අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා. ඔහු අභිමත කරන පරිදි එම මැවීම්හි වර්ධනය ඇති කරයි. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය." (ෆාතිර්: 1)

සැබැවින්ම මලක්වරුන් පාරභෞතික ලෝකයක් බවත් ඔවුන් අල්ලාහ්ගේ ගැත්තන් බවත් ඔහු ඔවුන් අලෝකයෙන් මවා ඇති බවත් ඔහුට අවනත ගැත්තන් බවට පත් කර ඇති බවත් අපි විශ්වාස කරමු.

ඔවුන් අතිවිශාල මැවීමකි. ඔවුන්ගේ බලය හා ඔවුන්ගේ සංඛ්‍යාව උත්තරීතර අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් නොදනී. ඔවුන් අතුරින් සෑම කෙනෙකුට ම උත්තරීතර අල්ලාහ් නියම කළ ඔවුනට ම ආවේණික ගුණාංග, නාම හා රාජකාරීන් ඇත. ඔවුන් අතර, උත්තරීතර අල්ලාහ් වෙතින් ඔහුගේ දූතවරුන් වෙත දිව්‍ය පණිවිඩය පහළ කිරීම භාර ව සිටින ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ද කෙනෙකි.

තුන්වන මූලිකාංගය: දේව පුස්තක පිළිබඳ විශ්වාසය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: “අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන්ගේ පරපුර වෙත පහළ කරනු ලැබූ දෑ ද, මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද, තම පරමාධිපතිගෙන් නබිවරුන්ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. අපි ඔවුන් (නබිවරුන්) කිසිවෙකු අතර භේදයක් ඇති නොකරන්නෙමු යැයි ද අපි ඔහු(අල්ලාහ්)ට අවනත වූවෝ වෙමු.' යැයි ද නුඹලා පවසනු." (අල්-බකරා: 136)

අල්ලාහ් තම දූතවරුන් වෙත දේව ග්‍රන්ථ පහළ කළ බව අපි විශ්වාස කරමු. ඒවා මුළු මහත් ලෝකයාට ම (දේව අණ පිළිබඳ) සාක්ෂියක් ලෙසත්, යහපත් ක්‍රියාවල නිරත වන්නන් සඳහා පැහැදිලි මාවතක් ලෙසත් පවතී.

ඒවා (දේව ග්‍රන්ථ) මඟින් ඔවුහු ජනයින්ට ප්‍රඥාව උගන්වන අතර ඔවුන් ව පාරිශුද්ධත්වයට පත් කරති.

මහිමාන්විත අල්ලාහ් සිය දූත මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ව මුළු මහත් මානව සංහතිය වෙත ම දේව දූතයෙකු ලෙස එවීම මඟින්, එතුමාණන් රැගෙන ආ දහම (ෂරීආව) හරහා මින් පෙර පැවති සියලු දහම් අවලංගු කළ බවත්; ශුද්ධ වූ අල්-කුර්ආනය පෙර පැවති සියලු දේව ග්‍රන්ථයන් අබිබවා යන, ඒවායේ සත්‍යතාව තහවුරු කරන සහ ඒවා අවලංගු කරන අවසාන ග්‍රන්ථය බවට පත් කළ බවත් අපි විශ්වාස කරමු. තව ද ශුද්ධ වූ අල්-කුර්ආනය කිසිදු වෙනස් කිරීමකින් හෝ විකෘති කිරීමකින් තොර ව ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් විසින් ම භාරගෙන ඇත. ඒ පිළිබඳ පරමාධිපති අල්ලාහ් මෙසේ පවසයි: "නියත වශයෙන් ම අපමය මෙම මෙනෙහි කිරීම (අල්-කුර්ආනය) පහළ කළේ. තව ද නියත වශයෙන්ම අපි එයට ආරක්ෂකයෝ වෙමු." (අල් හිජ්ර්: 9) මක් නිසා ද යත්, ශුද්ධ වූ අල්-කුර්ආනය මිනිසා වෙත පහළ වූ අල්ලාහ්ගේ අවසාන දේව ග්‍රන්ථය වන අතර, මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් උතුමාණන්ගේ අවසාන දූතයා වේ. එමෙන් ම ඉස්ලාම් දහම යනු ලෝක විනාශය (කියාමත් දිනය) දක්වා මිනිසා වෙනුවෙන් අල්ලාහ් අනුමත කළ එක ම දහම යි. ඒ පිළිබඳ අල්ලාහ් මෙසේ පවසයි: "නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ." (ආලු ඉම්රාන්: 19)

අල්ලාහ් තම ග්‍රන්ථයේ සඳහන් කර ඇති දිව්‍යමය ග්‍රන්ථ වනාහි:

ශුද්ධ වූ අල් කුර්ආනය: මෙය තම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත අල්ලාහ් පහළ කළේය.

අත්-තව්රාත් (තෝරාව): මෙය තම දූත මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත අල්ලාහ් පහළ කළේය.

අල්- ඉන්ජීල් (නව ගිවිසුම): මෙය තම දූත ඊසා (අලයිහිස් සලාම්) තුමා වෙත අල්ලාහ් පහළ කළේය.

අස්-සබූර්: මෙය තම දූත දාවූද් (අලයිහිස් සලාම්) තුමා වෙත අල්ලාහ් පහළ කළේය.

ඉබ්රාහීම්ගේ දිව්‍ය ලේඛන: මෙය තම දූත ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා වෙත අල්ලාහ් පහළ කළේය.

සිව්වන මූලිකාංගය: ධර්ම දූතවරුන් පිළිබඳ විශ්වාසය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "තව ද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. එමෙන් ම නපුරු බලවේගවලින් වැළකී සිටිනු යැයි (දන්වා) සැබැවින් ම අපි සෑම සමූහයකට ම රසූල්වරයකු එව්වෙමු." (අන්-නහ්ල් 16: 36)

උත්තරීතර අල්ලාහ් තමන් හැර වෙනත් කිසිදු දෙවියකු නොමැති බවත්, ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැති බවත් පවසා තමන්ට පමණක් වන්දනාමාන කරන ලෙස මිනිසුන්ට ඇරයුම් කිරීම සඳහාත්, ඔහු හැර වෙනත් වන්දනාමාන කරනු ලබන සියලු දෑ ප්‍රතික්ෂේප කරන ලෙස දැන්වීම සඳහාත් තම මැවීම් වෙත දූතයන් (රසූල්වරුන්) එවා ඇති බව අපි විශ්වාස කරමු.

එපරිදි, ඔවුන් සියලු දෙනා ම අල්ලාහ්ගේ ගැත්තන් වූ මනුෂ්‍ය පුරුෂයන් බවත්; ඔවුන් සත්‍යවාදීන්, සත්‍යය තහවුරු කරන්නන්, දේවභක්තිකයන්, විශ්වාසවන්තයින් සහ (අන් අයට) මඟ පෙන්වන්නන් මෙන්ම (අල්ලාහ්ගෙන්) මඟ පෙන්වීම ලැබූවන් බවත් අපි විශ්වාස කරමු. අල්ලාහ් ඔවුන්ගේ සත්‍යතාව විදහා දක්වන ප්‍රාතිහාර්යයන් හා සාක්ෂි මඟින් ඔවුන් ව ශක්තිමත් කළේය. එසේ ම අල්ලාහ් ඔවුන් වෙත එවූ සියලු පණිවිඩ ඔවුන් සම්පූර්ණයෙන් ම සැල කළ බවත්, ඔවුන් සියලු දෙනා ම පැහැදිලි සත්‍යය හා ප්‍රත්‍යක්ෂ මඟ පෙන්වීම මත සිටි බවත් අපි විශ්වාස කරමු.

තව ද ඔවුන්ගේ (දූතයන්ගේ) පළමුවැන්නාගේ සිට අවසාන පුද්ගලයා තෙක් වූ සියලු දෙනාගේ ම කැඳවීම, දහමේ මූලධර්මයට අනුකූල ය; එයට පූර්ණ ලෙසින් එකඟ ය. එනම්, නැමදුමෙහි අල්ලාහ්ගේ ඒකීයභාවය තහවුරු කිරීම සහ ඔහුට කිසිවෙකු හෝ කිසිවක් හවුල් නොකිරීම යි.

පස්වන මූලිකාංගය: අවසන් දිනය පිළිබඳ විශ්වාසය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිදු දෙවියෙක් නොමැත. කිසිදු සැකයක් නොමැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු නුඹලා ව රැස් කරනු ඇත. අල්ලාහ්ට වඩා ප්‍රකාශයෙන් සත්‍යවාදී කවරෙක් ද?" (අන්-නිසා: 87)

අපි අවසාන දිනය හෙවත් ඉන් පසු ව වෙනත් දිනයක් නොමැති මළවුන් කෙරෙහි නැගිටුවනු ලබන දිනය (කියාමත් දිනය) විශ්වාස කරමු. එමෙන් ම අපගේ අල්ලාහ් සිය ශුද්ධ වූ ග්‍රන්ථයෙහි සඳහන් කර ඇති හෝ අපගේ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අපට පවසා ඇති, ඒ හා සම්බන්ධ සියලු කරුණු අපි විශ්වාස කරමු. මිනිසාගේ මරණය, නැවත පණ ගැන්වීම, මළවුන් කෙරෙන් නැගිටුවීම, මැදිහත් වීම (ෂෆාඅත්), තරාදිය (මීසාන් - ක්‍රියාවන් මැනීම), විනිශ්චය (හිසාබ්), ස්වර්ගය හා නිරය මෙන් ම අවසාන දිනයට අදාළ අනෙකුත් සියලු කරුණු ද මීට ඇතුළත් වේ.

හයවන මූලිකාංගය: යහපත හා අයහපත පෙර නියමය අනුව සිදුවන බව විශ්වාසය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "නියත වශයෙන් ම අපි සෑම දෙයක් ම නියමයක් අනු ව මවා ඇත්තෙමු." (අල් කමර්: 49)

කද්ර් හෙවත් පෙර නියමයෙහි ඇති යහපත මෙන් ම අයහපත ද අපි විශ්වාස කරමු. පෙර නියමය යනු අල්ලාහ්ගේ පූර්ව ඥානයට අනුව සහ ඔහුගේ ප්‍රඥාවට අනුකූල ව සියලු මැවීම් සඳහා ඔහු විසින් තීරණය කර ඇති නියමය යි. මෙලොව ජීවීන්ට සිදුවන සෑම සිදුවීමක් ම අල්ලාහ්ගේ අනුදැනුම, දෛවය සහ ඔහුගේ සැලසුම් කිරීම මත පමණක් සිදුවන බවත්, ඔහුට එහි කිසිදු හවුල්කරුවෙකු නොමැති බවත් අපි විශ්වාස කරමු. මෙම පෙර නියමය මිනිසා නිර්මාණය කිරීමට පෙර ම ලියා ඇති බවත්, මිනිසාට ස්වකීය කැමැත්තක් සහ අභිමතයක් ඇති බවත්, ඔහු තම ක්‍රියාවන් සැබවින් ම සිදු කරන්නා බවත් අපි විශ්වාස කරමු; එහෙත් ඒ සියල්ල අල්ලාහ්ගේ දැනුමෙන්, කැමැත්තෙන් සහ අභිමතයෙන් බැහැර ව සිදු නොවනු ඇත.

පෙර නියමය පිළිබඳ විශ්වාසය මට්ටම් හතරක් මත පවතී. ඒවා නම්:

පළමු ව: සිව් දෙසින් වටවුණු අල්ලාහ්ගේ පූර්ණ දැනුම ගැන විශ්වාසය.

දෙවැන්න: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා සිදුවන්නට නියමිත සෑම දෙයක් පිළිබඳ ව ම අල්ලාහ් සටහන් කර ඇති බවට වූ විශ්වාසය.

තුන්වැන්න: අල්ලාහ්ගේ බලවත් අභිමතය හා ඔහුගේ පූර්ණ බලය ගැන විශ්වාසය. එහෙයින් ඔහු අභිමත කළ දෑ සිදු විය. ඔහු අභිමත නොකළ දෑ සිදු නොවීය.

සිව්වැන්න: සැබැවින් ම අල්ලාහ් සියලු දෑහි මැවුම්කරු බවත් ඔහුගේ මැවීම්හි කිසිදු හවුල්කරුවකු නොමැති බවත් විශ්වාස කිරීම.

තුන්වන අදියර: අල් ඉහ්සාන්

ඉහ්සාන් යනු: ඔබ අල්ලාහ් ව දකින්නාක් මෙන් උතුමාණන්ට නැමදීම යි. මක් නිසා ද යත්, ඔබ ඔහු ව නොදැක්කත්, ඔහු ඔබ ව දකින බැවිනි. අල්ලාහ් මෙසේ පවසයි: "නියත වශයෙන් ම අල්ලාහ් බියබැතිමත්බවින් යුතු ව කටයුතු කළවුන් හා දැහැමි ව කටයුතු කළවුන් වන ඔවුන් සමඟ ය." (අන්-නහ්ල්: 128)

පිරිසිදුකම

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "සැබැවින් ම අල්ලාහ් පශ්චාත්තාපයේ නියැළෙන්නන් ප්‍රිය කරන අතර ම පිරිසිදු ව සිටින්නන් ද ප්‍රිය කරන්නේය." (අල් බකරා :22)

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "යමෙකු මා කළ මෙම වුළූඃ (ධෝවනය) මෙන් වුළූඃ කර, පසු ව (වෙනත් බාහිර) සිතුවිලිවලට ඉඩ නොදී (පූර්ණ අවධානයෙන්) රක්අත් දෙකක් සලාතය ඉටු කරන්නේද, ඔහුගේ පෙර කළ පව්වලට අල්ලාහ් සමාව දෙනු ඇත." මෙය ඉමාම් බුහාරි විසින් වාර්තා කර ඇත.

සලාතයේ අතිවැදගත් කරුණු අතුරින් ඊට පෙර පිරිසිදුවීම අල්ලාහ් ආගමානුකූල කළේය. එමෙන් ම සලාතය වලංගු වීමට එය කොන්දේසියක් බවට ද එය පත් කළේය. එය සලාතයේ යතුර යි. එහි මහිමයන් පිළිබඳ දැනුම්වත් වීමෙන් සලාත් ඉටු කිරීම සඳහා හදවත් තුළ ප්‍රබෝධයක් ඇති වනු නියත ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙපරිදි පැවසූහ: "පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතු ය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධ ය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතු ය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි. සලාතය ආලෝකයකි. දානය සාක්ෂියකි. ඉවසීම ප්‍රභාවකි. කුර්ආනය ඔබට පක්ෂ ව හෝ ඔබට විපක්ෂ ව පිහිටයි. සියලු ම මිනිස්සු තම ආත්මය විකුණා ගනිති. ඔහු එය නිදහස් කරගන්නෙක් වේ. එසේ නැතහොත් විනාශ කරගන්නෙක් වේ." මෙය මුස්ලිම්තුමා විසින් වාර්තා කර ඇත.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “කවරෙකු වුළූඃ ධෝවනය, විධිමත් ව ඉටු කරන්නේ ද ඔහුගේ ශරීරයෙන් මෙන් ම ඔහුගේ නියපොතු යටින් පවා ඔහුගේ පාපකම් ඉවත් ව යයි.” මූලාශ්‍ර ග්‍රන්ථය: මුස්ලිම්.

වුළූඃ ධෝවනය සිදු කොට ශාරීරික වශයෙන් පිරිසිදු වී, ආධ්‍යාත්මික වශයෙන් මෙම නැමදුම ඉටු කරමින් අල්ලාහ්ට අවංක ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මඟපෙන්වීම අනුගමනය කරන්නෙකු ලෙස ගැත්තා තම පරමාධිපති වෙත ඉදිරිපත් වෙයි.

වුළූඃ අනිවාර්ය වන අවස්ථා:

1- පොදුවේ සලාතය සඳහා. එම සලාතය අනිවාර්ය වුව ද අතිරේක වුව ද සමාන ය.

2- කඃබාහ්ව වටා තවාෆ් කිරීම සඳහා

3- අල් කුර්ආනය ස්පර්ශ කිරීම සඳහා

පිරිසිදු ජලයෙන් මම වුළූ ගනිමි. ස්නානය කරමි:

පිරිසිදු ජලය යනු: අහසින් වැටෙන ජලය හෝ පොළොවෙන් උනන ජලය යි. එමෙන් ම ජලයේ පිරිසිදුභාවය ඉවත් කරන කිසියම් බාහිර වස්තුවක් හේතුවෙන් එහි සහජ වර්ණය සුවය හා ගන්ධය යන ගුණාංග තුනෙන් එකකින් හෝ වෙනස් නොවූ තත්ත්වයේ පවතින ජලය යි.

වුළූඃ හෙවත් අර්ධ ධෝවනය

අදියර 1: ‘නිය්යත්’ හෙවත් චේතනාව, එහි නියමිත ස්ථානය හදවත යි. චේතනාව යනුවෙන් අහදස් කරනුයේ: කරනු ලබන නැමදුම් ක්‍රියාවලිය උත්තරීතර අල්ලාහ් වෙත සමීප වීම සඳහා සිදු කරන බවට හදවතෙහි ස්ථාවරත්වය ගොඩ නැගීම යි.

අදියර 2: බිස්මිල්ලාහ් යැයි පැවසීම.

අදියර 3: දෙඅත්ල සේදීම. තුන් වරක්

අදියර 4: කට සේදීම, තුන් වරක්.

කට සේදීම යනු: කට තුළට ජලය යවා එය කලත්වා (සොලවා) පසු ව පිටතට බැහැර කිරීම යි.

අදියර 5: නාසයට ජලය ඇද ගැනීම (ඉස්තින්ෂාක්), ඉන්පසු තුන් වතාවක් නාසය පිරිසිදු කිරීම (ඉස්තින්සාර්); 'ඉස්තින්ෂාක්' යනු හුස්ම මගින් නාසයේ ඇතුළත ගැඹුරට ම ජලය ඇද ගැනීම යි.

අල්-ඉස්තින්සාර් කිරීම යනු: එනම් හුස්ම මගින් නාසය තුළ ඇති සෙම හා රොඩු බැහැර කිරීම යි.

අදියර 6: මුහුණ සේදීම, තුන්වරක්.

මුහුණේ සීමාව:

මුහුණ: මුහුණ සේදීමට අදාළ ස්ථාන. (දර්ශනය වන සීමාව)

එහි සීමාව පළලින් - කණ සිට අනෙක් කණ දක්වා.

එහි සීමාව දිගින් - සුපුරුදු පරිදි හිස කෙස් වැවෙන ස්ථානයේ සිට නිකටේ අග දක්වා අතර සීමාව ය.

මුහුණ සේදීමේ දී එහි ඇති සියලු ම සැහැල්ලු රෝම ආවරණය කළ යුතු වේ. කම්මුල් හා හනු රෝම ද එසේය.

කම්මුල යනු හනුව හා කන්පෙත්ත අතර වූ ප්‍රදේශය යි.

හනු රෝම යනු: කන් සිදුරට සමාන්තර ව හිස තුළට විහිදෙන නෙරා ඇති අස්ථිය (කම්මුල් ඇටය) මත වැඩෙන රෝම වේ. එමෙන් ම එයට කන් පෙත්ත දක්වා පහළට විහිදෙන රෝම කොටස ද ඇතුළත් වේ.

එමෙන් ම, මුහුණ සේදීමේ දී ඝන රැවුලෙහි පිටතට පෙනෙන සියලු ම රෝම සහ ඉන් පහළට එල්ලී ඇති (දිගු) කොටස් සේදීම ද ඊට ඇතුළත් වේ.

අදියර 7: දෙඅත් ඇගිලි තුඩු සිට ආරම්භ කර වැළමිටි දෙක දක්වා සේදීම, තුන් වරක්.

දෑත් සේදීමේ දී අනිවාර්ය කොටස තුළට වැළමිටි දෙක ද ඇතුළත් වේ.

අදියර 8: හිස සම්පූර්ණයෙන් ම දෙකන් සමග එක්වරක් තෙත් වූ අත් දෙකෙන් පිරිමැදීම.

තම හිස ඉදිරියෙන් පටන් ගෙන එය ඔහුගේ පසුගෙල දක්වා ගෙන ගොස් පසු ව නැවත ගෙන ඒම යි.

ඔහු ඔහුගේ දබරැඟිලි දෙක ඔහුගේ දෙකන් තුළ ඇතුළු කර, ඔහුගේ මහපට ඇඟිලි දෙක ඔහුගේ කන් දෙක මතුපිට තබා එමගින් කන් මතු පිට ද ඇතුළත ද පිරිමදියි.

අදියර 9: දෙපා ඇඟිලි තුඩුවලින් අරඹා වළලුකර දක්වා සේදීම, තුන් වරක්. දෙපා සේදීමේ දී අනිවාර්ය කොටස ඇතුළට වළලුකරවල් දෙක ද ඇතුළත් වේ.

වළලුකර යනු: පහළ කෙණ්ඩයේ නෙරා පවතින අස්ථි දෙක.

පියවර 10: වුළූඃ ධෝවනයෙන් පසු ව "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ, වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහූ වරසූලුහූ, අල්ලාහුම්මජ්අල්නී මිනත්තව්වාබීන, වජ්අල්නී මිනල් මුතතහ්හිරීන්" යැයි පැවසීම මුස්ලිම්වරයෙකුට සුන්නත් වේ. මන්ද, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: (කවරෙකු වුළූඃ ධෝවනය කර එය විධිමත් ව ඉටු කර, පසු ව ‘අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ, වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහූ වරසූලුහූ, අල්ලාහුම්මජ්අල්නී මිනත්තව්වාබීන, වජ්අල්නී මිනල් මුතතහ්හිරීන්’ (තේරුම: අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නොමැත. ඔහු ඒකීය යි. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැති බවට මම සාක්ෂි දරමි. තව ද සැබැවින් ම මුහම්මද්තුමා උතුමාණන්ගේ ගැත්තා බවට ද උතුමාණන්ගේ දූතයා බවට ද මම සාක්ෂි දරමි. යා අල්ලාහ්, මා අධික ව පාපක්ෂමාව අයදින්නන් අතුරින් කෙනෙකු බවට පත් කරනු මැනව! තව ද මා පාරිශුද්ධවන්තයින් අතුරින් කෙනෙකු බවට පත් කරනු මැනව!) යැයි පවසන්නේ ද, ඔහු වෙනුවෙන් ස්වර්ගයේ දොරටු අට ම විවෘත කරනු ලබන අතර, ඔහු ඉන් කැමති දොරටුවකින් පිවිසෙනු ඇත.) (තිර්මිදි ග්‍රන්ථයෙහි වාර්තා වී ඇත).

පහත සඳහන් මෙම කරුණු මගින් වුළූඃ අවලංගු වී යයි.

1- මුත්‍රා, මලපහ, අධෝමුඛ වාතය, ශුක්‍රාණු සහ ලිංගික උද්දීපනයක දී පිටවන ශ්‍රාවයන් වැනි මල මාර්ගය සහ මුත්‍රා මාර්ගය යන ද්වාර දෙකෙන් පිටවන දෑ.

2- ගැඹුරු නින්ද, ක්ලාන්තය, මත්බව හා උන්මාදය යනාදියෙන් සිහි විකල්වීම.

3- සංසර්ගය, ඔසප් වීම හා දරු ප්‍රසව රුධිර වහනය වැනි ස්නානය අනිවාර්ය කරන සියලු ම කරුණු.

යම් පුද්ගලයෙකු තම ස්වාභාවික අවශ්‍යතාවලින් (මල මූත්‍රා පහ කිරීමෙන්) පසු වූ විට, එම අපිරිසිදු දෑ ඉවත් කිරීම අනිවාර්ය වේ. ඒ සඳහා පිරිසිදු ජලය භාවිතා කළ හැකි අතර එය වඩාත් උචිත ක්‍රමය යි. එසේත් නැතිනම් (ද්‍රාව උරාගත හැකි) ගල්, කඩදාසි, රෙදි හෝ එවැනි දෑ මඟින් අපිරිසිදු දෑ ඉවත් කළ හැකි ය. එහෙත් එය පිරිසිදුබවක් ඇති වන තෙක් අවම වශයෙන් තුන් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් පිස දැමීමෙන් සිදු කළ යුතු අතර, ඒ සඳහා භාවිතා කරන දෑ පිරිසිදු සහ භාවිතයට අවසර ලත් දෑ විය යුතු ය.

මේස් සපත්තු (හෝ එයට සමාන ආවරණික පැලදුම්) මත පිරිමැදීම.

සපත්තු හා මේස් පැලඳ සිටින තත්ත්වයේ ඇතැම් කොන්දේසි මත දෙපා සේදීමේ අවශ්‍යතාවය වෙනුවට ඒ දෙක මත පිරිමැදීමට හැකි ය.

1- සුළු කිලිටෙන් හා මහා කිලිටෙන් පූර්ණ ව පිරිසිදුවීමෙන් පසු ඒ දෙක පැලඳ තිබිය යුතු ය.

2- ඒ දෙක කිලිටිභාවයෙන් තොර ව පිරිසිදු ලෙස තිබිය යුතු ය.

3- එසේ පිරිමැදීම ඒ සඳහා නියම කරන ලද කාලය තුළ විය යුතු ය.

4- ඒ දෙක අනුමත ආකාරයෙන් ලබා තිබිය යුතු අතර සොරකම් කිරීම පැහැර ගැනීම වැනි අයුතු ලෙස ලබා නොගත් දෙකක් විය යුතු ය.

‘අල් කුෆ්ෆානි’ හෙවත් සපත්තු දෙක යනු: සිනිඳු සමකින් හෝ එවැනි වෙනත් යම් දෙයකින් නිම කළ පාදයේ පලඳින දෑ ය. එය දෙපා ආවරණය වන සේ පලඳින සපත්තු මෙනි. ‘අල් ජව්රබාන්’ හෙවත් මේස් දෙක යනු: රෙදි කඩකින් හෝ එවැනි වෙනත් දෙයකින් නිම කළ පාද දෙකෙහි මිනිසා පලඳින දෑ ය. ඒවා මේස් සපත්තු යැයි හැඳින්වේ.

කුෆ් මත පිරිමැදීම ආගමානුගත කිරීමට හේතුව: මේස් සපත්තු මත පිරිමැදීමෙන් අපේක්ෂා කෙරෙන අභිමතාර්ථය වනුයේ: සපත්තු හෝ මේස් ගලවා පාද සේදීමට අපහසු මුස්ලිම්වරුන්ට සහනයක් හා පහසු කිරීමක් වීම ය. විශේෂයෙන් ම එය දැඩි ශීත හා උෂ්ණ කාලවල දී මෙන් ම ගමනක දී ද සහනයක් වනු ඇත.

පිරිමැදීමේ කාලය: පදිංචිකරු: එක් (දහවල්) දිනක් සහ එක් රාත්‍රියක් (පැය 24). මගියා: (දහවල්) දින තුනක් හා රාත්‍රී තුනක් (පැය 72).

පිරිමැදීමේ කාල ගණනය ආරම්භ වනුයේ කිලිටි තත්ත්වයෙන් පසු සපත්තු දෙක හෝ මේස් දෙක මත පළමු වර මස්හ් කිරීමෙනි.

මේස් හා සපත්තු මත මස්හ් කිරීමේ ක්‍රමය.

1- අත් දෙක තෙමා ගැනීම.

2- පාදය මතුපිට පිරිමදිමින් අත ගෙන යෑම. (ඇඟිලි තුඩු සිට කෙණ්ඩය ආරම්භය දක්වා)

3- දකුණු පාදය දකුණු අතින් ද වම් පාදය වම් අතින් ද පිරිමදිනු ලැබේ.

පිරිමැදීම අවලංගු වන කරුණු: 1. ස්නානය අනිවාර්ය කරන යමක් සිදුවීම, 2. මස්හ් කිරීමේ කාලය අවසන් වීම.

ගුස්ල් හෙවත් ස්නානය කිරීම

පිරිමියා හෝ කාන්තාව හෝ වේවා ශුක්‍රාණු පිට නොවූ ව ද සංසර්ගයේ නිරත වූ විට, හෝ ඒ දෙදෙනාගෙන් කෙනෙකුට අවදි ව සිටියදී කාමාශාවෙන් ශුක්‍රාණු පිට වුණු විට, හෝ නින්දේ දී ශුක්‍රාණු පිටවුණු විට, ඔහු හෝ ඇය සලාතය ඉටු කිරීමට හෝ පිරිසිදු වීම අනිවාර්ය වන කටයුත්තක නිරත වීමට හැකිවන පරිදි ස්නානය කර ගැනීම අනිවාර්ය වේ. එමෙන් ම ඔසප් කාන්තාවක් හෝ ප්‍රසූත රුධිරය වහනය වන කාන්තාවන් හෝ පිරිසිදු වූ විට සලාතය ඉටු කිරීමට හෝ පිරිසිදු වීම අනිවාර්ය වන කටයුත්තක නිරත වීමට පෙර ස්නානය කර ගැනීම අනිවාර්ය වේ.

ස්නානය කිරීමේ ක්‍රමය පහත සඳහන් පරිදි ය:

මුස්ලිම්වරයා තම මුළු ශරීරය ම පවත්නා කවර හෝ ක්‍රමයකට ජලය භාවිත කරමින් ආවරණය කරයි. ඒ අතුරින් කට පිරිසිදු කිරීම නාසය පිරිසිදු කිරීම ද ඇතුළත් වේ. තම ශරීරය ජලයෙන් ආවරණය කළ විට මහා කිලිට ඔහුගෙන් ඉවත් වී ඔහුගේ පිරිසිදු වීම සම්පූර්ණ වන්නේය.

තවත් වඩාත් පරිපූර්ණ ක්‍රමයක් ඇත. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිපැදි ක්‍රමය වන අතර එය පහත පරිදි වේ:

01. කිලිටෙන් ඉවත් වීමට අදිටන් කිරීම.

02 බිස්මිල්ලාහ් පවසා, දෑත් තුන් වරක් සෝදා, පසු ව ලිංගය සේදීම.

03 සලාතයට වුළූඃ කර ගන්නා සේ සම්පූර්ණ ව වුළූඃ කර ගැනීම.

04 තම හිසට තුන් වරක් ජලය වත්කර ගැනීම. එමඟින් හිසකෙස්හි මුලට ජලය ගලන්නට සැලැස්වීම.

05 සම්පූර්ණ ශරීරය ම ජලයෙන් තෙමීම, ශරීරයේ දකුණු පසින් ද පසු ව වම් පසින් ද සේදීම, ඒ සමඟ ශරීරයේ සෑම තැනකට ම ජලය ළඟා වන සේ අත් දෙක අතුල්ලමින් ගෙනයාම.

මහා කිලිටි තත්ත්වයේ සිටින්නෙකු ස්නානය කර ගන්නා තුරු සිදු නොකළ යුතු කරුණු පහත පරිදි ය:

01. සලාතය.

02. කඃබාහ්ව වටා තවාෆ් කිරීම.

03. මස්ජිදයේ රැඳී සිටීම. එසේ රැඳී නොසිට ඒ හරහා ගමන් කිරීම ඔහුට අනුමැතිය ඇත.

04. අල් කුර්ආනය ස්පර්ශ කිරීම.

05. අල් කුර්ආන් පාරායනය.

තයම්මුම්

මුස්ලිම්වරයාට පිරිසිදු වීම සඳහා ජලය නොලැබුණු විටෙක හෝ යම් රෝගී තත්ත්වයක් වැනි හේතුවකින් ජලය භාවිත කිරීමට නොහැකි වූ විටෙක සලාතයේ වේලාව ද මඟ හැරෙනු ඇතැ යි බිය වූ කල ඔහු තයම්මුම් කර ගනී.

එහි ක්‍රමය වනුයේ තම දෑත් පස් මත එක් වරක් ගසා පසු ව ඒ දෙකින් තම මුහුණ හා තම අත් දෙක පිරිමැදීම යි. එහි දී පස් පිරිසිදු ව තිබීම කොන්දේසිය වන්නේය.

පහත සඳහන් කරුණු හේතුවෙන් තයම්මුම් අවලංගු වෙයි.

1- වුළූඃ අවලංගු වන දෑ තයම්මුම් ද අවලංගු කරයි.

2- කවර නැමදුමක් වෙනුවෙන් තයම්මුම් ඉටු කළේ ද එවැනි නැමදුම් ආරම්භ කිරීමට පෙර ජලය ලැබුණු විටෙක.

සලාතය

දහවලේ හා රාත්‍රියේ සලාත් වාර පහක් මුස්ලිම්වරයා මත අල්ලාහ් අනිවාර්ය කර ඇත. එනම්: ෆජ්ර්, ලුහ්ර්, අස්ර්, මග්රිබ්, ඉෂා.

සලාතය සඳහා සූදානම් වීම

සලාතයේ වේලාව පැමිණි විට මුස්ලිම්වරයා සුළු හා මහා කිලිටි තත්ත්වයන්හි පසුවන්නේ නම් එම කිලිටිවලින් බැහැරවීම පිණිස මුස්ලිම්වරයා පිරිසිදු වෙයි.

අල් හදසුල් අක්බර් හෙවත් මහා කිලිට යනු: මුස්ලිම්වරයාට ස්නානය අනිවාර්ය කරවන්නකි.

අල් හදසුල් අස්ගර් හෙවත් සුළු කිලිට යනු: මුස්ලිම්වරයාට වුළූඃ අනිවාර්ය කරවන්නකි.

පිරිසිදු ඇඳුමින් සැරසී අපවිත්‍රවලින් තොර පිරිසිදු ස්ථානයක තම රහසඟ ආවරණය කරමින් සලාතය ඉටු කරයි.

මුස්ලිම්වරයා සලාතය වේලාවේ අලංකාර ඇඳුමක් ඇඳ ශරීරය ආවරණය කර ගනී. පිරිමියෙකු සලාතයේ දී පෙකණිය හා දණහිස දක්වා අතර වූ කොටසින් කිසිවක් හෝ නිරාවරණය නොවන්නට වගබලාගත යුතු ය.

සලාතයේ දී කාන්තාවක් තම මුහුණ හා අත් දෙක හැර ඇගේ මුළු ශරීරය ම ආවරණය කිරීම අනිවාර්ය වෙයි.

සලාතයට ආවේණික ප්‍රකාශ හැර වෙනත් කිසිවක් මුස්ලිම්වරයා එහි දී කතා නොකරනු ඇත. ඔහු ඉමාම් හෙවත් සලාතය මෙහෙයවන්නාට සවන් දෙයි. ඔහුගේ සලාතයේ දී ඔහු හැරී නොබලයි. සලාතයට ආදළ ප්‍රකාශ මතක තබා ගත නොහැකි වූයේ නම් එවිට සැබැවින් ම ඔහු සලාතය අවසන් වන තුරු අල්ලාහ් ව මෙනෙහි කරමින් තස්බීහ් පවසයි. සලාතය හා එහි කිව යුතු පාඨ හැදෑරීමට යුහුසුලු වීම අවශ්‍ය වන්නේය.

අල්ලාහ්ගේ අනුග්‍රහය ඇති ව සලාතය නිවැරදි අයුරින් ඉටු කිරීම සඳහා, අපි පහත පියවර අනුගමනය කර ඒවා ආරක්ෂා කරමු:

පියවර 1: මා ඉටු කිරීමට අපේක්ෂා කරන අනිවාර්ය සලාතය අදිටන් කර ගැනීම. අදිටන් කරගැනීමේ ස්ථානය හදවත යි.

මා වුළූඃ ගත් පසු කිබ්ලා දිශාවට මුහුණ ලා සිට ගැනීමට මම හැකියාව ඇත්තෙක් නම් එසේ සිට ගනිමින් සලාතය ඉටු කරමි.

පියවර 2: උරහිස් දෙකට සමාන්තර ව අත් දෙක ඔසවා සලාතයට ප්‍රවේශ වීම අදිටන් කර ගනිමින් ‘අල්ලාහු අක්බර්’ යැයි පවසමි.

පියවර 3: සඳහන් ව ඇති පරිදි ‘දුආ අල්-ඉස්තිෆ්තාහ්’ පවසමි. ඒ අතුරින් වදන් පෙළක් වනුයේ: සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක. (යා අල්ලාහ්, ඔබේ ප්‍රශංසාවෙන් ඔබ පිවිතුරු ය. ඔබේ නාමය සමෘද්ධිත ය. ඔබේ කීර්තිය උත්තරීතර ය. ඔබ හැර වෙනත් නැමදුම් ලැබීමට සුදුසු කිසිදු දෙවිඳෙක් නොමැත.)

පියවර 4: පලවා හරින ලද ෂෙයිතාන්ගේ නපුරෙන් මිදීමට අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමින් මෙසේ කියමි. ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ පලවා හරින ලද ෂයිතාන්ගේ උවදුරුවලින් මිදීමට අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි.

පියවර 5: සෑම රක්අතයක ම ‘ෆාතිහා’ පරිච්ඡේදය කියවමි. එනම්: 'අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්' (සියලු ප්‍රශංසා විශ්ව පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.) 'අර්-රහ්මානිර් රහීම්' (අපරිමිත දයාන්විත ය අසමසම කරුණාන්විත ය.) 'මාලිකි යව්මිද් දීන්' ( විනිශ්චය දිනයේ රජු ය.) 'ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්' (ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.) 'ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්' (අපට ඍජු මඟ පෙන්වනු මැනව!) 'සිරාතල්ලදීන අන්අම්ත අලය්හිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල් ළාල්ලීන්' (ඔබ කවරෙකුට ආශිර්වාද කළේ ද එම මාර්ගය යි. කෝපයට ලක් වූවන් හෝ මුළා වූවන්ගේ මාර්ගය නො ව.)

පසු ව 'ආමීන්' යැයි පවසමි. ඉන් අදහස් කරනුයේ අහෝ අල්ලාහ් පිළිගනු මැනව! යන්න යි.

‘ෆාතිහා’ පරිච්ඡේදයෙන් පසු සෑම සලාතයක ම පළමු හා දෙවන රකආත් වාරවල පමණක් අල් කුර්ආනයේ පහසු පාඨ කිහිපයක් පාරායනය කරමි. එය අනිවාර්ය නොවන අතර එය ඉටු කිරීමෙන් මහඟු ඵල ඇත.

පියවර 6: ‘අල්ලාහු අක්බර්’ යැයි පවසා පසු ව මාගේ පිට සමාන්තර ව පිහිටන සේ ද මාගේ දෑත් මාගේ දණහිස් දෙක මත ඇඟිලි විහිඳුවා තබමින් ද රුකූඋ කරමි. පසු ව රුකූහි ‘සුබ්හාන රබ්බියල් අළීම්’ යැයි තුන් වරක් පවසමි.

පියවර 7: ‘සමිඅල්ලාහු ලිමන් හමිදහ්’ යැයි පවසමින් මාගේ දෑත් උරහිසට සමාන්තර ව ඔසවා රුකූඃවෙහි සිට නැගිටිමි. එසේ නැගිට මාගේ ශරීරය ඍජු ව තබා ගත් විට මම ‘රබ්බනා වලකල් හම්දු’ යැයි පවසමි.

පියවර 8: ‘අල්ලාහු අක්බර් යැයි පවසා’ අත් දෙක, දණහිස් දෙක, පාද දෙක, නළල හා නාසය යන අවයව බිම පතිත කොට සුජූද් කරමි. මාගේ සුජූද්හි මම ‘සුබ්හාන රබිබියල් අඃලා’ යැයි තුන් වරක් පවසමි.

පියවර 9: ‘අල්ලාහු අක්බර්’ යැයි පවසා සුජූද් ඉරියව්වෙන් නැගිට මාගේ පිට ඍජු ව සමාන්තර ව තබමින් දකුණු කකුල ඇණ තබා වම් පාදය මත වාඩි වෙමින් ‘රබ්බිග්ෆිර්ලී’ යැයි තුන් වතාවක් පවසමි.

පියවර 10: ‘අල්ලාහු අක්බර්’ යැයි පවසා පළමුවන සුජූදය මෙන් නැවත වාරයක් මම සුජූද් කරමි.

පියවර 11: අල්ලාහු අක්බර් යැයි පවසා සුජූදයෙන් නැගිට නැවත ඍජු ව සිට ගන්නෙමි. පළමු රකආත් වාරයේ මා සිදු කළ දෑ ම සලාතයේ අනෙක් රකආත් වාරයන්හි ද ඉටු කරමි.

ලුහ්ර්, අස්ර්, මග්රිබ් හා ඉෂා සලාතයන්හි දෙවන රකආත් වාරයෙන් පසු පළමු තෂහ්හුද් කියවීම සඳහා වාඩි වෙමි. එනම්: "අත්තහිය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන් අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු." (සියලු ශුභාශිංසන අල්ලාහ් සතු ය. එමෙන් ම සියලු ආශිර්වාද හා සියලු යහපත් දෑ ද (ඔහු සතු ය). අහෝ නබිතුමණි, ඔබට අල්ලාහ්ගේ දයාව හා ඔහුගේ අභිවෘද්ධිය හිමි වේවා! එමෙන් ම අප වෙත හා අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් වෙත ද හිමි වේවා! අල්ලාහ් හැර නැමදුම් ලැබීමට වෙනත් සුදුසු කිසිදු දෙවියෙකු නොමැති බවට මම සාක්ෂි දරමි. එමෙන් ම නියත වශයෙන් ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ ධර්ම දූතයා බවට ද මම සාක්ෂි දරමි.) ඉන්පසු ව තුන්වන රකආත් වාරය සඳහා නැගිට සිටිමි.

සෑම සලාතයක ම අවසන් රකආත් වාරයෙන් පසු තෂහ්හුද් සඳහා වාඩි වෙමි. එය නම්: “අත්තහිය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන් අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්” (සියලු ශුභාශිංසන, ආශිර්වාද හා යහපත අල්ලාහ් සතු ය. අහෝ නබිවරය, ඔබට ශාන්තිය හිමි වේවා! එමෙන් ම අල්ලාහ්ගේ කරුණාවත් සමෘද්ධියත් හිමි වේවා! අප කෙරෙහිත් අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් කෙරෙහිත් අත් වේවා! අල්ලාහ් හැර නැමදුම් ලැබීමට වෙනත් සුදුසු කිසිදු දෙවියෙකු නොමැති බවට මම සාක්ෂි දරමි. එමෙන් ම නියත වශයෙන් ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ ධර්ම දූතයා බවට ද මම සාක්ෂි දරමි. අහෝ අල්ලාහ්, ඔබ ඉබ්රාහීම්තුමා හා ඉබ්රාහීම්තුමාගේ පවුලේ උදවියට ආශිර්වාද කළාක් මෙන් මුහම්මද්තුමාණන් හා මුහම්මද්තුමාණන්ගේ පවුලේ උදවියට ද ආශිර්වාද කරනු මැනව! සැබැවින් ම ඔබ ප්‍රශංසාලාභී ය. කීර්තිමත් ය. ඔබ ඉබ්රාහීම්තුමා හා ඉබ්රාහීම්තුමාගේ පවුලේ උදවියට සමෘධිය ඇති කළාක් මෙන් මුහම්මද්තුමාණන් හා මුහම්මද්තුමාණන්ගේ පවුලේ උදවියට සමෘධිය ඇති කරනු මැනව! සැබැවින් ම ඔබ ප්‍රශංසාලාභී ය. කීර්තිමත් ය.)

පියවර 12: ඉන් පසු ව සලාතයෙන් බැහැර වීමේ අදිටනින් දකුණු දෙසට හැරී ‘අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්” යැයි සලාම් පවසමි. පසු ව වම් දෙසට ද හැරී ‘අස්සලාමු අලයිකුම් වරහ්ම්මතුල්ලාහි’ යැයි නැවත සලාම් පවසමි. මේ සමඟ සලාතය ඉටු කර අවසන් කරමි.

මුස්ලිම් කාන්තාවකගේ හිජාබ් වස්ත්‍රය

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "අහෝ නබිවරය, ඔබ ඔබේ බිරියන්ටත් ඔබේ දූවරුන්ටත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ බිරියන්ටත් ඔවුන්ගේ මොට්ටැක්කිලියෙන් ඔවුන් මත (හිසේ සිට) පහළට ඇද වැටන සේ පලඳිනු යි පවසනු. එය ඔවුන් (ශිලාචාර කාන්තාවන් යැයි) හඳුනා ගනු ලබන පිණිසත් හිංසා පීඩා සිදු නොවීම පිණිසත් එය වඩාත් උචිත ය. තව ද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත ය." (අල් අහ්සාබ්: 59)

කාන්තාව පිටස්තර පිරිමීන් ඉදිරියේ හිජාබ් පැලදීමත් ඇයගේ රහස්‍ය පෙදෙස් ආවරණය කිරීමත් පිටස්තර පිරිමින්ගේ නෙතට නොගැටෙන පරිදි ඇයගේ මුළු ශරීරය ම සුපුරුදු ඇඳුමින් සැරසීමත් අල්ලාහ් අනිවාර්ය කර ඇත. තම සැමියා හා ලේ ඥාතීන් ඉදිරියේ මිස ඇය ඇගේ හිජාබය ගැලවීම ඇයට සුදුසු වන්නේ නැත. ලේ ඥාතීන් යනු කාන්තාවකට ඔවුන් සමඟ කිසිවිටෙක විවාහ වීමට සුදුසු නොවන උදවිය යි. ඔවුන් නම්: පියා සහ පිය පාර්ශ්වයේ මුතුන් මිත්තෝ, පුතා සහ පුතාගේ පරම්පරාවේ පුත්‍රයෝ, පියාගේ සහ මවගේ සහෝදරයෝ, සහෝදරයා, සහෝදරයාගේ පුතා සහ සහෝදරියගේ පුතා, මවගේ සැමියා, සැමියාගේ පියා සහ ඔහුගේ පිය පාර්ශ්වයේ මුතුන් මිත්තෝ, සැමියාගේ පුතා සහ ඔහුගේ පරම්පරාවේ පුත්‍රයෝ, කිරි සහෝදරයා සහ කිරි මවගේ සැමියා යන අය වෙති. එමෙන් ම, ලේ ඥාතී සම්බන්ධය නිසා විවාහය තහනම් වන අය, කිරි මව් සම්බන්ධය නිසා ද තහනම් වේ.

මුස්ලිම් කාන්තාව පිටස්තර පිරිමින් ඉදිරියේ පලඳින ඇගේ ඇඳුම් පැලඳුම්වල දී නිර්ණායක කිහිපයක් සැලකිල්ලට ගන්නීය.

පළමු ව: ශරීරය සම්පූර්ණයෙන් ම ආවරණය වීම.

දෙවැන්න: පිටස්තර පිරිමින් ඉදිරියේ සිටින විට ඇය ඇඳ පැලඳ ගන්නා දෑ අලංකාරය ඉස්මතු කරන්නක් නොවිය යුතු යි.

තුන්වැන්න: ඇගේ ශරීරය හෙළි කරන විනිවිද පෙනෙන්නක් නොවිය යුතු යි.

සිව්වැන්න: ඇගේ ශරීර කොටස් විස්තර කරන තරමට හිර නැති සැහැල්ලු ඇඳුමක් විය යුතු යි.

පස්වැන්න: පිටස්තර පිරිමින්ට ඇයගේ සුවඳ විලවුන් සුවඳ දැනෙන අවස්ථාවක ඇය ඔවුන් අසලින් ගමන් කරන්නී නම්, සුවඳ විලවුන් ගල්වා නොතිබිය යුතු යි.

සයවැන්න: පිරිමියාගේ ඇඳුමට සමාන නොවිය යුතු යි.

සත්වැන්න: මුස්ලිම් නොවන කාන්තාවන් ඔවුන්ගේ උත්සවවල දී හා නැමදුම්වල දී අදින පලඳින ඇඳුමට සමාන නොවිය යුතු යි.

අටවැන්න: ප්‍රසිද්ධිය උදෙසා අඳින ඇඳුමක් නොවිය යුතු යි.

මුඃමින් හෙවත් දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තබන්නාගේ ඇතැම් ගුණාංග.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නන් වනාහි අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තිගැස්සෙයි. තව ද ඔවුන් වෙත ඔහුගේ වදන් පාරායනය කරනු ලැබූ විට එය ඔවුනට දේවත්වය කෙරෙහි විශ්වාසය වර්ධනය කරවයි. තව ද ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුහු (සියල්ල) භාර කරති." (අල් අන්ෆාල්: 2)

කතාවෙහි සත්‍යවාදියෙකි. බොරු නොකියයි.

ගිවිසුම හා පොරොන්දුව ඉටු කරයි.

තර්කයෙහි සීමාව ඉක්මවා කටයුතු නොකරයි.

වගකීම් ඉටු කරයි.

තමන් ප්‍රිය කරන දේ තම සහෝදර මුස්ලිම්වරයාට ද හිමි විය යුතු යැයි ප්‍රිය කරයි.

ත්‍යාගශීලී ය.

මිනිසුන් වෙත යහපත් අයුරින් කටයුතු කරයි.

ඥාති සම්බන්ධතා රකියි.

අල්ලාහ්ගේ නියමය පිළිගෙන ප්‍රීතිමත් අවස්ථාවේ දී ඔහුට කෘතඥ වී, දුෂ්කර අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කරයි.

ලැජ්ජාවෙන් සංලක්ෂිත වෙයි.

මැවීම්වලට කරුණාව දක්වයි.

ඔහුගේ හදවත ක්‍රෝධයෙන් ආරක්ෂිත ය. ඔහුගේ අවයව අනෙක් අයට හිංසා පීඩා ගෙන දීමෙන් ආරක්ෂිත ය.

මිනිසුන්ට සමාව දෙයි.

පොළිය අනුභව නොකරන අතර ම ඒ සමඟ බැඳුණු දෑ හා ගනුදෙනු නොකරයි.

කාම අපචාරයේ නොයෙදයි.

මත්පැන් පානය නොකරයි.

තම අසල්වැසියන් සමග සුහදශීලී ව කටයුතු කරයි.

අපරාධ නොකරයි. වංචා නොකරයි.

සොරකම් නොකරයි. කූටකම් නොකරයි.

තම දෙමව්පියන් මුස්ලිම් නොවුව ද ඔවුනට උවටැන් කරයි. යහපත් කටයුතුවල දී ඔවුනට අවනත වෙයි.

තම දරුවන් විශිෂ්ට අයුරින් හදාවඩා ගනියි. ආගමික වගකීම් ඉටු කරන මෙන් ඔවුනට නියෝග කරයි. ඉතා පහත් හා තහනම් දැයින් ඔහු ඔවුන් වළක්වාලයි.

මුස්ලිම් නොවන අයට ආවේණික වූ විශේෂිත වූ ඔවුන්ගේ ආගමික ලක්ෂණ හෝ සිරිත් විරිත් ඔහු අනුකරණය නොකරයි.

- අල්ලාහ් වෙතට යොමු වෙයි. තම අඩුපාඩු හා පාපයන් සඳහා ඔහුගෙන් පාපක්ෂමාව අයැද සිටියි.

මුස්ලිම්වරයාගේ විශ්වාස පද්ධතිය හා බැඳි වැදගත් මූලධර්ම

අල්ලාහ් අපගේ පරිපාලකයා ය. ඔහු හැර නැමදුම් ලැබීමට තවත් සුදුස්සෙක් නොමැත. ඔහු හැර වෙනත් පරිපාලකයෙක් ද, ඔහු හැර නැමදුම් ලැබීමට වෙනත් සුදුස්සෙක් ද නැත. ඔහුට සමාන කිසිවක් නැත. කිසිවකට ඔහු ව අසමත් කළ නොහැක. ඔහු සර්ව ශ්‍රාවක ය, සර්ව දෘෂ්ටික ය.

සර්ව බලධාරී අල්ලාහ් ඔහුගේ සියලු මැවීම්වලට ඉහළින් අහසෙහි සිටියි. ඔහු ඔවුන්ගෙන් වෙන් වී සිටියි. ඔහුගේ උත්තරීතරභාවය සෑම අතින් ම පරම වේ. එනම් පැවැත්මෙන් උත්තරීතර ය, බලයෙන් උත්තරීතර ය, සහ ආධිපත්‍යයෙන් උත්තරීතර ය. තව ද සර්ව බලධාරී ඔහු සියල්ල වටකර සිටියි.

03. උත්තරීතර අල්ලාහ් තමන් ගැන හෝ උතුමාණන්ගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උතුමාණන් ගැන තහවුරු කළ නාමයන් සහ ගුණාංගයන් අපි තහවුරු කරන්නෙමු. තව ද අල්ලාහ් තමන් ගැන හෝ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උතුමාණන් ගැන ප්‍රතික්ෂේප කළ දෑ අපි ප්‍රතික්ෂේප කරන්නෙමු.

04 උත්තරීතර අල්ලාහ් ප්‍රාර්ථනාවන් පිළිගනියි, අවශ්‍යතාවයන් ඉටු කරයි, තව ද සියල්ල හිමි කරගෙන සිටී. ඔහු හැර වෙන කිසිවෙක් හානියක් හෝ සෙතක් හෝ නොසලසයි. ගැත්තාට ඇසිපිය හෙළන මොහොතකටවත් ඔහුගෙන් තොර පැවැත්මක් නොමැත. මුස්ලිම්වරයෙකුට ප්‍රාර්ථනාව, සලාතය, භාරහාර, සත්ව කැපයන්, බිය, බලාපොරොත්තුව, භාර කිරීම වැනි බාහිර හෝ අභ්‍යන්තර නැමදුම් අතුරින් කවර හෝ වර්ගයක් උත්තරීතර අල්ලාහ්ගෙන් හැර වෙනත් අයෙකු වෙත යොමු කිරීම අනුමත නොවේ. කවරෙක් හෝ යම් නැමදුමක් උත්තරීතර අල්ලාහ්ගෙන් හැර වෙනත් අයෙකු වෙත යොමු කරන්නේ ද, ඔහු අල්ලාහ්ට ආදේශ කරන්නෙකි.

05 පාපකම් අතුරින් බරපතළ ම හා අතිමහත් පාපය අල්ලාහ්ට ආදේශ කිරීම ය. කවුරුන් හෝ ෂිර්ක් කළ තත්ත්වයේ මිය යන්නේ ද, සැබැවින්ම අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කර ඇත; ඔහුගේ නවාතැන නිරය යි. එය, ගැත්තා එයින් තව්බා නොකර ඒ මත මිය ගියහොත් අල්ලාහ් සමාව නොදෙන පාපයකි.

06 ගැත්තාට වැරදුණු දෙය ඔහුට හිමි වීමට නියමිත ව නොතිබූ අතර, ඔහුට හිමි වූ දෙය ඔහුට වැරදීමට නියමිත ව නොතිබුණි. මුස්ලිම්වරයා අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ පෙර නියමය විශ්වාස කළ යුතු ය. තව ද සර්වබලධාරී අල්ලාහ්ගේ නියමයන් පිළිබඳ ව තෘප්තිමත් වී, සෑම තත්ත්වයක දී ම තම පරමාධිපතියාණන්ට ප්‍රශංසා කර, උතුමාණන්ට ස්තූති කළ යුතු ය.

07 අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මනුෂ්‍ය වර්ගයා අතුරින් ශ්‍රේෂ්ඨතමයාණෝය; තවද නබිවරුන් අතුරින් අවසාන නබිවරයා ය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී එතුමාණෝ අල්ලාහ් විසින් පිළිගනු ලබන මැදිහත්කරු ය. අල්ලාහ් ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ව මිතුරෙකු ලෙස තෝරා ගත්තා සේ ම මහිමාන්විත අල්ලාහ් මෙතුමාණන් ව ද මිතුරෙකු ලෙස තෝරා ගත්තේය.

10. අපගේ පුස්තකය වනාහි ප්‍රාතිහාර්යයකි; සත්‍යතාවය සහතික කරන ලද, පාරායනය කිරීම නැමදුමක් ලෙස සැලකෙන ශුද්ධ වූ අල් කුර්ආනය යි. එය උත්තරීතර අල්ලාහ් විසින් මලක්වරුන්ගෙන් ශ්‍රේෂ්ඨතම වූ සුරදූත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාගේ මාර්ගයෙන් අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරන ලද්දකි. සුවිශුද්වන්ත අල්ලාහ් ප්‍රකාශ කළ පරිදි, සර්වබලධාරී උත්තරීතර විසින් ම එය විකෘති කිරීමෙන් හා වෙනස් කිරීමෙන් ආරක්ෂා කර ඇත. "නියත වශයෙන් ම අප ම ය මෙම මෙනෙහි කිරීම (අල් කුර්ආනය) පහළ කළේ. තව ද නියත වශයෙන් ම අපි එයට ආරක්ෂකයෝ වෙමු." (අල් හිජ්ර්: 9)

11- අල්ලාහ්ට වඩාත් ම සමීප වන්නේ ඔහුට වඩාත් ම අවනත වන සහ ඔහුගේ ධර්මය වඩාත් අනුගමනය කරන අය යි. අරාබි නොවන අයෙකුට වඩා අරාබි ජාතිකයෙකුට හෝ, අරාබි ජාතිකයෙකුට වඩා අරාබි නොවන ජාතිකයෙකුට හෝ, කළු ජාතිකයෙකුට වඩා සුදු ජාතිකයෙකුට හෝ, සුදු ජාතිකයෙකුට වඩා කළු ජාතිකයෙකුට හෝ තක්වාව හෙවත් දෙවිඳාණන් කෙරෙහි වූ භක්තියේ පදනම අනුව මිස කිසිදු උසස්කමක් නැත. මිනිස්සු ආදම්ගෙන් පැවත එන්නෝ ය; ආදම් පසින් මවනු ලැබීය. සුවිශුද්ධයාණන් මෙසේ පවසා ඇත. "නියත වශයෙන් ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතුරින් වඩාත් බියබැතිමත් වූවන් ය." (අල් හුජුරාත්: 13)

12- මුස්ලිම්වරයෙක් ගෞරවනීය ලේඛක මලාඉකාවරුන් ව විශ්වාස කරයි. එමෙන් ම ඔවුන්ගේ පැවැත්ම ගැන ද, ඔවුන් සර්ව බලධාරී අල්ලාහ් විසින් ආලෝකයෙන් මවන ලද ගැති මැවීම් බව ද විශ්වාස කරයි. ඔවුහු සර්ව බලධාරී අල්ලාහ් විසින් මවන ලද මැව්ම් අතුරින් එක් මැවීමක් වෙති. ඔවුන් අතුරින්, වහී සඳහා වගකීම පැවරුණු ජිබ්රීල් (අලයිහිස් සලාම්) ද, වර්ෂාව සඳහා වගකීම පැවරුණු මීකාඉල් (අලයිහිස් සලාම්) ද, සූර් නම් හොරණෑව පිඹීම සඳහා වගකීම පැවරුණු ඉස්රාෆීල් (අලයිහිස් සලාම්) ද, ගැති මැවීම්වල ප්‍රාණය අත්පත් කර ගැනීම සඳහා වගකීම පැවරුණු මලක් අල් මවුත් (අලයිහිස් සලාම්) ද වෙති.

13- මුස්ලිම්වරයා අවසන් හෝරාවේ සලකුණු ද, මසීහ් අද්-දජ්ජාල්ගේ පැමිණීම ද, අවසන් කාලයේ මර්යම්ගේ පුත් ඊසා (අලෙයිහිස් සලාම්) තුමා අහසින් පහළ වීම ද, බටහිරින් සූර්යයා උදා වීම ද විශ්වාස කරයි.

14- දඬුවමට සුදුස්සන් හට මිනීවළෙහි දඬුවම ද, සැපත ලබන්නට සුදුස්සන් හට මිනීවළෙහි සැපත ද පවතින බවත්, ඔහුගේ මිනීවළෙහි දී මුන්කර් සහ නකීර් විසින් ඔහුගේ පරමාධිපති, ඔහුගේ දහම සහ ඔහුගේ නබිවරයා ගැන ප්‍රශ්න කරනු ලබන බවත්, මිනීවළ ස්වර්ග උයන්වලින් එක් උයනක් හෝ ගිනි ආගාධයන්ගෙන් ගිනි ආගාධයක් වන බවත් මුස්ලිම්වරයා විශ්වාස කරයි.

15- විනිශ්චය දිනයේ දී යළි අවදිවීම සහ ක්‍රියාවන් සඳහා විපාක දීම පිළිබඳ ව ද, ස්වර්ගය හා නිරය මවා ඇති බව ද, ඒවා කිසිදා විනාශ නොවන බව ද විශ්වාස කිරීම.

16- හූනියම යනු අල්ලාහ් ව ප්‍රතික්ෂේප කිරීමකි. එය ඉගෙනීම හෝ හූනියම්කරුවන් හා වංචනිකයින් වෙත යාම හෝ අනුමත නොවන්නේය. මුස්ලිම්වරයෙක් ජ්‍යෝතිෂ්‍යවේදියෙකු හෝ සාස්තරකරුවෙකු හෝ සත්‍ය කරමින් සහතික නොකළ යුතු ය. කවරෙක් ඔවුන් දෙදෙනා ව සත්‍ය යැයි පිළිගන්නේ ද සැබැවින් ම ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ දෑ ප්‍රතික්ෂේප කළේය.

17 - මුස්ලිම්වරයා, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සහාබාවරුන්ට ආදරය කරයි. ඔවුන්ට ආදරය කරන්නන්ටත් ආදරය කරන අතර, ඔවුන් සමඟ උරණ වන්නන් සමග ද උරණ වෙයි. මන්ද, ඔවුන්ට ආදරය කිරීම ආගමික භක්තියක් හා යහපත්කමක් වන අතර, ඔවුන් සමග උරණ වීම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමක් හා කුහකකමකි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: (මාගේ සහාබාවරුන්ට අපහාස නොකරන්න) (මූලාශ්‍ර ග්‍රන්ථය: මුස්ලිම්). සහාබාවරුන්ගෙන් කෙනෙකුට අපහාස කරන හෝ අවමන් කරන කවරෙකු වුව ද, ඔහු මංමුළා වූ බිද්අත්කරුවෙකි.

16- මුස්ලිම්වරයෙකු, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් පසු ව පැවති කලීෆා පදවිය, සමස්ත ප්‍රජාවට ම ශ්‍රේෂ්ඨත්වය හා ප්‍රමුඛත්වය ලබා දෙමින් පළමු ව අබු බකර් අස්-සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා හට ද, ඉන්පසු උමර් ඉබ්න් අල්-කඃත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා හට ද, ඉන්පසු උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා හට ද, ඉන්පසු අලි ඉබ්න් අබි තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා හට ද හිමි වන බව තහවුරු කරයි. ඔවුහු නිවැරදි මඟ පෙන්වන ලද කලීෆාවරු සහ යහමග ලැබූ නායකයෝ වෙති.

17- නැමදුම් හා වත්පිළිවෙත් (ඉබාදත්) යනු නියම කරන ලද දේවල් වේ. එබැවින්, අල්ලාහ්ගේ ග්‍රන්ථයේ (අල්-කුරානයේ) හෝ ඔහුගේ දූතයාණන්ගේ ﷺ සුන්නාහ්වෙහි (මගපෙන්වීමෙහි) තහවුරු වී ඇත්නම් මිස, කිසිදු වත්පිළිවෙතකින් අල්ලාහ්ට නමස්කාර කිරීම අනුමත නොවේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ අභාවයෙන් පසු, එතුමාණන්ගේ මඟපෙන්වීමට පටහැනි ව මිනිසුන් විසින් අලුතින් ඇති කරනු ලබන සෑම වත්පිළිවෙතක් ම ප්‍රතික්ෂේප කළ යුතු 'බිද්අතයකි' (දහමට දහමේ නමින් ඇති කළ අලුත් දෙයකි). නබිතුමාණෝ මෙසේ පැවසූහ: "අපගේ මෙම (දහම පිළිබඳ) කරුණෙහි එයට අයත් නොවන අලුත් යමක් කවරෙක් හෝ ඇති කරන්නේ නම්, එය ප්‍රතික්ෂේප කරනු ලැබේ." (මූලාශ්‍රය: බුහාරි)

18- නැමදුමක් පිළිගනු ලැබීම මූලික කුලුනු දෙකක් මත රඳා පවතී. එනම්, නැමදුමෙහි දී අල්ලාහ් වෙනුවෙන් ඉහ්ලාස් හෙවත් චිත්තපාරිශුද්ධිය ඇතිකර ගැනීම සහ එහි දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව අනුගමනය කිරීම යි. එබැවින්, නැමදුමක් අල්ලාහ්ට අවංක ව සිදු නොකළේ නම් එය පිළිගනු නොලැබේ. එලෙස ම එය අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මඟපෙන්වීමට අනුව නොවේ නම් ද පිළිගනු නොලැබේ.

මාගේ සතුට මාගේ ඉස්ලාම් දහම තුළ ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තව ද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු." (අන් නහ්ල්: 97)

ජීවත් ව සිටින අයෙකුගේ හෝ මියගිය අයෙකුගේ හෝ පිළිමයක හෝ කිසිදු මැදිහත්කරුවෙකු පත් කිරීමක් නොමැති ව මුස්ලිම්වරයෙකු තම ස්වාමියා (අල්ලාහ්) සමඟ සෘජු ව ම සම්බන්ධ වීම, ඔහුගේ හදවතට සතුට, සහනය සහ ප්‍රීතිය ගෙන දෙන ශ්‍රේෂ්ඨතම කරුණකි. උත්තරීතර අල්ලාහ් තම ශුද්ධ වූ ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත්තේ තමා සැමවිට ම තම ගැත්තන්ට සමීප ව සිටින බවත්, ඔවුන්ට සවන් දෙන බවත්, ඔවුන්ගේ ප්‍රාර්ථනාවන්ට (දුආ) පිළිතුරු දෙන බවත් ය. ඒ බව සුවිශුද්ධයාණෝ මෙසේ පවසන සේක: "තව ද මාගේ ගැත්තන් මා ගැන නුඹෙන් විමසූ විට සැබැවින් ම මම සමීපත ය. යදින්නා මගෙන් කන්නලව්ව කළහොත්, ඔහුගේ කන්නලව්වට මම පිළිතුරු දෙමි. එබැවින් ඔවුන් මගෙන් පිළිතුරු පැතිය යුතු යි; තව ද මා කෙරෙහි ම විශ්වාසය තැබිය යුතු යි. එමඟින් ඔවුන් යහමඟ ලබන්නට හැකි වනු ඇත." (අල් බකරා: 186) සුවිශුද්ධයාණන් ඔහුගෙන් ප්‍රාර්ථනා කරන මෙන් අපට නියෝග කර ඇත. මුස්ලිම්වරයා තම පරමාධිපතිට සමීප වන නැමදුම් අතර ඉතා වැදගත් කරුණක් බවට ඔහු මෙකී ප්‍රාර්ථනා කිරීම පත් කර ඇත. කීර්තිමත් අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. "තව ද නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව)ට පිළිතුරු දෙමි. නියත වශයෙන් ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත යැයි නුඹලාගේ පරමාධිපති පවසයි." [ගාෆිර්: 60] දැහැමි මුස්ලිම්වරයා නිතර අල්ලාහ්ගේ අවශ්‍යතාවයෙන් පෙළෙයි. ඔහු ඉදිරියේ නිතර ප්‍රාර්ථනා කරයි. දැහැමි නැමදුම් මඟින් උතුමාණන්ට සමීප වෙයි.

උත්තරීතර අල්ලාහ් අප ව මෙම විශ්වය තුළ නිර්මාණය කර ඇත්තේ ශ්‍රේෂ්ඨ වූ අරමුණක් (ප්‍රඥාවක්) ඇති ව ය; ඔහු අප ව නිරර්ථක ලෙස නිර්මාණය කළේ නැත. එම අරමුණ නම්, ඔහුට කිසිවෙකු සමාන නොකොට ඔහුට පමණක් නැමදීම ය. තව ද ඔහු අපගේ පෞද්ගලික හා පොදු ජීවිතයේ සියලු කරුණු විධිමත් කිරීම සඳහා පරිපූර්ණ දේවධර්මයක් (දීන්) අප වෙත පනවා ඇත. මෙම සාධාරණ වූ ධාර්මික පිළිවෙත (ෂරීආව) මඟින් මිනිස් ජීවිතයේ අත්‍යවශ්‍ය මූලිකාංග පහක් ආරක්ෂා කර ඇත. එනම්: අපගේ දහම, ජීවිතය, ගෞරවය, බුද්ධිය සහ දේපළ යි. කවරෙක් හෝ ආගමික නියෝගයන් පිළිපදිමින් සහ තහනම් දේවලින් වැළකී ජීවත් වන්නේද, ඔහු මෙම අත්‍යවශ්‍ය කරුණු ආරක්ෂා කරගත් අයෙකු වන අතර, ඔහු තම ජීවිතය තුළ නිසැක ව ම සතුටින් හා සැනසීමෙන් ජීවත් වනු ඇත.

මුස්ලිම්වරයකු තම පරමාධිපති සමඟ ඇති ඔහුගේ බැඳීම ඉතා ගැඹුරු අතර එය සාමය සහ මානසික සැනසීම, නිශ්චලබව, ආරක්ෂාව සහ සතුට පිළිබඳ හැඟීමක් සහ පරමාධිපති තමන් සමග සිටින බව ඔහු තමන් ආරක්ෂා කරන බව හා ඔහුගේ විශ්වාසවන්තයාගේ භාරකාරත්වය ඔහු දරන බව හැඟීමක් ඇති කරන්නේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය කරා බැහැර කරන්නේය." (අල් බකරා: 257)

මෙම ශ්‍රේෂ්ඨ සබඳතාවය යනු, කරුණාවන්තයාණන්ගේ වත්පිළිවෙත් තුළින් ආස්වාදයක් ලැබීමටත්, ඔහු හමුවීමේ දැඩි ආශාව ඇති කිරීමටත් හේතු වන්නා වූ ආධ්‍යාත්මික හැඟීමකි. තව ද, ඊමාන් හෙවත් විශ්වාසයේ මිහිරිබව අත්විඳීම තුළින් එය එම තැනැත්තාගේ හදවත පරමානන්දයේ අහස වෙත පියාසර කරවයි.

එම මිහිරිබවේ ඇති ආශ්වාදය, යහක්‍රියාවල නිරත වීමෙන් සහ අයහපත් ක්‍රියාවලින් වැළකී සිටීමෙන් එය අත්විඳි අයෙකුට මිස වෙනත් අයෙකුට විස්තර කළ නොහැක. ඒ පිළිබඳ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පවසයි: "අල්ලාහ් ව (තම එක ම) දෙවිඳාණන් ලෙස ද, ඉස්ලාමය (තම) දහම ලෙස ද, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් (තම) දූතයාණන් ලෙස ද සිතින් එකඟ ව පිළිගත් තැනැත්තා, විශ්වාසය හෙවත් ඊමානයේ රසය සැබවින්ම අත්විඳ ඇත." මෙය මුස්ලිම්තුමා විසින් වාර්තා කර ඇත.

ඔව්, යම් පුද්ගලයෙකුට තම මැවුම්කරුවා ඉදිරියේ තම ස්ථිර පැවැත්ම දැනෙනවා නම්, ඔහුගේ අලංකාර නාම සහ ගුණාංග තුළින් ඔහු ව හඳුනන්නේ නම්, ඔහු බලා සිටියි යන හැඟීමෙන් යුතු ව ඔහුට නමස්කාර කරන්නේ නම්, ඔහු අල්ලාහ්ට නැමදුම් ඉටු කිරීමෙහි අවංක නම් එමඟින් සර්වබලධාරි අල්ලාහ් ව හැර වෙනත් කිසිවක් අපේක්ෂා නොකළේ නම්, ඔහු මෙලොව යහපත් හා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන අතර මතුලොවෙහි ප්‍රතිඵල ද යහපත් වනු ඇත.

ලොවෙහි මුඃමින්වරයෙකුට මුහුණ දීමට සිදු වන විපත් පවා, (අල්ලාහ් කෙරෙහි ඇති) ස්ථිර විශ්වාසය සහ අල්ලාහ්ගේ තීරණයන් කෙරෙහි ඇති තෘප්තිමත්භාවය නමැති සිසිලසෙන් නිවී යයි. එමෙන් ම උත්තරීතර අල්ලාහ්ගේ සියලු තීරණයන් කෙරෙහි—එය යහපතක් වුව ද අයහපතක් වුව ද— ඔහුට ප්‍රශංසා කිරීම සහ ඒ පිළිබඳ පූර්ණ තෘප්තියෙන් පසුවීම තුළින් එම විපත්වල වේදනාව පහ ව යයි.

තම සතුට හා සන්සුන්භාවය වැඩි කර ගැනීම සඳහා මුස්ලිම්වරයා උනන්දු විය යුතු ය. ඒ අතර උත්තරීතර අල්ලාහ් ව නිතර නිතර සිහිපත් කිරීම හා අල් කුර්ආනය අධික ව පාරායනය කිරීම ද ඇතුළත් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "ඔවුහු වනාහි දේවත්වය විශ්වාස කළෝය. තව ද ඔවුන්ගේ හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වනු ඇත. දැන ගනු! අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හදවත් සැනසුමට පත් වනු ඇත." (අර් රඃද්: 28) අල්ලාහ් ව මෙනෙහි කිරීම හා අල් කුර්ආනය පාරායනය කිරීම මුස්ලිම්වරයකු වැඩි කරගත් කල්හි උත්තරීතර අල්ලාහ් සමඟ තිබෙන ඔහුගේ සම්බන්ධතාවය වර්ධනය වනු ඇත. ඔහුගේ ආත්මය පිරිසිදු වනු ඇත. ඔහුගේ විශ්වාසය ශක්තිමත් වනු ඇත.

එසේ ම, මුස්ලිම්වරයා පැහැදිලි සාධක පදනම් කර ගනිමින් සර්වබලධාරි අල්ලාහ්ට නැමදුම් කිරීම සඳහා නිවැරදි මූලාශ්‍රවලින් තම දහම ඉගෙන ගැනීමටත් උනන්දු විය යුතු ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. “දැනුම සෙවීම සෑම මුස්ලිම්වරයකුහට ම අනිවාර්ය වේ.” ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත, මිනිසා ව මැවූ සර්වබලධාරි අල්ලාහ්ගේ ආඥාවලට - තමා ඒ පිළිබඳ ප්‍රඥාව දැන සිටියත් නැතත්- ඔහුට අවනත වී යටත් විය යුතු ය. සර්වබලධාරී ඔහු සිය උතුම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් කළේය. "තව ද අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් යම් කරුණක් තීන්දු කළ විට ඔවුන්ගේ කරුණ පිළිබඳ ඔවුන්ගේ කැමැත්ත අනුව ක්‍රියා කිරීම දේවත්වය විශ්වාස කරන්නෙකුට හෝ කරන්නියකට හෝ සුදුසු නොවීය. තව ද කවරෙක් අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්ට පිටුපාන්නේ ද එවිට සැබැවින් ම ඔහු ප්‍රකට මුළාවකින් මුළා විය." (අල් අහ්සාබ්: 36)

අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ ඥාතීන් හා එතුමාණන්ගේ හිත මිතුරන් සැම දෙනාටත් අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!