දේව දූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සංක්ෂිප්ත චරිතාපදානය
සැකසුම පෙරවදන අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි. සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම හිමි ය. ශාන්තිය හා සමාදානය ඒකීය දෙවිඳාණන්ගේ අවසන් දූත නබි මුහම්මද්තුමාණන්ට අත් වේවා! මෙය වක්තෘවරුන් හා ධර්ම දූතවරුන්ගේ නායකයා, වක්තෘවරුන්ගේ මුද්‍රාව සහ ආදම්ගේ සියලු දරුවන්ගේ නායකයා වන දේව දූත මුහම්මද්තුමාණන්ගේ කෙටි චරිතාපදානයකි. එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පරිපූර්ණ පරමාදර්ශය යි; අලංකාර ආදර්ශය යි. එතුමාණන්ට සම කළ හැකි කිසිදු ශ්‍රේෂ්ඨයෙකු ලොව දැක නොමැත. සැබැවින් ම එතුමාණන්ගේ ගතිගුණ අල් කුර්ආනය ම විය. විශ්වාසවන්තයින්ගේ මව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගතිගුණ…
These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.
දේව දූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සංක්ෂිප්ත චරිතාපදානය
සැකසුම
විවිධ භාෂා සඳහා වූ ඉස්ලාමීය අන්තර්ගත තොරතුරු පිළිබඳ සේවා සංගමයේ අධ්‍යයන කමිටුව
පෙරවදන
අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි. සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම හිමි ය. ශාන්තිය හා සමාදානය ඒකීය දෙවිඳාණන්ගේ අවසන් දූත නබි මුහම්මද්තුමාණන්ට අත් වේවා!
මෙය වක්තෘවරුන් හා ධර්ම දූතවරුන්ගේ නායකයා, වක්තෘවරුන්ගේ මුද්‍රාව සහ ආදම්ගේ සියලු දරුවන්ගේ නායකයා වන දේව දූත මුහම්මද්තුමාණන්ගේ කෙටි චරිතාපදානයකි. එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පරිපූර්ණ පරමාදර්ශය යි; අලංකාර ආදර්ශය යි. එතුමාණන්ට සම කළ හැකි කිසිදු ශ්‍රේෂ්ඨයෙකු ලොව දැක නොමැත. සැබැවින් ම එතුමාණන්ගේ ගතිගුණ අල් කුර්ආනය ම විය. විශ්වාසවන්තයින්ගේ මව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගතිගුණ පිළිබඳව විමසනු ලැබූ විට, ඇය මෙසේ පැවසුවාය: "ඔබ අල් කුර්ආනය කියවා නැද්දැ?" මම එසේ ය යැයි පිළිතුරු දුනිමි. එවිට එතුමිය: “අල්ලාහ්ගේ නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ චරිතය අල් කුර්ආනය යි” යනුවෙන් පැවසුවාය. (මූලාශ්‍ර ග්‍රන්ථය: මුස්ලිම්) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. තව ද නියත වශයෙන් ම ඔබ අතිඋතුම් ගතිගුණ මත සිටින්නෙහිය. (අල් කලම්: 4)
අපි එතුමාණන්ගේ සුගන්ධවත් චරිතාපදානය කියවන්නේ එයින් ආදර්ශ සහ පාඩම් ලබා ගැනීමට ය. මන්දයත්, විශ්වාසය, ක්‍රියාවන් සහ ප්රකාශයන්හි දී අප අනුගමනය කරන අපගේ නායකයා එතුමාණන් වන බැවිනි. එසේ කරනුයේ උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයට අවනත වෙමිනි: අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කරන උදවියට සැබැවින් ම අල්ලාහ්ගේ දූතයාණන් කෙරෙහි අලංකාර ආදර්ශයක් විය. සූරා අල්අහ්zසාබ් 33:21
අපි මෙම ජීවිත කථාව වැඩිහිටියන්ට ගැළපෙන සහ කුඩා දරුවන්ට ඉගැන්වීම සඳහා සුදුසු වන පරිදි සරල සහ පහසු ශෛලියකින් රචනා කර ඇත්තෙමු. ජීවිත කථාවේ සිදුවීම් සහ එහි ප්‍රයෝජන ඒකාබද්ධ කරමින් මෙය විස්තරාත්මක ශෛලියකින් ඉදිරිපත් කර ඇති අතර, පහසුවෙන් අවබෝධ කර ගැනීමට සහ ග්‍රහණය කර ගැනීමට හැකි වන පරිදි පිළිවෙළකට සකස් කළ පාඩම් මාලාවක් ලෙස ද අපි මෙය සකස් කළෙමු.
මෙහි දී අපි චරිතාපදානයේ සියලු තොරතුරු සම්පූර්ණයෙන් ගවේෂණය කිරීමකින් තොර ව, එහි මූලික කරුණු සහ ඉතා වැදගත් සිදුවීම් කෙරෙහි අවධානය යොමු කර ඇත්තෙමු. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ උපතින් ආරම්භ වී එතුමාණන්ගේ අභාවය දක්වා විහිදී යයි.
මෙමඟින් ප්‍රයෝජන සලසා දෙන මෙන් ද මෙය පිළිගන්නා මෙන් ද අපට හා ඔබට සමාව ලබා දෙන මෙන් ද අතිශ්‍රේෂ්ඨ අල්ලාහ්ගෙන් අපි අයැද සිටිමු.
පළමු පාඩම: දේව පණිවිඩවල අරමුණු:
සියලුම දිව්‍යමය පණිවිඩවලට පොදු වූ ශ්‍රේෂ්ඨ පරමාර්ථ ඇත; ඒවා පහත පරිදි සාරාංශගත කළ හැක:
පළමුවැන්න: අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීමට ද, ඔහු හැර සෙසු සියල්ලට නැමදුම් කිරීම අත්හැරීමට ද ජනයාට ආරාධනා කිරීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: ‘තව ද නියත වශයෙන් ම මා හැර වෙනත් දෙවියක් නොමැත. එහෙයින් නුඹලා මට ම නමදිනු’ යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස ඔබට පෙර කිසිදු ධර්ම දූතයෙකු අපි නොඑව්වෙමු. (සූරා අල් අන්බියා: 25)
දෙවැන්න: දේවත්ව ප්රතික්ෂේපය හා ආදේශ කිරීම යන අන්ධකාරයන්ගෙන් දේවත්ව ඒකීයත්වය යන ආලෝකය වෙත ජනයා යොමු කිරීම. මහිමාන්විත අල්ලාහ් මෙසේ පවසයි: විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්වලින් ආලෝකය කරා යොමු කරන්නේය. තව ද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන්ගේ භාරකරුවෝ නපුරු බලවේග වෙති. ඔවුහු ඔවුන් ව ආලෝකයෙන් අන්ධකාරයන් කරා යොමු කරන්නෝය. ඔවුහු නිරයේ සගයෝ ය. ඔවුහු එහි සදාතනිකයෝ ය. (සූරා අල්-බකරා: 257) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. අල්ලාහ් සිය තෘප්තිය අත් කරගන්නන්නට, එමඟින් ශාන්තියේ මාවත් දෙසට මඟ පෙන්වනු ඇත. ඔහුගේ අනුහසින් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත ඔවුන් ව ඔහු යොමු කරනු ඇත. තව ද ඍජු මාර්ගය වෙත ඔහු ඔවුන්ට මඟ පෙන්වනු ඇත. (සූරා අල්-මාඉදා: 16)
තුන්වැන්න: අල්ලාහ් ව හැර දමා, මැවීම් එකිනෙකා ව පරමාධිපතීන් ලෙස නොගත යුතු බව යි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: ‘අහෝ දහම් ලත් ජනයිනි, අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නොනමදිමු. ඔහුට කිසිවක් ආදේශ නොතබමු. අල්ලාහ්ගෙන් තොර ව අප අතුරින් ඇතැමෙක් ඇතැමෙකු ව දෙවියන් ලෙස නොගත යුතු ය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු’ යැයි (නබිවරය,) පවසනු. එවිට ඔවුහු පිටුපෑවෙහු නම් ‘සැබැවින් ම අපි අවනත වූවන් බවට නුඹලා සාක්ෂි දරනු’ යැයි පවසනු. (සූරා ආලු ඉම්රාන්: 64) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. තව ද නුඹලා මලක්වරුන් ව හා නබිවරුන් ව දෙවිවරුන් ලෙස ගැනීමට ඔහු නුඹලාට නියෝග නොකරයි. නුඹලා මුස්ලිම්වරුන් බවට පත් වූ පසු දේවත්ව ප්රතික්ෂේපය ඔහු නුඹලාට අණ කරනු ඇත් ද? (සූරා ආලු ඉම්රාන් :80)
සිව්වැන්න: තාගූත් (අල්ලාහ්ගේ සීමා කඩ කර ඔහුට පිටුපාන නපුරු බලවේග) ප්‍රතික්ෂේප කිරීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: එබැවින් කවරෙක් නපුරු බලවේග ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද එවිට ඔහු ශක්තිමත් රැහැනක් අල්ලා ගත්තේය. එයට විසන්ධි වීමක් නොමැත. තව ද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය. (සූරතුල් බකරා :256) එබැවින් අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු සියලු දෑ ව්‍යාජ ලෙස නැමදුම් ලබන දෑ බව මුස්ලිම්වරයෙකු විශ්වාස කළ යුතු ය.
පස්වැන්න: ෂිර්කයෙන් හා එහි නිරතවන ආදේශ තබන්නන්ගෙන් නිදහස් වීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: ඉබ්රාහීම් හා ඔහු සමඟ වූවන් තුළ අලංකාර ආදර්ශ සැබැවින් ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට ‘නියත වශයෙන් ම අපි නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දැයින් ද අපි වෙන් වූවෝ වන්නෙමු. අපි නුඹලා ව ප්‍රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහු ව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඉස්මතු වී ඇත. (සූරා අල්-මුම්තහිනා: 4)
එබැවින් සියලු ම නබිවරුන් (ඔවුන් කෙරෙහි සාමය උදා වේවා!) තම සමූහයන්ට මෙම විශිෂ්ට වූ මූලධර්මයන් වෙත ඇරයුම් කළහ.
හයවැන්න: දහම සියල්ල (සියලු අවනත විම්) අල්ලාහ්ට පමණක් වීම ය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: අර්බුදයක් නොපවතින තෙක්, එමෙන් ම දහම මුළුමනින් ම අල්ලාහ් සතු වන තෙක් නුඹලා ඔවුන් සමඟ සටන් කරනු. එහෙත් ඔවුහූ වැළකුණහ නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සුපරික්ෂාකාරී ය. (සූරා අල්-අන්ෆාල්: 39) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. ඔහු වනාහි, යහමඟ හා සත්‍ය දහම සමඟ ඔහුගේ දූතයාණන් එව්වේය. එය ඒ සියලු දහම්වලට ඉහළින් පිහිටීම පිණිස ය. තව ද අල්ලාහ් සාක්ෂිකරුවෙකු වශයෙන් ප්‍රමාණවත් ය. (සූරතුල් ෆත්හ් :28) එබැවින් ඉස්ලාමීය මඟ තුළින් හැර වෙනත් දහමකින් මැවීම් නැමදුම් ඉටු නොකළ යුතු යි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තව ද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතුරින් කෙනෙකි. (සූරා ආලු ඉම්රාන්: 85)
හත්වැන්න: ආගමික හා ලෞකික ජීවිතයේ සියලු කටයුතුවල දී අල්ලාහ්ගේ ෂරීආ පිළිවෙතට අනුව ක්‍රියා කිරීම සහ මිනිසුන් අල්ලාහ්ගේ ෂරීආ පිළිවෙත නොවන වෙනත් පිළිවෙතක් අනුගමනය නොකිරීම ය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: අල්ලාහ් කවර දෙයක් සම්බන්ධයෙන් අනුමැතිය නොදුන්නේ ද එවන් දෙයක් ඔවුන් සඳහා දහම්ගත කළ හවුල්කරුවෝ ඔවුනට වෙත් ද? තව ද පැහැදිලි ප්‍රකාශය නොවී නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තව ද නියත වශයෙන් ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත. (සූරා අෂ්-ෂූරා: 21)
දෙවන පාඩම: නබි තුමාණන්ගේ චරිතාපදානයට ප්‍රවේශය
පළමුවැන්න: නබි තුමාණන්ගේ චරිතාපදාන හැඳින්වීම:
එනම්, දේව දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ උපතේ සිට උත්තරීතර සඟයා (අල්ලාහ්) වෙත එක්වන තෙක් වූ එතුමාණන්ගේ ජීවිත කතාව, එතුමාණන්ගේ සුන්නාහ්ව (ජීවන සම්ප්රදා), බාහිර ස්වරූපය සහ ගතිගුණ, එතුමාණන්ගේ යුද ගමන් සහ හමුදා මෙහෙයුම් පිළිබඳ අප වෙත වාර්තා වී ඇති සියලු දෑ අන්තර්ගත වන විෂය දැනුම දේව දූත චරිතාපදානය ලෙස හැඳින්වේ.
දෙවැන්න: චරිතාපදානය හැදෑරීමේ ඵල ප්‍රයෝජන සහ එහි වැදගත්කම:
1- දූත මෙහෙවර පිළිබඳ සාක්ෂිය තහවුරු කිරීම: මක් නිසා ද යත්, දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවන චරිතය දැන ගැනීමෙන්, එතුමාණන්ගේ තත්ත්වයන් වටහා ගැනීමෙන් හා එතුමාණන්ගේ පිළිවෙත පිළිපැදීම මඟින් "මුහම්මද් අල්ලාහ්ගේ දූතයා වේ" යන දේව ගැත්තාගේ විශ්වාසය, සත්‍යතාවය, ස්ථිර පිළිගැනීම වර්ධනය වන අතර, එකී සාක්ෂි දැරීම ද එමඟින් තහවුරු වන්නේය.
2- පූර්වාදර්ශය සහ ආදර්ශය: අපගේ ජීවිතයේ සියලු කටයුතුවල දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව අප යහමග ලබන ප්‍රදීපය බවටත්, අප පියවරෙන් පියවර අනුගමනය කරන ආදර්ශමත් චරිතය ඔහු බවටත් පත් කර ගැනීම සඳහා ය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින් ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය. සූරා අල්අහ්zසාබ් 33:21
3- ශුද්ධ වූ අල් කුර්ආනය අවබෝධ කර ගැනීම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගතිපැවතුම් අල් කුර්ආනය වූ බැවින්, චරිතාපදානය යනු ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයේ වාක්‍යයන්හි ප්‍රායෝගික මුහුණුවර යි. තව ද එමඟින් දේව හෙළිදරව් පහළ වීමේ පසුබිම සහ දේව අනාවරණයේ අරමුණු හඳුනාගත හැකි ය.
4- නබි සුන්නාහ්ව අවබෝධ කර ගැනීම: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ස්ථාවර සහ ක්‍රියා තුළින්, එතුමාණන්ගේ හදීස්වල (ප්‍රකාශ, ක්‍රියා සහ අනුමැතියන්වල) අර්ථයන් සහ ඒවායේ ප්‍රායෝගික මුහුණුවර අපට පැහැදිලි වේ.
5- එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත ආදරය ඇති කිරීම: මක් නිසා ද යත්, ආදරය ඇති වන්නේ යමක් ගැන හොඳින් දැනගැනීමෙනි. එතුමාණන්ගේ ජීවිතයේ විස්තර සහ කැපකිරීම් පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් මිස, එතුමාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය සහ උසස් තත්ත්වය දැනගැනීමට වෙනත් මාර්ගයක් නොමැත.
7- සැලකිල්ලට ගැනීම සහ අවබෝධ කර ගැනීම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතයෙන් පාඩම් සහ ආදර්ශයන් උකහා ගැනීම සඳහා ය; මන්ද යත් පරීක්ෂාවන් ඇති වන මොහොතේ දී ඉවසීම, භාග්‍යයන් හිමි වන විට කෘතඥ වීම සහ සෑම තත්ත්වයක දී ම ස්ථාවර ව සිටීම සම්බන්ධයෙන් එතුමාණෝ පරමාදර්ශී ය.
7. මෙලොව හා මතුලොව සතුට හිමි කර ගැනීම: එතුමාණන්ගේ (ﷺ) පියවර අනුගමනය කිරීම හා එතුමාණන්ගේ මඟපෙන්වීම ආදර්ශයට ගැනීම හැර, මෙලොවෙහි ජයග්‍රහණයක් හෝ මතුලොවෙහි කිසිදු ජයක් හෝ නොමැත.
තුන්වැන්න: චරිතාපදානය අධ්‍යයනය කිරීමේ දී සලෆ්වරුන්ගේ (හිජ්රි මුල් සියවස් තුනෙහි ඉස්ලාමය නිසි පරිදි පිළිපැදි සැදැහැවත් මුස්ලිම් පුරෝගාමීන්ගේ) මඟ පෙන්වීම් අතුරින්:
සැබැවින් ම සැදැහැවත් පුරෝගාමීහු මෙම දැනුමේ වටිනාකම වටහා ගෙන සිටියහ. එබැවින් ඔවුහු ශුද්ධ වූ අල් කුර්ආනය හැදෑරීමට කැප වීම ජීවන බන්ධනයක් වශයෙන් ඇති කර ගත්තා සේ ම මෙය අධ්‍යයනය කිරීම ද ජීවන බැඳීමක් බවට පත් කර ගත්තෝය:
සෙයිනුල් ආබිදීන් අලී ඉබ්නු අල්-හුසෙයින් ඉබ්නු අලී (රළියල්ලාහු අන්හුම්) තුමා මෙසේ ප්‍රකාශ කර ඇත: ""අල් කුර්ආනයෙන් සූරා අපට උගන්වනු ලැබූ පරිදි ම, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)ගේ යුද සටන් සහ හමුදා මෙහෙයුම් ද අපට උගන්වනු ලැබිණි.""
ඉස්මාඊල් බින් මුහම්මද් බින් සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හුම්) තුමා මෙසේ පැවසීය: "මාගේ පියා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ යුද ගමන් පිළිබඳ අපට උගන්වමින් මෙසේ පවසා සිටියේය: "මාගේ පුතණුවනි, මේවා ඔබගේ මුතුන්මිත්තන්ගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා ය, එබැවින් ඒවා සිහිපත් කිරීම අමතක කර නොදමන්න."" [අල්ඛතීබ් අල්බග්දාදීගේ "අල්ජාමිඋ ලිඅඛ්ලාක් අර්රාවී ව ආදාබ් අස්සාමිඃ" 2/287-288 බලන්න].
තෙවන පාඩම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ උතුම් පෙළපත:
පළමුවැන්න: ඔහුගේ පියාගේ පාර්ශ්වයෙන් වන පෙළපත:
එතුමා ත්‍යාගයක් වූ කරුණාව යි; දායාදිත ආශිර්වාදය යි: අබුල් කාසිම් මුහම්මද් බින් අබ්දුල්ලාහ්, බින් අබ්දුල් මුත්තලිබ්, බින් හාෂිම්, බින් අබ්දු මනාෆ්, බින් කුසෙයි, බින් කිලාබ්, බින් මුර්රා, බින් කඃබ්, බින් ලුඅයි, බින් ගාලිබ්, බින් ෆිහ්ර්, බින් මාලික්, බින් අන්-නද්ර්, බින් කිනානා, බින් කුzසයිමා, බින් මුද්‍රිකා, බින් ඉල්යාස්, බින් මුළර්, බින් නිසාර්, බින් මඃද්, බින් අද්නාන්.
මෙම ගෞරවනීය පෙළපත අල්ලාහ්ගේ නබි ඉබ්රාහීම්ගේ පුත් ඉස්මාඊල් (ඔවුන් දෙපළ කෙරෙහි ආශිර්වාදය හා ශාන්තිය අත්වේවා) දක්වා දිව යයි.
දෙවැන්න: ඔහුගේ මව් පාර්ශ්වයෙන් වන පෙළපත:
ඇය: ආමිනා බින්ත් වහබ් ඉබ්නු ‘අබ්දුල් මනාෆ් ඉබ්නු සුහ්රා ඉබ්නු කිලාබ් ඉබ්නු මුර්රා ය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මවගේ පරම්පරාව, එතුමාණන්ගේ පියාගේ පරම්පරාව සමඟ "කිලාබ් ඉබ්නු මුර්රා" නැමැති මුත්තණුවන්ගෙන් එක්වෙයි. මෙයින් පෙන්නුම් කරන්නේ, එතුමාණන්ගේ සම්භවය දෙපාර්ශ්වයෙන් ම කුරයිෂ්වරුන්ගේ වඩාත් ගෞරවනීය මෙන් ම පාරිශුද්ධ පවුල්වලින් පැවතෙන බව යි.
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- එතුමාගේ පෙළපත නබිවරුන්ගේ පියාණන් වන ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා හා සම්බන්ධ වන අතර, එයින් මෙම ආශිර්වාද ලත් වෘක්ෂය තුළ දූත මෙහෙවරේ අඛණ්ඩතාවය තහවුරු වේ.
2. එතුමාණන්ගේ පෙළපත නියත වශයෙන් ම සියලු පෙළපත් අතුරින් ශ්‍රේෂ්ඨ ය. තත්ත්වයෙන් එය වඩාත් පිවිතුරු ය. තව ද වඩාත් යහපත්ය. අල්ලාහ් එතුමාණන් තෝරා ගත්තේ වඩාත් උතුම් වංශ සහ වඩාත් ගෞරවනීය පවුල් අතුරින් ය. ඒ අනුව නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයක් මෙසේ ය: «සැබැවින් ම අල්ලාහ් ඉස්මාඊල්ගේ පරම්පරාවෙන් කිනානා වංශය තෝරා ගත්තේය. කිනානා වංශයෙන් කුරෙයිෂ් කුලය තෝරා ගත්තේය. කුරෙයිෂ් කුලයෙන් බනූ හාෂිම් ගෝත්‍රය තෝරා ගත්තේය. බනූ හාෂිම් ගෝත්‍රයෙන් මා තෝරා ගත්තේය.» [මූලාශ්‍රය: මුස්ලිම්]
තුන්වන පාඩම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ උපත හා හැදී වැඩීම:
එතුමාණන්ගේ පියාගේ අභාවය: එතුමාණන් මව් කුස තුළ සිටිය දී ම එතුමාණන්ගේ පියා මිය ගියේය.
උපත: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා උපත ලැබුවේ ආමුල් ෆීල් (ඇත් වර්ෂය යැයි සැලකෙන) වසරේ සඳුදා දිනක මක්කාවෙහි දී ය. තව ද මෙම දිනය සහ මාසය නිශ්චිත ව තීරණය කිරීම සම්බන්ධයෙන් මතභේද පවතී. ඒ අනුව එය රබීඋල්-අව්වල් මාසයේ දෙවෙනිදා යැයි ද, එමස තුන්වෙනිදා යැයි ද, නවවෙනිදා යැයි ද, දසවෙනිදා යැයි ද, දොළොස්වෙනිදා යැයි ද වාර්තා වේ. එසේ ම එතුමා සෆර් මාසයේ උපත ලැබූ බව ද, රබීඋල්-ආඛිර් මාසයේ උපත ලැබූ බව ද පැවසේ.
එතුමාණන්ගේ කිරි මව්වරුන්: හලීමා අස්-සඃදිය්යා සහ එතුමාණන්ගේ මාමා කෙනෙකු වූ අබු ලහබ්ගේ වහලිය වූ සුවයිබා එතුමාණන්ට කිරි පෙවූහ. එතුමාණන්ගේ මවට පසු එතුමාණන්ට කිරි පෙවූ පළමු කාන්තාව ද සුවයිබා වන ඇය යි. තව ද එතුමාණන්ගේ පියාගේ වහලිය වූ උම්මු අයිමන් බරකහ් අල්-හබෂිය්යා එතුමාණන් ව හදා වඩා ගත්තාය.
ළය විවර කිරීමේ සිදුවීම: දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කුඩා අවදියේ බනූ සඃද් කාන්තාරයේ සිටිය දී මෙය සිදු විය. එතුමාණන්ගේ වයස අවුරුදු හතරකට පමණ ආසන්න වී තිබූ අතර, එතුමාණන් කුඩා ළමුන් සමග සෙල්ලම් කරමින් සිටිය දී ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමා එතුමාණන් වෙත පැමිණියේය. පසු ව ඔහු එතුමාණන්ගේ පපුව පළා ඉන් ලේ කැටියක් පිටතට ගෙන මෙසේ පැවසුවේය: ""මෙය ඔබ තුළ වූ ෂෙයිතාන්ගේ කොටස යි" යැයි පවසා, පසු ව රන් බඳුනක තබා zසම්zසම් ජලයෙන් ඔහුගේ හදවත සේදුවේය." [මූලාශ්‍රය: මුස්ලිම්].
එතුමාගේ මවගේ සහ සීයාගේ මරණය: එතුමාගේ වයස අවුරුදු හයේ දී, එතුමාගේ මව මිය ගිය අතර එතුමාගේ සීයා අබ්දුල් මුත්තලිබ් එතුමා ව රැකබලා ගත්තේය. ඉන්පසු එතුමාගේ සීයා, එතුමාගේ වයස අවුරුදු අටේ දී මිය ගිය අතර පසු ව එතුමාගේ බාප්පා වන අබු තාලිබ් එතුමා ව රැකබලා ගත්තේය.
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- නබිතුමා (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) උපත ලැබුවේ (පියා අහිමි වූ) අනාථයෙකු ලෙසිනි, එතුමා කුඩා වියේ පසුවෙද්දී එතුමාගේ මව මිය ගියාය. කුඩා අවදියේ දී තම පියා හෝ මව අහිමි වූවන්ට මෙහි අස්වැසුමක් හා සැනසිල්ලක් ඇත, එසේ නම් වැඩිහිටි වියේ දී ඔවුන් දෙදෙනා ම අහිමි වූවන්ට එය ඊටත් වඩා සැනසිල්ලක් ගෙන දෙනු ඇත.
2- අල්ලාහ් තම නබිවරයාණන් වෙත එතුමාණන්ගේ කුඩා කල සිට ම දැක්වූ අවධානය; ඒ අතුරින් උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය: ඔහු (අල්ලාහ්) ඔබ ව අනාථයෙකු ලෙස දැක ඔහු රැකවරණය නොදුන්නේ ද? (සූරා අල්-ලුහා: 6) එනම්: මවක හෝ පියාණන් අහිමි වූ තත්ත්වයේ ඔහු ඔබ ව දුටුවේය. ඔබේ දෙමාපියන් මිය ගොස්, ඔබට ඔබ ව ම බලා කියා ගැනීමට හැකියාවක් නොමැති තත්ත්වයේ ඔබ සිටියෙහිය. එවිට අල්ලාහ් ඔබට පිළිසරණක් ලබා දී ඔබ ව ආරක්ෂා කළේය. තව ද ඔහු ඔබේ සීයා වන අබ්දුල් මුත්තලිබ් ව ඔබට සලසා දුන්නේය. පසු ව ඔබේ සීයා මිය ගිය විට, ඔබේ මහප්පා වන අබූ තාලිබ් ඔබේ භාරකාරත්වය දැරුවේය.
3- ගැත්තාගේ සැබෑ ආරක්ෂකයා මෙන් ම රැකවරණය සපයන්නා අල්ලාහ් බව අප දැනගත යුතු ය; මෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අනාථයෙකු ලෙස හැදී වැඩුණු අතර, එතුමාණන්ට රැකවරණය සැපයීම සඳහා සර්වබලධාරී අල්ලාහ් අයෙකු ව සලසා දුන්නේය, පසු ව ජනයා වෙත එතුමාණන් ව යවා, සමස්ත ආදම්ගේ දරුවන්ගෙන් උතුම් ම තැනැත්තා බවට ද ලෝකවාසීන්ට පරමාදර්ශයක් බවට ද එතුමාණන් ව පත් කළේය.
4) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ හදවත පවිත්‍ර වීම හා කුඩා කල පටන් ම ෂෙයිතාන්ගේ පෙළඹවීම්වලින් එතුමාණන් ව ආරක්ෂා කිරීම. උත්තරීතර අල්ලාහ් එතුමාණන්ගේ හදවත භෞතික ව හා ආධ්‍යාත්මික ව පවිත්‍ර කොට දේව දූතත්වය සඳහා එතුමාණන් ව සූදානම් කර ඇත.
5- වැදගත් කරුණ: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් හෝ එතුමාණන්ගේ සහබා (රළියල්ලාහු අන්හුම්) විසින් එතුමාණන්ගේ උපන් දින රාත්‍රිය හෝ එම දිනය කිසියම් උත්සවයක් සැමරීමකින් හෝ නිශ්චිත නැමදුමකින් විශේෂ කළ බවට තහවුරු වී නොමැත. එබැවින් මුළුමහත් යහපත ම රැඳී ඇත්තේ ඔවුන්ගේ මඟ පෙන්වීම අනුගමනය කිරීම සහ ඔවුන් සිදු නොකළ දෑ අත්හැරීම තුළ ය.
සිව්වන පාඩම: ධර්ම දූතත්ත්වය ලැබීමට පෙර වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දිවිය. එය වහී (දේව හෙළිදරව්) පහළ වීමට පෙර වූ අවධිය වන අතර, එහි දී එතුමාණන් නබිවරයෙකු හෝ දූතයෙකු හෝ වී සිටියේ නැත.
අල්ලාහ් සිය නබිවරයා ව ආරක්ෂා කිරීම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජාහිලියා (අඥාන) සිරිත් විරිත්වලින් හා ඔවුන්ගේ බහුදේවවාදයෙන් ඈත් ව හැදී වැඩුණහ. එතුමාණෝ කිසි දිනෙක පිළිමයකට නමස්කාර කළේ නැත, මත්පැන් පානය කළේ නැත, එසේ ම කිසි විටෙකත් අසභ්‍ය ක්‍රියාවක් සිදු කළේ ද නැත. එතුමාණෝ මිනිසුන් අතුරින් වඩාත් යහපත් සදාචාරයෙන් යුතු වූහ, තව ද කතාවෙන් වඩාත් සත්‍යවාදී වූහ. ඒ හේතුවෙන් එතුමා ‘අස්-සාදික්’ සත්‍යවාදියා, ‘අල් අමීන්’ විශ්වාසවන්තයා යන නමින් ප්‍රසිද්ධියට පත් වූහ. එතුමාණෝ ඥාති සබඳතා මැනවින් පවත්වා ගියහ, අමුත්තන්ට ගෞරව කළහ, දුප්පතුන්ට උපකාර කළහ.
පළමු සිරියානු ගමන: එතුමාගේ වයස අවුරුදු දොළහේ දී තම බාප්පා වන අබූ තාලිබ් සමඟ සිරියාවට ගමන් කළේය.
ෆිජාර් යුද්ධය: එතුමාණෝ සිය විසි වැනි වියේ දී මෙයට සහභාගී වූහ. මෙය කුරෙයිෂ් සහ කිනානා යන ගෝත්‍රිකයන් විසින් කයිස් අයිලාන් ගෝත්‍රිකයන්ට එරෙහි ව සිදු කරන ලද්දකි. එහි දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාර්යභාරය වූයේ තම පීතෘ පාර්ශ්වයේ උදවියට "ඊතල ලබා දීම යි", එනම් ඔවුනට විදීම සඳහා ඊතල අතට ලබා දීම යි.
හිල්ෆුල් ෆුදූල්: අපරාධයට ලක් වූ ඕනෑ ම අයෙකුට, ඔහුට අහිමි වූ දෑ නැවත ඔහුට ලබා දෙන තුරු උපකාර කිරීමට මක්කාවේ ගෝත්‍රිකයින් ගිවිස ගත් මෙම දිවුරුමට එතුමාණෝ සහභාගි වූහ.
රැකියාව සහ ජීවනෝපාය: එතුමාණෝ මක්කා වැසියන් සඳහා වැටුපකට එළුවන් රැකබලා ගත්හ, පසු ව කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ මුදලින් වෙළඳාම් කිරීම සඳහා දෙවන වරටත් ෂාම් දේශයට ගමන් කළහ.
එතුමාගේ විවාහය: කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය එතුමාගේ විශ්වාසවන්තභාවය ද වෙළඳාමෙහි අත් වූ අභිවෘද්ධිය ද දුටු කල, එතුමා සමඟ විවාහ වීමට කැමැත්ත දැක්වූවාය. ඒ අනුව එතුමා ඇය සමඟ විවාහ විය. එවිට එතුමාගේ වයස අවුරුදු විසිපහකි.
එතුමාණන්ගේ හුදෙකලාව හා වන්දනාමානය: එතුමාණෝ හුදෙකලාව ප්‍රිය කළ අතර, හිරා ගුහාවේ අල්ලාහ්ට වන්දනාමානය කරමින් සිටියහ. එහි දී එතුමාණන්ට වහී (දේව හෙළිදරව්) පහළ වන තෙක් ඒ සඳහා අවශ්‍ය ආහාර හා පාන වර්ග සකසා ගෙන පසු ව රාත්‍රී ගණනාවක් එහි හුදෙකලාවේ රැඳී සිටියහ.
කඃබාව නැවත ගොඩනැගීම: එතුමාට වයස අවුරුදු තිස්පහක් වූ විට, කුරෙයිෂ්වරුන් විසින් කඃබාව නැවත ගොඩනගන ලදී. කළු ගල අදාළ ස්ථානයේ තැබිය යුත්තේ කවුරුන් ද? යන්න පිළිබඳ ව ඔවුන් අතර මතභේද ඇති වූ අතර, ඔවුහු එකිනෙකා සටන් වැදීමට තරම් යුහුසුලු වූහ. එබැවින් ඔවුන් වෙත මුලින් ම පිවිසෙන තැනැත්තා ව විනිශ්චයකරුවෙකු බවට පත් කිරීමට ඔවුහු එකඟ වූහ. එසේ පැමිණියේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ය. එතුමා ව දුටු විට ඔවුහු: "මේ අල්-අමීන් (විශ්වාසවන්තයා) ය, අපි ඔහු ගැන තෘප්තිමත් වන්නෙමු" යැයි පැවසූහ. ඉන්පසු එතුමා විසින් එම ගල වස්ත්‍රයකට දමා, ගෝත්‍ර නායකයින්ට එහි කෙළවරවල් අල්ලා ගන්නා ලෙස අණ කළේය. අනතුරු ව එතුමාණන්ගේ සුරතින් එය ඔසවා අදාළ ස්ථානයේ තබන ලදී.
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- දූත මෙහෙවරට පෙර අල්ලාහ් තම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දේවත්ව ආදේශයෙන් හා පාපවලින් ආරක්ෂා කිරීම. මෙය නබිත්වයේ පෙර නිමිති සහ එහි සාධක අතුරින් එකකි.
2- එතුමාණෝ අස්-සාදික්, අල්-අමීන් යනුවෙන් ප්‍රසිද්ධියට පත් ව සිටියහ. මෙම ගුණාංග එතුමාණන්ගේ සත්‍යභාවය පිළිබඳ ප්රබලතම සාධකය විය. එබැවින් මිනිසුන්ට බොරු පැවසීමෙන් වැළකී සිටින්නෙකුට, අල්ලාහ්ට එරෙහි ව බොරු පැවසිය නොහැකි ය.
3- සත්‍යවාදීබව සහ විශ්වාසවන්තභාවයේ ශ්‍රේෂ්ඨත්වය: ඒවා විශ්වාසවන්තයාගේ ශ්‍රේෂ්ඨතම ගුණාංග වන අතර, ඒවා මඟින් මිනිසා ජනයාගේ විශ්වාසය සහ ඔවුන්ගේ ආදරය දිනා ගනියි.
4- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හලාල් (අනුමත) ආදායමක් ලබා ගැනීම සහ තම දෑතින් ම සේවය කිරීම කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූහ. ඒ අනුව එතුමාණන් එළුවන් මේච්චල් කළ අතර වෙළෙඳාම් ද කළහ. මෙය අපට උත්සාහ කිරීම සහ නිසි ක්‍රියාමාර්ග ගැනීම උගන්වයි.
5- නිහතමානීකම: රැකියාවක නිරත වීම ගෞරවයක් බව අපට උගන්වනු පිණිස, නබිවරයෙකු බවට පත් වූ පසු ද එළුවන් රැකබලා ගැනීමේ තම කාර්යය සඳහන් කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ලැජ්ජා නොවූහ; නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: "එළුවන් ඇතිදැඩි කරන්නෙකු වශයෙන් මිස අල්ලාහ් කිසිදු නබිවරයකු එව්වේ නැත." [මූලාශ්‍රය: අල් බුහාරි].
6- ස්ථානෝචිත ප්‍රඥාව: හජරුල් අස්වද් (කළු ගල) තැබීමේ දී එතුමාගේ ස්ථාවරය මඟින්, ලේ වැගිරීම් වළක්වා සියලු දෙනාගේ ම ප්‍රසාදය දිනා ගැනීමෙහි ලා එතුමා තුළ වූ අද්විතීය බුද්ධිය හා ප්‍රඥාව තහවුරු විය. මෙය කුරෙයිෂ් ගෝත්‍රවල ප්‍රධාන නායකයින්ට පවා මඟහැරී ගිය අදහසකි.
පස්වන පාඩම: වහී හෙවත් දේව හෙළිදරව්වේ ආරම්භය සහ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට එය පහළ වීම:
දිව්‍ය පණිවිඩය පහළ වීමේ ආරම්භය: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට වයස අවුරුදු හතළිහක් වූ විට වහී සහ අනාගතවක්තෘත්වයේ පෙරනිමිති ආරම්භ විය.
සුබ සිහින: දිව්‍ය පණිවිඩයේ ප්‍රථම ආරම්භය වූයේ "සුබ සිහින" යි; එවිට අළුයමේ උදාව සේ පැහැදිලි ලෙසින් සැබෑවක් බවට පත් වන ආකාරයේ සිහින මිස නින්දේ දී දකිනා සිදු නොවන හුදු සිහින නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දුටුවේ නැත.
හිරා ගුහාව තුළ: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හිරා ගුහාවේ නමස්කාර කිරීම සඳහා හුදකලාව සිටිය දී, ජිබ්රීල් නම් මලාඉකාවරයා (ඔහුට සාමය වේවා) සර්ව බලධාරි අල්ලාහ්ගෙන් වහී රැගෙන එතුමාණන් වෙත පැමිණියේය.
සුර දූත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා පැමිණ එතුමාණන්ට: "ඔබ කියවනු" යැයි පැවසීය. එවිට නබිතුමා: "මම කියවීමට දන්නා කෙනෙක් නොවෙමි" යැයි පැවසුවේය. මෙසේ තෙවතාවක් නැවත සිදු විය. තුන්වැනි වතාවේ දී ජිබ්රීල්තුමා "සූරතුල් අලක්"හි මුල් කොටස එතුමාණන්ට කියවා පෙන්වුවේය: මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. ඔහු මිනිසා ලේ කැටියෙන් මැව්වේ ය. නුඹ කියවනු. නුඹේ පරමාධිපති අතිගෞරවනීය ය. ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වීය. මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වීය. (අල්-අලක්:1-5) මෙය අල් කුර්ආනයේ පහළ වූ පළමු පාඨ විය.
කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සහය දැක්වීම: එම සිදුවීමේ බැරෑරුම්බව හේතුවෙන් වෙව්ලමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම භාර්යාව වන කදීජාතුමිය වෙත නැවත පැමිණ, සිදු වූ දේ එතුමියට සැල කර සිටියහ. එවිට ඇය එතුමාණන් ව ශක්තිමත් කරමින් මෙසේ පැවසුවාය: «එසේ (ඔබ බිය වන පරිදි) නොව, අල්ලාහ් මත දිවුරා පවසමි. කිසිදිනක අල්ලාහ් ඔබ ව දුකට පත් කරන්නේ නැත. සැබැවින් ම ඔබ ඥාති සම්බන්ධකම් රකින්නෙහිය. සත්‍ය කතා කරන්නෙහිය. සියලු බර දරන්නෙහිය (අසරණයින්ට පිහිට වන්නෙහිය). අඟහිඟකම් ඇති අයට උපකාර කරන්නෙහිය (දුප්පතුන්ට ලබා දෙන්නෙහිය). ආගන්තුකයින්ට සත්කාර කරන්නෙහිය (ඔවුනට ගෞරව කරන්නෙහිය). සත්‍යයට නැඹුරු වී උපකාර කරන්නෙහිය (මිනිසුන්ට මුහුණපෑමට සිදුවන බැරෑරුම් කටයුතුවලදී උදව් කරන්නෙහිය).»
වහී පහළ වීම නතර වීම සහ යළි එය ආරම්භ වීම: වහී පහළ වීම කෙටි කාලයකට නතර විය, ඉන්පසු ව සූරා අල්-මුද්දස්සිර්හි ආරම්භක පාඨයන් පහළ විය: අහෝ පොරවාගෙන සිටින්නාණනි, නුඹ නැගී සිට, අවවාද කරනු. තව ද නුඹගේ පරමාධිපති ව උත්කෘෂ්ට කරනු. තව ද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරගනු. තව ද අපිරිසිදුකමින් වළකිනු. (අල් මුද්දස්සිර්: 1-5)
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- හතළිස්වන විය: වහී පහළ වීම සඳහා අල්ලාහ් මෙම වයස තෝරා ගත්තේය. මන්ද යත් එය බුද්ධියේ පරිපූර්ණත්වය සහ අවබෝධයේ ශක්තිය නිරූපණය කරන බැවිනි. උත්තරීතරයාණන් මෙසේ පවසන පරිදි: ඔහු පරිණතභාවයට පත් ව අවුරුදු හතළිහට ළඟා වූ විට (අල් අහ්කාෆ්: 15)
2- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් දේව දූතත්ත්වය ලබන්නට පෙර තම ප්‍රජාව අතර වසර හතළිහක් රැඳී සිටියේය. එබැවින්, ඔවුන් අතර වූ එතුමාගේ උතුම් චරිතාපදානය එතුමාගේ නබිත්වයේ සහ දූත මෙහෙවරේ සත්යභාවයට ප්රබලතම සාක්ෂිය විය.
3- අල්ලාහ් තම නබිවරයා ව වහී හෙවත් දිව්‍ය පණිවිඩයේ ශ්‍රේෂ්ඨ මෙහෙවර උදෙසා සත්‍ය සිහින මඟින් සූදානම් කළ අතර, හුදෙකලාව එතුමාණන්ට ප්‍රිය කරවූයේය.
4- මුස්ලිම්වරයෙකු අල්ලාහ් ව මෙනෙහි කිරීමටත්, උතුමාණන්ගේ ආධිපත්‍යය පිළිබඳ ව ගැඹුරින් සිතා බැලීමටත් තම පරමාධිපතියාණන් සමඟ හුදෙකලා වන කාලයක් වෙන් කිරීමේ වැදගත්කම.
5- දැහැමි බිරියකගේ බලපෑම: කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ ක්‍රියාකලාපය හා ඇය තම සැමියා අස්වැසූ ආකාරය තුළින් මෙය මනාව පැහැදිලි වේ. දුෂ්කර අවස්ථාවන්හි දී සහයෝගය හා අනුබලය ලබා දීම සම්බන්ධයෙන් ඇය පරමාදර්ශයකි.
6. අල්ලාහ් එතුමාණන් ව ආරක්ෂා කරනු ඇත යන්නට කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගුණධර්ම සාධකයක් ලෙස ගෙනහැර දැක්වීම. මන්ද යත් උසස් ගුණධර්ම අයහපතින් ගැලවීමට හේතුවක් වන බැවිනි.
7- අල්-මුද්දස්සිර් සූරාවේ දී අනාගතවක්තෘවරයාට නියෝග කරනු ලැබූ පළමු දෑ වනුයේ අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීම හා ඒකීය දෙවිඳාණන් කෙරෙහි ආදේශ තැබීමෙන් අනතුරු ඇඟවීම යි. මක් නිසාද යත්, ඒක දේවවාදය වනාහි දහමේ පදනම හා වඩාත් ම වැදගත් යුතුකම වන බැවිනි.
ඉමාම් අත්-තබරී (රහිමහුල්ලාහ්) තුමා තම විග්රහයේ මෙම වැකිය සම්බන්ධයෙන් මෙසේ පවසයි: ""ඔහුගේ ප්‍රකාශය නම්: (قُمۡ فَأَنذِرۡ2) (නුඹ නැගී සිට, අවවාද කරනු.) යන්නෙන් උත්තරීතර අල්ලාහ් තම දූත මුහම්මද් ﷺ තුමාණන්ට පවසන්නේ: ඔබගේ නින්දෙන් නැගී සිට, අල්ලාහ්ට ආදේශ තැබූ හා ඔහු හැර අන් දෑ නැමදූ ඔබේ ජනතාවට අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ ව අවවාද කරනු යන්න යි.""
හයවන පාඩම: මක්කාවේ දී නබි ﷺ තුමාණන්ගේ ආරාධනය:
රහසිගත ඇරයුම (රහසිගත දහම් ප්‍රචාරය): මක්කාවෙහි දී ආරාධනා කිරීමේ (දඃවා) කටයුතු වසර තුනක් පමණ රහසිගත ව ආරම්භ විය; ඒ අනුව මුලින් ම කාන්තාවන් අතුරින් ඉස්ලාමය වැළඳ ගත්තේ, එතුමාගේ බිරිඳ වන කදීජා බින්ත් කුවෙයිලිද්, සහ පිරිමින් අතුරින් අබූ බක්ර් අස්සිද්දීක්, සහ පිරිමි ළමුන් අතුරින් අලී බින් අබී තාලිබ් සහ සේවකයින් අතුරින් සයිද් බින් හාරිතා සහ වහලුන් අතුරින් බිලාල් අල් හබෂී ය. (උත්තරීතර අල්ලාහ් ඔවුන් සියලුදෙනා පිළිගන්නා සේක්වා!)
අබූ බක්ර්තුමාගේ සිදු කළ ඉස්ලාමය කරා වූ ඇරයුම කෙරෙහි සහාබාවරුන්ගෙන් ප්රමුඛ පිරිසක් විශ්වාස කළහ. ඔවුන් අතර: උස්මාන් බින් අෆ්ෆාන්, අබ්දුර් රහ්මාන් බින් ඖෆ්, සඃද් බින් අබී වක්කාස්, සඊද් බින් zසයිද් සහ අබූ උබෙයිදා බින් අල් ජර්රාහ් යන උදවිය වෙති.
දාරුල් අර්කම්: මුල් කාලීන මුස්ලිම්වරු බහුදේවවාදීන්ගේ දෙනෙත්වලින් ඈත් ව, තම ආගමික කරුණු ඉගෙන ගැනීමට සහ අල්ලාහ්ට නැමදුම් කිරීමට "අර්කම් බින් අබිල් අර්කම්"ගේ නිවසේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සමඟ එක්රැස් වීමට පුරුදු ව සිටියහ.
ප්‍රසිද්ධ ඇරයුම: අනතුරු ව අල්ලාහ් ඔහුගේ නබිතුමාණන් හට සත්‍යය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මෙන් නියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිට ම පවසනු. තව ද දෙවිඳාණන් කෙරෙහි ආදේශ තබන්නන් ගැන නුඹ නොසලකා හරිනු. (අල් හිජ්ර්: 94) පසු ව උත්තරීතර අල්ලාහ් තම පවුලේ අයට සහ ඥාතීන්ට ඇරයුම් කරන මෙන් ඔහුට නියෝග කරමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය: තව ද නුඹගේ සමීප ඥාතීන්ට නුඹ අවවාද කරනු. (අෂ්-ෂුඅරාඃ: 214) එබැවින් නබි ﷺ තුමාණෝ අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඔවුන්ට ඇරයුම් කරමින් ද, විශ්වාස කළවුන්ට ස්වර්ගය පිළිබඳ ව ශුභාරංචි පවසමින් ද, ප්‍රතික්ෂේප කළවුන්ට නිරය පිළිබඳ ව අවවාද කරමින් ද ජනයා අතර දහම් ඇරයුම සිදු කළහ.
මුෂ්රික්වරුන්ගේ (ආදේශ තබන්නන්ගේ) හිංසා පීඩා සහ පළමු සංක්‍රමණය: මුස්ලිම්වරුන් තම දහම එළිපිට ප්‍රකාශ කළ කල්හි, සමච්චල් කිරීම් සහ වධ හිංසා තුළින් ඔවුනට එරෙහි මුෂ්රීක්වරුන්ගේ හිංසා පීඩා දැඩි විය. එබැවින් තම දහම මත සිටිමින් පලා යාමක් වශයෙන් අබිසීනියා භූමියට සංක්‍රමණය වීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහගාමීන් හට අවසර දුන්හ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට හිමි වූ අල්ලාහ්ගේ ආරක්ෂාව: ආදේශ තබන්නන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව ඝාතනය කිරීමට අදහස් කළ අතර, අල්ලාහ් එතුමාණන්ගේ බාප්පා වූ අබුතාලිබ් මඟින් එතුමාණන්ට ආරක්ෂාව සැලසුවේය; මන්ද යත්, අබූතාලිබ් තම ජනතාවගේ ආගමෙහි ම රැඳී සිටිය ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් පෙනී සිටිමින් එතුමාණන් ව ආරක්ෂාව සැලසූ බැවිනි.
හම්zසා හා උමර් ඉස්ලාමය වැළඳ ගැනීම: නබි ﷺ තුමාණන්ගේ තවත් බාප්පා කෙනෙකු වන හම්සා බින් අබ්දුල් මුත්තලිබ් හා උමර් බින් අල් කත්තාබ් -රළියල්ලාහු අන්හුමා- යන දෙපළ ඉස්ලාමය වැළඳ ගැනීමෙන් මුස්ලිම්වරුන්ගේ ශක්තිය තවත් වර්ධනය විය. ඉබ්නු මස්ඌද් -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ පැවසීය: «උමර් (රළියල්ලාහු අන්හු) තුමා ඉස්ලාමය වැළඳගත් දින සිට අපි අභිමානයෙන් යුතු ව සිටියෙමු.»
වර්ජනය සහ වටලෑම: බනූ හාෂිම් සහ බනූ මුත්තලිබ් වංශිකයින් ව වර්ජනය කිරීමට කුරෙයිෂ්වරු එකඟ වූහ; ඒ අනුව, ඔවුහු ඔවුන්ට කිසිවක් විකුණන්නේ ද නැත, ඔවුන්ගෙන් කිසිවක් මිල දී ගන්නේ ද නැත. ඔවුන් සමඟ විවාහ ගනුදෙනු සිදු කරන්නේ ද නැත, ඔවුන් සමඟ වාඩි වී ඇසුරු කරන්නේ ද නැත. කුරෙයිෂ්වරුන් අතර වූ බුද්ධිමත් පිරිසක් ඉදිරිපත් වී මෙම අසාධාරණ ගිවිසුම් පත්‍රය අවලංගු කර එම වටලෑම ඉවත් කරන තෙක්, "ෂිඃබ් අබී තාලිබ්" හි මෙම කටුක වටලෑම වසර තුනක් පුරා පැවතුණි. තව ද, "බිස්මිකල්ලාහුම්ම" (අල්ලාහ්, ඔබගේ නාමයෙන්) යන වැකිය හැර ගිවිසුම් පත්‍රයේ වූ අනෙකුත් සියල්ල වේයන් විසින් කා දමා තිබෙන බව ඔවුහු දුටුවෝය. එහි අල්ලාහ්ගේ නාමය සඳහන් වූ කිසිවක් වේයන් කා දමා නොතිබුණි.
ඇරයුම ඉදිරිපත් කිරීම: මදීනා නගරයේ අන්සාර්වරුන් හමුවන තෙක් නබි ﷺ තුමා හජ් වන්දනා කාලයන්හි ගෝත්‍ර වෙත තම ඇරයුම ඉදිරිපත් කිරීම දිගට ම කරගෙන ගියේය. ඒ අනුව ඔවුහු එතුමා ව විශ්වාස කළ අතර එතුමාට සහාය වීමට පොරොන්දු වූහ.
ඉගෙන ගත හැකි ආදර්ශ පාඩම්:
1. වෙනසක් අදියරයෙන් අදියර සිදු කිරීම සඳහා ද, මුල් කාලීන මුස්ලිම්වරුන් ආරක්ෂා කිරීම සඳහා ද, සහායකයින් හා ආධාරකරුවන් එක්රැස් කිරීම සඳහා ද ඉස්ලාමයට ඇරයුම් කිරීමේ (දඃවා) කටයුතු රහසිගත ව ආරම්භ විය.
2. කදීජා, අබූ බක්ර් සහ මුල් පෙළේ අනුගාමිකයින්ට මහත් වූ මහිමයක් ඇත; මන්ද ඔවුන් තම ප්‍රාණය හා තම වස්තුව කැප කර ඇති අතර, දුෂ්කර අවස්ථාවල දී දුක් පීඩාවන් ඉවසා සිටි බැවිනි.
3- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම පවුලේ අයට සහ බිරිඳට ඇරයුම් කිරීමෙන් ඉස්ලාමීය පණිවුඩය ආරම්භ කළහ. එබැවින් ඇරයුම් කරන්නා තම නිවසේ සිටින අයට අල්ලාහ් වෙත ඇරයුම් කිරීම, ඔවුන්ට ඉගැන්වීම සහ අවවාද කිරීම නොසලකා නොහැරිය යුතු ය.
4- යහපත සඳහා යුහුසුලු වීම: ඔවුන්ගේ චරිතාපදානයෙන් අප ලබා ගන්නේ, කිසිදු පැකිළීමකින් තොර ව සත්‍යයට පිවිසීමට හා ඒ අනුව ක්‍රියා කිරීමට පෙරටුගාමී ව ක්‍රියා කිරීමේ වැදගත්කම යි.
5- ඉස්ලාමය වෙත ආරාධනා කිරීමේ (දඃවා) මාර්ගයට දිගුකාලීන ඉවසීමක් අවශ්‍ය වන්නේය; නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ද දිගු වසර ගණනාවක් පුරා ඉවසීමෙන් සිටි අතර, ආරම්භයේ දී එතුමාණන් ව විශ්වාස කළේ ඉතා සුළු පිරිසක් පමණි.
6- උමර් ඉබ්නු කත්තාබ් සහ හම්zසා (රළියල්ලාහු අන්හුමා) යන දෙපළ ඉස්ලාමය වැළඳගැනීම මුස්ලිම්වරුන්ට ජයග්‍රහණයක් හා අභිමානයක් විය. ඉස්ලාමය වෙත ඇරයුම් කිරීමේ කාර්යය ආරක්ෂා කිරීම සඳහා ශක්තියක් අවශ්‍ය වන බව මින් පැහැදිලි වේ.
7- දාරුල්-අර්කම්හි සහබාවරුන් එක්රැස් වීම වනාහි අන්‍යෝන්‍ය ව එක් වීමේ, සම්බන්ධතා පැවැත්වීමේ සහ යහපත හා බැතිමත්කම මත එකිනෙකාට සහාය දැක්වීමේ වැදගත්කමට ද, යහපත් මිනිසුන් ඇසුරු කිරීමේ වැදගත්කමට ද මනා සාධකයක් විය.
8- ඒකදේවවාදයේ වැදගත්කම: මෙය අනිවාර්ය වන පළමුවන වගකීම යි; එබැවින් නබි ﷺ තුමාණන් තම දඃවා කිරීමේ දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පළමුවන කරුණ වූයේ "අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නොමැත" යන්න යි.
9- මුස්ලිම්වරයා තම දහම ගැන ලැජ්ජා නොවිය යුතු අතර, ඒ වෙනුවට අල්ලාහ්ගේ තෘප්තිය පමණක් අපේක්ෂාවෙන් එය පැහැදිලි ව හා ප්‍රඥාවෙන් යුතු ව ප්‍රකාශ කළ යුතු ය.
10- වධ හිංසා, හාස්‍යයට ලක් විම් හා අවහිර වීම් යනු නබිවරුන් හා ඔවුන් අනුගමනය කළවුන් මුහුණ දුන් පැරණි ක්‍රමවේද වන්නේය. තව ද, නබි (සල්) තුමාණන් හා එතුමාණන්ගේ සහචරයින්ගේ නොසැලෙන ස්ථාවරත්වය අප සඳහා වන පූර්වාදර්ශය යි.
11- හිජ්රත් කිරීමේ අනුමතභාවය: තම ආගමික කටයුතු පිළිපැදීමට නොහැකි වූවන්ට, දේවත්ව විශ්වාසය වෙනුවෙන් දේශය හා සම්පත් අතහැර යාම අනුමත කර ඇත. මන්ද මිනිසෙකු සතු වටිනා ම දෙය දහම වන්නේය.
12- දහමෙහි පදනම වන්නේ දේවත්ව විශ්වාසයේ බැඳීම මිස ජාතියේ හෝ පරම්පරාවේ සම්බන්ධතාවය නොවේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිය දහම් ඇරයුම ඉදිරිපත් කර, ඒකීය අල්ලාහ්ට නැමදුම් කරන මෙන් ජනයාට ඇරයුම් කළා සේ ම, ඒ පළමු මොහොතේ සිට ම දූත මෙහෙවරේ අරමුණ හා පරමාර්ථය පිළිබඳ ව ජනයා ඉදිරියේ පැහැදිලි සාක්ෂියක් වනු පිණිස තම පවුලේ උදවියට හා ඥාති වර්ගයාට ද ඇරයුම් කරන මෙන් අල්ලාහ් එතුමාණන්ට නියම කළේය.
13- උත්තරීතර අල්ලාහ් වෙත ඇරයුම් කිරීම සෑම මුස්ලිම්වරයෙකුගේ ම වගකීමකි: ආරම්භක අවධියේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් ඇරයුම් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සිය නිවස තෝරාගනු ලැබූ මෙම ශ්‍රේෂ්ඨ සහාබාවරයා වන අල්-අර්කම් ඉබ්නු අබිල් අර්කම් අල්-මක්සූමී (රළියල්ලාහු අන්හු) තුමා, වයස අවුරුදු දහසයක පමණ යොවුන් වියේ දී ඉස්ලාමය වැළඳ ගත්තේය. පසු කාලයේ දී එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ සටන්වලට ද සහභාගී විය. එකල එතුමාගේ ළාබාල වයස, උත්තරීතර අල්ලාහ් වෙත ඇරයුම් කිරීම සඳහා තමන්ට හැකි පමණින් දායක වීමට කිසිදු බාධාවක් නොවීය.
හත්වන පාඩම: කදීජාතුමිය සහ අබූ තාලිබ්ගේ අභාවය හා තායිෆ් වැසියන්ට ඇරයුම් කිරීම:
ශෝක වර්ෂය: දූත මෙහෙවරේ දසවන වර්ෂයේ දී, විශ්වාස කළවුන්ගේ මව වූ කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය අභාවප්‍රාප්ත වූවාය. එසේ ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට රැකවරණය ලබා දෙමින් එතුමාණන් ව ආරක්ෂා කළ එතුමාණන්ගේ බාප්පා වූ අබු තාලිබ් ද අභාවප්‍රාප්ත විය. එහෙත් ඔහු මරණයට පත් වූයේ අවිශ්වාසවන්තයෙකු ලෙස ය. ඔවුන් දෙදෙනාගේ අභාවයත් සමඟ, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට කුරෛෂ්වරුන්ගෙන් සිදු වූ හිරිහැර පෙර තිබුණාටත් වඩා දැඩි විය.
තායිෆ් වැසියන්ට ආරාධනා කිරීම: තම දහමට ඔවුන්ගෙන් සහයෝගයක් ලැබෙනු ඇතැ යි අපේක්ෂාවෙන් නබි ﷺ තුමාණෝ තායිෆ් වෙත පිටත් ව ගියහ. එහෙත් ඔවුහු එතුමාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කොට සමච්චලයට ලක් කළෝය. එපමණක් නොව, ඔවුහු තම අඥාන මුග්ධයින් ව එතුමාට එරෙහි ව උසිගැන්වූ අතර, එතුමාගේ ගෞරවනීය පාද යුගලයෙන් ලේ ගලන තුරු එතුමාට ගල් ගැසුවෝය.
කරුණා දයාවේ අවස්ථාව: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩි කණගාටුවෙන් යුතු ව තායිෆ් නුවරින් පිටත් ව ගියේය. මක්කාව වෙත වූ එතුමාණන්ගේ යළි ගමනේ දී, අල්ලාහ් එතුමාණන් වෙත ජිබ්රීල්, (අලයිහිස් සලාම්) ව යැවූ අතර ඔහු සමඟ කඳුවලට භාර මලක්වරයා ද විය. නබිතුමා අභිමත කරන්නේ නම්, මක්කා වැසියන් ව විනාශ කර දැමීම සඳහා ඔවුන් මත කඳු දෙක (අල්-අක්ශබයින්) එකට එක් කිරීමට එතුමාණන්ට එහි දී තේරීමක් ලබා දෙන ලදී.
එතුමාණන්ගේ උතුම් වූ පිළිතුර: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කඳු භාර දූතයාට ඉවසිලිවන්තයෙකුගේ මෛත්‍රියෙන් යුතු ව පිළිතුරු දෙමින් මෙසේ පැවසූහ: "ඒ වෙනුවට, අල්ලාහ්ට පමණක් නැමදුම් කරන සහ උතුමාණන්ට කිසිවක් ආදේශ නොකරන පිරිසක් ඔවුන්ගේ කොඳුඇට පෙළෙන් අල්ලාහ් මතු කරනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි." [මූලාශ්‍රය: අල් බුහාරි සහ මුස්ලිම්].
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ස්ථාවරත්වය: එක ම වසරක් තුළ තම ප්‍රධානතම සහායකයින් (කදීජා සහ අබූ තාලිබ්) අහිමි වීම දරා ගැනීමේ දී එතුමාණන්ගේ ඉවසීම මනාව පිළිබිඹු විය. එසේ වුව ද, මෙම විපත එතුමාණන් ව තම ප්රචාරක කටයුතු අඛණ්ඩ ව කරගෙන යාමෙන් වැ නැත.
2- නබි ﷺ තුමාණන් ව ආරක්ෂා කිරීමේ කර්තව්‍යය අපා ගින්නෙන් තමාට ආරක්ෂාව ලැබීමට අබූ තාලිබ්ට ඉවහලක් වූයේ නැත. ඊට හේතුව සැබැවින් ම ඔහු අල්ලාහ්ට යමක් ආදේශ කළ තත්ත්වයේ මිය ගිය බැවිනි; එබැවින් අල්ලාහ් පිළිබඳ විශ්වාසය සහ ඔහුට අවංක වීම යන පදනම මත යම් කාර්යයක් ඉටු කර තිබුණේ නම් මිස, පරලොව දී කිසිදු ක්‍රියාවක් එය සිදු කළ අයට ප්‍රයෝජනවත් වන්නේ නැත.
3- තායිෆ්හි දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට මුහුණ දෙන්නට සිදු වූ කායික හා මානසික පීඩාවන් යනු, අල්ලාහ්ගේ වචනය උසස් කිරීම වෙනුවෙන් කරනු ලබන කැපකිරීම හා දරාගැනීම සම්බන්ධයෙන් මුස්ලිම්වරයෙකුට ඇති පාඩමකි.
4- හැකියාව තිබියදීත් පරිපූර්ණ ලෙස සමාව දීම: තමන්ට පීඩා කළවුන් විනාශ කිරීම නබිතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රතික්ෂේප කළේ, අල්ලාහ් ඔවුන්ගේ දරු පරපුරට යහමග පෙන්වනු ඇතැ යි යන අපේක්ෂාවෙන් ඔවුන් කෙරෙහි ඉවසීම වඩාත් ප්‍රිය කරමිනි.
5- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මිනිසුන්ට දයාව හා කරුණාව දක්වන්නෙකු වූ අතර, එතුමා ඔවුන්ට විනාශය නොව මග පෙන්වීම බලාපොරොත්තු විය. මෙය සර්වබලධාරී අල්ලාහ්ගේ පහත ප්‍රකාශයෙන් සනාථ වේ: තව ද ලෝවැසියන් හට දයාවක් වශයෙන් මිස අපි නුඹ නොඑව්වෙමු. (අල් අන්බියා: 107)
6- යුතුකම් ඉටු කිරීම හා හේතු සාධක සූදානම් කර ගැනීම: උත්තරීතර අල්ලාහ් කෙරෙහි සියල්ල භාර කරමින් තම ආගමානුගත අරමුණ තහවුරු කර ගැනීම උදෙසා මුස්ලිම්වරයෙකු නිරන්තරයෙන් උත්සාහ කළ යුතු ය. තව ද මෙම අරමුණ තහවුරු කර ගැනීම සඳහා ඔහුට ලබා ගත හැකි සියලු හේතු සාධක ඔහු සූදානම් කර ගත යුතු ය. මෙම හේතු සාධකවලින් එකක් අහිමි වීම හෝ ඔහුට සහාය දක්වන්නන් අඩු වීම හෝ ඔහු ව අසරණ නොකළ යුතු ය.
අටවන පාඩම: අස් ඉස්රා වල් මිඃරාජ් සහ සඳ දෙකඩ වීමේ ප්රාතිහාර්යය:
අල් ඉස්රාඃ වල්මිඃරාජ් ගමන: මෙම අතිමහත් ප්රාතිහාර්යය එතුමාණන්ගේ පනස් වන වියට පසු ව සිදුවිය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ළය විවර කිරීම: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: «මා මක්කාවේ සිටිය දී මාගේ නිවසේ වහලය විවෘත කරන ලදී, එවිට ජිබ්රීල් (ﷺ) තුමාණන් පහළ වී මාගේ පපුව විවෘත කළේය, පසු ව එය සම්සම් ජලයෙන් සේදුවේය, ඉන්පසු ප්‍රඥාවෙන් සහ විශ්වාසයෙන් පිරුණු රන් බඳුනක් ගෙනැවිත් එය මාගේ පපුවට වත් කළේය, පසු ව එය වසා දැමුවේය.» [මූලාශ්‍රය: අල් බුහාරි සහ මුස්ලිම්]
අල් ඉස්රාඃ: යනු නබි ﷺ තුමාණන් රාත්‍රී කාලයේ මක්කාවේ මස්ජිදුල් හරාම්හි සිට බෛතුල් මුකද්දස් (ජෙරුසලම්) හි මස්ජිදුල් අක්සා දක්වා ගිය ගමන යි.
අල්මිඃරාජ් යනු: එතුමා බයිතුල් මුකද්දසය සිට ඉහළ අහස වෙත නැඟ, සත්වැනි අහසේ ඉතා විශාල ගසක් වන "සිද්රතුල් මුන්තහා" තෙක් ගිය ගමන යි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: අපගේ සංඥාවන් ඔහුට පෙන්වනු පිණිස (මක්කාහ්වේ පිහිටි) මස්ජිදුල් හරාම්හි සිට ඒ අවට අපි සමෘද්ධිමත් කළ (ජෙරුසලමේ පිහිටි) මස්ජිදුල් අක්සා දක්වා තම ගැත්තා ව එක් රාත්‍රියක ගමන් කෙරෙව්වා වූ ඔහු (අල්ලාහ්) සුවිශුද්ධ ය. නියත වශයෙන් ම ඔහු ම ය සර්ව ශ්‍රාවක. සර්ව නිරීක්ෂක. (අල් ඉස්රාඃ: 1)
කරුණාවේ සහ බලයේ දසුන්: මෙම රාත්‍රියේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපතිගේ අතිමහත් සාධක දුටූහ; එතුමාණෝ ස්වර්ගය හා නිරය දුටූහ. තව ද, නබිවරුන් (අලයිහිමුස් සලාම්) මුණගැසී මස්ජිදුල් අක්සාවෙහි දී ඔවුන් සමඟ සලාතය ඉටු කළහ. අල්ලාහ් තආලා කිසිදු අතරමැදියෙකු නොමැති ව තිරයකින් ඔබ්බෙහි සිට එතුමාණන්ට කතා කළේය. තව ද, පස්වේල සලාතය එතුමාණන්ට අනිවාර්ය කළේය.
ජනයාගේ ස්ථාවරය: නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් මක්කාවෙහි උදෑසන උදා වී, සිදු වූ දෑ පිළිබඳ ව ජනයාට පවසා සිටි විට, විශ්වාසවන්තයින්ගේ විශ්වාසය හා සත්‍යබව වර්ධනය විය. එහෙත් ප්රතික්ෂේපකයින්ගේ මුරණ්ඩුකම සහ අසත්‍ය කිරීම උත්සන්න විය.
සඳ දෙකඩ වීම: මිථ්‍යාදෘෂ්ටිකයින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් එතුමාණන්ගේ සත්‍යතාව සහතික කරන භෞතික ප්රාතිහාර්යයක් ඉල්ලා සිටියෝය. එවිට මිනිසුන් එය සියැසින් දකින පරිදි අල්ලාහ් එතුමාණන් වෙනුවෙන් චන්ද්‍රයා කොටස් දෙකකට දෙකඩ කළේය. එසේ වුව ද, කුරෙයිෂ් ගෝත්‍රික මිථ්‍යාදෘෂ්ටිකයින් ඊට පිටුපෑ අතර මෙය මායාවක් යැයි පැවසුවෝය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: අවසන් හෝරාව සමීප වී ඇත. තව ද චන්ද්‍රයා පැළී ගොස් ඇත. තව ද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුහු පිටුපා (මෙය) “පැවත එන මායාවක්” යැයි පවසති. (අල් කමර් 54:1,2)
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- සුවිශුද්ධ වූ අල්ලාහ් සියලු දෑහි සර්ව බලධාරීයා වේ. ඉස්රා සහ මිරාජ් මෙන් ම චන්ද්‍රයා දෙපළු වීමේ ප්රාතිහාර්යයන්, සුවිශුද්ධ වූ උතුමාණන්ගේ පූර්ණවත් බලය පිළිබඳ සාක්ෂි අතුරින් වූ ප්‍රබල සාක්ෂියකි.
2- ශෝක වසරට පසු ව සිදු වූ මෙම ගමන, දඃවා මාර්ගයේ වෙහෙස හා හිංසා පීඩාවන් විඳිමින් ගත කළ දිගු වසර ගණනාවකට පසු ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට කළ මහත් වූ ගරුබුහුමන් කිරීමක් මෙන් ම, එතුමාණන්ගේ හදවත සවිමත් කිරීමක් සහ එතුමාණන්ට ලබා දුන් සැනසීමක් බඳු විය.
3- සලාතය යනු ජිබ්රීල් (අලෛහිස් සලාම්) දූතයාගේ මැදිහත්වීමකින් තොර ව අල්ලාහ්ගෙන් ඔහුගේ රසූල්වරයා වෙත සෘජු ව ම අහසේ දී අනිවාර්ය කරන ලද එක ම නැමදුම යි. මුස්ලිම්වරයෙකුගේ ජීවිතය තුළ එහි ඇති ශ්‍රේෂ්ඨත්වය හා වැදගත්කම මෙයින් පෙන්නුම් කරයි.
4- අල්ලාහ් මෙම ප්රාතිහාර්යයන් නබිත්වයේ අවංකභාවයට පැහැදිලි සාක්ෂියක් බවට පත් කළේය. එහෙත් සත්‍යයෙන් තම හදවත වසා ගත් අයට එම සාක්ෂි කෙතරම් බලවත් වුව ද කිසිදු ප්‍රයෝජනයක් නොවනු ඇත.
5- ඵලදායී කරුණ: ඉස්රාඃ හා මිඃරාජ් රාත්‍රිය විශේෂ උත්සවයක් හෝ නිශ්චිත නැමදුම් කටයුත්තක් සඳහා වෙන් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් හෝ එතුමාණන්ගේ සහාගාමීන් (රළියල්ලාහු අන්හුම්) විසින් තහවුරු වී නැත. එබැවින් සියලු යහපත ඇත්තේ ඔවුන්ගේ මඟ පෙන්වීම අනුගමනය කිරීමෙහි සහ ඔවුන් සිදු නොකළ දෑ අත්හැරීමෙහි ය.
6- ඉස්රාඃ සහ මිරාජ් යන ගමන ආත්මික ව හා ශාරීරික ව එකවර සිදු වූ අතර, එහි දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවදි ව සිටි තත්ත්වයක පසු විය. මෙය ප්රාතිහාර්යයේ ශ්‍රේෂ්ඨත්වය සහ උත්තරීතර අල්ලාහ්ගේ බලයේ පරිපූර්ණත්වය පෙන්වා දෙන සාක්ෂියක් වේ.
7- සැබැවින් ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත: මුස්ලිම්වරයෙකු තම ගමන් මඟෙහි ඉදිරියට ම යා යුතු අතර, ඔහුට හමු වන දුෂ්කරතා පිළිබඳ ව නොසැලකිය යුතු ය. තව ද ඔහු අතිමහත් වූ ද ශ්‍රේෂ්ඨ වූ ද අල්ලාහ් කෙරෙහි දැඩි සේ විශ්වාස කළ යුතු අතර, ජයග්‍රහණය ඉවසීම සමඟ ඇති බවත්, සහනය දුක සමඟ ඇති බවත්, දුෂ්කරතාව සමඟ පහසු ව ඇති බවත් දත යුතු ය.
නවවන පාඩම: අන්සාර්වරුන් සහ පළමු හා දෙවන අකබා ගිවිසුම්:
අන්සාර්වරුන් හමුවීම: නබිත්වයෙන් එකොළොස්වන වසරේ, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මක්කාව ආසන්නයේ මිනාහි අකබා නම් ස්ථානයේ දී අන්සාර්වරුන් (මදීනාවාසීන්) කිහිප දෙනෙකු හමු වූහ. පසු ව එතුමාණෝ ඔවුන් සමග අසුන් ගෙන ඉස්ලාමය වෙත ඔවුනට ආරාධනා කළහ. එවිට ඔවුහු එතුමාණන්ට ප්‍රතිචාර දක්වා එතුමාණන් ව විශ්වාස කළෝය. ඔවුන් මදීනාවට ආපසු හැරී ගිය කල්හි, එතුමාණන්ගේ පුවත සහ ආරාධනය ඔවුන්ගේ ජනතාව වෙත ගෙන ගියෝය. ඒ අනුව ඔවුන් අතර ඉස්ලාමය ව්‍යාප්ත විය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳ ව සඳහන් නොවන කිසිදු නිවසක් අන්සාර්වරුන්ගේ නිවාස අතුරින් ඉතිරි නොවීය.
පළමු අකබා ගිවිසුම: දූත මෙහෙවරේ දොළොස්වන වසරේ දී, අව්ස් සහ කස්රජ් (අන්සාර්වරුන්) ගෙන් යුත් නියෝජිත පිරිසක් පැමිණ, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට "පළමු අකබා ගිවිසුම" නමින් ප්‍රතිඥා දුන්හ. එහි දී එතුමාණෝ ඔවුන්ට ඉස්ලාමය ඉගැන්වූ අතර, තමන්ට ප්‍රතිඥා දෙන මෙන් ඔවුන්ට ආරාධනා කළහ. ඒ අනුව ඔවුහු පහත කරුණු මත එතුමාණන්ට ප්‍රතිඥා දුන්හ: අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන මෙන් ද, සොරකම් නොකරන මෙන් ද, කාමමිථ්‍යාචාරයේ නොයෙදෙන මෙන් ද, තම දරුවන් ඝාතනය නොකරන මෙන් ද, තම අත් පා අතුරින් ගොතන ලද බොරු අපවාදයක් ගෙන නොඑන මෙන් ද, යහපත් කරුණුවල දී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට අකීකරු නොවන මෙන් ද යනුවෙනි.
ඉන්පසු ඔවුන්ට ප්‍රතිඵලය පැහැදිලි කරමින් මෙසේ පවසයි: “එබැවින් නුඹලාගෙන් කවරෙකු එය පිළිපදින්නේ ද ඔහුගේ ප්‍රතිඵල අල්ලාහ් මත වන්නේය. මේවායින් කිසිවක් හෝ යමෙක් සිදු කොට මෙලොවෙහි ඔහුට දඬුවම් දෙනු ලැබුවේ ද එය ඔහුට ප්‍රතිකර්මයක් වන්නේය. මේවායින් කිසිවක් හෝ යමෙක් සිදු කොට පසු ව අල්ලාහ් එය වසන් කළේ ද එය අල්ලාහ් වෙත වූ කරුණක් වන්නේය. ඔහු අභිමත කළේ නම් එම තැනැත්තාට සමාව දෙනු ඇත. ඔහු අභිමත කළේ නම් එම තැනැත්තාට දඬුවම් දෙනු ඇත.” [මූලාශ්‍ර ග්රන්ථ: අල් බුහාරි හා මුස්ලිම්]
ඉස්ලාමයේ ප්‍රථම තානාපතිවරයා: ප්‍රතිඥාව සම්පූර්ණ වී හජ් වන්දනා කාලය අවසන් වූ පසු, මදීනාවේ නව මුස්ලිම්වරුන්ට ඉස්ලාමයේ නීතිරීති ඉගැන්වීම පිණිස හා දහම පිළිබඳ ව ඔවුන්ට අවබෝධයක් ලබා දීම පිණිස, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙම ප්‍රතිඥාව ලබා දුන් පිරිස සමඟ ඉස්ලාමයේ ප්‍රථම තානාපතිවරයා ව යැවූහ. මෙම කාර්යය සඳහා එතුමාණන් තෝරා ගත්තේ මුල් කාලීන ව ඉස්ලාමය වැළඳගත් පෙරගමන්කරුවන් අතුරින් වූ ඉස්ලාමීය තරුණයෙකු වන මුස්අබ් බින් උමයිර් (රළියල්ලාහු අන්හු) තුමා ව ය.
දෙවන අකබා ගිවිසුම: නබිත්වයෙන් දහතුන්වන වසරේ දී, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුණගැසීම සඳහා වඩාත් විශාල නියෝජිත පිරිසක් පිටත් ව ගියහ. තව ද, එතුමාණන් ඔවුන් වෙත හිජ්රත් කර පැමිණියහොත් එතුමාණන්ට ආරක්ෂාව සහ සහයෝගය ලබා දීමටත්, තමන්, තම පවුලේ අය සහ තම දරුවන් යම් දෙයකින් ආරක්ෂා කර ගන්නේ ද එයින් එතුමාණන් ව ද ආරක්ෂා කිරීමටත් "දෙවන අකබා ගිවිසුම" මගින් ඔවුහු එතුමාණන්ට ප්‍රතිඥා දුන්හ.
මහත් වූ ලාභය: අන්සාර්වරු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ විමසා සිටියහ: «අල්ලාහ්ගේ දූතයාණෙනි, අපි මෙම ප්‍රතිඥාව ඉටු කළහොත් අපට ලැබෙන්නේ කුමක් ද?», එවිට එතුමාණෝ (ﷺ) එක් වචනයකින් ඔවුන්ට පිළිතුරු දුන්හ: «ඔබට ස්වර්ගය යි», එබැවින් ඔවුහු පූර්ණ අවංකභාවයෙන් හා සතුටින් එතුමාණන්ට ප්‍රතිඥා දුන්හ.
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කිසිදු වෙහෙසකින් හෝ පසුබට වීමකින් තොර ව සියලු දෙනාට ම ඉස්ලාමය ඉදිරිපත් කිරීමේ කටයුතුවල දී දිගට ම නිරත වීම ඇරයුම් කරන්නන්ට මහත් වූ ආදර්ශයකි; එබැවින් ස්ථීරභාවය සහ ඒකාන්ත විශ්වාසය සාර්ථකත්වයේ යතුර වේ.
2- අන්සාර්වරුන්ගේ මහිමය: සත්‍යයට ප්‍රතිචාර දැක්වීමේ දී ඔවුන් දැක්වූ යුහුසුලුබව ද යහපත ඔවුන්ගේ ප්‍රදේශ පුරා පැතිර යන තෙක් තම ඥාතීන් හා අසල්වැසියන් අතර ඉස්ලාමය පතුරුවා හැරීමේ දී ඔවුන් තුළ පැවති උනන්දුව ද තුළින් මදීනාවාසීන්ගේ උසස් තත්ත්වය කැපී පෙනේ.
3- ඉස්ලාමීය රාජ්‍යය ස්ථාපිත කිරීමේ අඩිතාලම වූයේ අකබා ගිවිසුම් දෙක ය. මක් නිසා ද යත්, අවනත වීමටත්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ආරක්ෂාව සැපයීමටත්, එතුමාණන්ගේ දහමට සහාය වීමටත් වූ ප්‍රතිඥාව එහි අන්තර්ගත වී තිබූ බැවිනි.
4- නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ එතුමාණන්ට සහය වීම වෙනුවෙන් අන්සාර්වරුන්ට තනතුරු හෝ ධනය ලබා දෙන බවට ප්‍රතිඥා නොදුන්හ. ඒ වෙනුවට, දෙවියන් විශ්වාස කරන්නාගේ සැබෑ ලාභය වනාහි අල්ලාහ්ගේ ප්‍රසාදය සහ සදාකාලික භාග්‍යය බව අපට ඉගැන්වීම පිණිස ඔවුනට ස්වර්ගය හිමි වන බවට ප්‍රතිඥා දුන්හ.
5- අන්සාර්වරු (රළියල්ලාහු අන්හුම්) අල්ලාහ් හා ඔහුගේ දූතයා කෙරෙහි ඇති ආදරය නිසාවෙන් තම ප්‍රාණය හා තම වස්තූන් කැප කරන බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ප්‍රතිඥා දුන්නෝය. එබැවින් ඔවුන්ගේ ප්‍රතිඵලය ස්වර්ගය වීමට ඔවුහු සුදුසුකම් ලැබුවෝය.
6- ඵලදායී කරුණ: අල් අකබා යනු මක්කාවට ආසන්නයේ "මිනා" හි පිහිටි ප්රදේශයකි. එය කුරයිෂ්වරුන්ගේ ඇස් මානයෙන් ඈත් ව කඳු අතර ආවරණය වූ ස්ථානයක් වූ බැවින්, අන්සාර්වරුන් රහසිගත ව හමුවීම සඳහා නබි ﷺ තුමාණන් විසින් එය තෝරා ගන්නා ලදී.
දහවන පාඩම: මදීනා නගරය දක්වා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සංක්‍රමණය
එය ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ තීරණාත්මක ඓතිහාසික ගමන වන අතර, ඉස්ලාමීය රාජ්‍යය ගොඩනැගීමේ අදියර එයින් ආරම්භ විය:
හිජ්රත් ගමන සඳහා අවසරය සහ නික්ම යාමේ ආරම්භය: දෙවන අකබා ප්‍රතිඥාව සම්පූර්ණ වී, මදීනාවාසීන්ගේ සහාය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි0 වසල්ලම්) තුමාණන්ට තහවුරු වූ කල්හි, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය ලබා ගනු පිණිස හිජ්රත් (සංක්‍රමණය) කරන මෙන් එතුමාණෝ තම සහගාමීන්ට අවසර දුන්හ. ඒ අනුව සහගාමීහු අල්ලාහ් සතු ව ඇති දෑ අපේක්ෂාවෙන් පිටත් ව ගියහ. ඔවුහු තම නිවාස, දේපළ හා තම පවුල් අත්හැර දැමුවෝය. කුරයිෂ්වරුන්ගේ ඇස්වලින් සැඟවී වෙන් වෙන් වූ කණ්ඩායම් වශයෙන් ඔවුහු පිටත් ව ගියෝය. ඔවුන් අතුරින් පා ගමනින් ගිය උදවිය ද සතුන් පිට නැඟී ගිය උදවිය ද වූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ට පිටත් ව යාමට තම පරමාධිපතිගෙන් අවසර ලැබෙන තෙක් මක්කාවෙහි රැඳී සිටියහ. එතුමාණන් සමඟ එතුමාගේ සහගාමී අබූ බක්ර්තුමා ද අලී බින් අබී තාලිබ් (රළියල්ලාහු අන්හුමා) තුමා ද වූහ.
"දාරුන් නද්වා"හි කුමන්ත්‍රණය සහ අල්ලාහ් සිය නබිවරයා ව ආරක්ෂා කිරීම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සගයින් මදීනාවෙහි ආරක්ෂාව සහ ශක්තිය ලබා ඇති බව කුරයිෂ්වරුන් දුටු විට, එතුමාණන්ගේ දහම ව්‍යාප්ත වීම ගැන ඔවුහු බිය වූහ. එබැවින් ඔවුන්ගේ ප්‍රධාන ප්රතික්ෂේපකයෝ සාකච්ඡා කිරීම සඳහා "දාරුන් නද්වා"හි රැස්වූහ. තව ද, එතුමාණන්ගේ රුධිරය ගෝත්‍ර අතර විසිරී යන පරිදි සෑම ගෝත්‍රයකින් ම එක් අයෙකු බැගින් ඔවුන් දූතයාණන්ට එකවර පහර දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව ඝාතනය කිරීමට ඔවුහු එකඟ වූහ. එහෙත් උත්තරීතර අල්ලාහ් ඔවුන්ගේ කුමන්ත්‍රණය ගැන සිය නබිවරයාට හෙළි කළ අතර එතුමාණන්ට හිජ්රතය සඳහා අවසර ලබා දුන්නේය. එබැවින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අලී බින් අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාණන්ට තමන්ගේ යහනෙහි නිදාගන්නා ලෙස අණ කළහ; ඒ එතුමාණන් තවමත් නිවසේ සිටින බවට ප්රතික්ෂේපකයින්ට මායාවක් ඇති කිරීමටත්, අමානතයන් (විශ්වාසයෙන් යුතු ව භාර දෙන ලද වස්තූන්) ඒවායේ හිමිකරුවන්ට භාර දීමටත් ය. තව ද අල්ලාහ් එතුමාණන් පිළිබඳ ව ඔවුන්ගේ දෑස් අන්ධ කළ බැවින්, ඔවුනට නොපෙනෙන සේ එතුමාණෝ ඔවුන් අතුරින් පිටතට පැමිණියහ.
සව්ර් ගුහාව තුළ සහ දේව රැකවරණය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහායක අබූ බක්ර් අස්-සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා සමගින් පිටත් ව එහි සැඟවී සිටීම පිණිස "සව්ර් ගුහාව" වෙත ගොස් දින තුනක් එහි රැඳී සිටියහ. මේ අතරතුර, ඔවුන් දෙදෙනා සෙවීම සඳහා කුරෙයිෂ්වරු තම උපරිම උත්සාහය දැරූ අතර, ඔවුන් දෙදෙනා ඝාතනය කරන හෝ අල්ලාගෙන එන අයට මහඟු ත්‍යාගයක් (ඔටුවන් සියයක්) ප්‍රකාශයට පත් කළහ. බහුදේවවාදීන් ගුහාවේ දොරටුව අසළට පැමිණි විට, අබූ බක්ර්තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතය පිළිබඳ ව බියට පත් ව මෙසේ පැවසීය: "ඔවුන්ගෙන් එක් අයෙකු ඔහුගේ පාද යට බැලුවහොත්, ඔහු අප ව දකිනු ඇත." එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉමහත් විශ්වාසයකින් යුතු ව ඔහුව සනසමින් මෙසේ පැවසූහ: "අහෝ අබු බක්ර්, ඔබ දෙදෙනෙකු ගැන සිතන්නේ කුමක් ද? අල්ලාහ් තුන්වැන්නා ලෙස සිටී.", එබැවින් ඔවුන්ගේ දැඩි සමීපත්වය තිබුණ ද, අල්ලාහ් එකී ආදේශ තබන්නන් ඔවුන් වෙතින් හරවා යැවීය.
කුබා දේවස්ථානය ඉදිකිරීම සහ මදීනාවට ඇතුළු වීම: ගල් ලෙනෙන් බැහැර වූ පසු ව, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කාෆිර්වරුන්ගේ දෙනෙත්වලින් ඈත් වූ මාර්ගයකින් ගමන් කර "කුබා" ප්‍රාන්තයට ළඟා වූහ. එහි දී එතුමාණෝ ඉස්ලාමයේ පළමු දේවස්ථානය වන "කුබා මස්ජිදය" ඉදි කළහ. ඉන් දින කිහිපයකට පසු මදීනාව බලා පිටත් ව ගියහ. එහි වැසියෝ විස්තර කළ නොහැකි තරම් ඉමහත් සතුටකින් හා ප්‍රීතියකින් එතුමාණන් පිළිගත් අතර, එතුමාණන්ගේ අතිඋතුම් ආගමනය නිමිත්තෙන් වූ ප්‍රීතිය හේතුවෙන් නිවාසයන් තක්බීර් සහ තහ්මීද් නාදයන්ගෙන් රැව් පිළිරැව් දුන්නේය.
රාජ්‍යය පිහිටුවීම සහ ජිහාද් නීතිගත කිරීම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මදීනා නගරයේ ස්ථාවර වූ වහා ම, රාජ්‍ය මූලස්ථානය වීම පිණිස "මස්ජිදුන් නබවි" ගොඩනැගීමට ආරම්භ කළහ. ඔවුන් එක ම බලවේගයක් බවට පත් වනු පිණිස මුහාජිර්වරුන් සහ අන්සාර්වරුන් අතර සහෝදරත්වය ගොඩනැගූහ. තත්ත්වය ස්ථාවර වී මුස්ලිම්වරුන්ට ශක්තිය හා බලය හිමි වූ පසු, අසාධාරණය තුරන් කිරීම පිණිස අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් අරගලයේ නිරත වීමට අල්ලාහ් ඔවුනට අවසර දුන්නේය. එවිට අල්ලාහ්ගේ මෙම වදන පහළ විය: සටන් කරන්නන් හට අනුමැතිය දෙන ලදි. හේතුව නියත වශයෙන් ම ඔවුන් අපරාධයට භාජනය කරනු ලැබූ හෙයිනි. තව ද නියත වශයෙන් ම අල්ලාහ් ඔවුනට උදව් කිරීමට ශක්තිවන්ත ය. (අල් හජ්: 39)
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- කැපකිරීමේ ශ්‍රේෂ්ඨත්වය: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සහ එතුමාණන්ගේ සහචරයින්ගේ ‘හිජ්රත්’ හෙවත් නික්ම යෑම මෙන් ම ඔවුන් තම මවුබිම හා දේපළ අත්හැර දැමීම මුළුමනින් ම අල්ලාහ් වෙනුවෙන් පමණක් ම සිදු කරන ලද්දකි. දහම යනු අන් සියල්ලට ම වඩා වටිනා ම දෙය බව මෙයින් අපට උගන්වනු ලබයි.
2- අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමාගේ මහිමය: ශ්‍රේෂ්ඨතම ගමනේ දී නබිතුමාණන්ගේ සහවාසයේ ගෞරවය එතුමා හිමිකර ගත් අතර, අල්ලාහ්ගේ දූතයාණන්ට මිනිසුන් අතුරින් වඩාත් ම සමීපතමයා ලෙස එතුමාගේ උසස් තත්ත්වය ද තහවුරු විය.
3 - උත්තරීතර අල්ලාහ් තම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ආරක්ෂාව සැලසීම භාරගෙන ඇති අතර ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණවලින් එතුමාණන් ව වළක්වා ඇත. එබැවින් අල්ලාහ් කවරෙකු සමග සිටින්නේ ද, ඔහු ව පරාජය කළ හැක්කෙක් නොමැත.
4- ගුහාව තුළ වූ දුෂ්කර ම අවස්ථාවල දී තම පරමාධිපතියාණන් කෙරෙහි වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ විශ්වාසය මනාව ප්‍රකට විය. එයින් අපට උගන්වන්නේ, ඉවසීම සහ දෙවිඳාණන් වෙත වූ සමීපත්වය පිළිබඳ ස්ථිර විශ්වාසය සමඟ සහනය පැමිණෙන බව යි.
5- අන්සාර්වරුන්ගේ මහිමය: මදීනාවාසීන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි දැක්වූ ආදරය හා එතුමාණන් සම්බන්ධයෙන් ඔවුන් තුළ වූ සතුට මෙහි දී දිස් විය. එමගින් ඔවුන්ගේ යහපත් ස්වභාවය ද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට ඔවුන් අවංක ව උපකාර කළ ආකාරය ද පෙන්නුම් කළේය.
6- රාජ්‍යය ස්ථාපිත වීමෙන් හා ඒ සඳහා හැකියාව ලැබීමෙන් පසු ව සුදුසු අවස්ථාවේ දී 'ජිහාද්' හෙවත් අරගලය නීතිගත කරන ලදී. මුස්ලිම්වරුන්ගේ තත්ත්වයන් පිළිබඳ ව සැලකිලිමත් වීමේ දී මෙය අල්ලාහ්ගේ දයාව හා ප්‍රඥාව අතුරින් වූවකි.
7- මුස්ලිම්වරුන්ගේ ජීවිතය තුළ මස්ජිදයේ වැදගත්කම: මුස්ලිම්වරුන්ගේ ජීවිතය තුළ මස්ජිදයට හිමි ස්ථානය සහ වැදගත්කම සලකා බලා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට යන අතරමග දී සිදු කළ පළමු කාර්යය වූයේ කුබා මස්ජිදය ඉදි කිරීම යි. ඉන් පසු ව මදීනාවට ඇතුළු වූ විට, දැන් ප්‍රකට ව පවතින මස්ජිදුන් නබවි දේවස්ථානය අදාළ ස්ථානයේ ඉදි කළහ.
එකොළොස්වන පාඩම: අල්ලාහ් තආලාගේ මාර්ගයේ ජිහාද්හි ආරම්භය හා මහා බද්ර් යුද්ධය:
යුධ මෙහෙයුම් සහ සේනාංක ආරම්භ කිරීම:
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ යුධ මෙහෙයුම් විසි එකක නිරත වූහ. ඒවායින් පළමුවැන්න හිජ්රි දෙවන වසරේ අබ්වා (වද්දාන්) යුධ මෙහෙයුම යි. එහි අවසානය හිජ්රි නවවන වසරේ රජබ් මාසයේ තබූක් (අල්-උස්රා) යුධ මෙහෙයුම යි. තව ද එතුමාණෝ සේනාංක ද යැවූහ.
යුධ මෙහෙයුම් (අල් ගzස්වහ්) යනු: එහි සටනක් සිදු වුව ද හෝ සිදු නොවුව ද, නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා පිටත් ව ගොස් එතුමා විසින් ම මුස්ලිම්වරුන් ව මෙහෙය වූ අරගල ය.
සාරියා යනු: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිටත් ව නොගිය සේනාංක යි. එහි සටන් ඇති වීමට ද හැක, එසේ ම සටන් ඇති නොවීමට ද හැක. බොහෝ විට සාරියා කණ්ඩායමේ සංඛ්‍යාව කුඩා වේ.
හිජ්රි දෙවන වසරේ බද්ර් සටනේ ජයග්‍රහණය:
මෙම යුද්ධයට හේතුව වූයේ, කුරෙයිෂ්වරුන්ට අයත් විශාල ධනයක් රැගත් වෙළඳ කණ්ඩායමක් ෂාම් දේශයේ සිට පැමිණෙන බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට ආරංචි වීම ය. එබැවින් එය හරස් කරන මෙන් එතුමාණෝ ජනයාට කැඳවුම් කළහ. කුරෙයිෂ්වරුන් මුහාජිර්වරුන් ව ඔවුන්ගේ දේශයෙන් පිටමං කොට, ඔවුන්ගේ නිවෙස්, දේපළ හා ධනය කොල්ලකෑමට එරෙහි ව ඔවුනට දඬුවමක් වශයෙන් එතුමාණෝ තුන්සිය දහයකට අධික පිරිසක් සමඟ පිටත් වූහ. මෙම පුවත කුරෙයිෂ්වරුන්ට ආරංචි වූ විට, ඔවුහු එක්දහස් තුන්සියයක් හෝ ඊට වැඩි සටන්කාමීන් පිරිසක් එක්රැස් කළහ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම සහගාමීන් සමඟ සාකච්ඡා කළ අතර, ඔවුහු සතුරන්ට මුහුණ දීමට දැඩි තීරණයකට එළඹුණහ. මෙම යුද්ධය රමළාන් මාසයේ දී සිදු වූ අතර, එහි දී ඉස්ලාමීය සේනාව සහ ප්රතික්ෂේපකයින්ගේ සේනාව එකිනෙකා හමු වී සටන උග්‍ර විය. එහි දී අල්ලාහ් තම නබිවරයාට අතිමහත් වූ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නේය. මුස්ලිම්වරුන්ගෙන් දහහතර දෙනෙකු දිවි පිදූ අතර, ප්‍රතික්ෂේපකයින්ගෙන් හැත්තෑවක් ඝාතනය වී තවත් හැත්තෑවක් යුද සිරකරුවන් බවට පත් වූහ. ඔවුන්ගෙන් බහුතරයක් කුරෙයිෂ් ප්රතික්ෂේපකයින්ගේ ප්‍රධානීහු හා නායකයෝ වූහ. එමගින් අල්ලාහ් ඉස්ලාමය සහ මුස්ලිම්වරුන් ගෞරවයට පත් කළ අතර, බහුදේවවාදය හා බහුදේවවාදීන් පහත් තත්ත්වයට පත් කළේය. සකල ලෝකයන්හි පරමාධිපති අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා හිමි ය.
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- අල්ලාහ්ගේ වචනය උසස් කරවනු පිණිසත්, ඉස්ලාම් දහම ව්‍යාප්ත කරනු පිණිසත්, යුක්තිය ස්ථාපිත කරනු පිණිසත්, අසාධාරණය හා අයුක්තිය තුරන් කරනු පිණිසත් අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම දහම්ගත කිරීම.
2- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පූර්වාදර්ශී නායකයෙක් හා නිර්භීත ආදර්ශමත් පුරුෂයෙක් වෙයි: එතුමා ප්රතික්ෂේපකයින්ට එරෙහි ව සටන් කිරීම සඳහා තම ආත්මය කැප කරමින් පිටත් ව ගිය තැනැත්තා ය.
3- දෙවියන් ප්‍රතික්ෂේප කරමින් යුධ වදින්නන්ගේ වස්තුව අත්පත් කර ගැනීම අනුමත බව, කුරෙයිෂ්වරුන්ගේ වෙළඳ මාර්ගය අවහිර කිරීම සහ ඔවුන් ආර්ථික වශයෙන් දුර්වල කිරීම. මහා බද්ර් යුද්ධය සඳහා ප්‍රධාන හේතුව වූයේ මෙය යි.
4- පිටත් ව යාම හා මුහුණ දීම සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහචරයින් සමඟ සාකච්ඡා කිරීම: ඒ තුළින් සියලු කටයුතුවල දී, විශේෂයෙන් ම ඉන් වැදගත් කටයුතුවල දී අදහස් විමසීම ආගමානුගත කර ඇත.
5- දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ සුවිසල් කණ්ඩායමට එරෙහි ව සංඛ්‍යාවෙන් අඩු මුඃමින්වරුන්ගේ කණ්ඩායමට අල්ලාහ් උදව් කරයි: එනම්, දේවත්වය ප්‍රතික්ෂේප කරන කුරයිෂ්වරුන්ට එරෙහි ව නබිවරයාණන්ට හා එතුමාණන්ගේ සහචරයින්ට උදව් කළාක් මෙන් ය. තව ද ඔවුන්ගේ සංඛ්‍යාව මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව මෙන් කිහිප ගුණයක් විය.
6 - නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ හා එතුමාණන්ගේ සහචරයින්ගේ ධෛර්යය: සැබැවින් ම ඔවුහු තම සංඛ්‍යාව සහ බලය මෙන් කිහිප ගුණයකට මුහුණ දුන්හ.
7. තමා කැමති ඕනෑ ම කෙනෙකු ව උසස් කරන්නේ ද තමා කැමති ඕනෑ ම කෙනෙකු ව අවමානයට පත් කරන්නේ ද අල්ලාහ් ය: සැබැවින් ම ඔහු බද්ර්හි දී ඉස්ලාම් අනුගාමිකයින් ව උසස් කළ අතර බහුදේවවාදීන් ව අවමානයට පත් කළේය.
8 - අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් (ජීවන කැප කිරීම්) කිරීම නීතිගත කිරීමේ ඇතැම් ප්‍රඥාවන්:
අ- ජනයාට ඉස්ලාමය වෙත ඇරයුම් කිරීමත්, ගැත්තන් ව නැමදුමට ගැනීමෙන් ඔවුන් ව ඉවත් කර ගැත්තන්ගේ පරමාධිපතිට නැමදුම් කිරීම වෙතට යොමු කිරීමත් ය අල්ලාහ් මෙසේ පවසයි: තව ද කලහකම් ඇති නොවී සම්පූර්ණ දහම අල්ලාහ්ට පමණක් සතු වන තෙක් ඔවුන් සමඟ නුඹලා යුද වදිනු. එහෙත් ඔවුහු (කලහකම් කිරීමෙන්) වැළකී සිටියෝ නම් එවිට අපරාධකරුවන් කෙරෙහි මිස වෙනත් අය කෙරෙහි කිසිදු සතුරුකමක් නොවිය යුතු ය. (අල් බකරා: 193)
ආ- මුස්ලිම්වරුන්ට එරෙහි ආක්‍රමණයට ප්‍රතිචාර දැක්වීම; උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: තව ද නුඹලා සමඟ සටන් කරන්නන් සමඟ නුඹලා ද සටන් කරනු. නුඹලා සීමාව ඉක්මවා නොයනු. සැබැවින් ම අල්ලාහ් සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව ප්‍රිය නොකරන්නේය. (අල්-බකරා: 190)
දොළොස්වන පාඩම: උහද් සටනේ ජයග්‍රහණය සහ ඉන්පසු:
මෙය කීකරුකම පිළිබඳ උතුම් පාඩම් මනාව පැහැදිලි වූ මෙන් ම, සහාබාවරුන් තම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි තබා ඇති අවංක ආදරය හා ඔවුන් තම ප්‍රාණයන් පරිත්‍යාග කිරීම මනා ව දිස් වූ සටන යි.
සටනට හේතු සහ ඒ සඳහා සූදානම් වීම: හිජ්රතයෙන් තුන්වන වසරේ සිදු වූ උහද් සටනට හේතු කිහිපයක් විය; ඉන් වඩාත් වැදගත් වන්නේ, බද්ර් දිනයේ තමන් ලැබූ පරාජයට සහ තම ඝාතනය වූවන් වෙනුවෙන් පළිගැනීමට දේවත්ව ආදේශකයින්ට අවශ්‍ය වීම ය. ඒ අනුව කුරෙය්ෂ්වරු අබූ සුෆ්යාන්ගේ නායකත්වයෙන් සටන්කාමීන් තුන්දහසක් රැස් කළහ. ඊට මුහුණ දීම සඳහා, නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ තම සහචරයින් දහසක් සමඟ ඔවුන් හමුවීමට පිටත් ව ගියහ. හමුදාව ගමන් කරමින් සිටින අතරවාරයේ, මුනාෆික්වරුන්ගේ (කුහකයින්ගේ) නායකයා වූ අබ්දුල්ලාහ් බින් උබයි බින් සලූල් හමුදාවෙන් තුනෙන් එකක් රැගෙන ආපසු හැරී ගියේය. එසේ ම ඔවුහු සටනට සහභාගි නොවූහ.
යුද්ධයේ සිදුවීම් හා නියෝගයට පිටුපෑමේ විපාකය: උහද්හි දී සේනා දෙක එකිනෙකා හමු වූ අතර එහි දරුණු සටනක් ඇති විය. එහි ආරම්භයේ දී දෙවියන් ප්‍රතික්ෂේප කළ අය පරාජයට පත් වූහ. පසු ව මුස්ලිම්වරුන්ගෙන් වූ දුනුවායෝ කන්දෙන් පහළට බැස්සහ. කවර තත්ත්වයක් උදා වුව ද පහළට නොබසින ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුනට නියෝග කර තිබුණි. දුනුවායන් මෙම නියෝගයට පිටුපෑම හේතුවෙන්, දෙවියන් ප්‍රතික්ෂේප කළවුන්ගේ සේනාව මුස්ලිම්වරුන් ව වට කළහ. එහි දී මුස්ලිම්වරුන්ගෙන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබූහ. අල්ලාහ් මෙසේ පවසා සිටියි: ඔහුගේ අනුමැතියෙන් නුඹලා ඔවුන් ව මරා දැමූ අවස්ථාවේ දී අල්ලාහ් සැබැවින් ම ඔහුගේ ප්‍රතිඥාව සැබෑ කළේ ය. අවසානයේ දී නුඹලා පරාජයට පත් වී නුඹලා වෙත පැනවූ අණ පිළිබඳ මත භේද ඇති කරගත්තෙහුය. නුඹලා ප්‍රිය කරන දෑ නුඹලාට පෙන් වූ පසු ව ද නුඹලා පිටුපෑවෙහුය. නුඹලා අතුරින් මෙලොව ප්‍රිය කරන්නෝ ද වෙති. තව ද නුඹලා අතුරින් පරලොව ප්‍රිය කරන්නෝ ද වෙති. පසු ව ඔහු නුඹලා පරීක්ෂා කිරීම පිණිස නුඹලා ව ඔවුන්ගෙන් හැරෙව්වේය. තව ද නුඹලාට ඔහු සමාව දුන්නේය. තව ද අල්ලාහ් විශ්වාස කළවුන් කෙරෙහි භාග්‍යයෙන් යුක්ත ය. (සූරා ආලු ඉම්රාන්: 152)
දැඩි පීඩාව සහ සහාබාවරුන්ගේ පරිත්‍යාගයන්: උහද් සංග්‍රාමය යනු නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා මුහුණ දුන් අතිදුෂ්කර ම සංග්රාමයන්ගෙන් එකක් විය. එහි දී එතුමාගේ පාර්ශ්වික කෘන්තක දතක් කැඩී ගිය අතර, හිස ආරක්ෂා කරන ආවරණයක් වූ හිස්වැස්මේ වළලු දෙකක් එතුමාණන්ගේ ගෞරවණීය මුහුණට ඇතුළු විය. එතුමාගේ තත්ත්වය ඉතා දරුණු වූ නමුත් අතිඋත්තරීතර අල්ලාහ් එතුමාණන් ව ආරක්ෂා කළේය. මෙම සටනේ දී සහාබාවරුන් (රළියල්ලාහු අන්හුම්) අතුරින් හැත්තෑ දෙනෙක් ෂහීද්වරුන් (ප්‍රාණපරිත්‍යාගීන්) ලෙස මිය ගියහ. නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාගේ බාප්පා කෙනෙකු වූ, ෂහීද්වරුන්ගේ නායක හම්සා බින් අබ්දුල් මුත්තලිබ්තුමා ද ඔවුන් අතර විය. සහාබාවරුන් තම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා කෙරෙහි දැක්වූ සැබෑ ආදරය එහි දී මනා ව දිස් විය. එබැවින් එතුමාණන් ව ආරක්ෂා කිරීමේ මාර්ගයේ ඔවුහු තම ප්‍රාණයන් පරිත්‍යාග කළහ. සටන අවසන් වී ෂහීද්වරුන් ව භූමදානය කළ පසු, නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා සහ එතුමාගේ සඟයෝ මදීනාව බලා නැවත පැමිණියෝය.
තවත් එක් අවස්ථාවක නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ උහුද්හි ෂහීද්වරුන් අසලට පැමිණ ඔවුන් වෙනුවෙන් හඬා, මෙසේ පැවසූහ: "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මොවුන් කෙරෙහි මම සාක්ෂිකරුවක් වෙමි," ඔවුන් ව නාවනු නොලැබ ඔවුන්ගේ රුධිරය හා ඇඳුම් පිටින් ම වළදමන මෙන් නියෝග කළහ. ඔවුන්ගේ තත්ත්වය උසස් කිරීමක් වශයෙන් එක ම කබ්ර් (වළ) තුළ මිනිසුන් දෙදෙනෙකු එකට තැන්පත් කළ විට, ඔවුන් අතුරින් උතුම් කුර්ආනය අධික ව මනනය කළ අය ව එහි ප්‍රථමයෙන් තැබූහ. පසු ව ජීවතුන් අතර සිටියවුන් පිළිබඳව සොයා බලා, ඔවුන්ගේ තුවාල පිසදමමින් ඔවුන්ගේ ධෛර්යය ශක්තිමත් කළහ. උම්මු අම්මාරා සහ ඇගේ පවුලේ අය තමන් වෙනුවෙන් දැක්වූ මහත් වූ ස්ථාවරත්වය සහ ආරක්ෂාව දුටු එතුමාණෝ, ඔවුන්ගේ නිර්භීතකම අගය කළ අතර, ස්වර්ගයේ තමන් සමඟ සහවාසය ඔවුන්ට හිමි වේවා යි ප්‍රාර්ථනා කළහ. වළ දමා අවසන් වූ පසු, තම සහාබාවරුන් සියල්ලන් ව තමන් පිටුපසින් පෙළගැස්වූහ. අනතුරු ව, අල්ලාහ්ගේ නියමයට අවනත වෙමින් ද, ඉවසීම සහ ජිහාද් නමැති භාග්‍යය වෙනුවෙන් ඔහුට කෘතඥ වෙමින් ද ඔවුහු අල්ලාහ්ට ප්‍රශංසා කොට ඔහුගේ මහිමය ප්‍රකාශ කළහ.
‘හම්රාඋල් අසද්’ නම් සංග්‍රාමය: මෙම සංග්‍රාමය උහද් දිනයට එක් දිනකට පමණක් පසු ව සිදු විය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ සහචරයින්ගෙන් ඉතිරි ව සිටින අය ව මුලිනුපුටා දැමීම සඳහා කුරයිෂ්වරුන් සමඟින් යළි මදීනාව වෙත පැමිණීමට අබූ සුෆ්යාන් බින් හර්බ් අපේක්ෂා කරන බවට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට දැන ගන්නට ලැබීම මෙයට හේතු විය. එවිට පිටත් වන්නැ යි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ජනයාට අණ කළහ. තව ද උහද් දිනයේ සටනට සහභාගි වූ අය හැර වෙන කිසිවෙකු තමන් සමග පිටත් නොවිය යුතු යැයි කොන්දේසියක් ද පැනවූහ. එබැවින් ඔවුන්ට අත් වූ තුවාල ද සහිත ව ඔවුහු පිටත් ව ගියහ. අබූ සුෆ්යාන් ඔවුන් පිළිබඳ ව ඇසූ විට බියට පත් වී තමා සමඟ සිටි පිරිස ද කැටුව මක්කම වෙත හැරී ගියේය.
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- පාපයන්වල හා අකීකරුවීම්හි නපුරු අවසානය: සැබවින් ම දුනුවායන් විසින් දූතයාණන්ට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ට) අකීකරු වීමෙන් සිදු වූ දෙය හේතුවෙන්, මුස්ලිම්වරුන්ට විශාල හා දැවැන්ත හානියක් සිදු විය.
2- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නිලය සහ වීරත්වය: එතුමාණෝ පෞද්ගලික ව ම සටනේ යෙදුණු අතර අල්ලාහ්ගේ මාර්ගයේ තුවාල ද ලැබූහ (එතුමාණන් කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!).
3. සහාබාවරුන්ගේ (අල්ලාහ් ඔවුන් ගැන තෘප්තියට පත් වේවා!) මහිමය: අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන් තම ප්‍රාණය කැප කිරීම හා අල්ලාහ්ගේ දූතයාණන් ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ආරක්ෂා කිරීම.
4- විශ්වාසවන්තයාගෙන් කුහකයා වෙන් කිරීම: කුහකයින් ආපසු හැරී ගිය අතර ඔවුහු උහුද් යුද්ධයට සහභාගි නොවූහ. ඔවුන්ගේ පෙරමුණේ සිටියේ කුහකයින්ගේ ප්‍රධානියා වූ ඉබ්නු සලූල් ය.
5- සහාබාවරුන්ගේ කැපකිරීම්වල බලපෑම: අල්ලාහ් ද, ඉන්පසු ව ඔවුන්ගේ කැපකිරීම් ද නොමැති වූයේ නම්, ඉස්ලාමය කිසිවෙකු වෙත ළඟා නොවනු ඇත. සැබැවින් ම අල්ලාහ් ඔවුන් ව ඒ සඳහා හේතුවක් බවට පත් කළේය. ඉමාම් ඉබ්නුල් කයියිම් (උත්තරීතර අල්ලාහ් එතුමාට කරුණාව පහළ කරන සේක්වා!) මෙසේ පවසයි:
නබිවරයාගේ අනුගාමිකයෝ හා ඔහුගේ සේනාව වන්නේ ඔවුහු ම ය.. ඔවුහු නොසිටියහ නම් මහපොළොවෙහි කිසිදු මුස්ලිම්වරයෙකු නොසිටිනු ඇත.
6- උහද් සංග්රාමයෙන් එක් දිනකට පසු, රුධිරය වහනය වන තම තුවාල ද සහිත ව සහාබාවරුන් ‘හම්රාඋල් අසද්’ වෙත පිටත් ව යාමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට ඔවුන් දැක්වූ එම ප්‍රතිචාරය, වේදනාවන් විසින් යටපත් කළ නොහැකි විශ්වාසයේ ශක්තිය සහ උසස් අධිෂ්ඨානය පිළිබඳ ශ්‍රේෂ්ඨතම සාක්ෂිය විය.
දහතුන්වන පාඩම: හිජ්රි පස්වන වසරේ කන්දක් (අල් අහ්zසාබ්) සටන:
යුදෙව්වන් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමඟ ඇති කර ගත් ගිවිසුම කඩ කර, මුස්ලිම්වරුන් සහ ඔවුන්ගේ නැගී එන රාජ්‍යය තුරන් කිරීමේ අරමුණින් විවිධ අරාබි ගෝත්‍රිකයින් ව පොළඹවා මදීනාව ආක්‍රමණය කිරීම සඳහා ඔවුන් ව ඒකරාශී කළ අවස්ථාවේ දී මෙම යුද්ධය ආරම්භ විය. ඒ අනුව, අබූ සුෆ්යාන් ඉබ්නු හර්බ්ගේ නායකත්වයෙන් සටන්කරුවන් දස දහසකින් යුත් දැවැන්ත හමුදාවක් බහුදේවවාදී ගෝත්‍රවලින් එක්රැස් විය. එහෙත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ හමුදාවේ සංඛ්‍යාව වූයේ සටන්කරුවන් තුන් දහසක් පමණි.
ඔවුන්ගේ පැමිණීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැනගත් කල්හි, එතුමාණෝ තම සගයින්ගෙන් උපදෙස් විමසූහ. එවිට ශ්‍රේෂ්ඨ සහාබිවරයෙකු වන සල්මාන් අල්-ෆාරිසි (රළියල්ලාහු අන්හු) තුමා, සතුරන් ඇතුළුවීමෙන් ආරක්ෂා කරන ශක්තිමත් බාධකයක් වීම පිණිස මදීනාව වටා "අගලක්" කණින ලෙස එතුමාණන්ට යෝජනා කළේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එම අදහස ගැන පැහැදී එය ක්‍රියාත්මක කරන ලෙස අණ කළහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හුදෙක් මඟ පෙන්වීමෙන් පමණක් සෑහීමකට පත් නොවී, අගල කැණීමේ දී සහාබාවරුන් සමඟ ප්‍රායෝගික ව ම ඊට සහභාගී වීමෙන් හා ඔවුන් සමඟ දුෂ්කරතා විඳදරාගැනීමෙන්, එතුමාණන් තුළ තිබූ නිහතමානීකම මෙන් ම ආදර්ශමත්බව පිළිබඳ විශිෂ්ටතම උදාහරණය ගෙනහැර දැක්වූහ.
ගෝත්‍රික කණ්ඩායම් මදීනාව වෙත පැමිණ මදීනාව වට කළෝය. වටලෑම දීර්ඝ වීම හේතුවෙන් මුස්ලිම්වරුන් මත පීඩාව දැඩි විය. බිය සහ දැඩි සාගින්න ඔවුන් වෙත එක් විය. අල්-කුර්ආනය මෙම අසීරු අවස්ථාව උත්තරීතර අල්ලාහ්ගේ වදන් මඟින් මෙසේ චිත්රණය කළේය: නුඹලාට ඉහළින් ද නුඹලාට පහළින් ද නුඹලා වෙත ඔවුහු (සේනා) පැමිණියෝය. තව ද බැල්ම ඇල වී හදවත් උගුරු දණ්ඩ දක්වා ළඟා වී නුඹලා අල්ලාහ් පිළිබඳ නොයෙක් සිතුවිලි මවාගත් අවස්ථාව සිහිපත් කරනු. එවිට දේවත්වය විශ්වාස කරන්නෝ පරීක්ෂාවට ලක් කරනු ලැබුවෝය. තව ද ඔවුහු දැඩි ලෙස කම්පනයට ලක් කරනු ලැබුවෝය. (අල් අහ්සාබ්: 10-11)
මෙම අර්බුදය මධ්‍යයේ, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්රාතිහාර්යයන් ප්‍රකට විය. මුළු සේනාව ම තෘප්තිමත් වන තරම් අල්ලාහ් ස්වල්ප වූ ආහාර ප්‍රමාණයකට අභිවෘද්ධිමත් ආශිර්වාදය ඇති කළේය. ඔවුන්ගේ චිත්ත ධෛර්යය නැංවීම පිණිස, පවතින දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුව ද පර්සියාව හා රෝමය ජය ගන්නා බවට එතුමාණෝ තම සහචරයින්ට ශුභාරංචි පැවසූහ. තත්ත්වය උග්‍ර වූ විට, මුස්ලිම්වරුන්ට සහනය සලසන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපති ඉදිරියේ අවංක ව කන්නලව් කරමින් ප්‍රාර්ථනා කළහ. අල්ලාහ් එතුමාණන්ට ප්‍රතිචාර දක්වා, අහ්සාzබ් (ගෝත්‍ර යුද සේනා) වෙත ඔවුන්ගේ කූඩාරම් උදුරා දමන දැඩි සුළඟක් එව්වේය. එමෙන් ම ඔවුන්ගේ හදවත් තුළ බිය ඇති කිරීමට මලක්වරුන් ව ද පහළ කළේය. ඔවුහු භේද වී විසිරී ගිය අතර කිසිවක් කර කියාගත නොහැකි ව පලා ගියෝයා. මදීනාවට යළිත් ආරක්ෂාව උදා විය. අතිඋත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කළේය: අහෝ විශ්වාස කළවුනි, නුඹලා වෙත සේනාවන් පැමිණි විට ඔවුනට එරෙහි ව සැඩ සුළඟක් හා නුඹලා නොදුටු සේනාවන් ඔවුන් වෙත එවමින් අල්ලාහ් කළ ආශිර්වාදය මෙනෙහි කර බලනු. තව ද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් නිරීක්ෂක විය. (අල් අහ්සාබ්: 9)
තව ද සුවිශුද්ධ අල්ලාහ් මෙසේ ප්‍රකාශ කළේය : දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ ක්‍රෝධය හේතුවෙන් ඔවුන් කිසිදු යහපතක් නොලැබූ තත්ත්වයෙන් අල්ලාහ් ඔවුන් හරවා යැව්වේය. සටන් වැදීම සඳහා දේවත්වය විශ්වාස කරන්නනන් හට අල්ලාහ් ප්‍රමාණවත් විය. තව ද අල්ලාහ් ශක්ති සම්පන්න සර්ව බලධාරී ය. (අල් අහ්සාබ්: 25)
උගත යුතු ආදර්ශ හා පාඩම්:
1) ඉස්ලාමයේ සතුරන් ඔවුන්ගේ විශ්වාසයන්හි වෙනස්කම් පැවතිය ද මුස්ලිම්වරුන්ට එරෙහි ව සටන් කරනු පිණිස එකමුතු විය හැකි ය. මෙලෙස සත්‍යය හා අසත්‍යය අතර අරගලය අඛණ්ඩ ව පැවතීම මැවීම් අතර අල්ලාහ්ගේ න්‍යාය අතුරින් එකකි. මේ හේතුවෙන් නිරන්තර අවධානයෙන් පසුවීම හා මනා ලෙස සූදානම් වීම අනිවාර්ය වගකීමක් වේ.
2- සල්මාන් අල් ෆාරිසී (රළියල්ලාහු අන්හු) තුමාගේ මහිමය සහ ඉස්ලාම් දහම තුළ යම් වැදගත් කරුණක දී සාකච්ඡා කිරීමේ වැදගත්කම මෙම යුද්ධය මගින් ඉස්මතු කර දැක්වේ.
3- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සගයන්ගේ වෙහෙස මහන්සියට හවුල් වීම, සාර්ථක නායකයා යනු ක්‍රියාවෙන් පෙරමුණ ගන්නා, තම අනුගාමිකයින් කෙරෙහි නිහතමානී වන සහ ඔවුන්ට යහපත් ආදර්ශයක් වන අයෙකු බව තහවුරු කරයි.
4- අගල කැපීම අපට උගන්වන්නේ, යහපත සහ දෙවිඳාණන් කෙරෙහි වන බියබැතිමත්කම මත සහයෝගයෙන් කටයුතු කිරීමත් සමඟම, කළ හැකි සෑම උත්සාහයක් ම දැරීමේ, පවතින අනුමත ක්‍රමවේදයන් භාවිත කිරීමේ සහ අවශ්‍ය පියවර ගැනීමේ අත්‍යවශ්‍යතාවය යි.
5- දැඩි විශ්වාසයේ සහ ඉවසීමේ වැදගත්කම: වටලෑම හමුවේ වුව ද සහාබාවරු මහත් ස්ථාවරත්වයක් පෙන්නුම් කළහ. එබැවින් අල්ලාහ්ගේ පොරොන්දුව පිළිබඳ දැඩි විශ්වාසය තැබූ ඉවසිලිවන්තයින් හට ජයග්‍රහණය හිමි විය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: කවර දෙයක් මත අල්ලාහ් සමඟ ඔවුන් ගිවිස ගත්තේ ද එය සැබෑ කළ මිනිස්සු දේවත්වය විශ්වාස කරන්නන් අතුරින් වෙති. එසේ (යුද පිටියේ දිවි පුදා) තම ඉලක්කය ඉටු කර ගත් අය ද ඔවුන් අතුරින් වෙති. තව ද බලාපොරොත්තුවෙන් සිටින්නෝ ද ඔවුන් අතුරින් වෙති. ඔවුන් (තමන්ගේ ගිවිසුමෙන්) කිසිදු වෙනසක් සිදු කළේ නැත. (සූරා අල්-අහ්zසාබ්: 23)
6- වඩාත් දුෂ්කර අවස්ථාවල දී, ඉදිරියේ දී ලැබීමට නියමිත ජයග්රහණයන් පිළිබඳ ශුභාරංචිය නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඔහුගේ සගයින් හට ලබා දීම තුළින් අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි පෙන් වූ මෛත්‍රිය.
7- ප්‍රාර්ථනාව යනු ජයග්‍රහණයේ යතුර වන්නේය. සැබැවින් ම නබි ﷺ තුමාණන් සැබෑ හදවතකින් යුතු ව සිය පරමාධිපති වෙත යොමු වීම හේතුවෙන් සටනේ තත්ත්වය වෙනස් විය. මේ තුළින් ප්‍රාර්ථනාවේ වැදගත්කම පැහැදිලි වේ.
8- ජයග්‍රහණය අල්ලාහ් වෙතින් පැමිණෙන්නකි: සතුරන්ගේ බලය හා සංඛ්‍යාවේ විශාලත්වය හා අධිකත්වය කෙතරම් වුව ද, සැබැවින් ම අල්ලාහ් තම ගැත්තන්ට ජයග්‍රහණය ලබා දෙන බලවතා ය, සර්ව බලධාරියා ය.
දහ හතරවන පාඩම: හුදෙයිබිය්යා සාම ගිවිසුම, කයිබර් යුද්ධය හා කළාඃ උම්රාව (ප්‍රකට ජයග්‍රහණය):
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, එතුමා හා එතුමාගේ සගයින් තම හිස් මුඩු කර ගත් අය ලෙසින් හා හිසකෙස් කොට කරගත් අය ලෙසින් ආරක්ෂා සහගත ව මස්ජිදුල් හරාමය වෙත පිවිසෙන බව තම සිහිනයෙන් දුටූහ. නබිවරුන්ගේ සිහින දිව්‍ය පණිවිඩ වේ. එබැවින් එතුමාණෝ එය තම සගයින්ට දන්වා සිටියහ. එවිට ඔවුහු යහපත පිළිබඳ ශුභාරංචිය ලබා සතුටට පත් වූහ.
හිජ්රි හයවන වසරේ දුල් කඃදා මාසයේ දී නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ මුහාජිර්වරුන් සහ අන්සාර්වරුන්ගෙන් යුත් එක් දහස් හාරසීයක් පමණ පිරිසක් සමඟ පිටත් ව ගියහ. දේව ගෘහයට ගෞරව කිරීමක් වශයෙන් ඔවුහු හද්යු (කැපයට නියම වූ) සතුන් දක්කාගෙන ගියෝය. තමන් උම්රා ඉටු කරන්නන් මිස සටන්කාමීන් නොවන බව කුරයිෂ්වරුන්ට තහවුරු කරනු පිණිස මගියෙකුගේ ආයුධ (එනම් කොපුවල බහාලූ කඩු) හැර වෙනත් කිසිවක් ඔවුහු රැගෙන නොගියෝය.
අවහිර කිරීම හා රිල්වාන් ප්රඥප්තිය: ඔවුන්ගේ ගමන පිළිබඳ ව කුරෙයිෂ්වරුන් දැනගත් කල්හි, බලය යොදා ඔවුන් ව වළක්වාලීමට තීරණය කළ ප්රතික්ෂේපකයෝ "දී තුවා" නම් ස්ථානයෙහි කඳවුරු බැඳ ගත්හ. එහෙයින් නබි ﷺ තුමාණන් තමන්ගේ ගමන් මඟ වෙනස් කර හුදෙයිබියාවට පැමිණ එහි නවාතැන් ගත්හ. එහි දී දීර්ඝ පණිවුඩ හුවමාරු සිදු විය. ඒ අතරතුර ඔවුන් සමඟ සාකච්ඡා කිරීම සඳහා නබි ﷺ තුමාණන් උස්මාන් බින් අෆ්ෆාන් රළියල්ලාහු අන්හු තුමාණන් ව පිටත් කර යැවූහ. එහෙත් එතුමාණන් ඝාතනයට ලක් වූ බවට පුවතක් පැතිර ගියේය. මෙහි දී සටනින් පලා නොයන බවට ප්‍රතිඥා දෙන මෙන් නබි ﷺ තුමාණෝ තම සහචරයින්ට ඇරයුම් කළහ. ඒ අනුව ඔවුහු ‘සමුරා’ ගස යට සිට එතුමාණන්ට ප්‍රතිඥා දුන්හ. එය "රිල්වාන් ප්‍රතිඥාව" වන අතර, ඒ සම්බන්ධයෙන් අල්ලාහ් මෙසේ වහී පහළ කළේය: ගස යට සිට දේවත්වය විශ්වාස කරන්නන් නුඹට ප්‍රතිඥා දුන් විට අල්ලාහ් ඔවුන් ව සැබැවින් ම පිළිගත්තේය. (අල් ෆත්හ්: 18)
සාම ගිවිසුමේ කොන්දේසි: කුරෙයිෂ්වරුන්ගේ නියෝජිතයෙකු ලෙස සුහයිල් බින් අම්ර් පැමිණි අතර, බැලූ බැල්මට ම අපහසු කොන්දේසි අන්තර්ගත වූ සාම ගිවිසුමකට එකඟතාව ඇති කරගන්නා ලදී. ඒවායින් සමහරක් නම්: වසර දහයකට යුද්ධය අත්හිටුවීම; මුස්ලිම්වරුන් මෙම වසරේ දී උම්රාව ඉටු නොකර ආපසු යාම හා ඊළඟ වසරේ ඔවුන් නැවත පැමිණ උම්රාව ඉටු කර මක්කාවේ දින තුනක් පමණක් රැඳී සිටීම; සහ තම භාරකරුගේ අවසරය නොමැති ව කුරෙයිෂ්වරුන්ගෙන් යමෙකු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියහොත් ඔහු ව ඔවුන් වෙත ආපසු හරවා යැවීම. මෙම කොන්දේසි හේතුවෙන් සමහර සහාබාවරුන් අපහසුතාවයට පත් වුව ද, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපතිගේ අණට කීකරු වෙමින් ඒවා අනුමත කළහ. එතුමාණන් තම කැපයට නියම වූ සතා කැප කර ඉහ්රාම් තත්ත්වයෙන් මිදුණු අතර, මුස්ලිම්වරු ද එතුමාණන් ව අනුගමනය කළහ. ඉන්පසු ව ඔවුන් මදීනාවට ආපසු හැරී එන අතරමග දී උත්තරීතර අල්ලාහ් උතුමාණන්ගේ මෙපරිදි වහී පහළ කළේය: (අහෝ නබිවරය,) නියත වශයෙන් ම අපි නුඹට ප්‍රකට ජයක් ලබා දුනිමු. නුඹේ පාපයෙන් පෙර සිදු වූ දෑ හා පසු සිදු වූ දෑ සඳහා අල්ලාහ් නුඹට සමාව දෙනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය නුඹ වෙත සම්පූර්ණ කරනු පිණිසත් ඍජු මාර්ගය වෙත නුඹට ඔහු මග පෙන්වනු පිණිසත් ය. තව ද අතිමහත් උපකාරයකින් අල්ලාහ් නුඹට උදව් කරනු පිණිසත් ය. (සූරතුල් ෆත්හ් :1-3)
කයිබර් යුද්ධය (ගිවිසුමේ කඩිනම් ප්‍රතිඵලය): කුරෙයිෂ්වරුන් සමඟ දකුණු පෙරමුණ ස්ථාවර වීම සහ මදීනාවේ පසුපස ආරක්ෂා වීම මෙම ගිවිසුමේ අතිමහත් ප්‍රතිඵල අතුරින් විය. එබැවින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හිජ්රි හත්වන වසරේ මුහර්රම් මාසයේ දී උතුරු පෙරමුණ දෙසට යොමු වූහ; එය මුස්ලිම්වරුන්ට එරෙහි ව කණ්ඩායම් උසිගන්වා කුමන්ත්‍රණ කළ කයිබර්හි යුදෙව්වන්ගේ බලකොටුව යි. ඔවුනට කරන උපහාරයක් වශයෙන්, හුදෙයිබිය්යාහි (රිල්වාන් ගිවිසුමට) සහභාගී වූවන්ට හැර වෙන කිසිවෙකුට තමන් සමඟ පිටත් ව යාමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවසර නොදුන්හ. මුස්ලිම්වරු කයිබර්හි දැඩි බලකොටු එකින් එක වටලා ගත්හ. අල්ලාහ් එම බලකොටු ඔවුනට ජයග්‍රහණය කර දී යුදෙව්වන්ගේ හදවත් තුළ බිය ඇති කළේය. එවිට ඔවුහු තමන්ගේ ලේ වැගිරීම වළක්වා ගැනීම සඳහා, තම ධනය හා භූමිය මුස්ලිම්වරුන්ට අතහැර දමා, තමන් එය වගාකර එහි අස්වැන්නෙන් හරි අඩක් තමන්ට හිමිවන පදනම මත ගිවිසුමක් ඉල්ලා සිටියහ. ඒ අනුව, ජයග්‍රහණය තුළින් කඩිනමින් අත්පත් වන "බොහෝ ඝනීමත් වස්තුව" පිළිබඳ අල්ලාහ්ගේ සුබ ආරංචිය ඉටු විය.
උම්රතුල් කළාඃ හෙවත් අතපසු වූ උම්රාව ඉටු කිරීම (සිහිනය සැබෑ වීම): ඊළඟ වසරේ (එනම් හිජ්රි හත්වැනි වසරේ දුල් කඃදා මාසයේ දී), තමන් ව වළක්වාලනු ලැබූ උම්රාව ඉටු කිරීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හුදෙයිබිය්යා ගිවිසුමට සහභාගී වූ තම සහාබාවරුන් සමඟ පිටත් ව ගියේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තල්බියා (ලබ්බයික අල්ලාහුම්ම ලබ්බයික්) පවසමින් මක්කාවට පිවිසුණේය. එතුමා වටා සිටි මුස්ලිම්වරු තහ්ලීල් (ලා ඉලාහ ඉල්ලල්ලාහ්) හා තක්බීර් (අල්ලාහු අක්බර්) පවසන්නට වූහ. ඔවුහු ඉතා සුරක්ෂිත ව හා සන්සුන් ව තම වන්දනාමාන ඉටු කළෝය. කුරෙයිෂ්වරු කඳුකරයට ගොස් ගාම්භීරත්වයෙන් හා විස්මයෙන් යුතු ව ඔවුන් දෙස බලා සිටියෝය. මෙම උම්රාව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සිහිනය සැබෑ කිරීමක් වූ අතර, එය "උම්රතුල් කළාඃ" හෝ "උම්රතුල් කළිය්යහ්" යනුවෙන් හඳුන්වනු ලැබීය.
1- මෙම සාම ගිවිසුම මුස්ලිම්වරුන්ට ආරක්ෂාව සහිත ව තම දහමේ ඇරයුම ව්‍යාප්ත කිරීමට අවස්ථාව සලසා දුන්නේය. ඒ හේතුවෙන් ඊට පෙර සිටියාට වඩා කිහිප ගුණයකින් ජනයා අල්ලාහ්ගේ දහමට ඇතුළු වූහ. එබැවින් ජයග්‍රහණය සැමවිට ම කඩුවෙන් සිදු වූවක් නොවීය.
2- ආරම්භයේ දී එහි ප්‍රඥාව බුද්ධියට පැහැදිලි නොවුණ ද (සාම ගිවිසුමේ කොන්දේසිවල දී සිදුවූවාක් මෙන්), අල්ලාහ්ගේ හා එතුමාණන්ගේ දූතයාණන් (ﷺ)ගේ නියෝගය අනුගමනය කිරීම තුළ සාර්ථකත්වය ඇති බව මෙම සටනින් තහවුරු විය.
3. ගිවිසුමට අදාළ පුද්ගලයින්ගේ තත්ත්වය: අල්ලාහ් ඔවුන් ගැන තෘප්තියට පත් වූ බැවින් සහාබාවරුන් අතිමහත් ගෞරවයක් හිමි කර ගත් අතර, මෙම ගිවිසුම "රිල්වාන් ප්රඥප්තිය" යනුවෙන් නම් කරන ලදී. එය ඔවුන්ගේ විශ්වාසයේ සත්‍යතාව වෙනුවෙන් අහස් හතකට ඉහළින් ලබා දුන් දේව සාක්ෂියකි.
4- ගිවිසුම්වලට එළැඹීම ආගමානුගත කොට ඇත. ඒ අනුව එහි යහපතක් ඇති විටෙක සතුරන් සමග සමාදාන ගිවිසුමකට එළැඹීමට මුස්ලිම්වරුන්ට අවසර දී ඇත. මෙය ප්‍රඥාව සහ ඉස්ලාමීය පාලන ප්‍රතිපත්තිවලට අයත් වන්නකි.
5- ඊළඟ වසරේ "අතපසු වූ උම්රාව" ඉටු කිරීම සඳහා නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා නැවත පැමිණීම, එතුමාණන්ගේ සිහිනයේ සත්‍යතාව තහවුරු කළ අතර, කුරයිෂ්වරුන්ගේ උඩඟුකම බිඳ දමා මක්කාව මධ්‍යයේ ඉස්ලාමයේ අභිමානය විදහා පෑවේය.
6- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පොරොන්දු හා ප්රතිඥාවන්ට අනුගත වීම සහ ඒවා ඉටු කිරීමෙහි ලා විශිෂ්ටතම ආදර්ශයන් පෙන්වා දී ඇත. ජනතාව ඉස්ලාමයේ සදාචාරය සහ එහි දහම කෙරෙහි ප්‍රිය කිරීමට හේතු වූයේ ද මෙය යි.
7- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නියෝග පිළිපැදීමේ ආශිර්වාදය: තම සතුරන්ට මුහුණ දෙන අවස්ථාවේ දී පිටුපෑමෙහි ඇති අවාසනාවන්ත ප්‍රතිඵලය මුස්ලිම්වරුන්ට පරාජය ගෙන දිය හැකි බව උහුද් යුද්ධයේ දී අප සඳහන් කළාක් මෙන් ම, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අවනත වීමෙහි හා එතුමාණන්ගේ නියෝග පිළිපැදීමෙහි මුස්ලිම්වරුන්ට ජයග්‍රහණය උදා කර දෙන ආශිර්වාදයක් පවතී. අතිඋත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: තවද නුඹලා ඔහුට අවනත වන්නෙහු නම් නුඹලා ඍජු මග ලබනු ඇත. (අන්-නූර්: 54)
හුදෙයිබිය්යා සාම ගිවිසුමෙන් පසු ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රජවරුන් වෙත හා පාලකයින් වෙත ලිපි යැවීම.
හුදෙයිබියා සාම ගිවිසුමේ කටයුතු ස්ථාවර වී යුද්ධය නිමාවට පත් වූ කල, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කුරෙයිෂ්වරුන්ගේ පාර්ශ්වයෙන් සුරක්ෂිතභාවය ලැබුවේය. ඉන්පසු දහම් ඇමතුමේ විශ්වීයත්වය සම්පූර්ණ කරමින් එය ලොව පුරා පතුරුවා හැරීමට එතුමා අවධානය යොමු කළේය. ඒ අනුව ලොව රජවරුන්ට ද අරාබි හා අරාබි නොවන නායකයින්ට ද ලිපි යැවීමටත් ඔවුන්ට ඉස්ලාමය වෙත ආරාධනා කිරීමටත් එතුමා තීරණය කළේය. තම අනුගාමික ජනතාව කෙරෙහි වූ දයාව සහ මනා සැලසුම්කරණය හේතුවෙන්, ලිපිවලට මුද්‍රා තැබීම සඳහා «අල්ලාහ්ගේ දූත මුහම්මද්» යනුවෙන් කොටන ලද රිදී මුද්දක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සකසා ගත්තේය. මන්ද යත්, මුද්‍රා තබා නොමැති කිසිදු ලියවිල්ලක් නොකියවීම රජවරුන්ගේ සිරිත හා කොන්දේසිය වූ බැවිනි. පසු ව මෙම මහඟු වගකීම ඉටු කිරීම සඳහා මනා කථිකත්වය, චිත්ත ශක්තිය සහ පරිපූර්ණ බුද්ධියෙන් හෙබි දූතයින් තම ගෞරවනීය සහගාමීන් අතුරින් එතුමා තෝරා ගත්තේය. (අල්ලාහ් ඔවුන් සියලුදෙනා පිළිගන්නා සේක්වා!).
ඒ අනුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිහ්යා ඉබ්නු කලීෆා අල්-කල්බී (රළියල්ලාහු අන්හු) තුමා ව රෝමවරුන්ගේ නායකයා වූ හිරක්ල් වෙත ද, අබ්දුල්ලාහ් ඉබ්නු හුදාෆා අස්-සහ්මී (රළියල්ලාහු අන්හු) තුමා ව පර්සියාවේ රජු වූ කිස්රා වෙත ද, අම්ර් ඉබ්නු උමයියා අද්-ළම්රී (රළියල්ලාහු අන්හු) තුමා ව හබෂාවේ රජු වූ නජාෂි වෙත ද, හාතිබ් ඉබ්නු අබී බල්තආ (රළියල්ලාහු අන්හු) තුමා ව මිසරයේ කිබ්තිවරුන්ගේ නායකයා වූ මුකව්කිස් වෙත ද යැවූහ. එලෙස ම අල්-හාරිස් ඉබ්නු අබී ෂිම්ර් අල්-ගස්සානී සහ හව්දා ඉබ්නු අලී අල්-හනෆී වැනි ෂාම් සහ යමාමා ප්‍රදේශවල පාලකයින් වෙත ද එතුමාණෝ ලිපි යැවූහ. මෙම භාග්‍යවත් දූතයෝ යහමඟ පෙන්වන ලිපි ද රැගෙන ගමන් කළ අතර, ඔවුහු ඒ තුළ ඉස්ලාමයේ නිර්මල ඇරයුම ද බුද්ධියට හා හදවත්වලට ආමන්ත්‍රණය කරන ප්‍රඥාවන්ත ප්‍රකාශයන් ද ගෙන ගියහ. එය අල්ලාහ්ට හැර අන් කිසිවෙකුට නමස්කාර නොකළ යුතු ය යන පොදු වදනකට ඔවුනට ඇරයුම් කළ අතර, තම ජනතාව සත්‍යයේ සහ යහමඟෙහි ආලෝකයෙන් වළක්වාලීමේ ප්‍රතිවිපාක පිළිබඳ ව ද ඔවුනට අනතුරු ඇඟවූයේය.
මෙම උතුම් ලියකියවිලි හා ලිපි සම්බන්ධයෙන් රජවරුන්ගේ ආකල්ප විවිධ විය. ඔවුන් අතුරින් මුකව්කිස්, නජ්ජාසි හා හිරක්ල් වැනි සමහරුන්ගේ හදවත් මෘදු වී යහපත් ලෙස ඔවුහු පිළිතුරු දුන්හ. හිරක්ල් රජු අබූ සුෆ්යාන්ගෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංග පිළිබඳ ව විමසා දැන, තම රාජ්‍ය බලය සත්‍යය අනුගමනය කිරීමෙන් ඔහු ව වැළැක්වූවත්, එතුමාගේ නබිත්වයේ සත්‍යභාවය පිළිබඳ ව ස්ථිර ව ම විශ්වාස කළේය. තව ද ඔවුන් අතුරින් කිස්රා වැනි සමහරු සීමාව ඉක්මවා උඩඟු වී එතුමාණන්ගේ ලිපිය ඉරා දැමූහ. එබැවින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ රාජ්‍යය සම්පූර්ණයෙන් ම කැබලිවලට ඉරී යනු ඇතැ යි ඔහුට එරෙහි ව ප්‍රාර්ථනා කළහ. අල්ලාහ් එතුමාණන්ගේ ප්‍රාර්ථනාව පිළිගත් අතර ඔහුගේ රාජ්‍යය ඉක්මනින් ම විනාශ වී ගියේය. මෙම ලිපි හුවමාරුව මඟින් ඉස්ලාමයේ ඇරයුම මිහිතලයේ රජවරුන් සහ එහි නායකයින් වෙත ළඟා වූ අතර, මහා රාජ්‍යයන් සත්‍ය දහම පිළිබඳ ව දැන ගත්හ. මෙම පියවර ඉස්ලාමය ව්‍යාප්ත කිරීමේ ගෝලීය අදියරයේ ආරම්භය වූ අතර, එය අරාබි අර්ධද්වීපයේ දේශසීමාවලින් ඔබ්බට ගොස් ලෝකයේ සෙසු රටවල් දක්වා ව්‍යාප්ත වීමේ මූලාරම්භය ද විය.
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
8- මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මෙම දූත පණිවිඩය අරාබි සහ අරාබි නොවන ජාතිකයින්ට පොදු වූ සහ සියල්ල ආවරණය කරන බවටත්, එය අරාබි අර්ධද්වීපයේ ජනතාවට පමණක් සීමා වූවක් නොවන බවටත් මෙය පැහැදිලි සාක්ෂියකි. මෙය උත්තරීතරයාණන්ගේ පහත ප්‍රකාශය මගින් තහවුරු වේ: තව ද සමස්ත මානව සංහතිය වෙත ම ඔබ ව දූතයෙකු වශයෙන් යැව්වෙමු... (සබඃ: 28)
9- ෂරීආ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම: ආගම සහ ඇරයුම පතුරුවාලීම සඳහා සමාදානයේ සහ සටන් විරාමයේ කාල මනා ව ප්‍රයෝජනයට ගැනීම තුළින් මෙය පැහැදිලි වේ. එනම්, ලොව රජවරුන්ට සහ එහි නායකයින්ට ආමන්ත්‍රණය කිරීම හා ඇරයුම් කිරීම වෙනුවෙන් කාලය කැප කිරීම සඳහා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හුදෙයිබියා ගිවිසුම සහ තම අභ්‍යන්තර ආරක්ෂාව ප්‍රයෝජනයට ගත්හ.
10- ලිපි හුවමාරු සහ සන්නිවේදන කටයුතුවල දී ඉස්ලාමීය පිළිවෙතට පටහැනි නොවන තාක් කල් රාජ්‍යයන්හි සම්ප්‍රදායන් සැලකිල්ලට ගැනීමේ අවසරය. මුද්‍රා තබන ලදු ව මිස ඔවුන් කිසිදු ලිපියක් කියවන්නේ නැතැ යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පවසනු ලැබූ විට, එතුමාණන් මුද්‍රාවක් භාවිත කිරීම මීට සාධකය වේ. එය සත්‍ය සාධකය ළඟා කර දීම සහ ඉස්ලාමීය ආරාධනය ක්‍රියාත්මක කිරීම පහසු කරනු පිණිස ය.
පහළොස්වන පාඩම: හිජ්රි අටවන වසරේ මක්කා සටනේ ජයග්‍රහණය:
අතිශ්‍රේෂ්ඨ ජයග්‍රහණය: මෙය අතිවිශිෂ්ට වූත් ආශිර්වාදාත්මක වූත් ජයග්‍රහණය යි, එනම් මක්කාහ් ජයග්‍රහණය යි; එය අල්ලාහ් සිය දහම ගෞරවයට පත් කළ, සිය දූතයාට උපකාර කළ, තව ද සිය ශුද්ධ වූ දේශය හා පැරණි ගෘහය ෂිර්ක් (ආදේශ තැබීම) වෙතින් පවිත්‍ර කළ දිනය යි.
යුද කණ්ඩායම සූදානම් කිරීම: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ යුද්ධය සඳහා සූදානම් වූ අතර (අවශ්‍ය මෙවලම්) සූදානම් කර ගන්නා මෙන් තම සහාබාවරුන්ට අණ කළහ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සහ එතුමා සමඟ සිටි සහාබාවරු (රළියල්ලාහු අන්හුම්) දස දහසක් වූ සටන්කරුවන් සමඟින් මක්කාවේ අවට ප්‍රදේශවලට ළඟා වන තෙක් ගමන් කළහ. මුස්ලිම් හමුදාවේ ශක්තිය හා දස දහසක් සටන්කරුවන් දක්වා වූ එහි සංඛ්‍යාව අබූ සුෆ්යාන් දුටු විට, ඔවුනට මුහුණ දීමට මක්කා වැසියන්ට කිසිදු හැකියාවක් නොමැති බව මනා ව වටහා ගත්තේය. එහෙයින් ඔහු යටත් වීමට එකඟ විය. පසු ව අල්ලාහ් ඔහුට අනුග්‍රහ කරමින් ඉස්ලාමය වෙත පිවිසීමට භාග්‍යය උදා කළ අතර ඔහු ඉස්ලාමයට පිවිසියේය.
මක්කාවට ඇතුළු වීම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඉතා ගාම්භීර දසුනක් මැද මක්කාවට එහි ඉහළ දෙසින් ඇතුළු වූහ. අල්ලාහ්ට යටහත් පහත් වෙමින් ද, භය භක්තියෙන් යුතු ව ද උතුමාණන්ට ස්තූති පුද කරමින් ද එතුමාණෝ තම හිස පහත් කරගෙන සිටියහ. මුළු ක්ෂිතිජය ම පිරී යන පරිදි මුහාජිර්වරු හා අන්සාර්වරු එතුමාණන් වට කරගෙන සිටියෝය.
කඃබාව පවිත්‍ර කිරීම: ඒක දේවවාදය අල්ලාහ් වෙනුවෙන් පමණක් ම පවිත්‍ර කරනු පිණිස, කඃබාව ඇතුළත සහ ඒ අවට තිබුණු පිළිම කඩා බිඳ දැමීමටත් පින්තූර ඉවත් කිරීමටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වහා ම නියෝග කළහ.
ජයග්‍රහණයේ දිනයේ ජනයා ප්‍රතිඥා දීම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මක්කාවාසීන්ට අභය ලබා දුන් පසු, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු සෆා කන්ද වෙත ස්වේච්ඡාවෙන් ම පැමිණ, ඉස්ලාමය හා අවනත වීම සම්බන්ධයෙන් එතුමාණන්ට ප්‍රතිඥා දුන් අතර, තවත් අය පසුබට වී බියෙන් පලා ගියහ. පසු ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන්ට ද අභය ලබා දුන් අතර, ඔවුහු ද පසුකාලීන ව ඉස්ලාමය වැළඳ ගත්හ. එබැවින් ඔවුන් දහමට ප්‍රවේශ වීම බලකිරීමක් මත සිදු වූවක් නොවීය. ඇරත්, ගෞරවනීය නබිතුමා සමාව දීමෙන් පසු ව ඔවුන්ගේ හදවත් පරිවර්තනය වීම මත එය සිදුවිය.
ජයග්‍රහණයේ බලපෑම: මෙම ජයග්‍රහණය අතිමහත් බලපෑමක් ඇති කළේය; නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් (අරාබිවරුන්ගේ ප්‍රධානීන් වන) කුරෙයිෂ්වරුන් ව ජයග්‍රහණය කිරීමෙන් පසු ව හා ඉන්පසු හිමි වූ ජයග්‍රහණයන්ගෙන් පසු ව, එතුමාණන්ගේ නබිත්වයේ සත්‍යතාව පිළිබඳ ව සියල්ලෝ ම ස්ථිර වශයෙන් ව තහවුරු කර ගත්තෝය. එබැවින් අල්ලාහ්ගේ දහම තුළට කණ්ඩායම් හා සමූහ වශයෙන් පිවිසීම සඳහා සෑම ස්ථානයකින් ම නියෝජිත පිරිස් පැමිණෙන්නට වූහ.
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
(1) අල්ලාහ් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට හා එතුමාණන්ගේ සහචරයින්ට සටන් කිරීමේ අවශ්‍යතාවකින් තොර ව මක්කා ජයග්‍රහණය පහසු කර දුන්නේය. තව ද ඔවුන්ගේ ලේ වැගිරීම් වළක්වා ඔවුන්ට ආරක්ෂිත ව ජයග්‍රහණය ලබා දීම අල්ලාහ්ගෙන් වූ හුදු අනුග්රහයකි.
2 - ජයග්‍රහණයේ දී නිහතමානිකමේ ගුණය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අල්ලාහ්ට අතිශයින් ම යටහත් පහත් වෙමින් හා අවනත වෙමින් මක්කාවට ඇතුළු වූහ. එය, සියලු අනුග්රහයන් අල්ලාහ්ට පමණක් අයත් බවත්, උපකාර කරන්නා සහ ජය ලබා දෙන්නා ඔහු ම බවත්, තව ද විශ්වාසවන්තයාගේ බලය කොතරම් වැඩි වුව ද ඔහු තම පරමාධිපතියාණන් කෙරෙහි දක්වන නිහතමානිකම තව තවත් වැඩි කර ගත යුතු බවත් අපට ඉගැන්වීම සඳහා ය.
3- ඒකදේවවාදයේ වැදගත්කම: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් සිදු කළ පළමු කාර්යය වූයේ පිළිම කඩා බිඳ දැමීම යි. මෙයින් තහවුරු වන්නේ මෙම දහමේ පදනම සහ එහි ශක්තිය පවතින්නේ "ඒකදේවවාදය" තුළ බවත්, අල්ලාහ් හැර නැමදුම් කරනු ලබන සියලු දැයින් හදවත් සහ නිවාස පවිත්‍ර කිරීම තුළ බවත් ය.
4- අරාබි ගෝත්‍රිකයෝ සටනේ ප්‍රතිඵලය අපේක්ෂාවෙන් බලා සිටියහ. තම ජනතාවට එරෙහි ව නබි (සල්) තුමාණන්ට අල්ලාහ්ගේ උපකාරය හිමි වූ බව ඔවුන් දුටු විට, තමන් ඉස්ලාමය වැළඳ ගන්නා බව ප්‍රකාශ කරමින් නියෝජිත පිරිස් එකිනෙකා පසුපස පැමිණියහ. ඒ අනුව සමස්ත අරාබි අර්ධද්වීපයේ ම හදවත් දේවත්ව විශ්වාසය වෙත විවර කළ යතුර බවට මක්කාහ් ජයග්‍රහ පත් විය.
5- අල් කුර්ආනයේ ශුභාරංචිය: අල්ලාහ් මෙම මහඟු සිදුවීම තම ශුද්ධ වූ පුස්තකයෙහි මෙසේ පවසමින් සදාකාලික කළේය: අල්ලාහ්ගේ උපකාරය හා (මක්කා) ජයග්‍රහණය පැමිණි විට ද, තව ද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද, නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තව ද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය. (අන් නස්ර්: 1-3)
දහසයවන පාඩම: හුනයින් සටන:
සටනට හේතුව: මක්කා සටනේ ජයග්රහණයෙන් පසු ව, තමන් ඉලක්ක කර ගනිමින් සටන් කිරීම සඳහා "හවාසින්" ගෝත්‍රිකයින් (තාඉෆ් වැසියන්) ඉතා විශාල හමුදාවක් රැස් කරමින් සිටින බවට නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාට ආරංචියක් දන්වන ලදී. එබැවින් ඔවුන් මක්කාව වෙත පැමිණෙන්නට මත්තෙන් ඔවුන් සිටින ස්ථානයට ම පිටත් ව යාමට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ තීරණය කළහ.
සේනා දෙකෙහි ශක්තිය: හවාසින් ගෝත්‍රයෙන් සටන්කරුවෝ විසිදහසක් පමණ රැස් වූහ. ඔවුහු තම වස්තුව, කාන්තාවන් හා දරුවන් ද සමග පිටත් ව ගියහ (පලා නොයා සිටීමට තමන් ව ම දිරි ගන්වා ගනු පිණිස ය). මුස්ලිම්වරු නම්, සටන්කරුවන් දොළොස් දහසකින් යුත් විශාල සේනාවක් ලෙස පිටත් ව ගියහ. ඔවුන්ගෙන් දෙදහසක් මෑතක දී ඉස්ලාමය වැළඳගත් මක්කාහ් වැසියෝ වෙති.
අධිකත්වය පිළිබඳ පාඩම: සමහරක් මුස්ලිම්වරු තම සංඛ්‍යාවේ විශාලත්වය දුටු අවස්ථාවේ, ‘අද දින සංඛ්‍යාව අඩු වීම හේතුවෙන් අප ව පරාජය කළ නොහැක’ යැයි උදම් අණමින් පවසා සිටියහ. තමන් පිළිබඳ ව ඇති වූ මෙම මවිතය අසීරු පරීක්ෂණයේ ආරම්භය විය.
දරුණු පුදුමය: මුස්ලිම්වරුන් 'හුනයින්' මිටියාවතට පිවිසීමට පටන් ගත් කල්හි, හවාසින් සටන්කරුවෝ ඔවුන් ඉලක්ක කර සැඟවුණු උගුල් අටවා තිබුණහ. ඔවුහු හදිසියේ ම මුස්ලිම් හමුදාවට එකාවන් ව පහර දී ඔවුන් වෙත ඊතල වරුසාවක් එල්ල කළහ. මෙම පුදුමයට පත් කිරීම හේතුවෙන් මුස්ලිම් හමුදාවෙන් විශාල පිරිසක් පසුබෑමට හා පලා යාමට එය හේතු විය.
නායකයාගේ ස්ථාවරත්වය: එම අසීරු මොහොතේ දී, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දුර්ලභ ධෛර්යයකින් යුතු ව තම ස්ථානයෙහි නොසැලී සිටියහ. එතුමා සමග මුහාජිර්වරුන් සහ අන්සාර්වරුන්ගෙන් සුළු පිරිසක් ද වූහ. ඔවුන් අතර අබූ බක්ර්, උමර් සහ අලී (රළියල්ලාහු අන්හුම්) ද වූහ.
නබි තුමාණන්ගේ වීරත්වය: තම සහචරයින්ගේ හදවත් තුළට යළි විශ්වාසය ගෙන ඒම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම උපරිම හඬින් අමතමින්, තම කොටළුවා පිට නැඟී බහුදේවවාදීන්ගේ හමුදාව දෙසට වේගයෙන් ඉදිරියට ඇදුණහ: "“සැබැවින් ම, මම නබි වරයෙකි. එහි බොරුවක් නැත. මම අබ්දුල් මුත්තලිබ්ගේ පුත්‍රයා වෙමි.”", තව ද යුද්ධය නැවතත් උත්සන්න විය.
අල්ලාහ්ගේ සහ මලක්වරුන්ගේ උදව්ව: සහබාවරුන් ආපසු පැමිණ තම නබිවරයා වටා එක්රොක් වී සටන දරුණු වූ කල්හි, මලක්වරුන් පහළ කිරීම මගින් ප්රතික්ෂේපකයින්ගේ හදවත් තුළ බිය ඇති කර, ඔවුන්ගේ පාද කම්පනයට පත් කළ සර්ව බලධාරී අල්ලාහ්, විශ්වාස කරන්නන් ව එපරිදි ශක්තිමත් කළේය.
අවසානය හා ඝනීමත් භාණ්ඩ: දේවත්ව ප්රතික්ෂේපක ජනයා පරාජයට පත් වී පලා ගියහ. මුස්ලිම්වරු ඔවුන් ව ලුහුබැඳ ගියහ. තව ද දේවත්ව ප්රතික්ෂේපක ජනයා තමන් පිටුපස විශාල ඝනීමත් භාණ්ඩ හා ධනය අතහැර දමා ගියහ. අල්ලාහ්ගේ අනුග්‍රහයෙන් ඒවා මුස්ලිම්වරුන් සතු විය. නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා හවාසින් උදවිය කෙරෙහි වූ සිය සෙනෙහස හේතුවෙන් ඔවුන් නැවත පැමිණ ඉස්ලාමය වැළඳ ගෙන, එතුමා වෙත පැමිණ තම ඝනීමත් භාණ්ඩ නැවත තමන්ට ලබා දෙන මෙන් ඉල්ලා සිටිනු ඇතැ යි යන අපේක්ෂාවෙන් යම් කාලයකට පසු ව මිස එම ඝනීමත් භාණ්ඩ බෙදා දුන්නේ නැත. එහෙත් ඔවුන් ප්‍රමාද වූ කල්හි එතුමාණෝ ඒවා බෙදා දුන්හ.
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- අල්ලාහ් මත ස්ථීර ව රැඳී සිටීම මිස සංඛ්‍යාව මත නොවේ. සැබැවින් ම ජයග්‍රහණය අල්ලාහ්ගෙන් පමණක් පැමිණෙන බවත්, හදවත් තුළට උඩඟුකම ඇතුළු වූ විට සංඛ්‍යාවෙන් අධික වීම ප්‍රයෝජනයක් නොවන බවත් මුස්ලිම්වරු හුනයින්හි දී ඉගෙන ගත්හ.
2- බදර් යුද්ධයේ දී, ඉවසීම හා දෙවිඳාණන් කෙරෙහි වූ බියබැතිමත්කම තිබිය දී "අඩු සංඛ්‍යාව" හානියක් නොවන බව මුස්ලිම්වරු ඉගෙන ගත්හ. තව ද හුනෙයින්හි දී, ඉවසීම සහ අල්ලාහ් මත විශ්වාසය තැබීම නොමැති වූ විට "අධිකත්වය" කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොදෙන බව ද ඔවුහු ඉගෙන ගත්හ.
3- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සහ එතුමාණන් සමඟ සිටි අය ඔවුන්ගේ දැඩි විශ්වාසය හේතුවෙන් ස්ථාවර ව සිටියහ. අල්ලාහ් ඉතාමත් දුෂ්කර අවස්ථාවන්වලදී ද අවංක හදවත් ස්ථාවර ව තබන බව මෙයින් අපට උගන්වයි.
4 - මෙම සටනේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මහත් ධෛර්යයක් පෙන්නුම් කළහ. හමුදාව පසුබැස ගිය ද, එතුමාණෝ මහත් අභිමානයෙන් හා ස්ථීර විශ්වාසයෙන් යුතු ව තම නාමය හඬ නගා පවසමින්, සතුරාට මුහුණ දීම සඳහා තමා විසින් ම ඉදිරියට ඇදී ගියහ.
5- අල්ලාහ් තම ධර්ම දූතයාට හා දේවත්ව විශ්වාසී ජනයාට ඔවුන් නොදුටු මලක්වරුන්ගෙන් වූ හමුදාවන් මගින් උපකාර කළේය. අල්ලාහ් නිරන්තරයෙන් ම තම සමීපතමයින් සමග සිටින බව මෙයින් තහවුරු වේ.
6- දුෂ්කරතාවලින් හා අසීරුතාවලින් පසු ව, මුස්ලිම්වරුන්ගේ ඉවසීමට සහ ස්ථාවරත්වයට ප්‍රතිඵලයක් වශයෙන්, අල්ලාහ් ඔවුනට ජයග්‍රහණය සහ බොහෝ යුදමය භාණ්ඩ පිරිනමමින් අනුග්‍රහ කළේය.
7- මතකය සදාකාලික කළ උතුම් වැකි: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: සැබැවින් ම අල්ලාහ් බොහෝ තැන්වල නුඹලාට උදව් කළේය. තව ද හුනයින් දිනයෙහි නුඹලාගේ අධිකත්වය නුඹලා ව මවිත කළ අවස්ථාවේ නුඹලාට කිසිවක් ප්‍රයෝජනවත් නොවීය. මහපොළොව පුළුල් ව තිබුණ ද නුඹලාට පටු විය. පසු ව නුඹලා පිටුපස හැරී පලා ගියෙහුය. පසු ව අල්ලාහ් ඔහුගේ ශාන්තභාවය ඔහුගේ දූතයාණන් වෙත හා දේවත්වය විශ්වාස කරන්නන් වෙත පහළ කළේය. තව ද නුඹලා නුදුටු සේනාවන් ඔහු පහළ කළේය. ප්‍රතික්ෂේප කළවුන්ට දඬුවම් කළේය. එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්රතිවිපාකය යි. ඉන් පසු ව අල්ලාහ් තමන් අභිමත කරන අයට (ඔවුන්ගේ) පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. තව ද අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය. (අත්-තව්බා: 25-27)
8 - ප්‍රතිඵල අදාළ ක්‍රියාවෙන් ම පිහිටනු ඇත: නබිවරයා ﷺ සිය ගෞරවනීය සහචරයින් සුළු පිරිසක් සමග යුධ පිටියේ ස්ථාවර ව සිටි කල, අතිශ්‍රේෂ්ඨ වූ අල්ලාහ් ප්‍රතිඥා දුන් පරිදි ම ජයග්‍රහණය ඔහු වෙත පැමිණියේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: අහෝ දේවත්වය විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට උදව් කළෙහු නම් ඔහු නුඹලාට උදව් කරනු ඇත. තව ද නුඹලාගේ පාද ඔහු ස්ථීර කරනු ඇත. (සූරා මුහම්මද:7) මෙය පොදු කරුණකි; මුස්ලිම්වරයෙක් සර්ව බලධාරී අල්ලාහ්ගේ ප්‍රසාදය අපේක්ෂා කරමින් අල්ලාහ්ගේ දහමට උදව් කර, ඒ වෙත ඇරයුම් කර, ඔහුගේ මාර්ගයේ අරගල කරන්නේ නම්, ඔහුට ජයග්‍රහණය හා සහයෝගය ලබා දෙන බවට සර්ව බලධාරී අල්ලාහ් ප්‍රතිඥා දී ඇත.
දහහත්වන පාඩම: නියෝජිත කණ්ඩායම් පිළිගැනීම සහ හජ්ජතුල් විදාඃ නම් සමුගැනීමේ හජ් වන්දනාව:
මක්කා ජයග්රහණයෙන් හා මුස්ලිම්වරුන්ගේ ජයග්රහණයෙන් පසු ව, තමන් ඉස්ලාමය වැළඳගත් බව ප්‍රකාශ කිරීම පිණිස අරාබි ගෝත්‍රිකයෝ සෑම දිශාවකින් ම මදීනා නගරය වෙත පැමිණියහ. හිජ්රි නවවන වසර "නියෝජිතයින්ගේ වසර" යනුවෙන් හැඳින්විණි. ඒ අනුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ නියෝජිත පිරිස් බොහෝමයක් පිළිගත්හ. ඒ අතුරින් බනූ තමීම් නියෝජිත පිරිස, නජ්රාන් නියෝජිත පිරිස සහ තාඊ නියෝජිත පිරිස (ඔවුන් අතර අදී බින් හාතිම් ද විය) ප්‍රධාන විය. ඉස්ලාමීය ධජය යටතේ අරාබි අර්ධද්වීපය එක්සත් කිරීම කෙරෙහි මෙම නියෝජිත පිරිස්වල බලපෑම අතිමහත් විය. එහි දී ඔවුහු ආගමේ මූලික ප්‍රතිපත්ති ඉගෙන ගත් අතර තම ජනතාවට ඉස්ලාමය වෙත ඇරයුම් කරනු පිණිස නැවත ඔවුන් වෙත ම ගියහ. එය ඉස්ලාමය ව්‍යාප්ත වීම සඳහා මාවත සකස් කළේය.
හිජ්රි දසවන වසරේ නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා එම වසරේ හජ් කිරීමේ අපේක්ෂාවෙන් පසු වන බව ජනයා අතර නිවේදනය කරන ලදී. එවිට සෑම තැනින් ම අතිවිශාල ජනකායක් මදීනාවට පැමිණියෝය. ඔවුහු සියලු දෙනා ම එතුමාගෙන් ඉගෙන ගැනීමටත් හජ් වත්පිළිවෙත්හි එතුමා ව අනුගමනය කිරීමටත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමඟ ගමන් කිරීමට අපේක්ෂා කළෝය.
නම් කිරීමට හේතුව: එයට "හජ්ජතුල් වදා" යනුවෙන් නම් කරනු ලැබුවේ එහි දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිය වදන් මගින් මිනිසුන්ගෙන් සමුගත් බැවිනි. තව ද ඉන් පසු ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කිසි දිනෙක හජ් වන්දනාවක් ඉටු නොකළ බැවිනි.
හජ් වන්දනාකරුවන්ගේ සමූහයා: මෙම ආශිර්වාද ලත් ගමනෙහි නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග ලක්ෂයකට අධික හජ් වන්දනාකරුවන් පිරිසක් පිටත් වූ අතර, එතුමාණන්ගේ බිරියන් නව දෙනා (රළියල්ලාහු අන්හුන්න) ද එතුමාණන් සමඟ එක් වූහ.
පූර්ණ ආශිර්වාදය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හජ් වත්පිළිවෙත් ඉටු කරමින් සිටිය දී, අරෆා දිනයේ දී උත්තරීතර අල්ලාහ්ගේ මෙම වදන එතුමාණන් වෙත පහළ විය: අද දින නුඹලාට නුඹලාගේ දහම මම සම්පූර්ණ කළෙමි. නුඹලා කෙරෙහි වූ මාගේ ආශිර්වාදය ද පරිපූර්ණ කළෙමි. නුඹලා වෙනුවෙන් දහමක් ලෙස ඉස්ලාමය මම පිළිගතිමි. (අල් මාඉදා: 3) මෙම පාඨය දූත මෙහෙයේ පූර්ණත්වය පිළිබඳ නිවේදනයක් විය.
මහඟු උපදෙස: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අරෆා දින සහ අවුරුදු උත්සව දින ජනතාවට මහඟු දේශනා පැවැත්වූහ. එහි දී මුස්ලිම්වරයකුගේ මූලික ප්‍රතිපත්ති, තව්හීදය, සුන්නාව අනුගමනය කිරීම සහ බහුදේවවාදීන්ට වෙනස් ව කටයුතු කිරීම යනාදිය තරයේ පවසා සිටි අතර, මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් සහ අඹුසැමියන්ගේ අයිතිවාසිකම් ද පැහැදිලි කළහ. එසේ එතුමාණන් එහි දී පැවසූ දෑ අතුරින් එකක් නම්: "ඔබේ මේ දිනයේ, ඔබේ මේ මාසයේ, ඔබේ මේ දේශයේ උතුම්භාවය මෙන් ම සැබැවින් ම ඔබේ රුධිරයත්, ඔබේ වස්තුවත්, ඔබේ ආත්මගරුත්වයත් ඔබට උතුම් වන්නේය. මම ඒ වග දන්වා නොසිටියෙම් ද?" මුස්ලිම්වරයකුගේ ජීවිතය, ධනය සහ කීර්තියේ පරිශුද්ධභාවය අවධාරණය කිරීම පිණිස ය.
නොමඟ යෑමෙන් ආරක්ෂා කරන “අන්තිම කැමැත්ත ප්‍රකාශයක්” ලෙස උපදෙස් දෙමින් එතුමාණෝ මෙසේ පැවසූහ: “සැබවින් ම මම ඔබ අතර කරුණක් තබා යමි. ඔබ එය තදින් පිළිපදින්නෙහි නම්, ඉන්පසු ව කිසිවිටෙකත් ඔබ නොමඟ නොයනු ඇත: එනම් අල්ලාහ්ගේ ග්‍රන්ථය යි.” [මූලාශ්‍ර ග්‍රන්ථය: මුස්ලිම්].
නැවත හැරී යාම: නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා හජ් වන්දනාමාන කටයුතු අවසන් කර, ජනයාට ඔවුන්ගේ දහම උගන්වා මදීනාව වෙත නැවත හැරී ගියහ.
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- නියෝජිත කණ්ඩායම් පිළිගැනීම අපට උගන්වන්නේ, ඉස්ලාමයේ බලය පවතින්නේ සත්‍යය මත වූ එකමුතුකම හා එක්සත්කම මෙන් ම දැනුම ව්‍යාප්ත කිරීම තුළ බවත්, විජයග්‍රාහී නායකයා යනු යහපත පතුරුවා හැරීම සඳහා සබඳතා පාලම් ගොඩනගන්නෙකු බවත් ය.
2- අල් කුර්ආනය හා සුන්නාව තදින් ග්‍රහණය කොට පිළිපදින ලෙස නබි ﷺ තුමාණන් කළ උපදෙස මුස්ලිම්වරයෙකුගේ ගැලවීමේ මාර්ගය වන්නේය. මන්ද යත්, සෑම කාලයක ම හා සෑම ස්ථානයක දී ම මාර්ගෝපදේශය ද, සත්‍යයෙන් බැහැර වීම හා නොමග යෑම යනාදි කරුණුවලින් ආරක්ෂාවක් ද ඒ දෙක තුළ පවතින බැවිනි.
3- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හජ් වත්පිළිවෙත් ඉටු කිරීම සඳහාත්, එය ජනයාට වචනයෙන් පමණක් නොව "ක්‍රියාවෙන්" ද උගන්වනු පිණිසත් තමන් ම පිටත් ව ගියහ. එය සියල්ලන් ම දැක අනුගමනය කරන ජීවමාන ආදර්ශයක් වනු පිණිස ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "ඔබේ නැමදුම් පිළිවෙත් මගෙන් ලබා ගන්න" "[මෙය බයිහකී, අබූ දාවුද් හා අන්නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත්තෝය.]," තව ද සහීහ් මුස්ලිම් හි වාර්තාවක මෙසේ සඳහන් වේ. ""ඔබේ නැමදුම් පිළිවෙත් ලබා ගන්න.""
4- අල්ලාහ් අප වෙනුවෙන් දහම සම්පූර්ණ කර ඇති බවත්, ආශිර්වාදය පරිපූර්ණ කර ඇති බවත් අපට දන්වා සිටියි; එබැවින් කිසිවෙකුට තම අභිමතය පරිදි දහමට "නවෝත්පාදනයන්" එක් කිරීමට හෝ එයින් අඩු කිරීමට අවසර නොමැත. මන්ද ඉස්ලාම් දහම තුළ ජනයාගේ මෙලොව හා මතුලොව ජීවිතය යහපත් කරන සියල්ල අන්තර්ගත වී ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ අභාවයත් සමඟ හා දේව පණිවිඩය පහළ වීම නතර වීමත් සමඟ ෂරීආව පරිපූර්ණ වී ඇත.
5- මුස්ලිම්වරයකුගේ ආරක්ෂාව: මුස්ලිම්වරුන්ගේ ජීවිත, ආත්මගරුත්වය හා ධනය ආරක්ෂා විය යුතු බවත්, යුක්තියකින් තොර ව ඒවා සම්බන්ධයෙන් කිසිදු ලෙසකින් සීමාව ඉක්මවා කටයුතු කිරීම අනුමත නොවන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැඩි ලෙස අවධාරණය කළහ.
දහ අටවන පාඩම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ අභාවය:
හිජ්රි එකොළොස් වන වසරේ රබීඋල් අව්වල් මස දොළොස් වන සඳුදා දින පෙරවරුවේ, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සිය භාර්යාව වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ නිවසේ සිටිය දී එතුමාණන්ගේ රෝගාබාධය දරුණු විය.
මරණ වේදනාව: නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා මරණයේ වේදනාවන්ගෙන් හා එහි සකරාත් (අසීරුතා) වලින් පීඩා වින්දේය. එතුමාණෝ තම මුහුණ ජලයෙන් පිරිමදිමින් මෙසේ පැවසූහ: ""ලා ඉලාහ ඉල්ලල්ලාහ්, ඉන්න ලිල්මව්ති ලසකරාත්." (අල්ලාහ් හැර නැමදුම් ලැබීමට වෙනත් දෙවිඳෙක් නැත. නියත වශයෙන් ම මරණයට වේදනාවන් ඇත.)" [මෙය ඉමාම් බුහාරිතුමා විසින් වාර්තා කරන ලදී.]
අභාවය: එතුමාණන් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ පපුව මත හාන්සි වී සිටිය දී, එතුමාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උතුම් ප්‍රාණය බැහැර විය. ඒ වන විට එතුමාණන්ගේ වයස අවුරුදු හැට තුනක් ව තිබුණි.
වළ දැමීම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වළලනු ලැබුවේ එතුමාණන් මිය ගිය ස්ථානයේ ය, එය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ නිවස යි.
සම්පූර්ණ වගකීම: නබි ﷺ තුමාණන් මිය ගියේ එම වගකීම සම්පූර්ණයෙන් ම ඉටු කිරීමෙන් පසු ව ය. තව ද එතුමාණෝ තම සමාජය දහවල් කාලයේ හිරු මෙන් පැහැදිලි මාර්ගයක් මත හැර දමා ගියහ. එබැවින් එතුමාණන් අපට මඟ නොපෙන්වූ කිසිදු යහපතක් නොමැත, එමෙන් ම අපට අනතුරු නොඇඟවූ කිසිදු අයහපතක් ද නොමැත.
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- මෙම සිදුවීම මඟින් උම්මුල් මුඃමිනීන් හෙවත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ ශ්‍රේෂ්ඨත්වය සහ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අබියස එතුමියට තිබූ උසස් තත්ත්වය අපට පැහැදිලි වේ. එනම්, එතුමාණෝ තම අවසාන දින කිහිපය එතුමියගේ නිවසේ ගත කිරීමට තෝරා ගත් අතර, එතුමියගේ තුරුලේ ම මිය ගියහ.
2- මරණය යනු තම මැවීම් කෙරෙහි වූ අල්ලාහ්ගේ නියමයකි. යම් කිසිවෙක් හෝ මෙලොව සදාකාලික ව පවතින්නේ නම්, අල්ලාහ්ගේ රසූල්වරයා ﷺ ද මෙලොව සදාකාලික ව පවතිනු ඇත. තව ද උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරන පරිදි ය: නියත වශයෙන් ම නුඹ මිය යන අයෙකි. එමෙන් ම නියත වශයෙන් ම ඔවුහු ද මිය යන අය වෙති. (අස්-සුමර්: 30)
3- නියත වශයෙන් ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ අභාවය මුස්ලිම්වරුන්ට සිදු වූ අතිවිශාලතම විපත යි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අහිමි වීමේ විපත කවරෙකු මෙනෙහි කරන්නේ ද, ඔහුට අනෙකුත් සෑම විපතක් ම සැහැල්ලු වනු ඇත. දූතයාණන්ගේ කවියාණන් වූ හස්සාන් බින් සාබිත් (රළියල්ලාහු අන්හු) තුමාණන් පැවසූ පරිදි:
පෙර විසූවන් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වැනි කිසිවෙකු අහිමි කර ගත්තේ නැත.. තව ද කියාමත් දිනය දක්වා එතුමාණන් වැනි කිසිවෙකු අහිමි කරනු නොලබන්නේය.
4- ඇරයුම් කරන්නන් සඳහා වූ පණිවිඩය: ආගමික දැනුම දරන සෑම අයෙකු ම, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ක්‍රියා කළාක් මෙන් තමා මත පැවරී ඇති වගකීම ඉටු කළ තත්ත්වයෙන් අල්ලාහ් ව මුණගැසෙන තෙක්, එය ප්‍රචාරය කිරීමෙහි හා ජනයාට එය ඉගැන්වීමෙහි උපරිමයෙන් කැපවීමෙන් කටයුතු කිරීම ඔහුගේ වගකීම වන්නේය.
5- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අප ව පැහැදිලි සත්‍යය සහ නිවැරදි ප්‍රතිපත්තිය මත තබා ගොස් ඇත. බිද්අත් (දහමට දහමේ නමින් ඇතුළත් කරන නවෝත්පාදන) හෝ ආශාවන්ගෙන් මුළාවට පත් වූවන් හැර අන් කිසිවෙකු මෙම මාර්ගයෙන් බැහැර වන්නේ නැත. එබැවින් සමස්ත සතුට ම පවතින්නේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මග පෙන්වීම අනුගමනය කිරීම තුළ ය.
දහනවවන පාඩම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ භාර්යාවන්:
එතුමාණන්ගේ බිරින්දෑවරුන්:
1. කදීජා බින්ත් කුවයිලිද් (රළියල්ලාහු අන්හා) තුමිය.
2- සවුදා බින්ත් zසුම්අහ් (රළියල්ලාහු අන්හා) තුමිය.
3- ආඉෂා බින්ත් අබී බක්ර් අස් සිද්දීක් (රළියල්ලාහු අන්හා) තුමිය
4- හෆ්සා බින්ත් උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හා) තුමිය.
5- zසයිනබ් බින්ත් කුzසෙයිමා (රළියල්ලාහු අන්හා) තුමිය.
6- උම්මු සලමා (හින්ද් බින්ත් අබී උමයියා) (රළියල්ලාහු අන්හා) තුමිය.
7- උම්මු හබීබාහ් (රම්ලා බින්ත් අබී සුෆ්යාන්) (රළියල්ලාහු අන්හා) තුමිය.
8- ජුවය්රිය්යාහ් බින්ත් අල් හාරිස් (රළියල්ලාහු අන්හා) තුමිය.
9- මය්මූනා බින්ත් අල් හාරිස් (රළියල්ලාහු අන්හා) තුමිය.
10- සෆියියාහ් බින්ත් හුයයි (රළියල්ලාහු අන්හා) තුමිය.
11- zසයිනබ් බින්ති ජහ්ෂ් -රළියල්ලාහු අන්හා- තුමිය.
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1. "උම්මාහාත් අල්-මුමිනීන්" (විශ්වාස කරන්නන්ගේ මව්වරුන්): නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරින්දෑවරු ශුද්ධ වූ අල් කුර්ආනයේ පාඨයට අනුව "විශ්වාස කරන්නන්ගේ මව්වරු" වෙති. අතිඋත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: දේවත්වය විශ්වාස කරන්නන් හට ඔවුනටත් වඩා මෙම නබිවරයා වඩාත් ප්රමුඛ ය. ඔහුගේ බිරියෝ ඔවුන්ගේ මාතාවෝ ය... (අල් අහ්සාබ්: 6) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පෝෂණය කරමින් පුරුදු පුහුණු කිරීමේ හා දයාව දැක්වීමේ විෂයෙහි විශ්වාසවන්තයින් වෙනුවෙන් පියෙකුගේ ස්ථානයේ සිටිති. එබැවින් එතුමාණන්ගේ බිරින්දෑවරුන්ට ගෞරව කිරීම හා ඔවුන් ව අගය කිරීම අනිවාර්ය වන අතර ම ඔවුන් හා විවාහ කර ගැනීම තහනම් වීමේ දී ද එතුමාගේ බිරින්දෑවරු අපට මව්වරුන් මෙන් වෙති. එහෙත් ඔවුන් සමඟ තනි ව සිටීමට හෝ හිජාබය ඉවත් කිරීමට අනුමැතිය ලබා දෙන "මහ්රම්" (ඔවුන් හා විවාහය සපුරා තහනම් වන) තත්ත්වය සම්බන්ධයෙන් ඔවුහු මව්වරුන් මෙන් නොවෙති.
2. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තත්ත්වයේ ගෞරවය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ භාර්යාවන්ට ආවේණික වූ ලක්ෂණයක් වන්නේ, එතුමාණන්ගේ අභාවයෙන් පසු කිසිවෙකුටත් ඔවුන් ව කිසිදා විවාහ කර ගැනීමට නොහැකි වීම යි. අල්ලාහ් මෙසේ පවසයි: තව ද අල්ලාහ්ගේ දූතයාණන්ට නුඹලා වේදනා කිරීමත් ඔහුගෙන් පසු ව ඔහුගේ බිරියන් කිසිවිටෙක නුඹලා විවාහ කර ගැනීමත් නුඹලාට සුදුසු නොවීය. නියත වශයෙන් ම එය අල්ලාහ් අබියස බරපතළ කරුණකි. (අල් අහ්සාබ්: 53) මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නිලය ආරක්ෂා කිරීමක් සහ එතුමාණන්ට කරන ගෞරවයකි. තව ද ඊට හේතුව, එතුමාණන් සහ ඔවුන් අතර ඇති විවාහ සබඳතාව අල්ලාහ්ගේ අනුමැතියෙන් ස්වර්ගයේ දී ද නොනැසී අඛණ්ඩ ව පවතින බැවිනි.
3. වගකීමේ බලවත්කම සහ ප්‍රතිඵල ගුණ කර දීම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම බිරින්දෑවරුන්ට මෙලොව අලංකාරය හෝ එතුමාණන් සමග රැඳී සිටිමින් ජීවන අපහසුතා හමුවේ ඉවසීමෙන් කටයුතු කිරීම අතරින් එකක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දුන් විට, ඔවුහු අල්ලාහ් ව ද, ඔහුගේ දූතයාණන් ව ද, මතු ලොව ද තෝරා ගත්හ. ඔවුන්ට හිමි ව ඇති නිලය හා ස්ථානය උසස් නිසාවෙන්, අල්ලාහ් ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් සඳහා වූ ප්‍රතිඵලය දෙගුණ කර දුන්නේය. එමෙන් ම ඔවුන් අතින් සිදුවන කුමන හෝ වරදක් වෙනුවෙන් වූ විමර්ශනය ද අන් අයට වඩා දැඩි කළේය. එය ඔවුන්ගේ පරෙස්සම හා අල්ලාහ්ට දක්වන කෘතවේදීත්වය නිරන්තරයෙන් ම ඉහළ ම තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා ය.
4. ඔවුහූ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නිවැසියන් අතුරින් වෙති: මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ භාර්යාවෝ, අල්ලාහ් විසින් ඔවුන් ව පිරිසිදු කර ඇති බවට දන්වා ඇති "අහ්ලුල් බයිත් හෙවත් නිවැසියන්" අතරට ඇතුළත් වෙති. ඔවුන් පිළිබඳ ව සඳහන් කරන සන්දර්භයෙහි උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: නියත වශයෙන් ම අල්ලාහ් අපේක්ෂා කරනුයේ නිවැසියන් වූ නුඹලාගෙන් කිලිටි පහකිරීමට හා නුඹලා ව මුළුමනින් පිවිතුරු කිරීමට ය. (අල් අහ්සාබ්: 33) එබැවින් ඔවුනට ආදරය කිරීම, ඔවුන් ගැන සෑහීමකට පත්වීම, ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සෑම මුස්ලිම්වරයෙකු වෙත ම අනිවාර්ය වන වගකීමකි. මන්ද යත් ඔවුහු පිවිතුරු ආදර්ශමත් උදවිය වෙති.
5. ඔවුන්ගේ නිවෙස්වල වහී පහළ වීම: ඔවුන්ගේ ශ්‍රේෂ්ඨතම භාග්‍යයන් අතුරින් එකක් වනුයේ, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටිය දී ශුද්ධ වූ අල් කුර්ආනය පහළ කරනු ලැබීම යි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: තව ද අල්ලාහ්ගේ වදන් හා ප්‍රඥාවෙන් නුඹලාගේ නිවෙස් තුළ පාරායනය කරනු ලබන දෑ නුඹලා මෙනෙහි කරනු... (අල් අහ්සාබ්: 34) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ඉතා සමීප ව සිටි හේතුවෙන්, එතුමාණන්ගේ නිවසෙහි වූ සුන්නතය (දේව දූත පිළිවෙත) සහ මඟ පෙන්වීම පිළිබඳ සෑම කරුණක් ම ඉතා මැනවින් ඔවුහු අප වෙත දන්වා සිටියහ. එබැවින් මෙම දැනුම සමූහයා වෙත දැනුම් දීම මඟින් ඔවුන් සෑම කෙනෙක් ම දහමට සේවය කළහ.
විසිවන පාඩම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දරුවන්:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දරුවෝ සත් දෙනෙක් දායාද කරනු ලැබුවෝය; ඔවුන් වනුයේ:
පළමු ව: පිරිමි දරුවන් (තිදෙනා): අල්-කාසිම්: මොහුගේ නමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට කුන්යාව (පටබැඳි නම) තබන ලද අතර එබැවින් එතුමාණන්ට "අබූ අල්-කාසිම්" යැයි කියනු ලැබේ, අනෙක් දෙදෙනා වනුයේ අබ්දුල්ලාහ් සහ ඉබ්රාහිම් ය.
දෙවනුව: දියණියන් (හතර): zසයිනබ්, රුකයියා, උම්මු කුල්සූම්, ෆාතිමා.
ඉබ්රාහිම් හැර එතුමාණන්ගේ සියලු ම දරුවෝ එතුමාණන්ගේ බිරිඳ කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් උපත ලැබූහ. ඉබ්රාහිම් එතුමාණන්ගේ දාසිය වූ මාරියා අල්-කිබ්තියියාතුමියගෙන් උපත ලැබීය. ෆාතිමාතුමිය හැර අනෙක් දූදරුවෝ සියල්ලෝ ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවිත කාලය තුළ දී මිය ගියහ. ෆාතිමාතුමිය එතුමාණන් අභාවයට පත් වී මාස හයක් ජීවත් වූ අතර පසු ව එතුමාණන් හා එක් වූවාය.
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- දරුවන් අහිමි වන අවස්ථාවේ දී ඉවසීමෙන් සිටීම සහ යහ ප්‍රතිඵල අපේක්ෂා කිරීම අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉගෙන ගනිමු. එතුමාණන් ජීවත් ව සිටි කාලය තුළ තම දරුවන් හය දෙනෙකු මරණයට පත් වීමෙන් අහිමි වීමේ වේදනාව එතුමා ද අත්විඳි සේක. එසේ වුව ද, එතුමාණෝ නොසැලී තම පරමාධිපතිට ස්තූතිවන්ත වූහ.
2- ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමියට හිමි වූ මහිමය: එතුමාගෙන් පසු ව ජීවත් ව සිටි එක ම තැනැත්තිය බවට පත් කිරීමෙන් අල්ලාහ් ඇය ව සුවිශේෂී කළේය. ඇය තම පියාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හා එක් වන තෙක් ම ඉවසිලිවන්ත ව හා අල්ලාහ්ගෙන් යහ ඵල අපේක්ෂා කරන්නියක ලෙස පසු වූවාය.
3- කුඩා අවධියේ දී මිය ගිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පුත් "ඉබ්රාහිම්"ගේ මෑණියන් වූයේ මාරියා අල්-කිබ්තියා ය. ඇය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ වහලියන්ගෙන් කෙනෙකු වූ අතර, මුඃමින්වරුන්ගේ මව්වරුන් වන එතුමාණන්ගේ භාර්යාවන්ගෙන් කෙනෙක් නොවේ.
විසි එක්වන පාඩම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ශරීර ලක්ෂණ සහ සදාචාරාත්මක ගුණාංග කිහිපයක්:
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ජනයා අතර වඩාත් කඩවසම් පෙණුමකින් යුක්ත අයකු වූ අතර, එතුමාණන්ගේ ලක්ෂණ අතර:
උස: එතුමාණෝ පිරිමින් අතර මධ්‍යම ප්‍රමාණයේ වූ අතර, කැපී පෙනෙන තරමට වැඩිය උසින් හෝ වැඩිය කොට හෝ නොවුහ, එහෙත් මධ්‍යස්ථ වූහ.
වර්ණය: සුදු පැහැයෙන් යුක්ත වූ අතර, එයට අලංකාරයක් සහ දීප්තියක් ගෙන දෙන මඳ රතු පැහැයක් එම සුදු පැහැයට මිශ්‍ර වී තිබුණි.
මුහුණ: පුළුල් නේත්‍රා දෙකක්, පුළුල් මෙන් ම අලංකාර මුඛයක් සහ ඝන රැවුලක් තිබිණි. හිසකෙස් ඉතා කළු පැහැයෙන් යුක්ත වූ අතර, වයස්ගත වන විට රැවුලේ සහ කන් දෙපස කෙස් විස්සකට නොළඟා වන සුදු පැහැති කෙස් ස්වල්පයක් මතු විය..
ශරීරය: උරහිස් දෙක අතර පළල් ය, සුවඳ විලවුන් ගල්වා නොතිබුණ ද නිරන්තරයෙන් මනරම් සුවඳකින් පසු විය.
තව ද එතුමාගේ සදාචාරාත්මක ගුණාංග:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජනයා අතර ආචාර සම්පන්නභාවයෙන් වඩාත් පරිපූර්ණවත් අයෙක් වූහ. තව ද අල්ලාහ් එතුමාණන් හට සියලු සදාචාර හා ගතිගුණ ඒකරාශී කර දුන්නේය, ඒවා අතුරින්:
අවංකකම සහ විශ්වාසවන්තකම: එතුමාණෝ මිනිසුන් අතුරින් කතාවෙන් වඩාත් ම අවංක තැනැත්තා මෙන් ම ගිවිසුම් ඉටු කිරීමේ දී වඩාත් ම විශ්වාසවන්තයා ද වූහ. එය කෙතරම් ද යත් නබි පදවිය ලබන්නට පෙර සිට ම "අස්-සාදික් අල්-අමීන්" යනුවෙන් එතුමාණන්ට නම් කරනු ලැබීය.
ත්‍යාගශීලිත්වය හා පරිත්‍යාගශීලීත්වය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජනයා අතර වඩාත් පරිත්‍යාගශීලී අයෙක් වූහ. එතුමාණෝ පරිත්‍යාග කළහ. එහෙත් දිළිඳුකමට බිය වූයේ නැත. එතුමාණන්ගෙන් යමක් ඉල්ලූ විට කිසිදාක 'නැත' යැයි පවසා නැත.
ඉවසීම සහ සමාව දීම: එතුමාණෝ ජනයා අතුරින් කෝපයෙන් වඩාත් ම දුරස් වූ අයෙකු මෙන් ම ඉතා ඉක්මනින් ප්‍රසාදයට පත්වන අයෙක් වූහ. තමන්ට අසාධාරණය කළ අයට සමාව දුන් අතර, තමන් සමඟ සබඳතා බිඳ දැමූ අය සමඟ සබඳතා පැවැත්වූහ. තව ද එතුමාණන්ට එරෙහි ව අඥානයෙකුගේ අඥානකම එතුමාණන්ගේ ඉවසීම පමණි අධික කරනුයේ.
නිහතමානීකම සහ දයාව: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විශ්වාසවන්තයින් කෙරෙහි යටහත් පහත් වූහ, තමන්ගේ කටයුතු තමා විසින් ම ඉටුකර ගත්හ, තම පාවහන් තමා විසින් ම සකසා ගත්හ, තම නිවැසියන්ට උදව් උපකාර කරන්නෙක් වූහ, තම අමුත්තන්ට ගෞරව කළහ, තමන් හමුවන්නන්ට මඳහස පෑහ. තව ද, දුර්වලයින්, කුඩා දරුවන් සහ සතුන් කෙරෙහි පවා ජනතාව අතුරින් වඩාත් කාරුණික තැනැත්තෙක් වූහ.
නිර්භීතකම: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හදවතින් මිනිසුන් අතුරින් නිර්භීතම කෙනෙක් වූහ. සටන උත්සන්න වූ විට එතුමාණන්ගේ සහචරයෝ එතුමාණන් වෙත පලා එන්නට වූවෝය, එවිට එතුමාණෝ ඔවුන් අතුරින් සතුරාට වඩාත් ම ආසන්නයේ සිටින කෙනෙක් වූහ.
තව ද සැබැවින්ම එතුමාණන්, දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මෑණියන් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය පුළුල් අර්ථයක් ඇති වදනකින් විස්තර කළ පරිදි ම විය: එනම්, “එතුමාගේ චර්යාව අල් කුර්ආනය ම විය.”
ඉගෙන ගත හැකි ආදර්ශ හා පාඩම්:
1- එතුමාණන්ගේ ශරීර ලක්ෂණ දැනගැනීමේ ප්‍රයෝජන අතුරින් එකක් වන්නේ, අල්ලාහ් ඔබට එතුමාණන් ව සිහිනෙන් දැකීමේ භාග්‍යය පිරිනැමීම යි. එබැවින් කවරෙක් එතුමාණන් ව එතුමාණන්ගේ ප්‍රකට ලක්ෂණවලින් යුතු ව දුටුවේ ද, සැබැවින්ම ඔහු එතුමාණන්ව සත්‍ය වශයෙන් ම දැක ඇත්තේය; මන්ද, ෂෙයිතාන්ට එතුමාණන්ගේ සැබෑ හැඩරුව ගැනීමට නොහැකි බැවිනි. නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණන් පැවසූ පරිදි: “කවරෙක් සිහිනෙන් මා දුටුවේ ද සැබැවින් ම ඔහු මා දුටුවේය. නියත වශයෙන් ම ෂෙයිතාන් මාගේ හැඩරුව නොගනියි.” [මූලාශ්‍ර ග්රන්ථ: අල් බුහාරි සහ මුස්ලිම්]
2- අවංක ව ආදරය කරන්නා තමන් ආදරය කරන අයගේ සියලු තොරතුරු දැනගැනීමට මහත් කැමැත්තක් දක්වයි, තව ද එයින් වඩාත් උතුම් වන්නේ මැවීම් සියල්ලෙහි නායකයාණන් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) ගේ ස්වරූපය සහ එතුමාණන්ගේ ජීවන චරිතය දැනගැනීම යි.
3- සහාබාවරුන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි දැක්වූ ආදරය සහ ශක්තිමත් බැඳීමේ තරම අපට අවබෝධ කරගත හැක. මන්ද යත්, ඔවුන් එතුමාණන්ගේ ජීවිතයේ ඉතා සියුම් තොරතුරු පවා අප වෙත සැල කර ඇති අතර, ඔවුන්ට පසු ව පැමිණි ප්‍රජාව මෙම උතුම් උරුමය සුරක්ෂිත කර ඇත්තෝය.
4- පරිපූර්ණ හා පූර්ණවත් ආදර්ශය: මෙම ගුණාංග අධ්‍යයනය කිරීම, පිරිසිදුකම හා සුවඳ විලවුන් මගින් බාහිර ස්වරූපයේ දී ද, සත්‍යවාදීබව, ඉවසීම, නිහතමානීබව යනාදිය මගින් අභ්‍යන්තර ස්වභාවයේ දී ද තම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව අනුගමනය කිරීමට මුස්ලිම්වරයෙකු ව පොළඹවයි.
සමාප්තිය
අවසාන වශයෙන්, නිවැරදි සුනන් ග්රන්ථ සහ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දිවි පෙවත පිළිබඳ ග්රන්ථ බොහෝමයක් ඇත. එබැවින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දිවි පෙවත, එතුමාගේ යහගුණ සහ චරිත ලක්ෂණ පිළිබඳ ව හැදෑරීම සඳහා මුස්ලිම්වරයෙකු ඒවා වෙත යොමු විය යුතු ය. ඒවායින් කිහිපයක් මෙසේ ය:
1- හාෆිල් ඉබ්නු කසීර් (රහිමහුල්ලාහ්) තුමා විසින් රචිත නබි තුමාණන්ගේ චරිතාපදානය.
2- ඉබ්නුල් කය්යුම් (රහිමහුල්ලාහ්) තුමාගේ "සාදුල් මආද්".
3- ඉමාම් තිර්මිදි (රහිමහුල්ලාහ්) තුමාගේ අෂ්-ෂමාඉල් ග්‍රන්ථය.
මෙම කටයුත්ත මහිමාන්විත අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා කෙරෙන අවංක ක්‍රියාවක් ලෙස පත් කර දෙන මෙන් ද, අපට හා ඔබට උතුමාණන්ගේ ගෞරවනීය නබිතුමාණන් (ﷺ) මනා ව අනුගමනය කිරීමේ භාග්‍යය ලබා දෙන මෙන් ද, මෙම උත්සාහය මඟින් පොදුවේ මුස්ලිම්වරුන් හට ප්රතිලාභ අත් කර දෙන මෙන් ද, විනිශ්චය දිනයේ දී මෙය අපට මනා සම්පතක් බවට පත් කර දෙන මෙන් ද උත්තරීතර අල්ලාහ්ගෙන් අපි ප්‍රාර්ථනා කරමු.
සියලු ප්‍රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සතු ය. තව ද අපගේ නායක මුහම්මද්තුමා කෙරෙහිත් එතුමාගේ පවුලේ උදවිය හා එතුමාගේ මිතුරන් යන සියලු දෙනා කෙරෙහිත් ශාන්තිය හා සමාදනය උදා වේවා!
Related books
All books
رسول الإسلام محمد صلى الله عليه وسلم81 භාෂාرسولمحمدرسول الإسلام محمد صلى الله عليه وسلم
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි. ඉස්ලාමයේ දූතයාණන් මුහම්මද් තුමා වේ. (එතුමා කෙරහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!) ඉස්ලාමයේ දූත මුහම්මද්(1) (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පිළිබඳ කෙටි හැඳින්වීමක්. මෙහි එතුමාගේ නාමය පෙළපත, දේශය, බිරියන්, දූත මෙහෙවර, එතුමා ඇරයුම් කළ දෑ මෙන්ම එතුමාගේ නබිත්වයේ හා පිළිවෙතේ සාධක හා එතුමා ගැන වූ තර්කයේ ස්ථාවරය පැහැදිලි කර ඇත්තෙමි. (1) පරිවර්තනය ගැන සැලකිලිමත් වෙමින් ‘දූතයා’ හා ‘මුහම්මද්’ යන පද දෙක සැමවිටම සම්බන්ධ කිරීමට මම උනන්දු වූයෙමි. එය (ඉදිරියට) පෙනෙනු ඇත. 1- එතුමාගේ නම පෙළපත හා එතුමාණන් ඉපදී වැඩුණු දේශය. ඉස්ලාමයේ දූතයාණන් වනුයේ:…
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්7 භාෂානබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්
පොතේ විස්තර බැලීමට ක්ලික් කරන්න.
නව මුස්ලිම්වරයෙකුට ප්‍රයෝජනවත් සංක්ෂිප්තයක්32 භාෂානව මුස්ලිම්වරයෙකුට ප්‍රයෝජනවත් සංක්ෂිප්තයක්
සැකසුම මුහම්මද් අෂ්-ෂුහ්රී 2020 - 1441 මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් පෙරවදන
පවිත්‍රතාවය, සලාතය සහ ජනාසා කටයුතු පිළිබඳ ෆික්හ් නීති රීති කිහිපයක්.16 භාෂාපවිත්රතාවය, සලාතය සහ ජනාසා කටයුතු පිළිබඳ ෆික්හ් නීති රීති කිහිපයක්.
මහාචාර්ය අෂ්-ෂෙයික් මුහම්මද් බින් සාලිහ් අල්-උසයිමීන් (රහිමහුල්ලා) විසින් රචිත "පවිත්‍රතාවය, සලාතය සහ ජනාසා කටයුතු පිළිබඳ ෆික්හ් නීති රීති කිහිපයක්." නම් කෘතිය, උක්ත වත්පිළිවෙත් ගැන පැහැදිලි කර ඇත්තේ අල්-කුර්ආනය හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මාර්ගය නම් සුන්නාවට අනුගතව ය. මුස්ලිම්වරුන් සඳහා ඔවුන්ගේ වත්පිළිවෙත් අවබෝධයෙන් යුතුව හා පහසුවෙන් ඉටු කිරීමට ඉඩ සලසා දීමේ අරමුණින් මෙම කෘතිය ග්‍රන්ථාරූඨ කිරීම මෙහිලා ඉතා වැදගත් කර්තව්‍යයක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම ශරීආව තුළ ඇති සාධක මත බැඳී සිට ලිහිල් මධ්‍යම මාර්ගය අනුගමනය කර තිබීම මෙහි විශේෂත්වයයි. අල්ලාහ්ගේ පිළිගැනීම හා ඔහුගේ සමීපත්වය ලබා…