يوم في بيت الرسول صلى الله عليه وسلم
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නිවසේ එක් දිනක්
අෂ්-ෂෙයික් අබ්දුල් මාලික් අල් කාසිම්
පෙරවදන
සෘජු මාර්ගය සහ සත්‍ය දහම සමඟ මෙලොවට තම දූතයාණන් එවු උත්තරීතර අල්ලාහ්ට සියලු ප්‍රශංසා හිමියි.
මුළු ලොවට ම ආශිර්වාදයක් වශයෙන් එවන ලද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහිත් එතුමාණන්ගේ පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් සියළු දෙනා කෙරෙහිත් අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය හිමිවේවා.
වර්තමාන සමාජයේ ජිවත් වන ජනතාව ඕනෑම දෙයක් ප්‍රශංසා කරමින් හෝ නින්දා කරමින් කාලය ගෙවති.
ඔවුන්ගෙන් ඇතැම් පිරිස් අල්ලාහ්ට සමාන කරන තරමට නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන්ට අධික ලෙස ප්රංශසා කොට, එතුමාණන්ගෙන් උපකාර පතමින් සිටිති.
එමෙන් ම තවත් පිරිසක්, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ආදර්ශය, සහ ජීවන මාර්ගය ගැන කිසිවක් නොසලකා, ඒවා අනුගමනය නො කර ජීවත් වෙති. මේ දෙපිරිස ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතය තමන්ට අවශ්‍ය ආදර්ශයක් වශයෙන්, තම ජීවිතයට පාඩමක් වශයෙන් නොගනිති. ඔවුන්ට අල්ලාහ්ගේ ආරක්ෂාව පතමු.
නබි (සල්ලලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවිත කථාව සහ එතුමාගේ ජීවන ක්‍රමය පිළිබද ව ඔබ සියල්ලට පහසුවෙන් හඳුන්වා දීමේ අපේක්ෂාවෙන් මෙම පොත් පිංචය සකස් කළෙමි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතයේ සෑම අංගයක් ම මෙහි දී හෙළිදරව් නො කරන නමුත්, එතුමාණන්ගේ අංග සම්පූර්ණ ගුණාංගයන් කිහිපයක් පැහැදිලි කිරීමට හැකි වන බව සිතමි.
මේ සඳහා සෑම පාඩමක ම එයට අදාළ හදීස් වදනක් සඳහන් කළෙමි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවන රටාව සමාජයේ ජීවන රටාව, යහමඟට ඇරයුමක් කරන ජීවන මාර්ගයක් විය. එතුමාණන් මෙලෙස ජීවන මාර්ගය පෙන්වුයේ තම ඇරයුම සනාථ කරනු පිණිසය.
නැමදුම්, යහ ගුණාංග, ආදර්ශමත් හැසිරීම් යන සියලු අංශයන්හි එතුමාණන් උතුම් ස්ථානයක් දැරූහ.
මේ බව අති උතුම් අල්ලාහ් අගය කරන්නේ මෙසේය:
“සැබැවින්ම, ඔබ අති ශ්‍රේෂ්ඨ ගුණාංගයන් මතය.” සූරා අල් කලම් 68:4.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්හට කුමන ස්ථාවරයක් නිලයක් අල්ලාහ් පිරිනැමුවේ ද, එම නිලය මත පමණක් පදනම්ව අහ්ලුස් සුන්නාහ් වල් ජමාඅත්වරු එතුමාණන් ගැන පැසසුම් කරති. එනම් ඔහු අල්ලාහ්ගේ ගැත්තාය. ඔහුගේ දූතයාය. ඔහුගේ මිතුරාය. ඔවුහු තම දෙමාපියන්, දරුවන් හා තම ජීවිතයට වඩා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට ආදරය දක්වති. එහෙත් එතුමාණන්ගේ සැබෑ තත්ත්වය හා නිලයට වඩා අමතරව කිසිවක් අතිශයෝක්තිභාවයෙන් නො පවසති.
අප ද ඒ මාර්ගයේ ම ගමන් කරන්නෙමු. එතුමාණන්ගේ නාමයෙන් ජන්ම දින සැමරුම් හෝ වෙනත් උත්සව කිසිවක් නො පවත්වමු. තවද, එතුමාණන් අණ කළ ආකාරයට එතුමාණන් කෙරෙහි ආදරය දක්වමු. එතුමාණන් අණ කළ අයුරින් එතුමාණන්ට අවනත වෙමු. එතුමාණන් තහනම් කළ හා එතුමාණන් වැළැක්වූ සියලු දැයින් අපි ඉවත් වන්නෙමු.
එතුමා සම්බන්ධයෙන් වන දැනුමේ ප්‍රමාණය: එතුමා මිනිසෙකි.
තවද එතුමා දෙවියන්ගේ සියලුම මැවීම් අතරින් අති උතුම් මැවිල්ලය.
නබිත්වය නොහොත් දූත මෙහෙය සඳහා අවසාන වශයෙන් තෝරා ගත් අයෙකි.
ආලෝකයෙන් අලෝකවත් කරයි. සාක්ෂි දරයි.
දෙවිඳුන් නබිතුමාගේ නාමය තම නාමය සමග සම්බන්ධ කළේය.
එය මුඅද්දින් පස්වේල සලාතයේ 'අෂ්හදු' (මම සාක්ෂි දරමි) යන ප්‍රකාශය පවසන විටය.
ඔහුට ගෞරවය පුදනු පිණිස තම නාමයෙන්ම ඔහුගේ නම බිඳී එන්නට සැළැස්වීය.
ඒ අනුව අර්ෂ් හි පාලකයා මහමුද් වන අතර මේ අහමද් ය.
මෙලොව ජීවිතයේ එතුමාණන් ව දැක ගන්නට අපොහොසත් වුව ද එතුමාණන් හා අප අතර ගත වූ කාලය දීර්ඝ වුවද. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සඳහන් කළ පිරිස අතර අප ද වන්නට මම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමි.
“මම මගේ සහොදරයන් දැක ගන්නට කැමති වෙමි." යැයි වරක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසු විට,"අල්ලාහ්ගේ දූතයාණනි! අපි ඔබගේ සහෝදරයන් නො වේ දැ?”යි අවට සිටි සහාබාවරු විමසුහ. එවිට එතුමාණන්, “ඔබ සියලු දෙනා ම මගේ මිතුරන්ය. නමුත් තවමත් නොපැමිණි අපගේ සහෝදරයෝ ද වෙති.” යැයි පිළිතුරු දුන්හ. අල්ලාහ්ගේ දූතයාණනි, ඔබේ සමාජයට තවමත් නො පැමිණි අය ඔබ හඳුනා ගන්නේ කෙසේ දැ?” යි සහාබාවරු විමසුහ. එවිට එතුමාණෝ, “විශාල සංඛ්‍යාවකින් යුත් අශ්වයන් මැද මුහුණු හා පාද ආලෝකයෙන් බැබලෙන අශ්වයෙක් කෙනෙකුට වී නම්, ඔහු එය හඳුනා ගන්නේද?” යැයි විමසුුහ. එවිට සහාබාවරු “ඔව්” යැයි පිළිතුරු දුන්හ. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ, “මගේ සහෝදරයෝ වුදු ධෝවනය කිරීමේ හේතුවෙන් ඔවුන්ගේ මුහුණු හා පාද ආලෝකයෙන් බැබලෙමින් (අවසාන දිනයේ) පැමිණෙති. මගේ පොකුණ අසල ඔවුන් ව මුණ ගැසෙනු ඇත.”යනුවෙන් වදාළහ.
නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කරන; එතුමාගේ ගමන් මගෙහි ගමන් කරන, එතුමාගේ පිළිවෙත් පිළිපදින ජනතාව අතර අප ද එකතු කර ගන්නා ලෙස අල්ලාහ්ගෙන් මම ප්‍රාර්ථනා කර සිටිමි.
තවද, අද්න් නම් ස්වර්ගයේ එතුමාණන් සමඟ අපවද රැස් කරන ලෙස ද, එතුමාණන්ට සම්පූර්ණ වේතනය ලබා දෙන ලෙස ද උත්තරීතර අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර සිටිමි.
අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන් හා එතුමාගේ පවුලේ උදවිය මෙන් ම හිතමිතුරන්ට අල්ලාහ් ආශිර්වාද කරත්වා.
අබ්දුල් මලික් මුහම්මද් ඉබ්නු අබ්දුර් රහ්මාන් අල් කාසිම්.
හමුවීම
පසුගිය ශතවර්ෂ කිහිපයක්, පසු කර ආ යුගයක පිටු කිහිපයක් පෙරළා ඒවායෙහි පේළි කියවා ඒවා ගැන කල්පනා කර බලමු. එම වචන හා වදන් තුළින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ව එතුමාණන්ගේ නිවසෙහි ම හමු වන්නෙමු.
එතුමාණන්ගේ නිවසට ගොඩ වී එහි සිදුවීම් කිහිපයක් දැක එතුමාණන්ගේ වටිනා වදන් කිහිපයකට සවන් දෙමු;
එක් දිනක් හෝ එම නිවසේ රැඳී සිටින්නට බලමු. එය ප්රමාණවත්ය. මෙමගින් අගනා පාඩම් ඉගෙන ගෙන, වදනින් හා ක්‍රියාවෙන් ආලෝකය ලබමු.
මිනිසුන්ගේ දැනුම පුළුල් වී ඇත. ඔවුන්ගේ කියවීමේ හැකියාව වර්ධනය වී ඇත. ලේඛන හා වීඩියෝ පට තුළින් ද පොත් හා ලිපි තුළින් ද නැගෙනහිර හා බටහිර සියලු දේ දකින්නට ඔවුන් සමත් වී ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නිවසෙහි වූ පිළිවෙත් දැන හැඳින ගැනීමට ඔවුන්ට වඩා අපි සුදුස්වසෝ වෙමු. එහි දී අපි දකින දේ සහ දැනගන්නා දේ අපේ ජීවිතය විශිෂ්ඨ ලෙසින් අනුගමනය කරමු.
ස්ථානය පටු නිසා අපි ඔහුගේ නිවසේ ඇති නිශ්චිත ස්ථාවරයන් කිහිපයක් වෙත පමණක් යොමු වෙමු. ඒවා පිළිබඳ ව මනා පුහුණුව ලැබ අපගේ නිවෙස් වල ද ප්‍රායෝගිකව පිළි පදිමු.
මාගේ මුස්ලිම් සොයුර!
ගත වූ සිය වසර ගණනාවක් අපගේ දෑසින් සැඟවුණු දෑ ගැන සවන් දීමට හෝ අපගේ මුතුන් මිත්තන්ගේ ජීවන තත්ත්වය යළි මතක් කිරීමට අවශ්‍යතාවයක් නැත.
නමුත් දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) චරිතාපදානය කියවීමෙන් එතුමාගේ පිළිවෙත අනුගමනය කිරීමෙන් සහ එතුමාණන්ගේ මාර්ගයේ ගමන් කිරීමෙන් අපි අල්ලාහ්ට නැමදුම් ඉටු කරමු.
එය අල්ලාහ්ගේ ගෞරවනීය දූතයාණන්ට ආදරය කිරීම සම්බන්ධයෙන් ඔහු අප හට කළ නියෝගය පිළිපැදීමක් වශයෙනි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි ආදරය දැක්වීමේ දී වැදගත්ම සලකුණ වන්නේ එතුමාණන් අණ කළ දේ අනුගමනය කර, එතුමාණන් වැළැක් වූ හා තහනම් කළ දැයින් වැළකී සිටීමයි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට අවනත වී එතුමාණන්ගේ නියෝග පිළිපැදීම අප සතු වගකීමක් බවත් එතුමාණන් නායකයකු හා උදාහරණ පුරුෂයකු ලෙස පත් කර ඇති බවත් අල් කුර්ආනයේ අල්ලාහ් මෙසේ සදහන් කර ඇත.
"(නබිවරය!) ඔබ පවසනු. ඔබ අල්ලාහ් ව ප්‍රිය කරන්නෙහු නම් ඔබ මා අනුගමනය කරන්න. අල්ලාහ් ඔබ ප්‍රිය කරනු ඇත. ඔබගේ පාපයන් ඔබට සමාව දෙනු ඇත. අල්ලාහ් අති ක්ෂමාශීලීය මහා කාරුණිකය.” 3:31
උත්තරීතරයාණන් මෙසේ ප්‍රකාශ කරයි.
"තවද අල්ලාහ් ව ද, පරමාන්ත දිනය ද අපේක්ෂා කොට අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන්නන් හට අල්ලාහ්ගේ දූතයාණන් තුළ නුඹලාට අලංකාරවත් ආදර්ශයක් ඇත." 33:21
අල්ලාහ්ගේ දූතයාණන්ට අවනත වීමේ හා එතුමාණන් ව අනුගමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ව අල් කුර්ආනයේ තැන් හතළිහක පමණ අල්ලාහ් සඳහන් කරයි.
අල්ලාහ්ගේ දූතයාණන් අනුගමනය කිරීම හැර, බැතිමතුන්හට වෙනත් සතුටක් හෝ මතුලොවෙහි කිසිදු ජයක් හෝ නොමැත.
"කවරෙකු අල්ලාහ්ට සහ ඔහුගේ රසූල්වරයාට අවනත වන්නේද පහළින් ගංගා ගලා බසින ස්වර්ගයට අල්ලාහ් ඔහු ඇතුළත් කරනු ඇත. ඔවුහු එහි සදා කල් රැඳී සිටින්නෝය. එය ඉමහත් ජයග්‍රහණයයි." 4:13
"කවරෙකු අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාණන්හට පිටුපා එරෙහි වන්නේද, නියම කරන ලද සීමාව උල්ලංඝනය කරන්නේද, ඔහු නිරා ගින්නට සදාතනිකයකු ලෙසින් ඇතුළු වනු ඇත. ඔහුට නින්දිත දඬුවමක් ඇත.” 4:14.
අල්ලාහ්ගේ දූතයාණන් කෙරෙහි ආදරය තැබීම ඊමානයේ මිහිරි බව ලබා ගැනීමේ මාර්ගයක් බවට එතුමාණන් පත් කර ඇත. එතුමාණෝ මෙසේ පැවසූහ.
"කවරෙකු තුළ කරුණු තුනක් තිබේ ද ඔහු ඊමානයේ මිහිරි භාවය සොයා ගත්තේය. අල්ලාහ් සහ ඔහුගේ රසූල්වරයාණන් සෙසු අයට වඩා ඔහුට වඩාත් ප්‍රියමනාප අය වීම..."
තවදුරටත් එතුමාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසා සිටියහ.
“මාගේ ප්‍රාණය කවරෙකුගේ අතේ තිබේද, ඔහු මත දිවුරා පවසමි. ඔබ අතරින් කිසිවකුට හෝ ඔහුගේ දෙමාපියන් හා දරුවන්ට වඩා මා ප්‍රියතම අයකු බවට පත්වන තුරු, ඔහු සැබෑ විශ්වාසය තැබු අයකු වන්නේ නැත.”
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවිත කතාව ඉතාමත් පවිත්‍ර එකක් වන අතර එය අධ්‍යනය කර අපි ද එය අනුගමනය කරමු.
ගමන
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නිවසට ගොස් එතුමාගේ ජීවිතයේ සියුම්භාවය හා එතුමාණන් කටයුතු කළ විලාශය අධ්‍යයනය කිරීම ඉතාමත් භාරදූර කටයුත්තකි. එහෙත් එම මාර්ගයෙන් අපට කුසල් ලැබෙන්නේ නම් එය ඉවත දැමිය හැකි ද?
එතුමාණන්ගේ ජීවිතය මාර්ගෝපදේශයකි; පාඩමකි; මඟ පෙන්වීමකි; අනුගමනය කිරීමකි; එමෙන්ම පිළිපදිනු ලබන්නකි.
මෙහිදී ගමන යනුවෙන් සඳහන් කළේ ග්රන්ථ සහ සහාබාවරුන් වාර්තා කළ කරුණු අතර යන ගමන මිස සොහොනක් හෝ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ හෝ වෙනත් කිසිවෙකුගේ නිවසක් වෙත සංචාරය කිරීම නොවේ. ඊට හේතුව දූතයාණන් සඳහන් කළ පරිදි මස්ජිද් තුනක් හැර අන් කිසිදු ස්ථානයක් බැහැ දැකීම ආගමික කටයුත්තක් නොවන නිසාය.
"මස්ජිදුල් හරාම්, මාගේ මෙම මස්ජිදය (වන මස්ජිදුන් නබවි) හා මස්ජිදුල් අක්සා යන මස්ජිද් තුන වෙත හැර වෙනත් කිසිදු තැනකට වන්දනා ගමන් නොයන්න."
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ආඥාවට එකඟ ව ක්‍රියා කිරීම අනිවාර්යය වන හෙයින්, ඉහත සදහන් මස්ජිද් තුන හැර අන් කිසිදු ස්ථානයකට වන්දනා ගමනේ යෑම අප විසින් සිදු නොකළ යුතුය.
සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මෙසේ පවසයි:
“රසූල්වරයා ඔබට කුමක් පිරිනැමුවේ ද එය ඔබ ගනු. ඔහු ඔබට කුමක් තහනම් කළේද එයින් ඔබ වැළකී සිටිනු.” 59:7
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සිරිත් අපි අනුගමනය නොකරන්නෙමු.
ඉබ්නු වලාහ් තුමා මෙලෙස වාර්තා කරයි:
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සහාබාවරුන්ගෙන් බයිඅත් හෙවත් පාක්ෂිකභාවයේ දිවුරුම් දීම භාර ගත්තේ ගසක යට සිටය. එම ගස කපා දමන්නට උමර් (රළියල්ලාහු අන්හු) තුමා නියෝග කළේය. හේතුව ජනයා එම ස්ථානයට ගොස් සලාහ් කිරීමට ආරම්භ කළ බැවින් එහිදී අර්බුධයක් ඇති වනු ඇතැයි යන බිය නිසාවෙනි.
හිරා නම් ගල් ලෙන පිළිබඳ ව ඉබ්නු තයිමිය්යා (රහ්මමහුල්ලා) මෙසේ පැවසූහ:
නබිත්වය ලබන්නට පෙර මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් එම ගල්ලෙනෙහි හුදකලාවේ භාවනාවේ නිරත වී සිටියහ. ප්‍රථම කුර්ආන් වාක්‍ය අල්ලාහ් වහී මගින් පහළ කරනු ලැබුවේ එම ස්ථානයෙහි ය. නමුත් දිව්‍ය පණිවිඩ එහි පහළ වූ අවස්ථාවේ සිට එතුමාණන් හෝ එතුමාණන්ගේ සහගාමීන් හෝ ඒ වෙත නැග එයට ඇතුළු වූයේ නැත.
නබිත්වය ලැබීමෙන් පසුව වසර දහයක් මක්කාවෙහි ජිවත් වු එතුමාණන් එම ගල් ලෙන නරඹන්නට හෝ එහි නගින්නට හෝ ගියේ නැත. එමෙන්ම එතුමාණන් සමග මක්කාහ්වේ සිටි සෙසු මුඃමින්වරුන් ද එලෙසම කටයුතු කර ඇත්තාහ. හිජ්රත් ගිය පසුව 'උම්රතුල් හුදෙයිබිය්යා' හෙවත් දෙයිබිය්යා උම්රා අවස්ථාව, 'ආමුල් ෆත්හ්' හෙවත් මක්කාහ් ජයග්‍රාහී වර්ෂය මෙහිදී තුමාණන් දින විස්සක් නතර වී සිටියහ. 'උම්රා ජුඃරානා' හෙවත් ජුඃරානා උම්රා අවස්ථාව වැනි කිහිප අවස්ථාවකම මක්කාවට පැමිණි අතර එතුමාණන් හිරා ගල් ලෙන දෙසට ගියේ නැත. එය නරඹන්නට ගියේ නැත.
මෙහිදී මදිනා නගරය දෙස ද අප අවධානය යොමු කළ යුතුය. එහි විශාලතම සහ අප ඉදිරියේ වඩාත්ම කැපී පෙනෙන කන්දක් පිහිටා ඇත.
එය උහද් කන්දය. ඒ ගැන අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ.
“මෙම කන්ද අප ට ප්‍රියමනාපය. අපි ද එයට ප්‍රිය කරමු.”
රසූල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නිවසට ඇතුළුවීමට පෙර, එහි ගොඩ නැගිල්ල හා එහි ව්‍යූහය දකින්නට පෙර, එම නිවසේ කුඩා ප්‍රමාණය හෝ එහි තිබෙන ඇතිරිලි හෝ දැක අප විස්මයට පත් නොවිය යුතුය.
එයට හේතුව, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙලොව සැප සම්පත් සියල්ල අවම කර, එහි අලංකාරය හෝ වස්තුන් දෙස නොබලා, ඉතාමත් චාම් සරල ජීවිතයක් ගත කර ඇති බැවිණි.
නමුත් එතුමාණන්ගේ නෙත් පිණවීම සලාහ් හෙවත් නැමදුමෙහි විය.
මෙලොව පිළිබඳ ව සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ.
මට හා මොලොවට ඇත්තේ කුමක් ද? මට හා මෙලොවට ඇත්තේ ගිම්හානයේ ගමනක යෙදෙන මගියෙක්, දහවල් කාලයේ පැයක් පමණ ගසක් යට නැවතී, පසුව විවේක ගෙන එය අත්හැර දමා යන්නාක් සේය.
මදීනා නගරයේ මාර්ග අතර පියවර තබා ඇවිද එමින් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නිවස ඉදිරියට අපි පැමිණ ඇත්තෙමු.
එක් ගඩොලක් මත තවත් ගඩොලක් තබා බිත්ති තනා, ඒවා මත ඉඳි ගසේ අතු දමා වහල සෙවිලි කරන ලද අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) බිරියන්ගේ නිවෙස් ඔබට මෙහි දැක ගන්නට පුළුවන.
හසන් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි.
“උස්මාන් බින් අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමාගේ පාලන සමයේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරින්දෑවරුන්ගේ නිවැස් තුළට පිවිස, මාගේ අතින්ම ඒවායෙහි වහල සකස් කර ඇත්තෙමි.”
චාම් ලෙස ඉදිකරන ලද නිවෙස් වල ඉතාමත් කුඩා කාමර තිබුණි. එහෙත් ඒවා ගොඩ නැගී තිබුණේ ඊමාන් හෙවත් දේව විශ්වාසය, කීකරුකම දිව්‍ය පණිවිඩ හා දූත මෙහෙය මත පදනම්වය.
දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ගුණාංග
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නිවසට ළඟා වී, එතුමාණන්ගේ අනුමැතිය සහිත ව දොරට තට්ටු කරමු. එතුමාණන්ගේ ගෞරවනීය පෙනුම සහ එතුමාණන්ගේ සිනහමුසු මුහුණ අප දැන ගැනීමට හැකි වනු පිණිස එතුමාණන් ව අප දෑසින් දකින්නාක් මෙන් අපට විස්තර කළ එතුමාණන්ව දුටු සහාබාවරුන් සමග පරිකල්පනයන් ගමන් කිරීමට අපි ඉඩ දෙමු.
අල් බර්රා ඉබ්නු ආදිබ් (රළියල්ලහු අන්හු) තුමා මෙසේ පැවසීය:
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ජනතාව අතර ඉතාමත් මණහර මුහුණක් සහිත කඩවසම් පෙණුමකින් යුක්ත වූ අතර එතුමාණන් කැපී පෙණෙන තරමට වැඩිය උසින් හෝ වැඩිය කොට හෝ නොවුහ.”
හෙතෙම (රළියල්ලාහු අන්හු) තවදුරටත් මෙසේ පවසයි.
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් උරහිස දෙක අතර වැඩි ඉඩක් සහිත පළල් කෙනෙක් වූහ. එතුමාගේ හිසකෙස් කන් පෙත්ත දක්වා දිගට තිබුණි. දිනක් එතුමාණන් රතු පැහැති ඇඳුමෙන් දුටුවෙමි. ඊට වඩා ලස්සන පෙනුමක් මම කිසි විටෙක දැක නැත."
අබු ඉස්හාක් අස් සුබෙය්ඉ (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසයි:
“අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මුහුණ අසිපත මෙන් වී දැයි?” කෙනෙක් අල් බරා ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් විමසු විට, හෙතෙම “එසේ නොව, එතුමාණන්ගේ මුහුණ පුන් සඳ මෙන් තිබුණි” යැයි පැවසීය.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අතට වඩා සුමුදු සේද හෝ සිල්ක් හෝ වෙනත් කිසිවක් මා ස්පර්ශ කර නැත. අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නිකුත් වන සුගන්ධය මෙන් කිසිදු සුගන්ධයක් මම ආඝ්‍රාණය කර නැත.”
සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්ගේ ගුණාංග: ලැජ්ජාව
අබු සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා ඒ ගැන මෙසේ පවසයි:
“තිරයට පිටු පසින් සිටින කන්යාවියකට වඩා එතුමාණන් අධික ලැජ්ජා ශීලිත්වයෙන් යුත් කෙනෙකු වූහ. එනම් එතුමාණන් යමක් පිළිකුල් කළේ නම් එතුමාණන්ගේ මුහුණෙන් අපට එය දැක ගත හැකි වනු ඇත."
මේවා අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හැඩරුව, ගුණාංග සහ ලක්ෂණ යනාදිය පෙන්වා දෙන කෙටි විස්තරයකි. සැබැවින්ම අල්ලාහ් අංග සම්පූර්ණ හැඩරුව සහ ගුණාංග එතුමාණන්ට පිරිනමා තිබුණි.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සම්භාෂණය.
රසූල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංගයන් කිහිපයක් ගැන දුටුවෙමු. දැන් එතුමාණන් ගැන කතා කිරීමට පෙර එතුමාණන්ගේ කතා ශෛලිය කෙසේ තිබුණේ ද? එය කවර ක්‍රමයකින් පිහිටියේ දැ?යි බලමු.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී:
"අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඔබ මෙන් දීර්ගව කතා කරන කෙනෙකු නොවූහ. එහෙත් පැහැදිලිව, ඕනෑම කෙනෙකුට පහදා ගත හැකි අයුරින් එතුමාණන් කතා කළහ. එවිට එතුමාණන් සමග වාඩි වී සිටි අය එම වදන් තම සිත් හී වණපොත් කර ගනිති."
එතුමාණෝ මෘදු හා මිහිරි වදනින් තම කතාව සෑම කෙනෙක් ම වටහාගත යුතු යැයි අපේක්ෂාවෙන් කතා කළහ.
තම සමාජයේ කරුණක් පහදා ගැනීමේ හැකියාව විවිධ ජනයා අතර විවිධ මට්ටමින් පිහිටන බව වටහා ගනිමින් කතා කිරීම එතුමාණන්ගේ විශේෂත්වයකි. සැබැවින්ම මේ සඳහා කෙනෙකුට බොහෝ ඉවසීම සහ නිපුණත්වයක් තිබිය යුතුය.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කතාව, එයට සවන් දෙන සෑම කෙනෙකුටම පහදා ගත හැකි අයුරින් පැහැදිලි ව තිබුණි.”
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කරුණාව සහ පුළුල් හදවත දෙස බලන්න. ජනයා වටහා හැකි පරිදි එතුමාණන් තම කතාව යළි යළිත් සඳහන් කළහ.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“තම කතාව අවබෝධකර ගත හැකි පරිදි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) යළි යළිත් එය තෙවරක් පැවසුහ.”
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ජනතාව සමග ඉතාමත් කාරුණික ව කටයුතු කළ අතර ඔවුන්ගේ බිය සමනය කළහ. ඇතැමුන් බියෙන් හා තැති ගැන්මෙන් පසුවූහ.
ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) විසින් මෙසේ වාර්තා කරන ලදී.
මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ එතුමාණන් සමග කතා කළේය. ඔහු බියෙන් වෙවුලන්නට ගත්තේය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්, “ඔබ (බිය නොවී) සැහැල්ලු වනු. මම රජ කෙනෙක් නොවෙමි. සැබැවින්ම මම වියළි මස් ආහාරට ගන්නා කාන්තාවකගේ පුතෙක් වෙමි.” යැයි පවසා සිටියහ.
නිවස තුළ:
මෙම ප්‍රජාවේ නබිවරයාණන්ගේ නිවස මධ්‍යයේ සිටින්නට අපට අනුමැතිය දෙනු ලැබ; අප පිළිගනු ලැබුණි.
අප ඒ දෙස බලන පිණිස නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මිතුරන් වන සහාබාවරු එම නිවසේ තිබෙන ඇතිරිලි, බඩු බාහිරාදිය පිළිබඳ ව සම්පූර්ණ තොරතුරු අපහට සපයා ඇත.
මෙම නිවසේ කාමර හෝ උඩුමහල් පිළිබඳව සොයා බලන්නට අපට අවශ්‍යතාවක් නොමැති බව අපි දනිමු. කෙසේ වුව ද අධ්‍යනය කිරීමේ හා ආදර්ශ ලබා ගැනීමේ අවශ්‍යතාව මත අති ගෞරවනීය එම නිවස තුළ තැන් කිහිපයක් දෙස බලමු.
මෙම නිවසේ අත්තිවාරම ඉතාමත් සරල එකකි. ඒ සඳහා යෙදූ ප්රාග්ධනය විශ්වාසවන්ත භාවයයි.
එහි බිත්තිවල අද සමාජයේ බොහෝ දෙනා එල්ලා ඇති සජීවී ජීවීන්ගේ පින්තූරවලින් තොර බව ඔබට නොපෙනේද?
අලෙයිහිස් සලාතු වස්සලාම් තුමාණෝ මෙසේ පවසා සිටියහ.
"සුනඛයෙක් හෝ රූපයක් හෝ තිබෙන නිවෙසකට මලක්වරුන් පිවිසෙන්නේ නැත."
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තම දෛනික ජීවිතයේ උපයෝගි කළ ඇතැම් භාණ්ඩ දෙස ඔබේ නෙත් යොමු කර බලන්න.
සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
ලී වලින් සාදා යකඩ පටි වලින් අමුණා තිබු භාජනයක් රැගෙන අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා අප වෙත පැමිණියේය. එවිට එතුමා: ආහෝ සාබිත්! අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) භාවිත කළ භාජනය මෙය වේ. යැයි පැවසීය.
“සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ජලය, පලතුරු යුෂ, මී පැණි, කිරි වැනි දෑ මෙහි පානය කළහ."
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ජලය බොන විට, එතුමාණෝ තෙවරක් හුස්ම හරිමින් (උගූරු තුනකින්) බීවේය.”
එනම්, භාජනයට බැහැර ව හුස්ම හරිමින් යන්නයි.
තවත් වාර්තාවක. “කෙනෙක් (යමක් පානය කරන විට), භාජනය තුළ ආශ්වාස ප්‍රශ්වාස කිරීම හෝ පීඹීම හෝ එතුමාණන් තහනම් කළහ.”
යුදමය කටයුතු වලදී; යුද්ධය පවතින ස්ථානයන්හි මෙන්ම දරුණු හා ප්‍රහාරක දිනයන්හි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පළඳින යුධ කබාය නිවසේ දකින්නට නොතිබිණ.
අල්ලාහ්ගේ දූතයාණන් එම යුද කබාය යුදෙව් ජාතිකයෙකු වෙත උකසට තබා තිරිඟු සේරු 30ක් ණය වශයෙන් ලබා ඇත. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය පවසන පරිදි එතුමාණන් මිය ගියේ එම කබාය යුදෙව් පුද්ගලයා ළඟ උකසට තැබූ තත්ත්වයේය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හිටිහැටියේ තම නිවසේ සිටින අය තිගැස්සෙන පරිදි කිසි විටෙක නිවසට ඇතුළු වුයේ නැත. එතුමා නිවසට ඇතුළු වුයේ, එතුමාණන්ගේ පැමිණීම තම පවුලට දැනුවත් කර, ඔවුන් වෙත සලාම් පැවසීමෙන් පසුවය.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ හදීසය සුපරික්ෂාකාරී ඇසකින් සහ සවිඥානක හදවතකින් මෙනෙහි කර බලන්න.
“ඉස්ලාමීය දහම වෙත මඟ පෙන්වනු ලැබු, තමන්ට එදා දින ලැබු දැයින් සෑහිමට පත්වු අයට සුබ පැතුම් හිමි වේවා."
මෙවන් තවත් උතුම් හදීසයකට සවන් දෙන්න.
"කවරෙකු පවුලේ සුරක්ෂිතභාවය සහ යහපත් ශරීර සෞඛ්යභාවය සමග, ඔහුගේ දවසට අවශ්‍ය ප්‍රතිපාදන ඔහු ලබමින් උදෑසන අවදි වන්නේ ද ඔහුට මුළු ලෝකයම ලබා දුන්නාක් මෙනි."
සමීපතම ඥාතීන්
තම ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට වචනයෙන් කිව නොහැකි සතුටක් ගෙන දුන්නේය. එතුමාණන් වඩාත්ම සම්පූර්ණ හා පරිපූර්ණ මිනිසකු විය.
එය කෙතරම්ද යත් කුරෙයිෂ් ගෝත්‍රයේ දේව ප්රතික්ෂේපකයෝ පවා එතුමාණන් නබි පදවිය ලබන්නට පෙර සිටම එතුමාණන් 'සත්‍යවන්තයා', 'විශ්වාසවන්තයා' යනුවෙන් මෙනෙහි කරමින් පැසසුමට ලක් කරන තරමටම විය.
තවද, කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය ද මේ බව මෙසේ විස්තර කළාය.
“ඔබ ඥාතී සම්බන්ධකම් මැනවින් රකින්නෙහිය. සත්‍යය පවසන්නෙහිය...” හදීසක කොටසකි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉටු කළ විශිෂ්ඨතම යුතුකම් සහ මහඟු රාජකාරී අතරින් එතුමාණන් හත් වන වියේ පසුවන විට අභාවයට පත් එතුමාණන්ගේ මෑණියගේ කබ්රය බැහැ දකින්නට යාම මෙහිදී මෙනෙහි කළ යුතුය.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කළහ.
“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම මෑණියන්ගේ කබ්රය බැහැ දකින්නට පැමිණ හඬා වැළපින. එතුමාණන් අවට සිටි අය ද අඬන්නට විය. එතුමා මෙසේ පැවසූහ: ඇය වෙනුවෙන් සමාව අයදින්නට මම අල්ලාහ්ගෙන් අනුමැතිය පැතුවෙමි. නමුත් මට අනුමැතිය නොලැබුණි. ඇයගේ කබ්රය බැහැ දකින්නට අල්ලාහ්ගෙන් අනුමැතිය පැතුවෙමි. මට අනුමැතිය දෙන ලදී. එනිසා ඔබ ද සොහොන් බැහැ දකිනු. සැබැවින්ම එය මරණය ඔබට සිහිගන්වයි."
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම ඥාතීන් කෙරෙහි දැක්වූ ආදරය මෙන්ම ඔවුන් සත්‍යය වෙත ඇරයුම් කිරීමට, ඔවුන්ට මඟ පෙන්වීමට හා ඔවුන් අපා ගින්නෙන් ආරක්ෂා කිරීමට එතුමාණන් තුළ තිබූ ආශාව මෙනෙහි කර බලන්න. ඒ සම්බන්ධයෙන් එතුමාණන් දුක් පීඩාවන් විඳ දරා ගත්හ.
අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
(අල්-කුර්ආන් 26:214) වාක්‍ය පහළ වූ විට,
"තවද, (නබිවරය!) ඔබේ සමීප ඥාතීන්ට අවවාද කරනු."
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කුරෙයිෂ්වරුන් කැඳවා ඔවුන් රැස්වූ අවස්ථාවේ පොදුවේ මෙනේම විශේෂයෙන් ආමන්ත්‍රණය කරමින් මෙසේ පැවසූහ.
"අබ්දු ෂම්ස්ගේ ජනයිනි, කඃබ් ඉබ්නූ ලුඅයිගේ ජනයිනි, ඔබව අපා ගින්නෙන් ආරක්ෂා කර ගන්න. අහෝ මුර්රා ඉබ්නු කඃබ්ගේ ජනයිනි, ඔබව අපා ගින්නෙන් ආරක්ෂා කර ගන්න. අබ්දුල් මනාෆ්ගේ ජනයිනි, ඔබව අපා ගින්නෙන් ආරක්ෂා කර ගන්න. හාෂීම්ගේ ජනයිනි, ඔබව අපා ගින්නෙන් ආරක්ෂා කර ගන්න. අහෝ අබ්දුල් මුත්තලිබ්ගේ ජනයිනි, ඔබව අපා ගින්නෙන් ආරක්ෂා කර ගන්න. අහෝ ෆාතිමා ඔබද ඔබව අපා ගින්නෙන් ආරක්ෂා කර ගන්න. ඔබ වෙනුවෙන් (ඔබව මුදා ගන්නට) කිසිවක් මම අල්ලාහ්ගෙන් ලබන්නේ නැත. නමුත් ඔබ සතු නෑකම හැර. එහි තෙතමනයෙන් මම තෙත් වෙමි."
ආදරණීය (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මහප්පා වන අබු තාලිබ් ට ඉස්ලාමය වෙත ඇරයුම් කිරීම (නිරර්ථක එකක් බව දැන සිටියත්) එම වෑයම අත හැරියේ නැත. වරින් වර ඔහුව මුණ ගැසී ඔහුට ඇරයුම් කළහ. අවසානයේ අබු තාලිබ් මරණාසන්න ව සිටින අවස්ථාවේ පවා ඔහුට (ඉස්ලාම් වෙත) ඇරයුම් කළහ.
අබු තාලිබ්ට මරණාසන්න වූ කල්හි, ඔහු අබියස අබු ජහල්, අබ්දුල්ලා ඉබ්නූ අබු උමයියා ද සිටියේය. එම අවස්ථාවේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එහි පිවිසුණහ.
"මගේ මහප්පාණනි! ඔබ 'ලාඉලාහ ඉල්ලල්ලාහ්' යනුවෙන් පවසන්න. එතුළින් මම ඔබ වෙනුවෙන් අල්ලාහ් අභියස ආයාචනා කර සිටිමි". යැයි පැවසූහ.
එවිට අබු ජහල්, අබ්දුල්ලාහ් ඉබ්නු අබූ උමයියා වැන්නන් "අබු තාලිබ්! අබ්දුල් මුත්තලිබ්ගේ ආගම ඉවත දමන්නට ඔබ සුදානම් වෙනවා ද?" යනුවෙන් තර්ජනය කළෝය.
ඔහු අවසන් වරට තමන් අබ්දුල් මුත්තලිබ්ගේ ආගම මත පදනම්ව සිටින බව ඔවුනට පවසන තෙක්ම ඔවුන් දෙදෙනා ඔහු සමග දිගටම කතා කළහ.
එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තමාණෝ මෙසේ පැවසුහ.
“මා තහනම් කරනු ලබන තෙක්, මම ඔබ වෙනුවෙන් පාප ක්ෂමාව ඉල්ලන්නෙමි.” එම අවස්ථාවෙහි පහත සඳහන් කුර්ආන් වැකිය පහළ විය.
“නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේවත්වය විශ්වාස කළවුනට සුදුසු නොවීය.” (අල්-කුර්ආන් 9:113, මූලාශ්‍රය: අහ්මද්, බුහාරි සහ මුස්ලිම්.)
පහත සඳහන් කුර්ආන් අයතය ද පහළ වු බව පැවසුහ.
"නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට ඔබට මඟ පෙන්විය නොහැක." (අල්-කුර්ආන් 28:56.)
ඔහු වෙනුවෙන් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ජීවිත කාලය තුළ කීප වතාවක්ම ප්‍රාර්ථනා කළහ. ඔහුගේ මරණයට පෙර අවසාන මොහොතේ පවා මෙම වාක්‍යය හෙළිදරව් වන තෙක් ඔහුට යහපත හා කරුණාව පතමින් ඔහු වෙනුවෙන් සමාව ඉල්ලා සිටියහ.
එය සවන් වැකුණු විට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එයට කීකරු වී තම බහුදේවවාදී සමීපතම ඥාතීන් සඳහා ප්‍රාර්ථනා කිරීම අතහැර දැමුහ.
මෙම සිද්ධිය නබි තුමාණන් තම සමූහයා කෙරෙහි කෙතරම් කාරුණික වූවා දැයි පෙන්වා දෙයි. අවසානයේ, මෙම දහමට පක්ෂව කටයුතු කිරීමේ හා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා බහු දේවවාදීන් සමීප ලේ ඥාතීන් වුව ද ඔවුන්ගෙන් ඉවත්ව සිටීමේ ස්වරූපය පෙන්වා දෙයි.
දහම් දූතවරු පිළිබඳ බලාපොරොත්තු සුන් වී, ටික කලකට පසු, නබිවරයෙක් අප වෙත පැමිණ ඇත.
එමෙන්ම, එය මහපොළොවේ පිළිම වන්දනාවට ලක් වූ කාලයයි.
එතුමාණෝ ප්රබුද්ධ සහ මඟ පෙන්වන පහනක් බවට පත් වුුහ.
ඔප දැමූ අසිපතක දිස්නය සෙලවෙනවාක් මෙන් සෙලවුුහ.
තවද අපා ගින්න ගැන අපට අනතුරු අඟවා, ස්වර්ගය පිළිබඳ ශුභාරංචිය දැනුම් දුන්හ.
තවද අපට ඉස්ලාමය ඉගැන්වූහ. එහෙයින් අල්ලාහ්ටම අපි ප්‍රශංසා කරමු.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තම නිවසේ:
කෙනෙකුගේ උතුම් ගුණාංග, ඔහුගේ ශිෂ්ටත්වය, ඔහුගේ යහපත් හැසිරීම් හා ඔහුගේ පිවිතුරු චර්යාව යනාදී ඔහුගේ සැබෑ ගති ලක්ෂණ ඔහුගේ නිවස පෙන්වා දෙයි. එය කිසිවකුට දැක ගත නොහැක.
එතුමාණෝ තම වහල් සේවක, නිදහස් සේවක, බිරියන් යන සියලු දෙනා සමඟ කරුණාවෙන් කටයුතු කළහ. මෙම නිවසේ අණ කිරීමේ හා තහනම් කිරීමේ ස්වාමියා ඔහු වුවද, ඔහු යටතේ සිටින්නන් දුබලයින් වුව ද ඔවුන් සමග මවාපෑමකින් හෝ ප්‍රදර්ශණයකින් තොරව අතිශයින්ම නිහතමානීව කටයුතු කළහ.
මෙම ප්‍රජාවේ දූතයා, නායකයා සහ ගුරුවරයා වූ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම නිවසේ හැසිරුනු ආකාරය ගැන අපි මෙනෙහි කරමු, එතුමාණන් මෙම ශ්‍රේෂ්ඨ තත්ත්වය සහ උසස් නිලය සමඟ තම නිවසේ කටයුතු කළේ කෙසේද?
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තම නිවසේ කටයුතු සිදු කළේ කෙසේ දැ?යි ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසනු ලැබූ විට එතුමිය මෙසේ පැවසුවාය.
“එතුමාණන් මිනිසුන් අතර වූ (සාමාන්‍ය ගතිපැවතුම් ඇති) මිනිසකු වූහ. තම ඇඳුම් සෝදා ගත්හ. එළුවන්ගෙන් කිරි දෙවුහ. තම කටයුතු තමා විසින් ම ඉටු කර ගත්හ.” (මූලාශ්‍රය: අහමද් සහ තිර්මිදි)
සැබැවින්ම එතුමාණන් නිහතමානිභාවය, නිරහංකාරය, අන් අයගේ වගකීම් දැරීම යනාදිය සඳහා වූ ආදර්ශයකි. එමෙන්ම එක් ව කටයුතු කිරීමෙහි හා අන් අයට උපකාර කිරීමෙහි උත්තමයකි. මේ සෑම කරුණක්ම ආදම්ගේ දරුවන් අතර ප්රභූවරු පිළිපදිති. ඉස්ලාම් දහමේ ආලෝකය විහිදුනේ මෙම නිවසේ එතුමාණන් සිටියදීය. එතුමාණන් තම කුස පිරෙන තරමට ප්‍රමාණවත් ආහාර ලැබුවේ නැත.
එතුමාණන්ගේ මේ සරල තත්ත්වය පිළිබඳ ව නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය.
“ඔබගේ නබිවරයාණන් කුස පුරවාගන්නට තරම් සාමාන්‍ය දෙයක් හෝ නොමැති තත්ත්වයන්හි සිටිනු මම දැක ඇත්තෙමි.” මූලාශ්‍රය මුස්ලිම්.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මුහම්මද්ගේ පවුලේ සාමාජිකයින් වන අපි රට ඉඳි හා ජලය හැර ලිප මොළවන්නට තරම් අහරක් නොමැතිව මසක කාලයක් පමණ රැඳී සිට ඇත්තෙමු.” (මූලාශ්‍රය: බුහාරි.)
කෙසේ නමුත්, නැමදුම් ඉටු කිරීමෙන් හා (දේව නියෝගයට) කීකරු වීමෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙනතකට යොමු කරන කිසිදු බාධාවක් මෙහි නොවීය.
"හය්ය අලස් සලාත්, හය්ය අලල් ෆලාහ්' යනුවෙන් නැමදුම සඳහා වූ මස්ජිදයේ ඇරයුමට සවන් දුන් විගස, ලෞකික දේ සියල්ල ඉවත දමා එම ඇරයුමට එතුමාණන් පිළිතුරු දුන්හ.
අල් අස්වද් බින් යzසීද් (රළියල්ලාහු අන්හු) මෙසේ වාර්තා කරයි. “නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම නිවසේ හැසිරුනේ කෙසේ දැ?යි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් මම විමසා සිටියෙමි.
ඇය: "එතුමා පවුලේ වැඩ කටයුතු වලට සහභාගි වෙයි. නමුත්, නැමදුම සඳහා "අදාන්" ඇරයුමට සවන් දුන් විගස (මස්ජිදයට) පිටත්ව යයි." යනුවෙන් පවසා සිටියාය. (මූලාශ්‍රය බුහාරි)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අනිවාර්යය නැමදුම් කිසිවක් නිවසේ ඉටු කළ බව කිසිදු වාර්තාවක් නොමැත. කෙසේ වෙතත්, නිවසින් බැහැර විය නොහැකි ව; උණ වැළඳී දරුණු තත්ත්වයට පත්ව; රෝගී බවින් එක් තැන් වු; තම අවසාන මොහොතේ පමණක් නිවසේ නැමදුම් ඉටු කළහ.
එතුමාණන් තම ජනයා සමඟ ඉතාමත් ඉවසීමෙන් සහ කරුණාවෙන් කටයුතු කළහ. එහෙත් (නිසි හේතුවක් නොමැතිව) සමූහ නැමදුමට සහභාගි නොවු ජනතාව සමග දැඩි ලෙස කටයුතු කළහ.
නබි (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) තුමාණෝ මෙසේ වදාළහ:
“නැමදුම සඳහා ඇරයුම් කරන ලෙස අණ කර, ඒ සඳහා පෙළ ගැසෙන මෙන් දැනුම් දී පසුව ජනයාට නැමදුම මෙහෙයවන කෙනෙකු පත් කර පසුව දර උසුලාගත් මිනිසුන් සමග එක්ව, නැමදුමට සහභාගී නොවූ අයගේ නිවෙස් වලට ගොස්, ඔවුන්ව නිවෙස් ගිනි බත් කිරීමට මම සිතමි.” (මූලාශ්‍රය: බුහාරි සහ මුස්ලිම්)
"ජමාඅත්" හෙවත් සමූහ නැමදුම කෙතරම් වැදගත් දැයි මෙම සිද්ධි දාමය පෙන්නුම් කරයි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ වදාළහ.
“කවරෙකු අදාන් ඇරයුමට සවන් දී එයට පිළිතුරු නොදුන්නේ ද (එවැනි අය අතරින්) නිදහසට හේතුවක් ඇති අයකුට හැර සෙසු අයට සලාතය වලංගු වන්නේ නැත." (මූලාශ්‍රය:ඉබ්නු මාජා සහ ඉබ්නු හිබ්බාන්).
නිදහසට හේතුව යනු: යම් භීතියකින් හෝ අසනීපයකින් පෙළීමය.
එහෙත්, අද මෙලෙස නැමදුම් කරන අය කොහේ ද? දේවස්ථානයට පැමිණීම අතහැර දැමු ඔවුහු නිවසේ තම බිරියන් සමඟ කාලය ගෙවති. වලංගු අසනීප තත්ත්වය හෝ භිතිය තිබෙන්නේ කොතැනක ද?
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ආදර්ශය සහ ලක්ෂණ
පුද්ගලයකුගේ චලනය සහ සන්සුන්භාවය ඔහුගේ බුද්ධි මට්ටමේ සළකුණක් වන අතර ඔහුගේ හදවත දැන ගැනීමේ යතුරකි.
අබූ බක්ර් (රළියල්ලාහු අන්හු) තුමාගේ දියණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංග පිළිබඳ ව හොඳාකාර ව දැන සිටි, එතුමාණන්ගේ තත්ත්වය සියුම් ලෙස විස්තර කළ හැකි තැනැත්තියකි. එතුමාගේ නින්ද, අවදි වීම, අසනීපය, නිරෝගිභාවය, කෝපය හා සන්සුන් භාවය වැනි සෑම අවස්ථාවකම එතුමාණන්ට වඩාත් සමීපව සිටියේ ඇයයි.
දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාවක් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ පවසා සිටියාය.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අශීලාචාර කෙනෙකු හෝ අශිලාචාර දෑ සිදු කරන්නෙකු ලෙස හෝ වෙළඳ පොළේ ඝෝෂා කරන්නෙකු ලෙස හෝ නොසිටියහ. එතුමාණන් නපුරින් නපුර පියවා නොගත් අතර සමාව දුන්හ. නොසලකා හැරියහ.” මූලාශ්‍රය අහමද්.
මෙය නබි (සල්ලලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ දයාව හා ආශිර්වාදයේ මෙන්ම සාමය සහ සම්බන්ධකම්හි ගතිපැවතුම් වේ.
එතුමාණන්ගේ මුණුබුරකු වන හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා එතුමාණන්ගේ ගුණාංග කිහිපයක් අපට මෙසේ විස්තර කරයි:
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම සභිකයින් සමඟ කෙසේ හැසිරුණේ දැයි මගේ පියා අලි (රළියල්ලාහු අන්හු) තුමාගෙන් මම විමසුවෙමි. එවිට ඔහු මෙසේ පැවසුවේය."
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සැමවිටම සිනහ මුසු මුහුණින්, මෘදු ගුණාංගවලින් යුත් ඉතාමත් චාම් අයකු වූහ. එතුමාණන් දැඩි ඝොෂාකාරී අපහාසාත්මක නින්දිත වදනින් කතා කරන්නකු නොවූහ. අකමැති දෙයක් වී නම් එය නොසලකා හැරියහ. ඒ ගැන කලකිරෙන්නේ නැත. ඒ තුළ දුකින් පෙළුණේ නැත. කරුණු තුනක් එතුමා අත් හැරියහ. එනම්: මූහුණිච්චාව, අධික ලෙස කතා කිරීම හා තමන්ට අනවශ්‍ය දෑ අත් හැරියහ. කරුණු තුනකින් ඉවත්ව සිටියහ. එනම්: එතුමා කිසිවකු අපහාසයට පත් නොකළ අතර දොස් නැගුවේ ද නැත. වැරදි ලිංගික ආශ්‍රයන් පැතුවේ නැත. එමෙන්ම කුසල් අපේක්ෂිත දෑ හැර වෙනත් කිසිවක් කතා කළේ නැත. එතුමාණන් කතා කරන විට, එතුමාණන්ගේ සභිකයින් ඔවුන්ගේ හිස් මත කුරුල්ලන් වාඩි වී සිටිනවාක් මෙන් නිසොල්මන් ව සිටියෝය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් නිශ්ශබ්ද වු පසුව ඔවුන් කතා කරති. එහෙත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඉදිරියේ තමන් අතර තර්ක කිරීමෙන් වැළකී සිටියෝය. කවරෙකු හෝ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ කතා කරන අවස්ථාවක, ඔහුගේ කතාව අවසන් කරන තුරු සහාබාවරුන් ඉවසීමෙන් සිටියෝය. ඔවුන් සිනහ වන විට නබි තුමාණන්ද සිනහ වුහ. ඔවුන් ප්‍රිය කරන දේ එතුමාණන් ද ප්‍රිය කළහ.
පිටස්තර කෙනෙකු ඔහුගේ ප්‍රදේශයේ ගැටළුවත් හා ප්‍රශ්ණයක් ඉදිරිපත් කළ විට එතුමාණන් ඉවසීමෙන් කටයුතු කළහ. එතුමාගේ සහගාමීන් පවා ඔවුනට උදව් කිරීමට සැළැස්වූහ. එතුමා මෙසේ පැවසීය.
“උපකාර පතන කෙනෙකු ඔබ දුටුවෙහු නම්, ඔබ ඔහුට උපකාර කරන්න."
සීමාව ඉක්මවා නොයන ප්‍රසංශා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පිළි ගත්හ. කෙනෙක් තමා සමඟ අවශ්‍ය කතාවක යෙදෙන විට ඔහු එම කතාව අවසන් කරන තෙක් ඉවසීමෙන් සවන් දුන්හ. එහෙත් ඔහු සීමවා ඉක්මවන බව දුටුවහොත් එම කතාව වළක්වමින් හෝ එම ස්ථානයෙන් ඉවත් ව යමින් එය නතර කළහ.
මෙම සමූහයාගේ නබිවරයාණන්ගේ ගුණාංග සහ ගතිලක්ෂණ එකින් එක මෙනෙහි කර, ඒවා කොටසින් කොටස ග්‍රහණය කර පිළිපදින්නට උත්සාහ කරන්න. මන්ද එය යහපත්කමේ එකතුවයි.
එතුමාණන් සමඟ සිටි තම සභිකයින්ට ඔවුන්ගේ ආගමික කටයුතු ඉගැන්වීම එතුමාණන් විසින් පිරිනමන ලද ත්‍යාගයක් විය.
ඒ අතරින්: නබි (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) තුමාණෝ මෙසේ වදාළහ.
“අල්ලාහ් හැර දමා අන් කිසිවෙක් අල්ලාහ් ට සමාන කරමින් ඇරයුම් කරන තත්ත්වයේ කවරෙකු මියැදුණේ ද ඔහු අපා ගත වේ.”
ඒ අතරින් එතුමාණන්ගේ තවත් ප්‍රකාශයක් වනුයේ:
සැබෑ ලෙසින්ම අල්ලාහ්ට අවනත වන්නා වනාහි, තම දිවෙන් හෝ තම අතින් හෝ අල්ලාහ්ට අවනත වන්නන් ආරක්ෂාව ලබන්නන්ය. තවද අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි, ඔහු කවර කරුණක් අල්ලාහ් තහනම් කළේ ද එයින් වැළකී සිටින්නාය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තවත් ප්‍රකාශයක් මෙසේය:
“රාත්‍රි අන්ධකාරයේ ඇවිදිමින් මස්ජිදයට පැමිණෙන අයට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පූර්ණ ආලෝකයක් හිමි බව සුබාරංචිය දන්වන්න."
එතුමාණන්ගේ තවත් ප්‍රකාශයක් මෙසේය:
“ආදේශ තබන්නන්ට එරෙහි ව, ඔබේ ධනයෙන්, ශ්‍රමයෙන් සහ දිවෙන් අරගල කරන්න.”
එතුමාණන් විසින් මෙසේ ද ප්‍රකාශ කර ඇත.
"නියත වශයෙන්ම ගැත්තා (සිතා නොබලා) පැහැදිලි නැති වදන් කතා කරයි. එමගින් ඔහු පෙර අපරදිග අතර ඇති දුරට වඩා දුරින් නිරා ගින්න වෙත ඇද වැටෙයි."
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසුහ.
“සැබැවින්ම මම (කිසිවෙකුට) ශාප කරන්නෙකු ලෙස එවනු නොලැබුවෙමි. ඒ වෙනුවට මම ආශීර්වාදයක් වශයෙන් එවනු ලැබුවෙමි.”
නබි (සල්ලලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැවසු බව උම්ර් (රළියල්ලාහු අන්හු) විසින් මෙසේ වාර්තා කරන ලදී.
“මර්ය තුමියගේ පුතුණුවන්හට කිතුනු ජනයා අතිශයෝක්තියෙන් ප්‍රශංසා කළ අයුරින් මා හට ඔබ ප්‍රශංසා නොකරනු.”
මෙහි ප්‍රශංසා කිරීම යනු: එහි සීමාව ඉක්මවා අතිශයෝක්තියෙන් ප්‍රශංසා කිරීමයි.
ජුන්දුබ් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) විසින් මෙසේ වාර්තා කරන ලදී.
"නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මරණයට පත් වීමට දින පහකට පෙර කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි."
“නුඹලා අතරින් කිසිවෙකු මාගේ ඉතා හිතවත් මිතුරෙකු කර ගැනීමෙන් මම අල්ලාහ්ට නිර්දෝෂී වෙමි. සැබැවින්ම අල්ලාහ් ඉබ්රාහීම් තුමා මිතුරෙකු ලෙස තෝරා ගත්තාක් මෙන් ඔහු මාව ද මිතුරෙකු ලෙස තෝරා ගෙන ඇත. මාගේ ප්‍රජාවෙන් මම මිතුරෙකු තෝරා ගන්නෙකු වී නම් සැබැවින්ම මම අබූ බක්ර් ව මිතුරෙකු ලෙස තෝරා ගන්නෙමි. දැනගනු, සැබැවින්ම නුඹලාට පෙර සිටියවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ මිනීවළවල් නැමදුම් ස්ථාන ලෙස ගෙන සිටියෝය. දැනගනු නුඹලා මිනීවළවල් නැමදුම් ස්ථාන ලෙස නොගනු. සැබැවින්ම මම එයින් නුඹලාව වළකමි."
මේ අනුව, මස්ජිද් තුළ කබ්ර් තිබෙන්නේ නම්, එහි සලාත් ඉටුකිරීමට අනුමැතිය නැත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ දියණියන්
ජාහිලිය්යා නම් නුගත් අන්ධකාර යුගයේ ගැහැනු දරුවෙකුගේ උපත, එම දරුවාගේ දෙමාපියන්ගේ ජීවිතයේ අඳුරු දිනයක් ලෙස සැළකිනි. ඔවුන් පමණක් නොව ඒ දරුවාගේ ගෝත්‍රය පවා ඒ ලෙසම සළකනු ලැබිණ. ගැහැනු දරුවෙකුගේ උපතෙන් සිදු වන අවනම්බුව ගැන බියට පත් ඔවුන්, පිළියමක් ලෙස එම දරුවා පණ පිටින් වළ දමන තරමට ම්ලේච්ඡ තත්ත්වයට පත් ව සිටියෝය.
ළදරු ඝාතනය බිහිසුණු, රළු ස්වරූපයෙන් සිදු වූ අතර, දයාවට හෝ ආදරයට තැනක් නොතිබුණි, එබැවින් දැරිය පණපිටින් වළලනු ලැබූ අතර, ඔවුන් එම අපරාධය ප්‍රගුණ කරමින් කටයුතු කළහ.
ඇතැමුන් ගැහැනු දරුවකු උපත ලැබූ විට වයස අවුරු හය දක්වා වැඩෙන්නට ඉඩ හැර පසුව ඇගේ මවට කතා කර මෙසේ පවසයි:
දැරියගේ මාමාණ්ඩියා වෙත ගෙන යන්නට ඇයව සරසන්න. අලංකාර කරනන්න. ඇය වෙනුවෙන් කාන්තාරයේ වළක් හාරා ඒ වෙත කැඳවා ගෙන ගොස්, ඒ දෙස බලන මෙන් පවසයි.
අනතුරුව ම්ලේච්ඡ හා කුරිරු ලෙස දරුවා ඒ තුළට තල්ලු කර, වැල්ලෙන් වසා දමයි.
මෙවන් නුගත් ප්‍රජාවක් මධ්‍යයේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කාන්තාවන්ට මව, බිරිඳ, දියණිය, සහෝදරිය, නැන්දා යනාදී වශයෙන් ගෞරව පදවි ලබා දුන් මෙම උතුම් දහම සමඟ පැමිණියහ.
කුඩා ගැහැනු දරුවන් අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ආදරයට හා ගෞරවයට ලක් වුහ. එතුමා සිටින ස්ථානයට දියණිය ෆාතිමා (රළියල්ලාහු අන්හා) පැමිණියහොත් එතුමා නැගිට, එතුමියගේ අතිිින් අල්ලා සිප ගෙන, තම ආසනයේ වාඩි කළහ. එලෙසම ෆාතිමා (රළියල්ලාහු අන්හා) සිටින තැනට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැමිණියහොත්, එතුමිය ද පියාගේ අත අල්ලා, සිප ගෙන තමා වාඩි වී සිටින ස්ථානය පිරිනැමුවාය.
තම දියණියන් සියලු දෙනා කෙරෙහි මේ අයුරින් ආදරය දැක් වූ අතර ඔවුනට ගෞරවය කළහ. කෙසේ වෙතත්, අල්ලාහ් එතුමාට දිව්‍ය පණිවිඩ හෙළිදරව් කිරීමෙන් පසු අබු ලහබ්ගේ පුතුන් දෙදෙනා වන උත්බා සහ උතෙයිබා දික්කසාද වනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි එතුමා තම දියණියන් දෙදෙනා වන උම් කුල්තුම් සහ රුකයියාගේ දික්කසාදයට ඉවසීමෙන් යුතුව එකඟ වුහ.
“අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!” යන වාක්‍ය පහළ විය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්රචාරක කටයුතු අත් හැරීමට හා නැවත හැරීමට ප්‍රතික්ෂේප කළහ. එතුමාණන්ගේ දියණියන් දෙදෙනා දික්කසාද කරන තුරු කුරෙයිෂිවරු එතුමාට නොයෙක් අවවාද හා තර්ජන කරමින් සිටියෝය. එහෙත් එතුමාණන් මෙම දහම සඳහා කරන ප්රචාරක කටයුතු අත් නොහැර ඉවසීමෙන් ස්ථාවරව සිටියේය.
එතුමාණන් තම දියණියට දැක්වූ ආදරය හා පිළිගැනීම සම්බන්ධයෙන් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වයි.
“නබි (සල්ලල්ලාහු අලයිහිස් සලාම්) තුමාණන්ගේ බිරියන් එතුමාණන් ඉදිරියේ සිටිය දී ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය පැමිණියාය. දූතයාණන් ගමන් කරන විලාසයෙන් ඇය ද ගමන් කරමින් ආවාය. එතුමාණන් ඇය ව දුටු කල්හි, මගේ "ආදරණීය දුවනි, සාදරයෙන් පිළිගනිමි" යැයි පවසා පසුව එතුමාණන්ගේ දකුණු හෝ වම් පැත්තෙන් වාඩි කර ගත්හ.”
තම දූවරුන්ට කරුණාව හා ආදරය දැක් වූ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් බැහැ දැක ඔවුන්ගේ සැප දුක් විමසා, යම් ප්‍රශ්නයක් තිබුණේ නම් ඒවා විසඳීමට සහය වුහ.
දිනක් ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බැහැ දැක, නිවසේ වැඩ කිරීම හේතුවෙන් අතේ සිදු වු තුවාල ගැන දන්වා, තම සහයට සේවකයෙක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින්නට ගියාය. නමුත් ඇය එතුමාණන් දකින්නට නොසිටි හෙයින් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට ඒ බව දන්වා සිටියාය. අල්ලාහ්ගේ දූතයාණන් පැමිණි කල්හි ඇය එතුමාට ඒ ගැන තොරතුරු දන්වා සිටියාය.
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අපි නින්දට යන්නට සූදානම් වන විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිවසට පැමිණියහ. අපි නැගිටින්නට සූදානම් වන විට ‘ඔබ දෙදෙනාගේ ස්ථානයේම සිටින්න‘ යැයි පවසා එතුමාගේ පාදයේ සීතල මාගේ පපුවට දැනෙන තරමට සමීප ව එතුමාණන් අප අතර වාඩිවුහ.
"මෙහෙකාරයෙකුට වඩා උතුම් දෙයක් ඔබට කියා දෙන්නදැ?‘යි විමසා, ‘ඔබ දෙදෙනා නිදියහනයට යන විට, -එසේ නැතහොත් ඔබ දෙදෙනා නින්දට යන විට- තිස් හතර වතාවක් අල්ලාහු අක්බර් යනුවෙන් ද, තිස්තුන් වතාවක් සුබ්හානල්ලාහ් යනුවෙන්ද, තිස්තුන් වතාවක් අල්හම්දු ලිල්ලාහ් යනුවෙන්ද පවසන්න. මෙය මෙහෙකාරයෙකුට වඩා ඔබ දෙදෙනාට උතුම්යැ” යි පැවසුහ.
කිසිම අවස්ථාවක සිත් කනස්සලට පත් නොවන දූතයාණන්ගේ ඉවසීම අපට හොඳ ආදර්ශයකි. එතුමාණන් ජීවත් ව සිටි කාලය තුළ ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය හැර එතුමාණන්ගේ අනෙකුත් සියලු දූ දරුවන් මරණයට පත් වූවෝය.
එහෙත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම ශෝකය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට, තම කම්මුලට ගසා ගැනීම, ඇඳුම් ඉරා ගැනීම වැනි කිසිවක් නොකළහ. අල්ලාහ්ගේ නියමය හා තීන්දුව පිළිගනිමින් කුසල් බලාපොරොත්තුවෙන් ඉවසීමෙන් සිටියහ.
විපතට පත් වූවන්ට සැනසිල්ලක් වන, විපතට පත් වූවන්ට සහනයක් වන උතුම් උපදෙස් සහ උතුම් හදීස් ඔහු අපට භාර දී ඇත.
ඒ අතරින් එතුමාණන්ගේ ප්‍රකාශයක් මෙසේය.
إنا لله وإنا إليه راجعون، اللهم أجرني في مصيبتي واخلف لي خيرًا منها، إلا أخلف الله له خيرًا منها “සැබැවින් ම අප සියලු දෙනාම අල්ලාහ්ට හිමිය. ඔහු වෙත ම අපි ආපසු හැරී යන්නන් වෙමු. 'අහෝ දෙවිඳුනි! අත්ව ඇති විපතෙහි මට ප්‍රතිඵල ලබා දෙනු මැනව! මෙයට වඩා උසස් යහපතක් මට පිරිනමනු මැනව.‘ යැයි ප්‍රාර්ථනා කරන්නේ නම් එවිට අල්ලාහ් එයට වඩා උසස් යහපතක් පිරිනමනු ඇත.”
විපතට පත් ජනතාවට තෝතැන්නක් හා රැකවරණයක් ලෙස “ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලෙයිහි රාජිඌන්“ යන වචන මාලාව නියම කළේය. ඉවසීමෙන් කටයුතු කරන්නන්හට කුසල් ලබා දෙන්නක් බවට පත් කළේය. තමන් අබියස මහඟ කුසල් ඇති බව අල්ලාහ් ඔවුට මෙසේ සුභාරංචි දන්වා සිටියේය.
“සැබැවින්ම ඉවසිලිවන්තයින්ට ඔවුන්ගේ වේතනය ගණනයකින් තොරව පිරිනමනු ලබන්නේය.”
බිරිය සමග කටයුතු කිරීම
කුඩා පවුලක සීමාව තුළ, බිරිඳ යනු වැදගත්ම අංගයකි. ඇය ඉඳි ගසේ කඳ මෙනි. සැනසුම ඇයයි. සමීපතයා ද ඇයයි.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ.
“මුළු ලොවම භුක්ති විඳින්නකි. මෙලොවෙහි භුක්ති විඳීම් අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මිශ්ඨ බිරිඳ ය.”
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ යහපත් ගති පැවතුම් සහ එතුමාණන්ගේ දැහැමි පවුල් ජීවිතය අතරින් විශ්වාසීන්ගේ මව වූ ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ නම වර්ණවත් කර ඇගේ හදවත් පිනායන පරිදි පුවතක් ඇයට එතුමාණන් පවසා තිබීම අපට දැක ගත හැක.
ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ දවසක් මෙසේ කීහ.
“අහෝ ආඉෂ්! ජිබ්රීල් ඔබට සලාම් පවසා සිටියි."
පූර්ණවත් දැහැමි ගුණාංගයන් සහිත, සමාජයේ උසස් නිලයක් ලැබු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම බිරියන්ගේ ශුභ සිද්ධීන්, ඔවුන්ගේ අවශ්‍යතාවන් ලෙන්ගතුකම හා අගයයන් පිළිබඳ ව සැළකිලිමත් වූ අතර භාර්යාවකට නියම ස්වාමි පුරුෂයකු ලෙස කාන්තාවක් බලාපොරොත්තු වන ආකාරයෙන් එතුමාණෝ එම තත්ත්වයට පත් වූහ.
ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියි.
“මම ඔසප් තත්ත්වයේ සිටියදී යමක් පානය කළේ නම් නබි තුමාණන් ද එය පරිභෝජනය කළහ. මා කට තැබූ ස්ථානයේ එතුමාණන් ද කට තබා පානය කළහ. මම මස් කැබැල්ලක් සපා කෑවේ නම් එතුමාණන් එය පරිභෝජනය කළ අතර මා කට තැබූ ස්ථානයේ එතුමාණන් ද කට තබා සපා අනුභව කළහ."
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට එරෙහිව කුහකයින් සහ බටහිරවාදීන් නැගු බොරු චෝදනා පදනම් විරහිත බව එතුමාගේ ජීවිතය අපට පෙන්වයි. එතුමාණන් තම බිරියන් සියලු දෙනා සමඟ ආදරයෙන්, කරුණාවෙන්, ලස්සනට හා සැහැල්ලුවෙන් ජීවත් වුහ.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියි.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ, එතුමාගේ බිරියකට සිප, නැවත වුළු නොගෙනම සලාතය සඳහා පිටත්ව ගියහ.
තවද, දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කාන්තාවන්ට උසස් තත්ත්වයක් ඇති බවත් ඔවුනට ශ්‍රේෂ්ඨ ස්ථානයක් සහ උසස් නිලයක් ඇති බව විවිධාකාරයෙන් පැහැදිලි කළහ.
අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා නැඟු ප්‍රශ්නයකට, “බිරියට ආදරය කිරීමට පරිනත, සෘජු, අවංක පිරිමියෙක් ලැජ්ජා නොවෙයි.” යැයි එතුමාණෝ ඉගැන්වූහ.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගෙන් අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) මෙසේ විමසා සිටියේය.
“ජනයා අතරින් ඔබ තුමාට වඩාත් ආදරය කරන්නා කවුරුන් ද?" යැයි විමසු විට, “ආයිෂා” යනුවෙන් පැවසුහ.
කවරෙකු හෝ සාර්ථක විවාහ ජීවිතයක් සොයන්නේ නම්, මුස්ලිම් වරුන්ගේ මෑණිවරුන් ලෙස හඳුන්වන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියන් සමග එතුමාණන් කටයුතු කළ ආකාරය කෙසේදැ?යි සිතා බැලිය යුතුය.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මා හා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එකම භාජනයක ස්නානය කිරීමට පුරුදුව සිටියෙමු."
තවද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම බිරිඳට සතුට ගෙන දීමටත් අනුමත ලත් සෑම කාරණයකින්ම ඇයව සතුටට පත් කිරීමටත් ලැබෙන කිසිදු අවස්ථාවක් නොසලකා හැරියේ නැත.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියි.
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ගිය එක් ගමනක දී එතුමාණන් සමඟ මම ද පිටත්ව ගොස් ඇත්තෙමි. එකල මම මසින් නොවැඩුණු මහත් සිරුරක් නොතිබුණු ගැහැණු දරුවකි. එවිට එතුමාණෝ "ඔබ සැම ඉදිරියට යන්න” යි මිනිසුනට පැවසූහ. ඔවුන් ඉදිරියට ගිය පසු, ‘එන්න. අපි දෙදෙනා තරඟෙට දුවමු.‘ යැයි පවසා දුව ගිය විට, මම දිව ගොස් තරඟය දිනුවෙමි. කාලයක් නිහඬ වූ පසු මස් සෑදී ශරීරය වැඩී මම මහත් වුයෙමි. පසුව ද එතුමාණන්ගේ තවත් ගමනකදී එතුමාණන් සමග මම ද පිටත්ව ගියෙමි. එවිට එතුමාණෝ ‘ඔබ සැම ඉදිරියට යන්න“ යි පවසා, ඔවුන් ඉදිරියට ගිය පසු, ‘එන්න අපි දෙදෙනා තරඟෙට දුවමු.‘ යැයි පවසා මා සමග තරඟ කර මා පසු කර ගොස් එතුමාණන් ජය ගත්හ. පසුව එතුමාණෝ "මෙය ඒ වෙනුවෙන්" යැයි පවසා සිනහසෙන්නට පටන් ගත්හ.
ආදරණීය සැලකිල්ලක් සහ මහත් අවධානයක් ඇය වෙත යොමු විය. තම බිරිය සමඟ තරඟ වැදීම සඳහා තම කණ්ඩායමට පෙරට යන මෙන් එතුමාණෝ නියෝග කොට, ඇයගේ සිතට සතුට ගෙන දුන්හ. මෙහි පෙර සිදුවීම පසු සිදුවීම සමග සංසදනය කර 'මෙය ඒ වෙනුවෙන්' යැයි පවසා සිටියහ.
වර්තමානයේ අල්ලාහ්ගේ සුවිශාල දේශයට චෝදනා නගන්නන් එම ප්‍රජාවේ ශ්‍රේෂ්ඨත්වය ගැන මෙනෙහි කර බලන්නේ නම්, ත්‍යාගශීලී නබිවරයකු, ජයග්රාහි නායකයකු මෙන්ම කුරේෂ් හා බනූ හාෂිම් පරපුරෙන් පැවත එන්නකු ලෙසින් එතුමා (සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්) කළ දේ ගැන මවිතයට පත් වනු ඇත. ජයග්‍රහණය ලැබූ දින අතරින් එක් දිනක විශාල සේනාවක් මෙහෙයවමින් ජයග්‍රාහීව ආපසු එන කණ්ඩායමක වුව ද, එතුමාණන් දේව විශ්වාසීන්ගේ මව්වරුන් ලෙස පිදුම් ලැබූ තම භාර්යාවන් සමඟ අසළින් හිඳ කරුණාවෙන් ආදරයෙන් කටයුතු කළ උදාර තැනැත්තෙකි.
හමුදා නායකත්වය හෝ ගිරි දුර්ග මාර්ගය හෝ සටනින් ලැබුණු ජයග්‍රහණය හෝ තමන් ආදරයෙන් ස්පර්ශ කිරීමට හෝ අවංක ලෙස රහසින් කතා කිරීමට හෝ අවැසි වූ දුර්වල බිරියන් සමග සිටින බව අමතක කළේ නැත. එය මාර්ගයේ අත්වන දුෂ්කරතා පහ කළ අතර ගමන් විඩාව ද ඉවත් කළේය.
බුහාරි තුමා මෙසේ පවසයි: හෛඃබර් සටනේ ජය ලැබු නබි (සල්ලල්ලාලා අලෙයිහි වසල්ලම්) තුමාණන්, සෆිය්යා බින්ත් හුයෙයි (රළියල්ලාහුඅන්හා) තුමිය හා විවාහ වී නැවත පැමිණි අවස්ථාවේ, ඔහු තමන් පිට මත නැඟී සිටින ඔටුවා වටේට රෙදි කඩක් එළා එය ආවරණය කර ගනිමින්, පසුව ඔහු තම ඔටුවා අසල වාඩි වී ඔහුගේ දණහිස තබා, සෆියා ඔහුගේ දණහිස මත තම කකුල තබා එහි නැග ගන්නට සැළැස්වූවාය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නිහතමානි භාවය මෙම සිද්ධිය හෙළි කරයි.
සේනාධිපති නායක හා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සිරුර මත පා තබා ඔටුවා පිට ගොඩ වීමට තම බිරියන්ට ඉඩ දීමේ ක්‍රියාව හා එතුමාණන් තම බිරියන්ට දැක් වු ආදරය සහ කරුණාව මෙලෙස බිරියන්ට උපකාර කිරීමෙන් පිරිමින්ගේ ගෞරවයට කිසිදු බාධාවක් සිදු නොවන බව එතුමාණෝ සමාජයට පෙන්වා දුන්හ.
එතුමාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තම සමාජයට දුන් අවවාද අතර මෙයද සඳහන් වේ.
“දැනගන්න. කාන්තාවන් සම්බන්ධ ව යහපත් ලෙස කටයුතු කරන්න."
බහු විවාහය
නබි (සල්ලල්ලාහු අලෙයිහි සල්ලම්) තුමාණන් බිරියන් එකොළොස් දෙනෙක් සමග විවාහ වුහ. ඔවුහු දේව විශ්වාසීන්ගේ (මූඃමින්වරුන්ගේ) මෑණිවරු ලෙස පිඳුම් ලැබුහ. බිරියන් නව දෙනෙක් ජීවත් ව සිටිය දී එතුමාණෝ මෙලොව හැර ගියහ. එතුමාණන්ගේ උසස් ගෞරවය නිසා මෙම කාන්තාවන් ද සමාජයේ ඉහළ මට්ටමේ සිටි අතර ඔවුහු උසස්භාවය ලැබුවෝය.
එතුමාණන්ගේ බිරියන් අතර, එතුමාට වඩා වැඩිමහල් කාන්තාවන්, දික්කසාද කරනු ලැබු කාන්තාවන්, වැන්දඹු කාන්තාවන් මෙන්ම අසරණ කාන්තාවන් වැනි විවිධ තරාතිරමේ බිරින්දෑවරු සිටියහ. එතුමා හා විවාහ වූ එකම කන්‍යාවිය වූයේ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙලෙස 'උම්මහාතුල් මුඃමිනීන්" නමින් පිදුම් ලත් මෙම කාන්තාවන් සමඟ විවාහ වී ජීවත් වූවා පමණක් නොව, ඔවුන් අතර ආදරයෙන් හා සාධාරණත්වයෙන් යුතුව එක හා සමානව කටයුතු කර තිබීම ඉමහත් ආදර්ශයකි.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
"නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ගමනක් යෑමට සිතූ විට, තම බිරියන් අතර කුසපත් අදියි. එයින් කවර බිරියක් තොරා ගනු ලබන්නේ ද ඇය තමා සමඟ රැගෙන ගියහ. එමෙන්ම එම බිරියන් සෑම කෙනෙකුටම දිනයක් බැගින් වෙන් කර දුන්හ."
නබි (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) තුමාණන් යුක්තිය හා සාධාරණයට ආදර්ශයක් බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළේය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්හට බිරියන් නව දෙනකු සිටි අතර ඔවුන් අතර දින වෙන් කළ විට. නව වැනියාගේ වාරය අවසන් වීමෙන් පසුව මිස පළමු බිරියගේ දිනය වෙත යොමු වන්නේ නැත. එතුමාණන් ලැගුම් ගන්නට යන නිවසට සෑම රාත්‍රියකම සෙසු බිරියන් සියලු දෙනා එක් වෙති.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ නිවසේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් රැඳී සිටිය දී, zසෙයිනබ් (රළියල්ලාහු අන්හා) තුමිය පැමිණි විට, එතුමාණෝ තම අත එතුමිය වෙත දිගු කළහ. එවිට ආඉෂා තුමිය: ‘මේ සෙයිනබ්' යැයි පැවසු විගස එතුමාණෝ තම අත වළක්වා ගත්හ.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට අල්ලාහ්ගේ උදව් හා ඔහුගේ දිව්‍ය පණිවිඩ නොතිබුණේ නම් මෙලෙස විශාල පවුලක් සහිත නිවසක් නඩත්තු කළ නොහැකි වන්නේය.
නබ් (සල්ලල්ලාහු අලෙටිහිවසල්ලම්) තුමාණන් වචනයෙන් හා ක්‍රියාවෙන් අල්ලාහ්ට නිතර කෘතඥතා ව ඵල කර සිටියහ.
අල්ලාහ්ගේ නියෝගය පිළිපදිමින්, ඔහුට නැමදුම් කිරීම සඳහා තම බිරියන් දිරිමත් කිරීමට සහ ඒ සඳහා ඔවුන්ට උපකාර කිරීමට නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පෙළඹුණහ.
“තවද සලාතය පිළිබඳව නුඹගේ පවුලට නුඹ අණ කරනු. තවද ඒ මත රැඳී සිටිනු. අපි නුඹගෙන් පෝෂණය නොඉල්ලුවෙමු. නුඹට පෝෂණය සපයනුයේ අපමය. තවද අවසාන තීන්දුව බියබැතිමතුන් හටය.”
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙය වාර්තා කරන ලදී:
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ, මා ඔහුගේ යහන මත හරස් අතට වැතිර සිටියදී සලාත් ඉටු කළහ. ඔහුට විත්ර් සලාත් ඉටු කිරීමට අවශ්‍ය නම්, එතුමාණෝ මා අවදි කළහ.”
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ රාත්‍රියේ සලාත් ඉටු කිරීම හා එහිදී ස්වාමිපුරුෂයා හා භාර්යාව එකිනෙකාට උපකාර කිරීම සම්බන්ධයෙන් දිරිමත් කළ අතර එය කෙතරම් දුරටද යත් ස්වාමි පුරුෂයා හෝ භාර්යාව යන වෙනසකින් තොරව ජලය ඉසා අවදි කිරීමේ අලංකාර ප්‍රවේශයක් ගෙන ඇත.
අබූ හුරයිරා (රළිල්ලාහු අන්හු) තුමා විසින් මෙය වාර්තා කරන ලදී
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ.
“රාත්‍රි නැමදුම් කර, තම බිරිය ද අවදි කර, ඇය ද නැගිට සලාතය ඉටු කරයි. එසේ නැතහොත් ඇය මැළිවූයේ නම් ඇයගේ මුහුණේ ජලය ඉසා අවදි කරයි. එවන් පුද්ගලයකුට අල්ලාහ් ආශීර්වාද කරත්වා. එමෙන්ම තමා රාත්‍රි නැමදුම් කර, සැමියා ව අවදි කර ඔහු ද නැගිට නැමදුම් කරයි. නැතහොත් ඔහු අවදි වීමට මැළි වුයේ නම් ඔහුගේ මුහුණේ ජලය ඉසා අවදි කරයි. එවන් තැනැත්තියටද අල්ලාහ් ආශිර්වාද කරත්වා!"
මුස්ලිම්වරයෙකුගේ පරිපූර්ණත්වය සහ ඔහුගේ ආගම කෙරෙහි ඔහු දක්වන කැපවීම අතරින් ඔහුගේ අභ්‍යන්තර පාරිශුද්ධත්වය සහ පාරිශුද්ධත්වය සම්පූර්ණ කිරීම සඳහා ඔහුගේ බාහිර පෙනුම ගැන සැලකිලිමත් වීම ද එකකි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පිරිසිදු සිතක් හා පිරිසිදු ශරීරයක් සහිත සුගන්ධය හමන කෙනෙකු වූහ. එතුමා දත් මැදීමට ප්‍රිය කළ අතර අන් අයටද එසේ කරන මෙන් අණ කර සිටියහ.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ වදාළහ.
“මගේ සමාජයට අපහසු නොවන්නේ නම්, සෑම සලාතයකදීම මිස්වාකය භාවිතා කරන මෙන් මම ඔවුන්ට අණ කරමි.”
හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙය වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නින්දෙන් අවදි වූ විගස මිස්වාක් දැහැටියෙන් දත් මැද ගත්හ.
ෂුරෛහ් බින් හානි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරයි.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් මම මෙසේ විමසුවෙමි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් නිවසට පැමිණි විගස කවර ක්‍රියාවකින් ආරම්භ ගන්නේ ද? එවිට එතුමිය: “දත් මැදීමෙන් ” යනුවෙන් පිළිතුරු දුන්නාය.
නිවැසියන් පිළිගැනීම සඳහා මෙය මොනතරම් අලංකාර පිරිසිදුවීමක් ද සූදානම් වීමක්ද!
නබි (සල්ලල්ලාහු අලෙයිහි සල්ලම්) තුමාණන් සිය නිවසට ඇතුළු වන විට,
“බිස්මිල්ලාහි වලජ්නා, වබිස්මිල්ලාහි ඛරජ්නා, වඅලා රබ්බිනා තවක්කල්නා" (අල්ලාහ්ගේ නාමයෙන් ඇතුළු වෙමු. ඔහුගේ නාමයෙන් බැහැර වෙමු. අපගේ සියලු දේ ඔහු වෙත භාර කරමු.” යනුවෙන් පවසා, පසුව තම නිවැසියනට සලාම් පැවසුහ.
ඔබ පිරිසිදුව හා සලාම් පවසා නිවසට ඇතුළුවනු දැක ඔබේ නිවැසියන් සතුටට පත් වෙති.
මාගේ මුස්ලිම් සහෝදරය! මෙම හැසිරීම වෙනුවට අවවාද, දොස් සහ තරවටු කරන්නන් අතරට ඔබ පත් නොවන්න.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) විහිළු තහළු කළ ආකරය.
නායක නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම ප්‍රජාව, සේනාව, සේනාධිපතීන් හා නිවැසියන් ගැන පමණක් නොව විටෙක දිව්‍ය පණිවිඩ ගැන ද තවත් විටෙක නැමදුම යනා දී සියලු කටයුතු ගැන ද දැඩි සැලකිල්ලක් දැක්වුහ. ඒ අතර ජීවිතයේ අවශ්‍යතා සපුරාලීමට සහ එය තුළ ජීවය ඇති කිරීමට ඕනෑම මිනිසෙකුට නොහැකි වන වෙනත් උත්සුකයන්, විශිෂ්ට ක්‍රියා තිබේ.
කෙසේ වෙතත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ, සෑම කෙනෙකුටම ඔවුනොවුන්ගේ අයිතිය ලබා දුන් අතර, තවත් කෙනෙකු වෙත දක්වන සැලකිල්ලෙහි හෝ ඒ හැර වෙනත් පැත්තකට යොමු වීමෙහි හෝ කිසිවකුගේ අයිතියක අඩුවක් සිදු කළේ නැත.
මෙවැනි කටයුතු හා රාජකාරිවලට අමතර ව කුඩා දරුවන් වෙනුවෙන් ද එතුමාගේ හිතෙහි ඉඩක් හිමි විය. එතුමාණෝ කුඩා දරුවන් හුරතල් කළහ. ඔවුන් සමග විහිළු තහළු කළහ. ඔවුන්ගේ සිත් තුළට සමීප වූහ. ඇතැම් විට වැඩිහිටියන් සමග විහිළු තහළු කළාක් මෙන්ම ඔවුන්ගේ සිත් තුළට සතුට ගෙන දුන්හ.
අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
වරක් ඇතැම් සහාබාවරු: “අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ තුමා අප සමඟ විහිළු කර කතා කරනවානේද?” යැයි විමසුවෝය.
එයට එතුමාණෝ: “ඔව්. නමුත් මම සත්‍යය හැර වෙනකක් නොපවසමි." යැයි කීහ.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කළ විහිළු තහළු අතරින් අනස් බින් මාලික් විසින් වාර්තා කරන ලද හදීසයක් මෙසේය.
“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මට (දිගු කන් දෙකක් තිබූ හෙයින්) “දෙකනා" යැයි ඇමතු හ
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ තවත් හදීසයක් මෙසේය.
උම් සුලෙයිම්ගේ පුත්‍රයා අබු උමයිර් ලෙස හැඳින්වේ. ඇතැම් විට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔහු පැමිණියහොත් ඔහු සමඟ විහිළු කරති. දිනක් හෙතෙම පැමිණි අවස්ථාවක එසේ එතුමා ඔහු සමග විහිළු කළ විට, ඔහු දුකෙන් සිටිනු දුටුහ. එවිට එතුමා "අබු උමයිර් දුකින් ඉන්න බවක් මට පෙනෙන්නේ ඇයි? දැයි විමසූහ. එවිට "අල්ලාහ්ගේ දූතයාණනි! ඔහු සෙල්ලම් කරමින් සිටි කුරුල්ලා මිය ගියේ යැ"යි ඔවුහු කීහ. එවිට (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔහුට මෙසේ කතා කරන්නට පටන් ගත්හ. "අහෝ අබු උමෙයිර්! කුඩා කුරුල්ලාගේ සිද්ධිය කුමක් ද?"
වැඩිහිටි සහාබාවරුන් සමඟ ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එලෙස කටයුතු කර ඇත්තාහ. ඉන් එකක් පිළිබඳ අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා වී ඇත.
zසාහිර් ඉබ්නු හරාම් නමින් ගම්බද අරාබිවරයෙක් විය.
හෙතෙම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට මහත් සේ ආදරය දැක්විය. ඔහු සුන්දර කෙනෙකි. දිනක් ඔහු තම භාණ්ඩ අලෙවි කරමින් සිටියදී නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුට නොපෙනන පරිදි ඔහුගේ පිටුපසින් ගොස් බදා ගත්හ. එවිට ඔහු “මේ කවුද? මා අත හරින්න.” යැයි පැවසුහ. පසුව, එතැන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සිටින බව දැන එතුමාගේ පපුවට ඔහුගේ පිට තවත් තද කර ගත්තේය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් “මේ වහලා මිළ දී ගන්නේ කවරෙක් ද?” යැයි විමසුහ. එයට ඔහු, "අල්ලාහ්ගේ දූතයාණනි! මා වටිනාකමක් නැති කෙනෙක් ලෙස ඔබ සිතන්නෙහි ද?“ යැයි ඇසීය. එයට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන්, “මොනවා වුනත්, ඔබ අල්ලාහ් ඉදිරියේ බොහෝ වටිනා කෙනෙකි” යැයි ඔහුට පිළිතුරු දුන්හ.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ගෞරවනීය සහ ත්‍යාගශීලී ගුණාංගවලින් යුත් යහපත් චරිතය සහිත කෙනෙකි.
නියත වශයෙන්ම, රසූල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම පවුලේ සාමාජිකයන් සමඟ සහ සහාබාවරුන් සමඟ සරල ව කතා කළ නමුත් එතුමාණන්ගේ සිනහවට සීමාවක් තිබුණි. "මඳ සිනහව පමණක් එතුමාණන්ගෙන් දැකගත හැකි විය.' යැයි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ වාර්තා කළාය.
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිවිටෙක තම උගුරු දණ්ඩ පෙනෙන තරමට මහා හඩින් සිනහසෙන්නෙකු ලෙස සිටිනු මා දැක නැත. එතුමා මද සිනහ පාන්නෙකු ලෙස සිටියහ."
මෙතරම් ප්‍රීතිමත් බවක් සහ කරුණාවක් තිබියදීත්, අල්ලාහ් විසින් තහනම් කළ දෑ උල්ලංඝනය කරනු දුටු විට, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මුහුණ වෙනස් විය.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියි.
"දිනක් ගමනකින් පසුව අල්ලාහ්ගේ දූතයාණෝ පැමිණියහ. මා සතු ගබඩා කාමරයක් චිත්‍ර සහිත තිර රෙද්දකින් ආවරණය කර තිබිණි. දූතයාණන් එය දුටු කල්හි එය පිළිකුල් කළ අතර එතුමාගේ මුහුණ වෙනස් විය. එතුමාණෝ මෙසේ පැවසූහ.
"අහෝ ආඉෂා! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින, දැඩි සේ දඬුවම් ලබන අය වන්නේ, අල්ලාහ්ගේ මැවීමට අනුකරණය කරන අය වෙති." යැයි පැවසුහ.
නිවෙස් හි චිත්‍ර තබා ගැනීම, ඒවා ප්‍රදර්ශනය වන්නේ නම් එය හරාම් (තහනම්) බව මෙය පෙන්වා දෙයි. ඊටත් වඩා තහනම් වන්නේ බිත්තියේ එල්ලා ඇති පින්තූර හෝ කොනක, රාක්කවල සහ මේසවල ඉදිකර ඇති ප්‍රතිමා ය. මේවා තබා ගැනීම පාපයක් පමණක් නොව, නිවැසියන් විසින් එම නිවෙස් වෙත දයාවේ මලාඉකාවරු ඇතුළුවීම තහනම් කර ගනියි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නින්ද
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
ඔබ අතරින් කිසිවකු හෝ නින්දට යන විට, තම ඇඳුමහි ඇතුළු පැත්ත -එහි කෙළවර- අල්ලා ඔහුගේ නිදියහන එමගින් තට්ටු කරත්වා. ‘බිස්මිල්ලාහ්‘ යනුවෙන් පවසත්වා. මන්ද ඔහු නින්දෙන් අවදි වී නැගිට ගිය පසු, එම ඇතිරිල්ලේ කුමක් තිබුණා දැයි ඔහු නොදනි. ඔහු හාන්සි වන්නට සිතන්නේ නම් ඔහුගේ දකුණු පැත්තට ඇල වී හාන්සි වෙත්වා. එමෙන්ම ‘සුබ්හානකල්ලාහුම්ම රබ්බී, බික වළඃතු ජන්බී, වබික අර්ෆඋහූ, ඉන් අම්සක්ත නෆ්සි ෆග්ෆිර් ලහා වඉන් අර්සල්තහා ෆහ්ෆළ්හා බිමා තහ්ෆළු බිහී ඉබාදිකස් සාලිහීන්" යනුවෙන් පවසත්වා. (අර්ථය: යා අල්ලාහ්! ඔබේ නාමයෙන් මම ඇලවෙමි. ඔබේ නාමයෙන් මම යළි නැගිටිමි. මාගේ ප්‍රාණය ඔබ අත්පත් කරන්නේ නම්, එයට කරුණාව දක්වනු, ඔබ යළි දෙන්නේ නම්, ඔබේ දැහැමි ගැත්තන් ආරක්ෂා කරන්නාක් මෙන් එය ආරක්ෂා කරනු මැනව.)
තවද, සෑම මුස්ලිම්වරයකුටම හා මුස්ලිම්වරියකටම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟ පෙන්වීම් මෙසේ විය.
“ඔබ නිදියහනට යන විට, සලාතය සඳහා වුළූ කරන්නාක් මෙන් ඔබ වුළු කර ගන්න. පසුව ඔබේ දකුණු පැත්තට ඇල වී නිදා ගන්න."
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ දන්වා සිටියි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම නිදියහනට එන සෑම රාත්‍රියකම තම දෑත් එක්කොට ඒ දෙකෙහි පිඹ, 'කුල් හුවල්ලාහු අහද්', 'කුල් අඌදු බිරබ්බිල් ෆලක්', 'කුල් අඌදු බිරබ්බින් නාස්' යන සූරා පාරායනය කර, ඒ දෙකින් තම ශරීරයේ හිස හා මුහුණින් ආරම්භ කර, තම ශරීරය ඉදිරි කොටස හැකි පමණින් පිරිමැද ගත්හ. එසේ එතුමාණන් තුන් වරක් සිදු කළහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තම නිදි යහනට යන විට මෙසේ පැවසු බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“අල්හම්දු ලිල්ලාහිල්ලදී අත්අමනා, වසකානා, වකෆානා, වආවානා, ෆකම් මිම්මන් ලා කාෆිය ලහු වලා මුඃවිය්” යනුවෙන් පැවසුහ.(තේරුම: තම අවශ්‍යතා ලබා දෙන්නටද ආරක්ෂාව දෙන්නටද කිසිවෙක් නොමැති බොහෝ දෙනෙක් සිටින විට අපගේ ආහාර සහ අපගේ අවශ්‍යතා සපයා අපට ආරක්ෂාව දුන් අල්ලාහ්ට සියලු ප්‍රශංසා හිමිවේවා.)
අබූ කතාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම නබි තුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) රාත්‍රිය ගත කළේ නම්, තම දකුණු පැත්තට ඇල වී නිදා ගත්හ. ෆජ්ර් වේලාවට ටික මොහොතකට පෙර, තම බාහුව හිටුවා අත්ල මත හිස තබා ගත්හ.
සර්වබලධාරී අල්ලාහ් අප හට කෙතරම් ආශිර්වාද දායාද කර ඇත් ද! දූතවරුන්ගේ නායකයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නිදන ඇතිරිල්ල ගැන සිතා බලන්න. සියලු මැවීම්වලට වඩා උතුම් වූ එතුමා, බිම පය තැබීමට වඩා ශ්‍රේෂ්ඨය.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නිදා සිටින යහන, ඉඳි කෙඳි පුරවන ලද, හම් ඇතිරිල්ලකින් යුක්ත විය.
“දිනක් උමර් (රළියල්ලාහු අන්හු) ඇතුළු සහාබාවරුන් කිහිප දෙනෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණියෝය. නිදා සිටි එතුමාණන් අනිත් පැත්තට හැරුණහ. එතුමාගේ ඇළ පැති දෙක සහ පැදුර අතර කිසිදු තිරයක් උමර් තුමාට දකින්නට නොවීය. දූතයාණන්ගේ ඇළ පැත්තක පැදුරු සළකුණු දුටු උමර් (රළියල්ලාහු අන්හු) තුමා කඳුළු සලන්නට විය. නබි (සල්ලල්ලාහු අලෙයිහි සල්ලම්) තුමාණන් එතුමාගෙන් “උමර්! ඔබ අඬන්නට සැලැස්වූයේ කුමක් ද?” යැයි විමසු විට, උමර් (රළියල්ලාහු අන්හු) තුමා “අල්ලාහ් මත දිවුරා කියමි. කිස්රා, කයිසර් වැනි රජවරුන්ට වඩා ඔබ තුමාණන් අල්ලාහ් ඉදිරියේ මහත් ගෞරවයට පත් කෙනෙකි. ඔවුන් මෙලොවේ තමන්ට ඕනෑම දෙයක් සිදු කරති. එහෙත් අල්ලාහ්ගේ නබිවරයා වන ඔබ තුමාණන් මම දකින මේ තත්ත්වයේදැ!“යි විමසීය. එවිට “ඔවුන්ට මෙලොව සතු වීම ගැනත් අපට මතුලොව සතු වීම ගැනත් ඔබ සෑහීමට පත්නොවන්නෙහිද?”යි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් උමර් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් විමසු විට, උමර් (රළි) රළියල්ලාහු අන්හු “ඔව්." යැයි පැවසීය. එවිට එතුමා "ඒක එහෙමයි." යැයි කීහ.
රාත්‍රී නැමදුම
රාත්‍රි අන්ධකාරය මදීනා නුවර ආවරණය කර ගත් නමුත්, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඒ වේලාවෙහි නැමදුම් කිරීමෙහි සහ අල්ලාහ්ව මෙනෙහි කිරීමෙහි නිරත ව ඒ අවට ආලෝකවත් කළේය. රාත්‍රිය පහන් කරමින් තහජ්ජුද් සලාතය ඉටු කර, අහස්හි හා මහපොළොවේ පරමාධිපතියාණන් සමග සමබන්ධකම් පවතත්වා ගත්තේය. මැවුකරුගේ හා නිර්මාපකයාණන්ගේ නියෝගයට පිළිතුරු දෙමින් සියලු කරුණු තමන් සතු කරගත් පරමාධිපතියාණන්ගෙන් ප්‍රාර්ථනා කර සිටියේය.
“(අහෝ පොරෝණයකින්) පොරොවා ගත් තැනැත්තාණනි!
(නැමදුම පිණිස) රාත්‍රියේ නැගිට සිටිනු. (එයින්) ස්වල්පයක් හැර.
එයින් අඩක් හෝ එයින් (එම අඩ කාලයෙන්) ස්වල්පයක් අඩු කර ගනු.
එසේ නොමැති නම්, එයට වඩා (කාලය) අධික කර ගනු. අල් කුර්ආනය නිසි අයුරින් කියවනු."
අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම දෙපා ඉදිමෙන ප්‍රමාණයට රාත්‍රියන්හි නැගිට සිට නැමදුම් කළහ. දිනක් ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබගේ පෙර හා පසු පාපයන් සියල්ල අල්ලාහ් කමා කළාට පසුවත් ඔබ මෙලෙස නැමදුම් කරන්නේද?" යැයි විමසනු ලැබු හ. එවිට එතුමාණෝ “මම කෘතවේදී ගැත්තෙක් නොවිය යුතු දැ?” යි පිළිතුරු දුන්හ.
තවද අල් අස්වද් බින් යසීද් විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අල්ලාහ්ගේ දූතයාණන්ගේ රාත්‍රි නැමදුම් පිළිබඳ ව මම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසුවෙමි. එවිට එතුමිය මෙසේ පැවසුවාය."
“රාත්‍රි ආරම්භක අවධියේ එතුමාණන් නිදා ගනී. රාත්‍රි අවසාන අවධියේ නැගිට නැමදුම් කරයි. කුමක් හෝ අවශ්‍යතාවක් ඇත්නම් තම පවුලේ අය වෙත පැමිණෙයි. අලුයම නැමදුම සඳහා අදාන් හඬ ඇසුනු වහාම නැගිට ගොස්, කිලිටි තත්ත්වයේ පසුවෙතොත් ජලය වක් කර ගෙන ස්නානය කරයි. එසේ නොවී නම් වුළූ ධෝවනය කර සලාතය සඳහා පිටත්ව යයි." යනුවෙන් පැවසුවාය.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) රාත්‍රී නැමදුම වනාහි, එහි දිගුභාවය ගැන සිතා බලන්නටත් පෙර උදාහරණයක් හා පූර්වාදර්ශයක් කර ගන්නටත් අප පොළඹවන පුදුම සහගත ක්‍රිියාවකි.
හුදෙය්ෆා ඉබ්නු අල් යමාන් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ ප්‍රකාශ කරයි.
“එක් රැයක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ රාත්‍රි නැමදුමට සහභාගි වුයෙමි. එතුමාණෝ සුරා අල් බකරා පරායනය කරන්නට ආරම්භ කළහ. වාක්‍යය සීයක් පමණ පාරායනා කර රුකුඋ ඉරියව්වට යනු ඇතැයි සිතුවෙමි. නමුත් එතුමාණෝ නොනවතා දිගටම පාරායනය කළහ. එක් රකඅතයක, එක් සූරාවක් පාරායනා කරනු ඇතැයි සිතුවෙමි. නමුත් එතුමාණන් ආල ඉම්රාන් සූරාව පටන් ගත්හ. එය අවසාන වූ පසු රුකුඋ කරනු ඇතැයි සිතුවෙමි. එහෙත් එතුමාණන් සුරා නිසා ආරම්භ කර එය ද එක දිගට පාරායනය කළහ. එහි තස්බීහ් කරන ස්ථානයක් වී නම් එතුමාණෝ තස්බීහ් කළහ. ප්‍රාර්ථනා කරන ස්ථානයක් වී නම් ප්‍රාර්ථනා කළහ. රැකරවණ පතන ස්ථානයක් වී නම් රැකවරණය පැතූහ. පසුව රුකුඋ ඉරියව්වට පැමිණ ‘සුබ්හාන රබ්බියල් අලීම්' යනුවෙන් පැවසූහ. එතුමාගේ එම රුකූඃ ඉරියව්ව කියාම් ඉරියව්ව තරම්ම විය. පසුව එතුමා: ‘සමියල්ලාහු ලිමන් හමිදා, රබ්බනා ලකල් හම්ද්‘ යනුවෙන් පවසා රුකුඋ ඉරියව්වෙහි සිටි ප්‍රමාණයට ආසන්නව වෙලාවක් එහි ද රැඳී සිටියහ. පසුව සජදා ඉරියව්වට පිවිස 'සුබ්හාන රබ්බියල් අඃලා වබිහම්දි හි‘ යැයි පැවසූහ. එතුමාගේ එම සජදා ඉරියව්ව ද කියාම් ඉරියව්වට ආසන්න වේලාවක් විය.
ෆජ්ර් සලාතයෙන් පසුව
මදීනාහි රාත්‍රී නිහඬතාවෙන් පසු අලුයම උදා වීමත් සමග සාමුහිකව ෆජ්ර් සලාතය සඳහා එතුමාණෝ මස්ජිදය වෙත පිය නැගූහ. ෆජ්ර් සලාතයෙන් පසු හිරු උදා වන තෙක් අල්ලාහ් ව දික්ර් කරමින් පසු වූ අතර ඉන්පසුව රකඅත් දෙකක් ඉටු කළහ.
ජාබිර් ඉබ්නු සමුරාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී.
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ෆජ්ර් සලාතය ඉටු කළ විට, හිරු ඉහලට පායන තුරු එම ස්ථානයේම වාඩි වී සිටියහ."
මෙම මහඟු නබි පිළිවෙත පිළිපැදීම සඳහා එතුමාණන් අප දිරිගැන් වූ අතර එහි ඇති ප්‍රතිඵල හා කුසල් ද මෙනෙහි කළහ.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
එතුමාණෝ (සල්ලල්ලාහුඅලෙයිහි වසල්ලම්) පවසා සිටියහ.
“කවරෙකු ෆජ්ර් සලාතය සාමූහිකව ඉටු කර, පසුව හිරු උදා වන තුරු අල්ලාහ්ව දික්ර්-මෙනෙහි කරමින් වාඩි වී හිඳ, පසුව රකආත් දෙකක් ඉටු කළේ ද ඔහුට හජ් සහ උම්රාහි ප්‍රතිඵල මෙන් කුසල් හිමි වන්නේය. එය පූර්ණව, පූර්ණව පූර්ණව හිමි වන්නේය" යැයි පැවසූහ.
ලුහා සලාතය
මධ්‍යහ්න වේලාව පැමිණ ඇත. හිරු රෂ්ණය වැඩි වී ඇත. මුහුණු දවාළන විෂ කිරණ මතු වී ඇත. ලුහා හි කාලය ඊට පෙර වූ කාලයයි. එමෙන්ම එය තම අවශ්‍යතා හා වැඩ කටයුතු ඉටු කරනා කාලය විය.
දිව්‍ය පණිවිඩ පහළ වීම, දූත පිරිස් බැහැ දැකී, සහාබාවරුන්ට ඉගැන්වීම, පවුලේ වගකීම් ඉටු කිරීම යනාදී කටයුතුවල අධිකව නිරතව සිටිය ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සර්වබලධාරී අල්ලාහ්ට නැමදුම් කිරීමට අමතක කළේ නැත.
මුආදා තුමිය පවසයි. "මම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය ට මෙසේ පැවසුවෙමි."
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ළුහා සලාතය ඉටු කළේ දැ?යි විමසුවෙමි. එවිට ඇය: “ඔව්. රකඅත් හතරක් ඉටු කළහ. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඊට අමතරව ද ඉටු කළහ.” යැයි පිළිතුරු දුන්නාය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අබු හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාට මෙසේ උපදෙස් දුන් බව වාර්තා කරන ලදී.
"සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වන මෙන් ද ලුහාහි රකඅත් දෙකක් ඉටු කරන මෙන් ද නින්දට යෑමට පෙර විත්ර් ඉටු කරන මෙන්ම මාගේ මිතුරා (සල්ලල්ලහු අලෙයි වසල්ලම්) මට උපදෙස් දුන්හ.”
නිවසෙහි අමතර නැමදුම් ඉටුකිරීම
නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නිවස ඊමානය හෙවත් දේව විශ්වාසය මත පදනම් වු අතර නැමදුම්වලින් හා අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් පිරී තිබිණ. අපගේ නිවෙස් ද ඒ ආකාරයෙන් තිබිය යුතු යැයි එතුමාණන් අපහට උපදෙස් දුන්හ.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙලෙස වදාළහ.
“ඔබගේ අමතර නැමදුම් නිවෙස් හි ඉටු කරන්න. ඔබේ නිවෙස් සොහොන් බිම් බවට පත් නො කරන්න."
ඉබ්නු කය්යිම් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි.
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පොදු (සුන්නා) වෛකල්පිත නැමදුම්, හේතුවක් නොමැති වෙනත් අමතර නැමදුම් සහ විශේෂයෙන් මග්රිබ් නැමදුමෙන් පසු සුන්නා නැමදුම් යන සියල්ල නිවසෙහි ඉටු කළහ. එවැනි නැමදුම් මස්ජිදයේ ඉටු කළ බව කිසිදු සාක්ෂියක් නොමැත.”
නිවසෙහි සුන්නත් නැමදුම් ඉටු කිරීමෙන් ලබන යහඵල:
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙත අනුගමනය කිරීම,
නිවසේ කාන්තාවන්ට හා දරුවන්ට නැමදුම් කරන්නේ කෙසේදැ යි පුහුණු කිරීම,
දික්ර් හා කුර්ආන් පාරායනා කිරීමෙන් ෂෙයිතාන්ව පලවා හැරීම, මුණිච්ඡාවෙන් ඉවත් වී සිත පිරිසිදු කර ගැනීම යනාදිය මේවායින් කිහිපයකි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි සල්ලම්) තුමාණන්ගේ ඇඬීම
පිරිමින් සහ කාන්තාවන් බොහෝ දෙනෙක් දරා ගත නොහැකි ශෝක ජනක අවස්ථාවන් හි හඬන බවද කඳුළු හෙලන බවද අපි දනිමු. ඒ කෙසේද? කුමක් නිසාද?
අපගේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙලොව යමක් අපේක්ෂා කළේ නම්, ඔහු අතෙහි මුළු ලොවම තිබිලත්, එහි ඉහළම මට්ටමේ පවතින ස්වර්ග උයන ඔහු ඉදිරියේ තිබිලත් හෙතෙම අඬන්නට පුරුදුව සිටියහ.
එසේය. එතුමා (අලෙයිහිස් සලාතු වස්සලාම්) කඳුළු හෙළු බවට විවිධ වාර්තා සඳහන්ව ඇත. නමුත් එය ගැතිභාවයේ හැඬීමය.
නැමදුමෙහි අල්ලාහ් සමඟ කතා කරන අවස්ථාවෙහි, කුර්ආනයට සවන් දෙන අවස්ථාවෙහි එතුමාණෝ කඳුළු සැළුහ. එසේ හඬන්නට සැළැස්වූයේ, හදවතේ මෘදු මොළොක් බව, ආත්මයේ ධර්මිෂ්ඨකම, සර්වබලධාරී අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ දැනුම සහ ඔහු පිළිබඳ වූ බිය යනාදියයි.
මුත්රිෆ් -ඉබ්නු අබ්දුල්ලාහ් ඉබ්නු ෂඛීර්- තම පියාගෙන් ලබා මෙසේ වාර්තා කරයි.
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සලාත් ඉටු කරමින් සිටිය දී එතුමා අසලට මම ගියෙමි. එවිට එතුමාණන්ගේ ඉකි බිඳි ගසන හඬ, භාජනයක ජලය රත්වී උතුරන ශබ්දය මෙන් ඇසුණි."
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මා වෙත කුර්ආනය පාරායනා කර පෙන්වනු මැනව" යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මට කීහ. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ තුමා හට කුර්ආනය පහළ වී ඇති අවස්ථාවක මම ඔබ තුමා වෙත පාරායනා කළ යුතු දැ?"යි විමසුවෙමි. එවිට එතුමාණෝ “සැබැවින්ම මම එය වෙනත් කෙනෙකුගෙන් සවන් දීමට කැමැත්තෙමි“ යැයි පැවසුහ. පසුව මම සූරතුන් නිසා පාරායනා කළෙමි. එහි (වජිඃනා බික අලා හාඋලාඉ ශහීදා) “මොවුන්ට එරෙහි ව මරණයෙන් පසු ඔබ ව සාක්ෂියක් වශයෙන් ගෙන එන්නෙමු.” (4:41) යන වාක්‍යයට පැමිණීමත් සමග අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) දෑසින් කඳුළු හැළෙනු මම දුටුවෙමි.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) බෙඳුණු හිස කෙස් අතර ඉහළින් දකින්නට ලැබෙන පැහුණු හිස කෙස් මෙන්ම එතුමාගේ ගෞරවණීය රුවුලේ ඉඳුනු කෙස් ගස් දහ අට දෙස සිතා බලන්න. මෙම හිසකෙස් පැහෙන්නට හේතු වූ සාධක එතුමාගේ මුවින්ම අසා දැන ගන්නට ඔබේ හදවතේ අවධානය යොමු කරන්න.
අබු බකර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසයි.
“අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබේ කෙස් පැහී ඇත!" යැයි පැවසීය. එයට එතුමාණෝ:
"සූරතුල් හූද්, අල් වාකිආ, අල් මුර්සලාත්, අම්ම යතසාඅලූන් සහ ඉදෂ් ෂම්සු කුව්විරත් යන අල් කුර්ආන් පරිච්ඡේද මාගේ කෙස් පැහෙන්නට සැළැස්වීය." යැයි පැවසූහ.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නිහතමානීභාවය
නබි (සල්ලල්ලාහු අලෙයිහි සල්ලම්) තුමාණන්, ජනයා අතර සදාචාර ගතිගුණවලින් වඩාත් යහපත් මෙන්ම ඔවුන් අතර වඩාත් පරිපූර්ණ වූ කෙනෙකි. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය පවසන පරිදි එතුමාගේ හැසිරීම කුර්ආනය විය.
"එතුමාණන්ගේ හැසිරීම කුර්ආනය විය."
තවද, එතුමාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසලලම්) මෙසේ පැවසුුහ.
“සැබැවින්ම මම එවනු ලැබුවේ උතුම් ගුණාංග සම්පූර්ණ කරනු පිණිසය.”
එතුමාණන්ගේ නිහතමානීකම අතරින්: එතුමා අධික වර්ණනා හා සීමාව ඉක්ම වූ ප්‍රශංසා ප්‍රිය නොකළහ.
උමර් ඉබ්නු අල් කඃත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ.
“මර්යම්ගේ පුත් ඊසා ගැන කිතුනු ජනයා අතිශයෝක්තියෙන් ප්‍රශංසා කළ පරිදි නුඹලා මා ගැන අතිශයෝක්තියෙන් ප්‍රශංසා නොකරනු. සැබැවින්ම මම අල්ලාහ්ගේ ගැත්තෙක් පමණි. එනිසා නුඹලා 'අල්ලාහ්ගේ ගැත්තා ඔහුගේ දූතයා' යනුවෙන් පමණක් පවසනු.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
ඇතැම් ජනයා මෙසේ පවසා සිටියෝය:
“අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ අප අතර ශ්‍රේෂ්ට කෙනෙකි; ශ්‍රෙෂ්ට කෙනෙකුගේ පුත්‍රයෙකි; ඔබ අප අතර නායකයෙකි. අප අතර සිටි නායකයකුගේ පුත්‍රයෙකි." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ:
“අහෝ ජනයිනි! ඔබගේ සුපුරුදු කතාවෙන් මා අමතනු. ෂෙයිතාන් ඔබව නොමග යවන්නට ඉඩ නොහරිත්වා. මුහම්මද් වන මම අල්ලාහ්ගේ ගැත්තෙකු හා ඔහුගේ දූතයකු වෙමි. අල්ලාහ් මට දුන් තත්ත්වයට වඩා ඉහළින් ඔබ මා ඔසවා තැබීම මම ප්‍රිය නොකරමි.” යැයි පැවසුහ.
වර්තමානයේ පවා මුස්ලිම්වරුන් අතර ඇතැම් පිරිස් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට සිමාව ඉක්මවා පැසසුම් කරති. එතුමාණන් ගුප්ත දෑ ගැන දනී; යහපත හා අයහපත එතුමා සතුව ඇත; අපගේ අවශ්‍යතා වෙනුවෙන් එතුමා ප්‍රතිචාර දක්වයි; එතුමා රෝග සුව කරයි යනාදී වශයෙන් ඔවුහු විශ්වාස කරති.
එහෙත්, මේවා සියල්ල සර්වබලධාරී අල්ලාහ් අහෝසි කරමින් මෙසේ පවසයි:
"අල්ලාහ් අභිමත කළේ නම් මිස මා වෙනුවෙන් යම් යහපතක් කිරීමට හෝ හානියක් කිරීමට හෝ මම බලය නොදරමි. ගුප්ද දෑ ගැන මා මැනවින් දැන සිටියේ නම් මා යහපත අධික වශයෙන් කරන්නට බලමි. තවද මට නපුර ස්පර්ෂ නොවනු ඇත." අල්-කුර්ආන් 7:188.
දූතයකු ලෙස එවනු ලැබූ මෙම නබිවරයාණන් පොළොවෙහි සිටින හා අහසෙහි සිටින අයට වඩා උතුම් කෙනෙකි. සෑම විටම අල්ලාහ් වෙත යටත් පහත් ව ක්‍රියා කළ අයෙකි. එතුමා අහංකාරකම ප්‍රිය නොකරයි. එහෙත් එතුමා අල්ලාහ්ට නිහතමානීව කටයුතු කරන්නන්ගේ නායකයා මෙන්ම තම පරමාධිපතිට යටහත් පහත් වන්නන්ගේ නායකයා වේ.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ඔවුනට (සහාබාවරුනට) අල්ලාහ්ගේ දූතයාණන්ට වඩා ප්‍රියමනාප කිසිවකු නොවීය. තවදුරටත් එතුමා මෙසේ පැවසීය: ඔවුහු ඔහු දුටු විට (ගෞරවය සඳහා) නැගිට සිටීම එතුමාණන් පිළිකුල් කරන බව දැන සිටි බැවින් ඔවුන් නැගට සිටියේ නැත.
මෙම සමූහයාගේ නබි වරයාණන් සතුව තිබූ පුදුම දනවන නිහතමානී භාවය සහ අසාමාන්‍ය සත් ගුණවත්බව දෙස බලමු. අසරණ කාන්තාවක් වෙනුවෙන් කාර්ය බහුල අවස්ථාවන්හි පවා එතුමාණන්ගේ කාලය පරිත්‍යාග කළහ.
අනස් (රළයල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
දිනක් කාන්තාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ “ඔබ තුමාගෙන් මට උවමනාවක් ඇත.” යැයි පැවසු විට, එතුමා: “ඔබ කැමති මදීනාවේ ඕනෑම මාර්ගයක වාඩි වන්න. මම ද එතැනට පැමිණ වාඩි වෙමි.” (ඔබේ ඉල්ලීමට සවන් දෙමි) යනුවෙන් පැවසුහ.
ප්‍රශංසනීය යහපත් ජීවිතයක් එතුමාණෝ ගත කළහ.
එතුමාණන් එයත් සමඟම වික්‍රමාන්විතයෙන් නැගී සිටියහ.
එය විශ්වයන් තුළ විසුරුවා හරිනු ලැබුවහොත්, ඒවායේ මුද්‍රාව ග්‍රහණය කළහ.
නජිද් හා ඝාඉර් මුළුමණින්ම එහි සුවද හමන්නට විය.
එතුමාණෝ නිහතමානී ජනයාගේ මෙන්ම ඔවුන්ගේ දැනුමෙහි ශීර්ෂකය වූහ.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ගැන අබු හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කවරෙකු හෝ එළුවෙකුගේ කලව ප්‍රදේශය හෝ ඉදීරි පය (ආහාර වශයෙන්) පිළියෙල කර මට ආරාධනා කළහොත් මම එයට පිළිතුරු දෙමි. එළුවෙකුගේ කලවා ප්‍රදේශය හෝ ඉදිරි පය මට ත්‍යාග කළහොත් මම එය පිළිගනිමි."
උඩඟුවෙන් මත් වී සිටින අයට, ඔවුන්ගේ උඩඟුකම හා ආඩම්බරකම විනාශ කිරීම සඳහා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සෑම කලකම, සෑම අවස්ථාවකම උපදෙස් දුන්හ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කවරෙකුගේ සිතෙහි අණු ප්‍රමාණයක තරම් උඩඟුකම තිබේද ඔහු ස්වර්ගයට ඇතුළු වන්නේ නැත."
උඩඟුකම අණුවක තරම් තිබුණ ද එය අපා ගින්න වෙත කැඳවා ගෙන යන මාර්ගය වන්නේය. අල්ලාහ් අප ඉන් ආරක්ෂා කරත්වා! අහංකාරයෙන් සහ උඩඟුවෙන් ඇවිද යන මිනිසා ලබන දඬුවම දෙස බලන්න. ඔහු වෙත අල්ලාහ්ගේ කෝපය පහළ වන්නේ කෙසේ දැයි ද ඔහු වෙත පහළ වන වේදනීය දඬුවම කෙසේ දැයි ද සිතා බලන්න.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"තමන් කැමති ඇඳුමෙන් සැරසී, අලංකාර ව හිස පීරා අහංකාර ගමනින් ගමන් කරන මිනිසෙකු විය. හිටියැටියේ ඔහු පොළොව තුළට කිදා බසින්නට අල්ලාහ් සැලස්වීය. අවසාන දිනය දක්වා ඔහු එලෙස ගිලෙමින් සිටියි."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සේවකයා,
අසරණ දුප්පත් හා දුබල සේවකයෙකු ඔහුට සුදුසු ස්ථානයේ අල්ලාහ්ගේ දූතයාණන් පත් කළේ, ඔහුගේ බැතිමත්කම හා ඔහුගේ දහම සසඳා බලමින් මිස ඔහුගේ ක්‍රියාවන් හා දුර්වලකම මුල්කරගෙන නොවේ.
සේවකයින් සහ කුලී කරුවන් පිළිබඳ එතුමාණෝ මෙසේ වදාළහ.
“ඔවුහු ඔබේ සහෝදරයෝ වෙති. ඔවුන් ඔබගේ පාලනය යටතේ අල්ලාහ් පත් කර ඇත. එහෙයින් ඔබ ගන්නා ආහාරයෙන් ඔවුන්ට ද ආහාර සපයන්න. ඔබ අඳින ඇඳුමෙන් ඔවුන්ට ද ඇඳුම් සපයන්න. ඔවුනට දැරිය නොහැකි දෑ ඔවුන් මත නොපවරන්න. ඔවුනට යමක් පවරන්නේ නම් ඔබ ඔවුනට සහය වන්න.”
දැන්, තම ස්වාමියා ගැන මවිත කරවන වදනින් කතා කරන; පිළිගනු ලබන අයුරින් සාක්ෂි දරා සහතික කරන; ඉමහත් සේ ප්‍රශංසා කරන සේවකයෙකු ගැන සිතා බලන්න.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සේවකයකු එතුමාණන් පිළිබඳ අගය කොට පවසා සිටියාක් මෙන් තම ස්වාමියා පිළිබඳ ව පැසසුම් කරන සේවකයෙක් ඔබ දැක තිබෙනවාද?
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“මම වසර දහයක් එතුමාණන්ට සේවය කළෙමි. මෙම කාලය තුළ “චී!” යන වදනක් පවා එතුමාණන් මට පවසා නැත. මම යමක් කළේ නම් “ඇයි කළේ?” යනුවෙන් හෝ එතුමා පැවසු දේ නොකළහොත් “ඇයි නොකළේ?” හෝ ප්‍රශ්න කර නැත."
දින කිහිපයක් හෝ මාස කිහිපයක් හෝ නොව, වසර දහයකි. මෙය දිර්ඝ කාලයකි. එම කාලය තුළ සතුට, දුක, කෝපය, සිත් තැවිල්ල, කරදර, දිළිඳුකම, පොහොසත්කම යන සියලු වෙනස්වීම් නිවසක හිස එසවිය හැක. ඒවා එසේ තිබියදීත් කිසි විටෙක නිවසේ කිසිවෙක් එම සේවකයා පලවා හැරියේ නැත. වැරදි සෙව්වේ නැත. එතුමාණෝ තම සේවකයාගේ සියලු අයිතීන් නිසි අයුරින් ලබා දී, ඔහුගේ මෙන්ම ඔහුගේ පවුලේ උදවියගේ අඩුපාඩු හා අවශ්‍යතා සොයා බලා ඔහු වෙනුවෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර සිටියහ.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරනන ලදී.
එක් අවස්ථාවක “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මේ ඔබේ සේවකයා. ඔහු වෙනුවෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරනු මැනව” යැයි මගේ මව පැවසු විට, “අහෝ දෙවිඳුනි! ඔහුට ඔහුගේ ධනය හා ඔහුගේ දරු සම්පත වැඩි කරනු මැනව! ඔබ ඔහුට දුන් දෑහි අභීවෘද්ධිය ඇති කරනු මැනව.” යැයි එතුමාණෝ ප්‍රාර්ථනා කළහ."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉතාමත් නිර්භීත කෙනෙක් වුව ද තම නිර්භිතකම සත්‍යය සඳහා පමණක් මිස වෙනත් කිසිවකට එය උපයෝගි කළේ නැත. තම ආරක්ෂාව යටතේ සිටින තම පවුලට හෝ සේවකයින්ට හෝ කිසි විටෙක දඬුවම් කළේ නැත.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අල්ලාහ් වෙනුවෙන් දියත් කරන ලද සටනක හැර වෙනත් කිසිදු අවස්ථාවක කිසිවෙකුට තම අතින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පහර දුන්නේ නැත. බිරියන්ට හෝ සේවකයින්ට හෝ පහර දුන්නේ නැත."
මෙන්න, මුඃමින්වරුන්ගේ මෑණිය (රළියල්ලාහු අන්හා) ශ්‍රේෂ්ඨ සදාචාරයට හා උතුම් මිනිසත්කමට සාක්ෂි පුනරුච්චාරණය කරයි. එතුමාණන්ගේ යහපත් හැසිරීම සහ එතුමාණන් ආශ්‍රයේ උදාරත්වය ගැන දේවත්වය ප්‍රතික්ෂේප කළ කුරයිෂ් වංශය පවා සාක්ෂි දෙන තරමට එතුමාණන් ගැන කතා කෙරිණි.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියි.
"උත්තරීතර අල්ලාහ් තහනම් කළ දැයින් යමක් කිසිවකු සිදු නොකරන තාක් කල්, සිදු කරනු ලබන කිසිදු අපරාධයකට අල්ලාහ්ගේ දූතයාණන් උදව් කරනු මම දැක නැත. උත්තරීතර අල්ලාහ් තහනම් කළ දැයින් යමක් කිසිවකු සිදු කළේ නම් ඒ සම්බන්ධයෙන් අන් අයට වඩා එතුමාණන් කෝපයට පත්වුහ. යම් කරුණක පාපයක් සිදු නොවන විකල්ප දෙකක් තිබුණේ නම් පහසු දේ තෝරා ගත්හ."
එපමණක් නොව එතුමාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මහත් කරුණාවෙන් හා ඉවසීමෙන් යුත් කෙනෙකි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ වදාළහ.
“සැබැවින්ම අල්ලාහ් කරුණාන්විතය. සියලුම කටයුතුවලදී ඔහු කරුණාව ප්‍රිය කරයි."
ත්‍යාග හා ආගන්තුක සත්කාර
මිනිස් ජීවිතයේ චිත්තවේගීය අවශ්‍යතා හා මානසික ආක්‍රමණ පවතී. ඒවා සැමවිටම සමාජ, හා පවුල් ජිවිතයේ මෙන්ම නිවසෙහි මතු වන අවශ්‍යතාය. මේවා අතර, මිනිස් සිත් එකමුතු කිරීමට සහ සිත් දිනා ගැනීමට ඉතා සමීපතම මාර්ගය ත්‍යාග හුවමාරුවයි.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියි.
“සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ත්‍යාග පිළිගත් අතර ඒ සඳහා ප්‍රතිඋපකාර ද කළහ."
මෙසේ තෑගි පිරිනැමීම සහ කෘතවේදී වීම සිත් තුළ පවතින ත්‍යාගශීලීත්වය සහ හදවත්හි පවතින පිවිතුරුකම පෙන්නුම් කරයි.
ත්යාශීලී ගුණාංග වක්තෘවරුන්ගේ සදාචාරාත්මක ගුණාංග අතරින් සහ දූතවරුන්ගේ පිළිවෙත් අතරින් වූවකි. මෙම විෂයයෙහි මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්හට විශාල දායකත්වයක් හා මහත් වටිනාකමක් විය.
මෙසේ පවසන්නා එසේ නොවනු ඇත් ද?:
“කවරෙකු අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන්නේද, ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා. ආගන්තුක සත්කාරය එය ත්‍යාගයක් වශයෙන් දහවලක් හා රාත්‍රියක් (ලෙස පූර්ණ දිනක්) වේ. ආගන්තුක සත්කාරය (ලෙස සැලකෙන්නේ) දින තුනකි. එයට අමතරව වැඩි සැලකිලි දැක්වීම (සදකා නොහොත්) පුණ්‍ය කර්මයකි. සත්කාර කරන්නාට අපහසුතාව ඇති වන අයුරින් ඔහු ළඟ රැඳී සිටීම ආගන්තුකයාට සුදුසු වන්නේ නැත.”
අල්ලාහ් මත දිවුරා පවසමි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ උදාර ගුණාංග හා ඉමහත් සදාචාරයන් නැගෙනහිර හෝ බටහිර රටවල් අතර දකින්නට නොවීය. හිජාසයේ හෝ අර්ධත්වීපයේ හෝ දකින්නට නොවීය. සිත් ඇඳ ගත් ජනප්‍රිය ජනයා අතර ද නොවීය.
අහෝ පාඨක ඔබට එතුමාණන්ගේ ගුණාංග දැක ගත හැකි වන්නේ එතුමාණන් තුළ පමණි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ව මගේ මව මගේ පියා යන ස්ථානයේ තබා බලන්න.
සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී.
“දිනක් කාන්තාවක් තමා විසින් වියන ලද වස්ත්‍රයක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත රැගෙනවිත් මෙසේ පැවසුවාය:
‘ඔබ තුමාණන්ට පළඳිනු පිණිස මගේ අතින් ම වියන ලද වස්ත්‍රයක් රැගෙන ආවෙමි.‘ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තමන්ට එහි අවශ්‍යතාවක් ඇති බව පවසා එය රැගෙන ගොස් තම වේට්ටිය ලෙස පැළඳ අප වෙත පිටත්ව පැමිණියහ. එම අවස්ථාවේ මිනිසෙක් ‘එය ඉතා අලංකාරය. මට එය අදින්නට දෙනවාදැ?යි ඇසීය. ඔහුට ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මඳ වේලාවක් සභාවේ වාඩි වී පසුව සභාවෙන් නැගිට ගොස් එම රෙද්ද ඔතා ගෙනැවිත් එය ඉල්ලූ තැනැත්තාට පිරිනැමූහ. එම අවස්ථාවේ සභාවේ සිටි මිනිසුන් රසූල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට එම රෙද්ද අවශ්‍ය වූ බැවින් එතුමාණන් එය පැලඳ ගත්තේය. එතුමාණන් කෙනෙකුගේ ඉල්ලීම ඉවත නොදමන බව ඔබ දන්නෙහි ය. එසේ දැන දැනත් ඔබ එය ඉල්ලා සිටියෙහිය. එවිට එම තැනැත්තා: ‘අල්ලාහ් මත දිවුරා පවසමි. මම එම රෙද්ද ඉල්ලා සිටියේ අඳින්නට නොවේ. මගේ මරණයෙන් පසු මගේ මළ සිරුර ආවරණය කරන කෆන් රෙද්ද ලෙස උපයෝගි කරගනු පිණිසය.’ යැයි පිළිතුරු දුන්නේය. අවසානයේ එම තැනැත්තාගේ මරණයෙන් පසු කෆන් රෙද්ද ලෙස එය උපයෝගි කරනු ලැබූ බව සහ්ල් තුමා පවසා සිටියේය.
අල්ලාහ් විසින් තෝරා ගත්; ඔහුගේ අධීක්ෂණය යටතේ වැඩුණු; ඔහුව ආදර්ශයක් බවට පත් කෙරුණු, සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ යහපත් සදාචාරය පුදුමයක් නොවේ.
දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ත්‍යාගශීලිත්වය හා පරිත්‍යාගශීලීත්වය ගැන පැවසෙන වඩාත් අපූරු උදාහරණයක් මෙසේ සඳහන් වෙයි.
හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“මට උපකාරයක් කරන මෙන් මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්) ඉල්ලා සිටියෙමි. එතුමාණෝ මට උපකාර කළහ. මම නැවත වරක් (උපකාර) ඉල්ලුවෙමි. එවිට ද එතුමාණන් මට උපකාර කළහ. මම තවත් වරක් (උපකාර) පැතුවෙමි. එතුමාණන් එවිටත් මට උපකාර කර මෙසේ පැවසුහ.
‘හකීම්! සැබැවින්ම මේ ධනය ප්‍රිය උපදවන මිහිරි ජනකය. මෙය තෘප්තියෙන් යුතුව ලබා ගන්නා කෙනෙකුට මෙහි වර්ධනය තිබේ. එහෙත් නාස්තිකාර ලෙසින් (තණ්හාවෙන්) මෙය ලබා ගන්නා කෙනෙකුට එහි සමෘද්ධියක් නොලැබෙනු ඇත. ඔහු ආහාර අනුභව කළද කුස නොපිරුණු අයකු මෙනි. ඉහළින් තිබෙන (දන් දෙන) අත, පහළින් තිබෙන (ඉල්ලීම් කරන) අතට වඩා උතුම් ය.”
කවියකු මෙසේ සහතික කර කියයි.
ඉහළම අධිෂ්ඨානයෙන් වූ පූර්ණ දහමක් ඔහුට හිමිව ඇත.
එය තත්පරයක් පාසා මනින්නට තරම් වැඩී ඉහළ නැගී ඇත.
එය මිහිකත ආලෝකවත් කළ විට, එය මිහිකත අලංකාර කළේය.
එමගින් ඔහු උසස් බව ලබා, බලවත් කෙනෙකු විය.
සියලුම දඩයම් කාන්තාර කුහරය තුළ මම සොයාගත්තෙමි
සියලු මිනිසුන් මනුෂ්‍යයෙකු තුළ මම සොයා ගත්තෙමි.
ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි.
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඕනෑම දෙයක් ඉල්ලුවේ නම් එතුමාණන් ‘නැත’ යනුවෙන් කිසිවිටෙක පැවසුවේ නැත."
මෙසේ ත්‍යාගශීලී බව හා පරිත්‍යාගශීලී බව තිබියදීත් පරිශ්රමය, කැපවීම, යහපත් මනස, යහපත් සහජීවනය සහ අවංක ආදරය යන ගුණාංගවලින් එතුමාගේ ත්‍යාගශීලීත්වය අසමසම විය.
එතුමාගේ හදවතට වඩාත් ප්‍රියමනාප මිතුරා තමන් බව මිතුරන් සිතන තරමටම එතුමා සමග වාඩි වන සෑම කෙනෙකු සමගම සිනහමුසු මුහුණින් කටයුතු කිරීම එතුමාගේ සිරිතක් විය.
ජරීර් ඉබ්නු අබ්දිල්ලා (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී.
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කිසි දිනක මා දුරස් කර තැබුවේ නැත. මම ඉස්ලාමය පිළිගත් දින පටන්, සිනාමුසු මුහුණින් හැර එතුමාණන් ව මා දැක නැත."
මේ සම්බන්ධව, ප්‍රමාණවත් සාක්ෂිකරුවන්ගේ විස්තර හා ආදර්ශයන් ඇත.
අබ්දුල්ලාහ් ඉබ්නු අල් හාරිස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“අල්ලාහ්ගේ දූතයාණන්ට (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වඩා අධිකව සිනහමුසු මුහුණින් සිටින කිසිවකු මා දැක නැත."
හිතවත! සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා මෙසේ පවසා තිබියදී පුදුමයට පත්වන්නේ ඇයි?
“ඔබගේ සහෝදරයා සිනාමුසු මුහුණින් පිළිගැනීම සදකා නොහොත් පුණ්‍යකර්මයකි.”
රසූල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංග පිළිබඳ එතුමාණන්ගේ සේවක අනස් (රළියල්ලාහු අන්හු) වර්ණනා කර පවසන වදනට අපි මොහොතකට සවන් දෙමු. 'මිනිසුන් අතර මෙවැනි ගති පැවතුම් කිහිපයක් සහිත කෙනෙක් හෝ මේ සියලු ගති පැවතුම් තිබෙන මිනිසෙක් හෝ දැක ගැනීම දුර්ලභ ය.
මිනිසුන් අතරින් නබි (සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්) තුමාණන් ඉතාමත් කාරුණික කෙනෙක් ව සිටියහ. කවරෙකු හෝ එතුමාට කතා කළේ නම් ඔහු වෙත අවධානය යොමු කළහ. ඒ තැනැත්තා වෙනත් අතකට හැරෙන තුරු, නබි(සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්) තුමාණන් මුහුණ වෙනතකට හරවන්නේ නැත. කවරෙකු හෝ එතුමාණන්ගේ අතින් අල්ලා ගත්තේ නම්, එතුමාණන් ද එලෙසම අතින් අල්ලා ගත්හ. පැමිණි තැනැත්තා පසුව තම අත ඉවත් කර ගන්නා තුරු නබි (සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්) තුමාණන් තම අත ඉවත් කර ගන්නේ නැත.
තම ආගන්තුකයන්ට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ආදරයෙන් ගෞරවය දැක්වුවා පමණක් නොව තම සමාජයට ද එලෙසම කරුණාව දැක්වුහ. මේ හේතුවෙන් කිසිදු අයහපතක් අනුමත නොකර, ඒවා සියල්ල තහනම් කිරීමට හැකි විය.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහ් අන්හුමා) විසින් වාර්තා කරන ලදී.
සහාබිවරයකුගේ අතේ පැලඳ සිටි රන් මුද්දක් දැක, එය ගලවා වීසි කළ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්, “ඔබ අතර කෙනෙක් තම අතේ ඇවිළෙන ගිනි අඟුරක් තබා ගන්නට කැමතිවේ දැ?” යි ප්‍රශ්න කළහ.
කුඩා දරුවන්ට කාරුණික වීම
දැඩි හදවතක් ඇති තැනැත්තන් කරුණාව පිළිබඳ නොදනී. ඔවුන්ගේ සිත් තුළ දයාවට ඉඩක් නැත. ඔවුන් ගනු දෙනු කිරීමේ දී අකාරුණිකව කටයුතු කරන අතර, ඔවුන්ගේ සිත් මුඩු ගල් මෙනි. මානුෂීය දයාව දැක්වීමේදී මසුරුකමින් ක්‍රියා කරති. කවරෙකුට දයාවෙන් ආදරයෙන් හා කරුණාවෙන් පිරුණු සිතක් අල්ලාහ් පිරිනැමුවේද ඔහු භාග්‍ය වන්ත කෙනෙකි. අල්ලාහ් ආශීර්වාදයෙන් ඔහුව ආවරණය කර ඇත. දයාව ඔහුට පිරිනමා ඇත.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පුත්‍රයා වන ඉබ්රාහිම් ව වඩා සිපගෙන ඉඹ ගත්හ."
මෙම ආදරය තම පවුලේ අය වෙත පමණක් විශේෂ වූවක් නොව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මුස්ලිම් සමාජයේ සියලු දරුවන් කෙරෙහි ම දැක්වුහ.
ජඃෆර් (රළියල්ලාහු අන්හු) තුමාගේ බිරිඳ අස්මා බින්ති උමයිස් (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වයි.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අප වෙත පැමිණ. ජඃෆර්ගේ දරුවන් කැඳවා ඔවුන් සිප ගත්හ. එවිට එතුමාණන්ගේ දෑසින් කඳුළු වැගිරෙන්නට විය. “අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ තුමාණන්ට ජඃෆර් (රළියල්ලාහු අන්හු) තුමා පිළිබඳ තොරතුරුක් ලැබුණා දැ?” යි විමසුවෙමි. එවිට එතුමාණෝ, “ඔව්. ඔහු අද ඝාතනයට ලක්විය.” යනුවෙන් පැවසුහ. (ඒ බව ඇසු) අපි හඬන්නට ගත්තෙමු. පසු ව එතුමාණන් තම නිවසට ගොස්, “ජඃෆර් (රළියල්ලාහු අන්හු) ගේ නිවසට ආහාර පිළියෙල කරන්න. ඔවුනට නොසන්සුන් කාර්යබහුල තත්ත්වයක් පැමිණ ඇත.”
ඔවුන්ගේ මරණය වෙනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) තුමාණන් කඳුළු සලනු දුටු සඃද් ඉබ්නු උබාදා (රළියල්ලාහු අන්හු) තුමා: “අල්ලාහ්ගේ දූතයාණනි! මේ කුමක් දැ?” යි විමසුවේය.
එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ම්) තුමාණන් මෙසේ වදාළහ.
“මෙය අල්ලාහ් තම බැතිමතුන්ගේ සිත් තුළ පහළ කළ කරුණාවයි. සැබැවින්ම කරුණාභරිත ඔහුගේ ගැත්තන් හට අල්ලාහ් කරුණාව පෙන්වනු ඇත.”
තම පුත් ඉබ්රාහීම්ගේ මරණය වෙනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ දෑසින් කඳුළු හැළුණු අවස්ථාවේ අබ්දුර් රහ්මාන් ඉබ්නු අව්ෆ් (රළියල්ලාහු අන්හු) තුමා එතුමාණන්ගෙන් මෙසේ විමසීය.
“ඔබත් (කඳුළු සලනවා) ද අල්ලාහ්ගේ දූතයාණනි?” යැයි විමසුවේය. එවිට “ඉබ්නු අව්ෆ්! මෙය කරුණාවය.” යනුවෙන් පවසා නැවත වතාවක් කඳුළු සළන්නට විය. හෙතෙම මෙසේ පැවසීය. “දෑස් කඳළු සළයි. සිත් වේදනාවට පත් වෙයි. අපගේ පරමාධිපතියාණන් හට ප්‍රියමනාම දෑ මිස වෙනත් කිසිවක් අපි නොපවසමු. අහෝ ඉබ්රාහීම්! ඇත්ත වශයෙන් ඔබේ වෙන්වීම නිසාවෙන් අපි ශෝකයට පත්ව ඇත්තෙමු.”
දූතයාණන්ගේ මේ උතුම් ගුණාංග, ඒවා පිළිපැදීමටත් ඒ පියවර මත ගමන් කිරීමටත් අප ඇරයුම් කරයි.
කුඩා දරුවන්ගේ ආදරය පිළිබඳ සංවේදී නොවන, ඔවුන්ට හිමි ස්ථානය ඔවුනට ලබා නොදෙන වර්තමාන සමාජයේ අපි අද ජිවත් වෙමු. මේ තරුණ සමාජය හෙට දින අනාගත දෙමාපියන් ය, සමාජයේ අනාගත නායකයින් ය, අනාගත ආලෝකය ය. අප හදවතේ යතුරු වසා දමා, දරුවන් හා තරුණයින් අහිමිකර ගන්නා තරමට නොදැනුවත්කම, උඩඟුකම, පටු චින්තනය සහ අදූරදර්ශී බව අප වෙත ළඟා වී ඇත.
එහෙත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අතෙහි සහ දිවෙහි එම යතුරු තිබුණි.
මෙහිදී එතුමාණෝ කුඩා දරුවන්ට කරුණාව දැක්වුහ. ඔවුන් අගය කළහ. එතුමාණෝ තරුණයින් උසස් තත්ත්වයකට පත් කළහ.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා කුඩා දරුවන් අසළින් යන විට, ඔවුන්ට සලාම් පවසා මෙසේ පවසා සිටියේය.
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පවා මෙලෙස කටයුතු කර ඇත්තාහ.”
කුඩා දරුවන් ඇසුරු කිරීමේ දී ඔවුන්ගෙන් කරදර, දුෂ්කරතා සහ අධික දඟකාරකම ස්වාභාවික ව දකින දෙයකි. එහෙත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් සමඟ කෝප නොවු අතර, ඔවුන් පලවා හැරීම හෝ දඬුවම් දීම හෝ නොකළහ. ඒ වෙනුවට කරුණාවෙන්, ඉවසීමෙන් හා තැන්පත් බවින් ඔවුන් සමඟ ක්‍රියා කළහ.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙතට කුඩා දරුවන් ගෙනෙනු ලබයි. එවිට එතුමාණෝ ඔවුන් සඳහා ප්‍රාර්ථනා කළහ. දිනක් කුඩා දරුවෙක් එතුමාණන්ගේ වස්ත්‍රයේ මූත්‍රා කළේය. පසුව ජලය ගෙන්වා, එම ස්ථානය මත ඉසුහ. එය (සම්පූර්ණයෙන්) සේදුවේ නැත."
පාඨක ඔබ! ඔබ ගැන අවධානය යොමු කරන්න. දේව දූතයාණන්ගේ නිවසේ හිඳ, එලෙස ඔබත් ඔබේ දරුවන් හුරතල් කිරීමටත් ඔබේ දරුවන් සමග විහිළු තහළු කිරීමටත් ඔවුන්ගේ සිනහවට සවන් දීමටත් ඔවුන් සමග ලස්සන වදනින් කතා කිරීමටත් වගබලා ගන්න. අප ප්‍රජාවේ නබිවරයාණන් මාගේ පියා හා මාගේ මවගේ ස්ථානයේ හිද මේ සියල්ල සිදු කර ඇත්තේය.
අබූ හුරයිරා (රළිල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තම දිව අල්-හසන් ඉබ්න් අලි වෙත දිගු කරන අතර, එතුමාගේ දිවේ රතු පැහැය දකින දරුවා, සිනහවෙයි."
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“උම්මු සල්මා (රළියල්ලාහු අන්හා) තුමියගේ දියණිය වන zසෙයිනබ් (රළියල්ලාහු අන්හා) තුමියට ‘zසුවයිනබ්! zසුවයිනබ්!’ යනුවෙන් නැවත නැවතත් පවසා විහිළු කර හුරතල් කළහ."
එතුමාණන් දරුවන්ට දැක්වූ ආදරය සහ සැලකිල්ලට සීමාවක් නොමැත. නැමදුම් කරන අවස්ථාවන්හි පවා එතුමා දරුවන් කෙරෙහි විශේෂ ආදරය දැක්වුහ.
අබුල් ආස් ඉබ්නු අර්-රබීඃ සතු කරගත් අල්ලාහ්ගේ දූතයාණන්ගේ දියණිය වන zසෙයිනබ් (රළියල්ලාහු අන්හා) තුමියගේ දියණිය වූ උමාමා (රළියල්ලාහු අන්හා) ව වඩා ගෙන එතුමාණෝ සලාහ් ඉටු කළහ. එතුමා සිටගත් ඉරියව්වේ දරුවා වඩා ගත් අතර සුජූද් කරන විට ඇයව බිම තැබුහ."
මහ්මූද් බින් අර්-රබීඃ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී.
“මම අවුරුදු පහේ දරුවෙකු ව සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අප නිවසේ තිබූ ළිඳක පනිට්ටුවකින් ජලය කටට ගෙන මගේ මුහුණට විද සිටි සිද්ධිය මට සිහි වේ."
අලෙයිහිස් සලාතු වස්සලාම් තුමාණන් වැඩිහිටියන් මෙන්ම කුඩා අයටත් යහ දේ ඉගැන් වු බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී.
දිනක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පසුපසින් වාඩි වී ගමනක් යමින් සිටියෙමි. එවිට එතුමාණෝ මෙසේ පැවසුහ.
“දරුව! මම ඔබට වදන් කිහිපයක් උගන්වමි. අල්ලාහ් ගැන ප්‍රවේසමින් කටයුතු කරන්න. ඔහු ඔබව ප්‍රවේසම් කරයි. අල්ලාහ් ගැන ප්‍රවේසමින් කටයුතු කරන්න. ඔබ ඉදිරියේ ඔබ ඔහු දැකගන්නෙහිය. යමක් ඉල්ලන්නේ නම් අල්ලාහ්ගෙන්ම ඉල්ලන්න. උදව් පතන්නේ නම් ඔහුගෙන්ම පමණක් උදව් පතන්න.”
එතුමාණන්ගේ උතුම් ගුණාංග කිහිපයක් සහ සුවඳවත් චරිතාපදානය සමඟ අප ජීවත් වූ පසු, අපි එයින් හදවත් ප්‍රබෝධමත් කර, ඒ පිටුපස ජීවන ගමනේ මාවත සොයා ගනිමු.
අපගේ නිවෙස්වල කුඩා දරුවන් පිඹිදෙති. ඒ දරුවන් දෙමාපියන්ගේ ආදරය හා සෙනෙහස සොයමින් සිටින අතර, ඔවුන්ගේ කුඩා සිත් තුළ සතුට ගෙන දෙන තෙක් බලා පොරොත්තුවෙන් සිටිති. එම අවශ්‍යතාව අප විසින් ඉටු කළ හැකි නම්, අල්ලාහ්ගේ ආශීර්වාදය සහිත ව, දෙමාපියන්ගේ ආදරය සහ මඟ පෙන්වීමෙන් සමාජයට නායකත්වය දෙන යහපත් පුද්ගලයින් බවට ඔවුන් පත් වනු ඇත.
ආදරය, කරුණාව සහ ඉවසීම
ප්රචණ්ඩත්වය සහ අන් අයගේ අයිතිවාසිකම් බලෙන් උදුරා ගැනීම පීඩකයන්ගේ හා අපරාධකරුවන්ගේ ලක්ෂණකි. සමාජයේ සෑම කෙනෙකුගේම මූලික අයිතිවාසිකම් ඔවුන්ට ලබා දෙනු පිණිස ඔවුන්ට උපකාර කර, යුුුුුක්තිය පිහිටුවාලීම සඳහා අපගේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සටන් කළහ.
අල්ලාහ් විසින් අණ කරන ලද යහ දේ අණ කිරීම සහ අයහපත් දේ වැළකීම යන ප්‍රතිපත්ති මත එතුමාණන් සමාජයේ යහ කටයුතු සියල්ල ඉටු කර පෙන්වුහ. එබැවින් එතුමාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)ගේ නිවසේ අසාධාරණය, ප්රචණ්ඩත්වය, අපරාධ හා කොල්ලය වැනි කිසිවක් දක්නට නොවීය.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී:
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්) අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන අවස්ථාවක හැර අන් කිසිවිටෙක, කාන්තාවකට හෝ සේවකයකුට හෝ අතින් පහර දී නැත. එතුමාණන් තම සහගාමී කිසිවෙකුට, ඔහුගෙන් තමාට සිදු වූ කිසිදු වරදකට සම ප්‍රතිචාර දැක්වූයේ නැත. එහෙත් අල්ලාහ්ගේ ආඥාව කඩ කරනු දුටු අවස්ථාවෙහි එතුමාණන් අල්ලාහ් වෙනුවෙන් සමප්‍රතිචාර දැක්වූහ.”
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"දිනක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සමඟ මම ඇවිද ගියෙමි. එම අවස්ථාවේ එතුමාණන් නජ්රාන් පළාතේ සාදන ලද ඝන සළුවකින් පොරවා ගෙන සිටියහ. හිටිහැටියේ ගම්බද අරාබිවරයෙක් එතුමා පොරවා සිටි සළුව වේගයෙන් ඇද්දේය. එසේ දැඩි ලෙස ඇඳීමෙන් එම සළුවේ ඝනකම නිසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ උරහිසෙහි සළකුණක් මතු වී තිබෙනු මම දුටුවෙමි. පසුව ඔහු: “අහෝ මුහම්මද්! ඔබ වෙත තිබෙන අල්ලාහ්ගේ ධනයෙන් මටත් දෙන ලෙස අණ කරනු.” යැයි කීවේය. පසුව එතුමාණන්, ඔහු දෙස හැරී බලා, සිනහ සී, ඔහුට කොටසක් දෙන මෙන් අණ කර සිටියහ."
හුනෙයින් සටන අවසන් වී අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ආපසු හැරී එන විට, එතුමාණන් ඔටු පිට සිටියදී ගම්බද අරාබිවරු එතුමාණන් ලුහුබැඳ ගොස් එතුමාණන්ගේ සළුවෙන් ඇද ගසක් වෙත ගෙන ගොස් සටනින් ලැබු භාණ්ඩවලින් තමන්ටත් කොටසක් දෙන මෙන් ඉල්ලා සිටියෝය. එවිට එතුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.:
“මගේ සළුව මට නැවත දෙන්න. මා තුළ මසුරුකම තිබෙනු ඇතැයි ඔබලා බිය වන්නෙහු ද?” යැයි විමසා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළහ, "මට මේ ගස් ගණනට සමාන ඔටුවන් සිටියේ නම්, මම ඔවුන් සියල්ලන්ම ඔබලා අතර බෙදා හරින්නෙමි, පසුව ඔබලා මා ලෝභයෙකු හෝ බොරුකාරයෙකු හෝ බියගුල්ලෙකු ලෙස සොයා නොගනු ඇත."
අධ්‍යාපනයේ අලංකාරය සහ පුහුණු ක්‍රම අතරින් වඩාත් පිවිතුරු කරුණ වනුයේ, සියලුම කටයුතුවල දී මෘදුබව අනුගමනය කිරීම, ධර්මිෂ්ඨ දෑ හඳුනා ගැනීම හා අධර්මිෂ්ඨ දෑ වළක්වාලීමය.
තමන් අතර වැරදි කරන්නන් කවුරුන්ද, සත්‍යය දැයින් බැහැර වන්නේ කවුරුන්ද, පාපය කරා ගමන් කරන්නේ කවුරන්ද යන විස්තර සහාබාවරු දැන සිටියහ. මේ නිසා ඔවුන් කෝපයට පත් වු නමුත් ආදරණීය මෙන්ම කාරුණික නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මේ අය පිළිබඳ ව ද කරුණාවෙන් කටයුතු කළහ. ඇතැම් මුස්ලිම්වරු වැරදි සිදු කරන්නේ අනවබෝධය නිසා විය හැකි අතර එයින් අයහපතක් සිදු විය හැක යැයි, වටහා දී කෝපයට පත් වන ජනතාව සන්සුන් කළහ.
අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“ගම්බද අරාබි මිනිසෙක් මස්ජිදය තුළ මූත්‍රා කරනු දුටු ජනයා ඔහුව වළක්වන්නට තැත් කළෝය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසුහ.
"නුඹලා ඔහු අත් හරින්න, ජලය ස්වල්පක් හෝ ජල බඳුනක් හෝ ගෙනැවිත් එම මූත්‍රා මත වක්කරන්න. සැබැවින්ම නුඹලා එවනු ලැබුවේ පහසු කරන්නන් ලෙසිනි. අපහසුතාවයට පත් කරන්නන් ලෙසින් එවනු ලැබුවේ නැත.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පුද්ගලික විජයග්රහණයක් බලා පොරොත්තු නොවු අතර, ජනයා සියලු දෙනාම අල්ලාහ්ගේ ඇරයුමට පිළිතුරු දෙමින් තමා පෙන් වූ මාර්ගයේ ගමන් කළ යුතු බවද, තමා ව අනුගමනය කළ යුතු බවද බලාපොරොත්තු වෙන් ඉවසීමෙන් සිටියහ.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට මෙසේ පවසා සිටි බව එතුමිය විසින් වාර්තා කරන ලදී.
"උහද් දිනයට වඩා අසීරු වෙනත් දිනයක් ඔබට අත්ව තිබේ ද?" එතුමා: මෙසේ පැවසීය.
“ඔබේ ජනතාවගෙන් මට මුහුණ දෙන්නට සිදුවුණි. ඔවුන්ගෙන් දරුණු වේදනාවට මුහුණ දෙන්නට සිදු වුයේ තායිෆ් නුවර දී අකබා දිනයේදී ය. මාගේ ඇරයුම පිළිගන්නා ලෙස ඉබ්නු අබ්දු යාලීල් බින් අබ්දු කුලාල් ගෝත්‍රයට පැවසුවෙමි. මම බලාපොරොත්තු වූ අයුරින් ඔවුන් මට පිළිතුරු නුදුන්නෝය. පසුව මහත් දුකට පත් ව මම හැරී ආවෙමි. කර්න් අස් සආලිබ් නම් ස්ථානයට පැමිණෙන තුරු මම මහත් අසාධ්‍ය තත්ත්වයේ සිටියෙමි. (එහි දී) හිස ඔසවා බැලුවෙමි. වලාකුළු මට සෙවණැල්ල සපයනු දුටුවෙමි. එම වලාකුළු මත ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමා ද සිටීය. ජිබිරීල් (අලෙයිහිස් සලාම්) මා අමතා, “ඔබගේ සමාජය ඔබට පැවසු සියලු දේට සහ ඔවුන් දුන් පිළිතුරුට අල්ලාහ් සවන් දුන්නේය. එහෙයින් ඔබ කැමති ආකාරයට ඔවුන්ට දඬුවම් කරනු පිණිස කඳු භාර මලක් වරයා ඔබ වෙත එවා ඇත.” යැය කීය. කඳු භාර මලක් වරයා මට සලාම් පවසා, “යා මුහම්මද්! සැබැවින්ම ඔබගේ සමාජය ඔබට පැවසු දේට අල්ලාහ් සවන් දුනනේය. මම කඳු භාර ව සිටින මලක් වරයා වෙමි. ඔබේ කැමැත්ත මට අණ කරන ලෙස අල්ලාහ් ඔබ වෙත මා එවා ඇත. ඔබ කැමති නම් (මේ) කඳු යාය ඔවුන් මත පෙරළා දමමි.” යැයි කීය.
එවිට නබි (සල්ලල්හු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ:
"ඒ වෙනුවට, අල්ලාහ්ට පමණක් නමස්කාර කරන සහ ඔහුට කිසිවක් ආදේශ නොකරන පිරිසක් ඔවුන්ගේ කොඳුඇට පෙලෙන් අල්ලාහ් මතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි."
වර්තමානයේ ඇතැම් දාඉවරු (ධර්ම ප්රචාරකයින්), දඃවා සම්බන්ධ ව ඉක්මන් වන බව අපි දකිමු. ඔවුන් ඉක්මණින් ප්‍රතිඵල නෙලා ගැනීමට බලාපොරොත්තු වෙති. මෙවැනි දාඉවරුන්ට ලැබෙන ජයග්‍රහණය දඃවා ක්‍රියාවට සහ එහි අවංකභාවයට අපහාසයකි.
මේ නිසාවෙන්, ඇතැම් ප්රචාරක කටයුතු එහි සාමාජිකයන් අතර මෙම කරුණ පැතිරවීමට අසමත් වී ඇත. ඉවසීම හා විඳ දරා ගැනීම කොතැන ද?
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්හු අලෙයිහි වසල්ලම්) අභිලාෂය ඉටු වුයේ දිගු වසර කිහිපයකට පසුව, අසීමිත ඉවසිමෙන් හා පරිත්‍යාගයන් කර විවිධ ජනයාගේ සතුරුකම් හා යුද බිමේ සටන් වලට මුහුණු දීමෙන් අනතුරුවය.
බිම නැමී වක ගසන්නා යහපත් වන්නේ කෙසේද?
එමෙන්ම සෑම අලවියකම අඩුපාඩු ඇත.
තවද සෑම ගෞරවනීය පුද්ගලයෙකු අතරම නිහතමානී අයකු ඇත.
තවද ගම් දෙක අතර සිටින සෑම ප්‍රධානීන් අතරම නින්දිතයෙකු ඇත.
ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
එය හරියට මා අල්ලාහ්ගේ දූතයා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් දෙස බලා සිටින්නාක් මෙන් විය. නබිවරුන් අතරින් එක් නබිවරයකු ගැන විස්තර කරමින්, ඔහුගේ මුහුණේ ලේ පිසදමද්දී ඔහුගේ ජනතාව ඔහුට පහර දී ලේ වැගිර වූ අතර ඔහු මෙසේ පැවසීය.
“අහෝ දෙවිඳුනි! මගේ ජනතාවට සමාව දෙනු මැනව! සැබැවින්ම ඔවුන් කිසිවක් නො දනිති."
දිනක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සහාබාවරුන් සමඟ ජනාසා ගමනක සහභාගිව සිටි අවස්ථාවක එතුමාණන් විසින් ණය පියවීමට තිබූ zසෙයිද් ඉබ්නු සඃනා නමැති යුදෙව් ජාතිකයා පැමිණ එතුමාගේ කමිසය හා සළුව ඇද දරුණු බැල්මකින් එතුමා දෙස බලා: “අහෝ මුහම්මද්! මගේ අයිතිය (ණය) ඔබ මට පියවන්නේ නැද්දැ?.”යි උස් හඬින් කෑ ගැසුවේය.
එවිට උමර් (රළියල්ලාහු අන්හු) තුමා කෝපයට පත්ව; ග්‍රහ තාරකා කැරකෙන්නාක් මෙන් එතුමාගේ ඇස් දෙක කරකවමින් සෙයිද් වෙත බලා මෙසේ පැවසීය. “අහෝ අල්ලාහ්ගේ සතුර! අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හට මා සවන් දෙන වදන නුඹ පවසනවා ද! මා දකින දේ නුඹ ඉටු කරනවාද? සත්‍යය සමග එතුමාණන් එවූ දෙවිඳුන් මත දිවුරා පවසමි. මෙතුමාගේ දොස් නැගීම ගැන මා ප්‍රවේශමෙන් නොවන්නේ නම් මගේ අසිපතෙන් නුඹේ හිස ගසා දමමි.” යැයි පැවසීය.
එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් උමර් දෙස නිහඬව හා කරුණාවන්තව බලා මෙසේ පැවසුුහ.
“උමර්! මෙය නොව, මට හා ඔහුට මීට වඩා වෙනත් දෙයක් (ඔබ පවසන්නට) අවැසිව තිබුණ. එනම් මෙම ණය මුදල් යහපත් අයුරින් ආපසු ගෙවා දමන ලෙස මට උපදෙස් දී, යහපත් ලෙස හැසිරීමට ඔහුට අණ කරන්නට තිබුණි. අහෝ උමර්! ඔබ ඔහු සමඟ ගොස් ඔහුගේ අයිතිය ලබා දී, එයට අමතර ව ඉඳි සේරු විස්සක් ඔහුට ලබා දෙන්න.”
එසේ උමර් (රළියල්ල්හු අන්හු) තුමා අමතර ඉඳි සේරු විස්සක් දානය කළ විට, යුදෙව් ජාතික zසෙයිද්: “අහෝ උමර්! මේ අමතර ප්‍රමාණය කුමක් සඳහා දැ?” යි විමසුවේය.
උමර් (රළියල්ලාහු අන්හු) තුමා:
“ඔබට වූ අගතිය වෙනුවෙන් මෙම අමතර ප්‍රමාණය පිරිනමන ලෙස අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට අණ කළහ.” යැයි කීවේය.
zසයිද් : “අහෝ උමර්! මා කවුදැයි ඔබ හඳුනනවාදැ?”යි විමසුවේය.
එතුමා: “නැත. නුඹ කවරෙක් දැ?” යි ඇසුවේය.
එවිට ඔහු: “මමයි zසයිද් ඉබ්නු zසඃනා” යැයි පැවසුවේය.
එතුමා: “යුදෙව් පූජකයා දැ? ” යි විමසුවේය.
ඔහු: “ඔව්. මම යුදෙව් පූජකයා වෙමි” යැයි පිළිතුරු දුන්නේය.
එතුමා: “එසේ නම්, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ නුඹ මෙලෙස හැසිරීමටත් කතා කිරීමටත් නුඹව පෙළඹවුයේ කුමක් දැ? ” යි උමර් (රළියල්ලාහු අන්හු) විමසුවේය.
එයට zසයිද් මෙසේ පැවසුවේය.
‘අහෝ උමර්! අල්ලාහ්ගේ දූතයාණන්ගේ මුහුණ බැලූ අවස්ථාවේ කරුණු දෙකක් හැර එතුමාණන්ගේ මුහුණේ නබිත්වයේ සලකුණු මම හඳුනා ගෙන සිටියෙමි. මා මීට පෙර ඒවා නුදුටුවෙමි. එනම් අඥානකමට ඉහළින් එතුමාණන්ගේ ප්‍රඥාවට ක්‍රියා කරයි ද? නැතහොත් එතුමාගේ ප්‍රඥාවට ඉහළින් අඥානකම ක්‍රියා කරයි දැ? යි යන කරුණු දෙක ගැන මම පරීක්ෂා කර බැලුවෙමි. (ඒ සංඥා දෙකම අද දැක ගත්තෙමි.) එනිසා උමර්! අල්ලාහ් පරමාධිපති ලෙසද, ඉස්ලාමය දහම ලෙසද, මුහම්මද් (සල්ල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වක්තෘවරයාණන් ලෙස ද මම පිළිගතිමි. මේ බවට ඔබ ව මම සාක්ෂිකරුවෙක් ලෙස පත් කරමි. මගේ ධනයෙන් භාගයක් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රජාවට පරිත්‍යාග කරමි.” යැයි ප්‍රකාශ කළේය.
එවිට උමර් (රළියල්ලාහු අන්හු) තුමා: “ඔවුන්ගෙන් ඇතැමෙකුට යැයි පවසනු. හේතුව ඔබ ඔවුන් සියලු දෙනාට පිරිනැමිය නොහැක” යැයි පැවසුවේය.
zසෙයිද් ද එයට එකඟව “ඔවුන්ගෙන් ඇතැමෙකුට” යැයි පැවසුවේය.
පසුව යුදෙව් ජාතික zසෙයිද් තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත හැරි ගොස් “නැමදුමට සුදුසු අල්ලාහ් හැර අන් කිසිවෙක් නැත. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් වේ යැයි මම සාක්ෂි දරමි. එය විශ්වාස කරමි. එය මම සහතික කරමි.” යැයි zසෙයිද් සාක්ෂියේ ප්‍රකාශය කළේය.
මෙම සිද්ධිය, එහි අවසානය හා මෙම දිගු දෙබස පිළිබඳ ව මොහොතක් කල්පනා කර බලමු. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අනුගමනය කිරීම සම්බන්ධයෙන් වූ පාඩමක් මෙම සිද්ධිය තුළ අපට දැක ගන්නට පුළුවන. එමෙන්ම මිනිසුන් සමඟ ඉවසීමෙන් කටයුතු කිරීම. ආදරයෙන් හා ප්‍රඥාවෙන් යුතුව ඉස්ලාමය වෙත ඔවුන් ඇරයුම් කිරීම, ඔවුන් යහපත් ලෙස හැසුරුණු විට ඔවුන් ධෛර්යමත් කිරීම. ඔවුන්ගේ සිත්තුළ ශුභවාදී හැඟීමක් ඇති කිරීම යනාදිය ද ඇතුළත් වේ.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී:
“මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ මදීනා නුවරෙන් බැහැර වී මක්කාවට පැමිණ උම්රා ඉටු කළෙමි."
“අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ මව හා මගේ පියා ඔබට කැප කරමි. මගේ නැමදුම කෙටියෙන් ඉටු කළෙමි. එමෙන්ම සම්පූර්ණයෙන් ද ඉටු කළෙමි. උපවාසයෙන් මිදුණෙමි. එමෙන්ම උපවාසයේ රැක්කෙමි.” යනුවෙන් පැවසුවෙමි. එවිට එතුමාණෝ මෙසේ කීහ.
“අහෝ ආඉෂා! ඔබ යහපත සිදු කර ඇත්තෙහිය." යැයි පවසා සිටි අතර මා වෙත කිසිවිටෙක දොස් නැගුවේ නැත.
සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ආහාරය
සමාජයේ ධනවතුන්, නිලධාරීන් සහ අනිකුත් බලය හිමි අයගේ නිවෙස්හි උදය හා සවස - ඕනෑම වේලාවක මිල අධික, ආහාර පරිභොජනය කරන බව අපි දනිමු. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පාලනය යටතේ රටවල් කිහිපයක සිට, වහල් සේවකයින් බොහෝ දෙනෙක් මදීනා නුවරට ධාන්‍ය, රන්, රිදි සහ නොයෙක් සම්පත් ඔටුවන් මත පටවා ගෙන පැමිණෙති. එහෙත් එම රාජ්‍යයේ පාලකයාගේ ආහාර පාන කෙසේ තිබුණේ දැ යි බලන්න. එතුමා රාජ්‍ය නායකයකු ලෙස වාසය කළා ද? එයට වඩා උසස් අන්දමින් ජීවිතයක් ගෙවුවා ද? ප්‍රධානීන් හා ධනවතුන්ගේ ජීවිතය එතුමාණන් අනුගමනය කළාද? එසේ නැතහොත් පූර්ණවත් ජීවිතයක් ගෙව්වාද?
ඔබ පුදුමයට පත් විය යුතු නැත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ආහාරය එහි සරලභාවය හා එහි පැවතුණු අගහිඟම් ගැන සිතා බලන්න. අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ළඟ උදේ හෝ රාත්‍රී ආහාර වේලෙහි අඩුපාඩු සහිතව මිස රොටි හා මාංශ එකට නොවීය.
අල්-ළෆිෆ් යනු, ආහාරවල හිඟකම සහ අධික පරිභොජනය.
එහි තේරුම: ඉතා අසීරුවෙන් හා දුෂ්කරතාවෙන් මිස එතුමාණන් ගුස ගිනි නිවා ගත්තේ නැත. එසේ නැතහොත් එතුමා වෙත ආගන්තුකයින් පැමිණීම හේතුවෙන් එතුමාණන් කුස ගිනි නිවා ගත්තේ නැත. එවිට එතුමාණන් ඉවසීමෙන් හා ආත්ම තෘප්තියෙන් කුස ගිනි සංසිදුවා ගනියි.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අභාවයට පත් වන තුරු, එතුමාණන්ගේ පවුලේ අය, එක දිගට දින දෙකක් කුස පිරෙන්න තිරිඟු පිටියෙන් සකස් කළ රොටි ආහාරයට ගෙන නැත.”
තවත් වාර්තාවක මෙසේ සඳහන් වේ.
“මදීනා නුවරට පැමිණි දින පටන් එතුමාණන් අභාවයට පත් වන තුරු, එතුමාගේ පවුලේ සාමාජිකයන් දින තුනක් එක දිගට තිරිඟු පිටියෙන් සකස් කළ රොටි කුස පිරෙන්න ආහාරයට ගෙන නැත."
එතුමාණන් ආහාරයට කිසිවක් නොමැති ව සිටි අවස්ථා බොහෝය. කිසිදු ආහාරයක් නොමැති ව එතුමාණන් නිදා ගත් රාත්‍රි බොහෝය.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සහ එතුමාගේ පවුලේ උදවිය රාත්‍රියේ ආහාර කිසිවක් නොමැතිකම නිසා, එකදිගට රාත්‍රී බොහෝමයක කුසගින්නෙන් නිදාගෙන ඇත්තාහ. ඔවුන්ගේ රොටි බොහෝමයක් බාර්ලි රොටි විය.
මෙය ආහාර හිඟය හෝ අඩුපාඩු නිසා නොවේ. එතුමාණන්ගේ පාලනය සමයේ ආහාර භාණ්ඩ නගරය වෙත ගලාගෙන ආවේය. එහෙත් නබිවරයා ජීවත් වුයේ අල්ලාහ් විසින් තෝරා දුන් ඉතා සම්පූර්ණ හා සෘජු ජීවන ක්‍රමයට එකඟවය.
උක්බා ඉබ්නු අල් හාරිස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“දිනක් නබි (සල්ලල්ලහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අපට අසර් සලාතය මෙහෙයවූහ. පසුව තම නිවසට වේගයෙන් ගොස්, නිවසේ නොරැඳී ඉක්මනට බැහැර ව ගියහ. මේ පිළිබඳ ව එතුමණන්ගෙන් විමසා සිටියෙමි. -එසේ නැතහොත් එතුමාගෙන් විමසන ලදී.-
එයට එතුමාණෝ: ‘zසකාත් වශයෙන් ගෙනෙන ලද රත්රන් මගේ නිවසේ තිබුණි. ඒවා මගේ නිවසේ තිබීම ගැන මම පිළිකුල් කරමි. එනිසා ඒවා සුදුසු අය අතර බෙදා දුන්නෙමි.’ යැයි පැවසූහ.
පුදුමාකාර ත්‍යාගශීලීත්වය හා අසමසම පරිත්‍යාගය මෙම ප්‍රජාවේ නබිවරයාගේ අතින් මතු වූ ගුණාංගයයි.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“ඉස්ලාමය මත සිටින කිසිවකු විසින් යමක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ නම් එතුමා එය ඔහුට පරිත්‍යාග කර මිස නොසළකා හැරියේ නැත. එතුමාණන් වෙත මිනිසෙකු පැමිණ මෙසේ ඉල්ලා සිටි විට, කඳු දෙකක් අතර පිරෙන තරමට බැටළුවන් ඔහුට පරිත්‍යාග කළහ. ඔහු තම ජනයා වෙත ගොස් මෙසේ පැවසුවේය.:
‘ජනයිනි! නුඹලා ඉස්ලාමයට පිවිසෙන්න. සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් දරිද්‍රතාවයට බිය නොවන ත්‍යාගශීලී අයෙකි."
මෙම පරිත්‍යාගශීලීභාවය හා දානමය ගුණාංගයත් සමගම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සැබෑ තත්ත්වය ගැන කල්පනා කර බලන්න.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මිය යන තෙක්ම ආහාර මේසයක වාඩි වී ආහාර අනුභව කළේ නැත. එතුමාණන් මිය යන තෙක්ම මෘදු ව සාදන ලද රොටි ආහාරයට ගත්තේ ද නැත.”
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ පවසා සිටියාය. "ඇතැම් විට, එතුමාණන් තමන් වෙත පැමිණ,
“ඔබ ළඟ ආහාරයට යමක් තිබෙනවා දැ?"යි විමසයි. ‘කිසිවක් නැත‘ යැයි මම පැවසුහොත්, "එසේ නම්, මම අද උපවාසයේ යෙදෙමි" යැයි පවසයි.
සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පිළිබඳ සහතික කරමින් මෙසේ සඳහන් වී ඇත. සැබැවින්ම එතුමාණන් හා එතුමාණන්ගේ නිවැසියන් මාසයක් මාස දෙකක් පමණ 'අස්වදාන්' හැර වෙනත් කිසිවක් මත ජීවත් නොවූහ. එනම්: ජලය හා ඉඳිය.
ආහාර හිඟය හා පරිභෝජනයෙහි පවතින අඩුව මෙසේ තිබියදීත් අල්ලාහ්ගේ සියලු ආශීර්වාද සඳහා කෘතඥ වන ඉස්ලාමීය ගති පැවතුම් හා උදාර ගුණාංග එතුමාණන් වෙත තිබුණි. ආහාර පිළියෙළ කර දුන් අයට තුතිපුද කර සිටි අතර, එසේ වැරදුණු අයකුට දොස් නැගුවේ නැත. කිසිවක් නොලැබුණ ද එතුමාණෝ උත්සාහයෙන් කටයුතු කළහ.
එතුමාණන් කිසිදු ආහාරයකට අඩුපාඩු නොකියූ අතර ආහාර පිළියෙල කළ තැනැත්තාට දොස් නැගුවේ ද නැත. තමන්ට සපයන ලද කිසිදු ආහාරයක් ඉවත දැමුවේ නැත. නැති ආහාර ඉල්ලා අන් අය අසරණ තත්ත්වයට පත් කළේ ද නැත. ආහාර ලබා ගැනීම හෝ කුස පුරවා ගැනීම හෝ කිසිවිටෙක එතමාගේ ප්‍රධාන අවශ්‍යතාව නොවිය.
අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිදු ආහාරයකට අඩුපාඩු කිව්වේ නැත. එතුමාණන්ට කැමති නම් එම ආහාරය අනුභව කළ අතර අකැමැති නම් එය අත හැර දැමුහ.”
ආහාර පාන පිළිබඳ ව විශේෂ ඇල්මක් දක්වන අපගේ හිතවත් සහෝදරයන් සඳහා ෂෙය්ක් අල් ඉස්ලාම් ඉබ්නු තයිමිය්යා (රහිමහුල්ලාහ්) පැවසු වදනක් කෙටියෙන් මෙහි සඳහන් කරමි.
ආහාර සහ ඇඳුම් සම්බන්ධව ගත් කල: එහිදී ශ්‍රේෂ්ඨතම මඟ පෙන්වීම වනුයේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟ පෙන්වීමය. ආහාර ගැනීමේදී එතුමාණන්ගේ ගුණාංගය වූයේ, තමන් එයට කැමති වූ විටෙක අනුභව කළහ. ලැබුණු දෑ ප්‍රතික්ෂේප නොකළහ. නැති ආහාර ඉල්ලා බල නොකළහ. එතුමාණෝ රොටි හා මස් පිළිගැන්වූ විට අනුභව කළහ. පලතුරු, රොටි හා මස් පිළිගැන්වූ විට ඒවාද අනුභව කළහ. ඉඳි පමණක් හෝ රොටි පමණක් හෝ පිළිගැන්වූ විට එය ද අනුභව කළහ. ඇතැම් විට එතුමාණන්ට ආහාර වර්ණ දෙකක් ලැබුණේ නම්, මම වර්ණ දෙකක් අනුභව නොකරමි යැයි පවසයි. රසවත් ප්‍රනීත ආහාර ලැබුණේ නම් ඒවා ද ප්‍රතික්ෂේප නොකළහ.
හදීසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ ප්‍රකාශ කර ඇත්තාහ.
"එනමුත් සැබැවින්ම මම උපවාසයේ යෙදෙමි, උපවාසයෙන් මිදෙමි. රාත්‍රියේ නැමදුම් කරමි, නිදා ගනිමි. කාන්තාවන් හා විවාහ වෙමි. මාංශ ආහාරයට ගනිමි. එහෙයින් කවරෙකු හෝ මාගේ මාර්ගය අතහරින්නේද ඔහු මට අයත් කෙනෙකු නොවන්නේය.”
පිරිසිදු දේ ආහාරයට ගෙන ඔහුට කෘතඥ වන මෙන් අල්ලාහ් අණ කරයි. එනිසා අනුමත පිවිතුරු ආහාරය කවරෙකු තහනම් කර ගත්තේ ද, ඔහු සීමාව ඉක්මවා ගිය අයකු වේ. කවරෙක් අල්ලාහ් ප්‍රශංසා නොකළේද, ඔහු අල්ලාහ්ගේ අයිතිය කඩ කර විනාශ කළේය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පෙන් වූ මාර්ගය වඩාත් සාධාරණ මෙන්ම ඍජු මඟකි. එම මාර්ගයෙන් බැහැර වීම නිසා තවත් මාර්ග දෙකක් වෙත යොමු කෙරේ.
වගකීම් ඉටු කිරීම ප්‍රතික්ෂේප කරමින් නොමග ගිය, තම ආශාවන් පරිභෝජනය කරන පිරිසකි.
එමෙන්ම පිවිතුරු දේ තහනම් කර ගනිමින් උත්තරීතර අල්ලාහ් විසින් දහම් ගත නොකළ, ඉස්ලාම් ආගමේ අනුමත නොවන පැවිදිභාවය නිර්මාණය කරන පිරිසකි.
ඉබ්නු තයිමිය්යා (රහිමහුල්ලාහ්) තුමා තවදුරටත් මෙසේ පවසයි.
“හලාල් හෙවත් අනුමත සෑම දෙයක්ම පිවිතුරුය. පිවිතුරු සෑම දෙයක්ම හලාල් ය. පිවිතුරු දෑ අල්ලාහ් අපට අනුමත කර ඇත. නරනක, අහිතකර දෑ හරාම් හෙවත් තහනම් කර කර ඇත. පිවිතුරු දෑ රසවත් හා ඵලදායීය. අපහට හානිදායක සෑම දෙයක්ම අල්ලාහ් තහනම් කර ඇත. අපට ඵලදායි දෑ අපට අනුමත කර ඇත."
අනතුරුව එතුමා (රහිමහුල්ලාහ්) මෙලෙස තවදුරටත් පවසයි.
“මිනිසුන් අතර ආහාර, ඇඳුම්, කුසගින්න සහ තෘප්තියට පත් වීම යන කරුණු වල වෙනස්කම් ඇත. එපමණක් නොව එක් මිනිසෙක් තුළම අවස්ථානුකූල ව වෙනස්කම් සිදු වේ. එහෙත් ක්රියාවන්හී උසස් ක්‍රියාව අල්ලාහ්ට අවනතවී ඉටු කරන, සහ ඉටු කරන්නාට යහ ඵලදායි ගෙන දෙන ක්‍රියාවන් ය."
අන් අයගේ ආත්ම ගෞරවය කෙළසීම
වඩාත්ම ගෞරවනීය රැස්වීම් වන්නේ දැනුම ලබන හා දෙවියන් මෙනෙහි කිරීමේ රැස්වීම් ය, එබැවින් ආදම්ගේ පුත්‍රයා අතර ප්රභූවරයාණන් හා ප්‍රජාවේ ගුරුපියාණන්ගේ කතාව, ඉගැන්වීම හා මග පෙන්වීම් මැදිහත් වන්නේ නම්, එය ඔබට කුමන බාධාවක් ද?
වැරදි කරන්නන්හට ප්‍රතිචාර දැක්වීම, නුගත් අයට ඉගැන්වීම, නොසැලකිලිමත් අය දිරිමත් කිරීම වැනි ක්‍රියාවන් තුළින් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සභාව පිරිසිදු විය. එතුමාණන්ගේ නිවහන පිවිතුරු විය. යහ දේ හැර අන් කිසිවක් එතුමාණන්ගේ සභාවේ භාර ගනු නොලැබීය.
අන් අය පවසන දේ ට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නිහඬව සිට සවන් දුන් නමුත්, කේලාම් කීම කිසි විටෙක අනුමත කළේ නැත. අවලාද නැගීම, බොරු අපවාදය වැනි කිසිවක් එතුමාණන් පිළිගත්තේ නැත. මෙමගින් අන් අයගේ ආත්ම ගෞරවයට හානි සිදු වීම එතුමාණෝ හෙළා දුටුහ.
උත්බාන් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සලාතය මෙහෙය වීම සඳහා නැගිට සිට,
‘මාලික් ඉබ්නු අද් දුහ්ෂුම් කොහේ දැ යි?’ විමසුහ. එවිට තැනැත්තෙක්, ‘ඔහු අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් ප්‍රිය නොකරන කුහකයෙකි' යැයි පැවසුවේය. එවිට එතුමාණෝ: ‘එසේ සිදු නොකරන්න. අල්ලාහ්ගේ තෘප්තිය පතා, 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යනුවෙන් ඔහු පවසා සිටිනු ඔබ නුදුටුවෙහිද? සැබැවින්ම, කවරෙකු අල්ලාහ්ගේ පිළිගැනීම වෙනුවෙන් 'ලාඉලාහ ඉල්ලල්ලාහ්' යනුවෙන් ප්‍රකාශ කරන්නේද, ඔහුට අපා ගින්න අල්ලාහ් තහනම් කළේය."
බොරු සාක්ෂි පැවසීම සහ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම ගැන සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ අවවාද කළහ.
අබූ බකර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාලා අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ.
“පාපකම් අතර මහා පාපකම් කුමක්දැ? යි ඔබ සැමට මම දන්වන්න දැ?” අපි ද “ඔව්” යැයි පිළිතුරු දුනිමු. “අල්ලාහ්ට සමානයන් තැබීම සහ දෙමාපියන්ට හිංසා කිරීම.” යැයි පවසා, ඇල වී සිටි එතුමාණන් නැගිට වාඩි වී “දැනගන්න. බොරු සාක්ෂි පැවසීම ද වේ.” යැයි නැවත නැවතත්, ‘එතුමාණන් නිහඬ නොවෙන්නේදැ?යි අප කියන තුරුම එතුමාණෝ පවසමින් සිටියහ.
එතුමාණන් විශ්වාසීන්ගේ මෑණිය වන ආඉෂා(රළියල්ලාහු අන්හා) තුමියට අධික ආදරය දැක් වු නමුත් කේලාම් කීම තහනම් කර, එහි භයානක ප්රතිවිපාකය ගැන පහදා දුන්හ.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සෆිය්යා (රළියල්ලාහු අන්හා) තුමියගේ කුරු භාවය ගැන සඳහන් කරමින් ඇය මෙහෙමයි මෙහෙමයි යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පවසා සිටියෙමි.
ඇතැම් වාර්තාකරුවෝ එය ඇයගේ කොටභාවය ගැන අදහස් කරන්නේ යැයි පවසා සිටිති.
එවිට එතුමාණෝ: "ඔබ පැවසු වදන මුහුදු ජලයේ මිශ්‍ර කළේ නම්, (මුළු මුහුදෙහිම) එය මිශ්‍ර වී යනු ඇත.” යැයි පැවසුහ.
තම සහෝදරයන්ගේ ගෞරවය ආරක්ෂා කරන්නන් හට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ශුභාරංචි දන්වා මෙසේ පැවසුුහ.
තම සහෝදරයා නැති තැනක යමෙක් ඔහුගේ ගෞරවය ආරක්ෂා කරන්නේ නම්, ඔහුව අපා ගින්නෙන් මුදවා ගැනීම අල්ලාහ් සතු වගකීම වන්නේය.
උත්තරීතර අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කිරීම.
මෙම ප්‍රජාවේ පළමු පුහුණුකාර වක්තෘවරයාණන්හට දෙවිඳුන්ට නැමදුම් කිරීම හා හදවත ඔහු සමග සම්බන්ධ කිරීමත් සමඟම තවත් වැදගත් කරුණක් විය. එනම් එතුමාණන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන්, ඔහුට ප්‍රශංසා කිරීමෙන්, ඔහුට කෘතඥ වීමෙන්, පාපක්ෂමාව අයැද සිටීමෙන් හා පාපෝච්චාරණය කිරීමෙන් තොරව, කිසිදු වේලාවක් අත්හැරියේ නැත.
එතුමාණන් පෙර කළ සහ ඉදිරියේ කරන පාපයන් සඳහා සමාව ලබා ඇතත්, එතුමාණෝ කෘතවේදී ගැත්තකු, ස්තුතිවන්ත වක්තෘවරයකු සහ දෙවිඳුන්ට ප්‍රශංසා කරන දූතයකු වූහ. අල්ලාහ්ගේ සැබෑ තත්ත්වය එතුමාණන් හඳුනා ගත් අතර ඔහුට ප්‍රශංසා කර ඔහු වෙත යොමු වූහ. එම කාලයේ වටිනාකම හඳුනාගත් එතුමාණන් එයින් ඵල ලැබු අතර දෙවිඳුන්ට අවනත වීමෙන් හා නැමදුම් කිරීමෙන් එම කාලය පූර්ණව ගත කිරීමට උනන්දු වූහ.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
“සෑම අවස්ථාවකම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අල්ලාහ් ව මෙනෙහි කරමින් සිටියහ."
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හිඳ ගත් එක් සභාවක සිය වතාවක් මෙසේ පවසනු අපි ගණන් කළෙමු.
“රබ්බි-ග්ෆිර්-ලී වතුබ් අලෙය්ය ඉන්නක අන්තත් තව්වාබුර් රහීම්.” (මාගේ පරමාධිපතියාණනි! ඔබ මට සමාව දෙන්න. මගේ පශ්චාත්තාපය පිළිගන්න. සැබැවින්ම ඔබ මහාකරුණික පශ්චාත්තාපය පිළිගන්නාය.)
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මෙසේ කළ ප්‍රකාශයට මම සවන් දුනිමි.
“අල්ලාහ් මත දිවුරා පවසමි. දිනකට හැත්තෑ වරකට අධිකව අල්ලාහ්ගෙන් සමාව අයැද ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වෙමි."
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හිඳ ගත් එක් සභාවක සිය වතාවක් මෙසේ පවසනු අපි ගණන් කළෙමු.
“රබ්බි-ග්ෆිර්-ලී වතුබ් අලෙය්ය ඉන්නක අන්තත් තව්වාබුර් රහීම්.” (මාගේ පරමාධිපතියාණනි! ඔබ මට සමාව දෙන්න. මගේ පශ්චාත්තාපය පිළිගන්න. සැබැවින්ම ඔබ මහාකරුණික පශ්චාත්තාපය පිළිගන්නාය.)
මුඃමින්වරුන්ගේ මෑණියක වන උම්මු සලාමා (රළියල්ලාහු අන්හා) තුමියගේ නිවසේ, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සිටින විට එතුමාණෝ අධික ලෙස මෙසේ ප්‍රාර්ථනා කළ බව එතුමිය දන්වා සිටියි.
“යා මුකල්ලිබල් කුලූබ්, සබ්බිත් කල්බී අලා දීනික" (හදවත් වෙනස් කරන්නාණනි! මගේ හදවත ඔබගේ දහමේ ස්ථාවර ලෙස තබනු මැනව!)
අසල් වැසියෝ
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අසල් වැසියෝ එතුමාණන්හට ගෞරවය දැක්වුහ. අල්ලාහ්ගේ දූතයාණන් විෂයයෙහි එම අසල්වැසියෝ වැදගත් ස්ථානයක් එතුමාණන්ට පිරිනැමූහ.
අලෙයිහිස් සලාතු වස්සලාම් තුමාණෝ මෙසේ පවසා සිටියහ.
“අසල්වැසියා තම උරුමක්කාරයා බවට පත් වනු ඇතැයි මා සිතන තරමට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ඔහු ගැන මට උපදෙස් දෙමින්ම සිටියහ.”
අබු දර් (රළියල්ලාහු අන්හු) තුමාට උපදෙස් දුන් නබි (සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්) තුමාණෝ මෙසේ පැවසුහ.
“අහෝ අබූ දර්! ඔබ (නිවසේ) ව්‍යාංජනයක් පිසින්නේ නම්, එයට තවත් ජලය ස්වල්පයක් එකතු කර, එය අසල් වැසියන්ටද බෙදා දෙන්න.”
අසල් වැසියන්ට හිංසා කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ම්) තුමාණන් අවවාද කළේ මෙසේය.
"තම අසල්වැසියාගෙන් ආරක්ෂාවක් නැති තැනැත්තා ස්වර්ගයට නොපිවිසෙනු ඇත."
අසල් වැසියාට සුභ පැතුම් එකතු කරමින් ඔහු ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ.
“කවරෙකු අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන්නේද, ඔහු අසල්වැසියන්ට යහපත කරත්වා!”
යහපත් සහජීවනය
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
මිනිසෙකු පිළිබඳ ව යම් (වැරදි) කරුණක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හට දැන ගන්නට ලැබුණහොත්, එතුමා: “මේ කියන පුද්ගලයාට කුමක් සිදු වුණා ද?” යැයි (කිසිවෙකුගේ නම ප්‍රකාශ කරමින්)නො විමසා “මේ මේ පිරිසට කුමක් සිදු වුණා ද?යැයි එතුමාණෝ විමසා සිටියහ.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණි අතර ඔහුට කහ පැහැති (කුංකුම) සලකුණක් තිබුණි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මිනිසෙකු ඉදිරියේ ඔහු අකමැති දෙයක් ගැන සඳහන් කළේ කලාතුරකිනි, ඔහු පිටත්ව ගිය විට, එතුමාණෝ මෙසේ පැවසූහ:
“මෙය සෝදා හරින ලෙස කවරෙකු හෝ ඔහුට කීවේ නම්!”
ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ.
“අපායට පිවිසීම තහනම් කරන ලද තැනැත්තා එසේ නැතහොත් අපාය තහනම් වන තැනැත්තා කවුරුන් දැ?යි මා නුඹලාට දැන්විය යුතු නොවේ ද! (ජනයා සමග) මෘදු ලෙස සැහැල්ලුවෙන් සමීපව කටයුතු කරන තැනැත්තාට තහනම් වන්නේය."
වගකීම් (හිමිකම්) ඉටු කිරීම
මිනිසා ඉටු කළ යුතු වගකීම් බොහෝමයකි. එනම්, අල්ලාහ්ට හිමිවිය යුතු වගකීම්, පවුලට හිමි විය යුතු වගකීම්. තුන්වනුව තමන්ට හිමි විය යුතු වගකීම් හා සෙසු ගැත්තන්හට හිමිවිය වගකීම්.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම කාලය බෙදා වෙන් කර ගනිමින්, එම දිනයෙන් ඵල ලැබුවේ කෙසේදැ? බලන්න.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
තිදෙනෙකුගෙන් සමන්විත පිරිසක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නිවෙස් වලට පැමිණ, එතුමාණන්ගේ නැමදුම් සහ වතාවත් පිළිබඳ ව විමසුවෝය. ඔවුන්ට ඒ සම්බන්ධ තොරතුරු ලැබූ කල්හි තමන් ඒවා අඩුවෙන් සිදු කරන බව සිතුවෝය. පසුව "පෙර කළ පාපයන් සහ පසු කරන පාපයන් සඳහා අල්ලාහ්ගෙන් සමාව ලැබු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳ බැලූ කල්හි අපි කොහෝදැ?"යි පවසා සිටියෝය.
ඔවුන්ගෙන් එක් අයෙක්, “මම නම්, රාත්‍රි නැමදුමෙහි නොකඩවා යෙදෙමි.” යැයි ප්‍රකාශ කළේය.
තවත් අයෙක් “මම කාලය පුරාවටම උපවාසයේ නිරත වෙමි. එය කඩ නොකරමි." යැයි ප්‍රකාශ කළේය.
තවත් මිනිසෙක් “මම කාන්තාවන්ගෙන් ඉවත්ව සිටිමි. කිසිදිනක මම විවාහ නොවෙමි.” යැයි ප්‍රකාශ කළේය.
පසුව නබි (සල්ල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔවුන් වෙත පැමිණ මෙසේ ප්‍රකාශ කළහ.
“නුඹලා මේ මේ අයුරින් ප්‍රකාශ කර සිටියෙහු ද? දැන ගනු! අල්ලාහ් මත දිවරා පවසමි. නුඹලාට වඩා අල්ලාහ් ගැන මම අධික ව බියවන්නෙක්මි. අල්ලාහ් කෙරෙහි අධික බිය බැතිමත්කමින් යුතුව කටයුතු කරන්නෙක්මි. මම උපවාසයේ යෙදෙමි. එය අත හරිමි. මම නැමදුම් කරමි. නිදා ගනිමි. මම විවාහ කර ගනිමි. එහෙයින් කවරෙකු මාගේ මාර්ගයෙන් වූයේ ද ඔහු මගේ කෙනෙක් නොවන්නේය.” යැයි පැවසුහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඉවසීම සහ වීරත්වය
එතුමාණන්ගේ වීරත්වය තුළ මෙම දහමට සහය වීම සහ සර්වබලධාරී අල්ලාහ්ගේ වදන මුදුන් පත් කරන කටයුතු වල පූර්ණ දායකත්වය හා උදාර කැපවීම විය. අල්ලාහ් එතුමාණන්ට පිරිනමා තිබූ ආශිර්වාදයන් ඒවායෙහි සුදුසු ස්ථානයේම තැබූහ.
මෙය ඒ ගැන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ ප්‍රකාශයයි.
"අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළ අවස්ථාවන්හි හැර අන් කිසිම අවස්ථාවක එතුමාණන්ගේ අතින් කිසිවෙකුට පහර දී නැත. කිසිදු සේවකයෙකුට හෝ බිරියකට හෝ එසේ පහර දී නැත."
(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ වීරත්වය අතරින්: එතුමාණන් කුරෙයිෂ් ගෝත්‍රයේ දේවයත්වය ප්‍රතික්ෂේප කළවුන් හා ඔවුන්ගේ ප්‍රධානීන් හමුවේ මෙම දහම ඉදිරිපත් කොට ඒ වෙත ඇරයුම් කිරීමේදී තනි ව සිටගත්හ. අල්ලාහ් එතුමාණන්ට උපකාර කරන තෙක් නොසැලී ස්ථීරවය කටයුතු කළහ.
‘මා සමඟ කිසිවෙක් නොමැත, මගේ මුළු සමාජය මට එරෙහි වී ඇත’ යැයි කිසිවිටක විලාප දුන්නේ නැත. ඒ වෙනුවට අල්ලාහ් මත සියලු දේ භාර කර, ඔහු වෙත ම රැඳී සිටියහ. ප්රචාරක කටයුතු දියත් කළහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මිනිසුන් අතරින් නිර්භීතම සහ වඩාත්ම අධිෂ්ඨානශීලී සහ ධෛර්ය සම්පන්න කෙනෙකු වූහ. එතුමාණන් ස්ථාවරව සිටියදී මිනිස්සු පලා යන්නට වූවෝය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හීරා නම් ගල් ලෙන තුළ වසර කිහිපයක් හුදකලාවේ රැඳී සිට නැමදුම් කළහ. කිසිදු කරදරයක් එතුමාණන්ට අත් නොවීය. කුරෙයිෂිවරු එතුමාට එරෙහිව නැගී සිටියේද නැත. කිසිවෙක් සටන් කිරීමට පැමිණියේ නැත. දේවත්වය ප්‍රතික්ෂේප කළ කිසිවෙක් එතුමාට හානියක් සිදු කිරීමට ඉදිරිපත් වුයේ නැත. ඒ සියල්ල සිදු වූයේ එතුමාණන් ඒක දේවවාදය ප්‍රකාශ කොට, අල්ලාහ් පමණක් නමදින්නැයි ඔවුනට ඇරයුම් කිරීමෙන් පසුවය. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ හාස්‍යයෙන් යුතුව මෙසේ ප්‍රකාශ කළෝය.
“ඔහු දෙවි වරුන් එකම දෙවියෙකු ලෙස ඔහු පත් කළා ද?”
එය ඔවුන් තමන් අතර හා අල්ලාහ් අතර තැරව් කරුවන් වශයෙන් පිළිම යොදාගෙන සිටි බැවිණි. ඒ ගැන උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:
“අපි ඔවුන් නමදිනුයේ ඔවුන් අපව අල්ලාහ් වෙත සමීප කරවනු පිණිසය."
කෙසේ වෙතත් ඔවුන් තව්හීද් අර් රුබූබියියා හෙවත් පාලන කටයුතු සම්බන්ධයෙන් එකම අල්ලාහ් යන සංකල්පය විශ්වාස කරමින් සිටියෝය.
“(නබිවරය!) අහස්වලින් හා මහපොළොවෙන් ඔබලාට පෝෂණය දෙනුයේ කවුදැ?යි ඔබ විමසනු. 'අල්ලාහ්' යැයි ඔබම පවසනු. තවද නියත වශයෙන්ම අප ද එසේ නැතිනම් ඔබලා ද යහමඟ මත හෝ එසේ නැතිනම් පැහැදිලි මුළාවෙහි සිටිනුයේ? (යැයි ඔබ විමසනු)."
මාගේ මුස්ලිම් සහෝදරය! ඇතැම් මුස්ලිම් රටවල්වල පැතිර පවතින මළවුන්ගෙන් ප්‍රාර්ථනා කිරීම, ඔවුුන් මැදිහත් කරුවන් ලෙස යොදා ගැනීම, ඔවුන් වෙනුවෙන් භාරහාර කිරීම වැනි දේවත්වයට ආදේශ කරන කටයුතු පිළිබඳ මදක් සිතා බලන්න. ඔවුන් මෙලෙස ආදේශ තැබීමෙන් සහ ජීවමාන අල්ලාහ්ගේ ස්ථානයේ මියගිය ඇත්තන් පත් කිරීමෙන් අල්ලාහ් සමඟ ඔවුන්ට තිබු සම්බන්ධතාවය පවා කප්පාදු කර ගන්නා තත්ත්වයට පත් වේ.
“සැබැවින්ම කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ.”
එතුමාණන්ගේ නිවසේ සිට උතුරු දෙසින් පිහිටි කන්ද වෙත යොමු වී බලමු.
එය උහද් කන්දය. මෙය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලායහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ වීරත්වය එතුමාණන්ගේ ස්ථීරභාවය පෙන්වා දෙන දැවැන්ත සටනක් සිදු වූ තැනකි. එම දැවැන්ත සටනේ දී ඇති වූ තුවාල මත ඉවසීමෙන් එතුමාණෝ කටයුතු කළහ. එහිදී එතුමාණන්ගේ ගෞරවණීය මුහුණට පහරක් එල්ල වූ අතර එතුමාගේ දත් කැඩී, හිසට ද පහරක් එල්ල විය
අල්ලාහ්ගේ දූතයාණන් හට (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සිදු වූ තුවාල පිළිබඳව සහල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා මෙලෙස වාර්තා කරයි.
අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි. ඔහුගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලියිහි වසල්ලම්) තුවාලය සෝදා හැරියේ කවුරුන් දැ?යි ද එයට ජලය වක්කර සිටියේ කවුරුන් දැයි ද එයට කවර දෙයකින් ප්‍රතිකාර කරනු ලැබුවේ දැයි ද මම දනිමි.
"එම තුවාලය සෝදා හැරියේ එතුමාගේ දියණිය වන ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය විසිනි. ඒ සඳහා තම පලිහෙන් අවශ්‍ය ජලය පුරවා රැගෙනවිත් ජලය වත්කර සහය වුයේ අලී ඉබ්න් අබි තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසිනි. එහෙත් රුධිරය වැඩියෙන් ගලන බව දුටු ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය, පැදුරු කෑල්ලක් පුලුස්සා, එහි අළු තුවාල මත දමා තදින් අල්ලා ගත් විට රුධිරය ගැල්ම නැවතුණි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ඉදිරි පස දත් සිඳුණි. එතුමාණන්ගේ හිස් වැස්මට හිස මත තිබිය දී කැඩී ගොස් තිබිණි."
හුනෙයින් යුද්ධයේ දී නබි (සල්ලල්ලාහු අලෙයිහිවසල්ම්) තුමාණන්ට සිදු වූ දේ පිළිබඳ ව අල් අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි.
“මුස්ලිම්වරු පසුබසිමින් ගිය කල්හි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) දේවත්වය ප්‍රතික්ෂේප කළ සතුරන් දෙසට තම ඔටුවා ඉදිරියටම දක්වමින් ගියහ. එම අවස්ථාවේ ඔටුවා පළා නොයනු පිණිස උගේ නාස් ලණුව මම අල්ලමින් ගියෙමි. එම අවස්ථාවේ එතුමාණන් මෙසේ ප්‍රකාශ කළහ.
“සැබැවින්ම, මම නබි වරයෙකි. එහි බොරුවක් නැත. මම අබ්දුල් මුත්තලිබ්ගේ පුත්‍රයා වෙමි.”
වීර, දක්ෂ, ප්‍රසිද්ධ අශ්වාරෝහක අලි (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගැන මෙසේ පවසයි.
“දෙපාර්ශවයම ගැටී, සටන උග්‍ර තත්ත්වයට පත් වන විට, අපි නබි (සල්ල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගැන මහත් බියෙන් සිටියෙමු. එය සතුරු සේනාවට ඉතා සමීප වී එතුමාණන් සටන් කරන තරමට අපි කිසිවෙකු සතුරාට ළඟා නොවූ බැවිනි."
අරාබි අර්ධ ද්වීපය, සිරියාව සහ මුහුදෙන් එතෙර දේශයන් හි පමණක් නොව, තම දේශයේ අස්සක් මුල්ලක් නොහැර සෑම තැනකම, අති උතුම් අල්ලාහ්ගේ අනුග්‍රහයෙන් ඉස්ලාමයේ ආලෝකය පැතිරුනි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් දඃවා සම්බන්ධව දැක් වු ඉවසීම අපි සියලු දෙනාම අනුගමනය කළ යුතු ආදර්ශය වේ.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ.
“අල්ලාහ් විෂයයෙහි මා තර්ජනයට ලක් වූ තරමට, වෙනත් කිසිවෙකු තර්ජනට ලක් වූයේ නැත. අල්ලාහ් විෂයයෙහි මම පීඩාවට ලක් වූ තරමට වෙනත් කිසිවෙකු පීඩාවට ලක් වුයේ නැත. දවල් රෑ දින තිහක් ගත විය. බිලාල්ගේ (රළියල්ලාහු අන්හු) කිහිල්ලේ සඟවා ගත හැකි ආහාර ප්‍රමාණය හැර, එක් ජීවියෙකුට පවා ප්‍රමාණවත් ආහාර වේලක් මට හෝ බිලාල්ට හෝ නොතිබිණ."
අල්ලාහ් විසින් එතුමාණන්ට ලබා දුන් යුද ජයග්රහණයෙන් පසු “ගනීමත්” හෙවත් යුද පිටියේ හමු වූ භාණ්ඩ හා වෙනත් සම්පත් එතුමාණන්ට හිමි වු නමුත් ඒවායින් දීනාරයක් හෝ දිර්හමයක් හෝ එතුමාණන් උරුම කර ගත්තේ නැත. එතුමාණන් උරුම කළේ දැනුමය. එය නබිත්වයේ උරුමයයි. මෙම උරුමයෙන් කවරෙකු හෝ ලබන්නට අපේක්ෂා කරන්නේ ද ඔහු පෙරට යත්වා! උරුමය භුත්ති විඳිත්වා!
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කිසිදු දීනාරයක් හෝ දිර්හමයක් හෝ ඔටුවෙක් හෝ එළුවෙක් හෝ ඉතිරි කර ගියේ නැත. එමෙන්ම අන්තිම කැමැත්ත වශයෙන් කිසිදු උරුමයක් අත්හැර ගියේ ද නැත.”
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රාර්ථනා.
ප්‍රාර්ථනාව යනු උතුම් නැමදුමකි. එය අති උතුම් අල්ලාහ් හැර අන් කිසිවෙකු වෙත යොමු කිරීම සුදුසු වන්නේ නැත.
තවදුරටත් ප්‍රාර්ථනාව යනු තම අසරණකම අල්ලාහ් වෙත ප්‍රකාශ කිරීම හා තමාට කිසිදු බලයක් හෝ හැරීමක් හෝ නොමැති බව ප්‍රකාශ කිරීමකි. එය ගැතිභාවයේ සලකුණයි. එය මිනිසාගේ නොහැකියාව අඟවන්නකි. සර්වබලධාරී අල්ලාහ්ට ප්‍රශංසා කිරීම ඔහු වෙත යහපත හා ත්‍යාගශීලිත්වය එකතු කිරීම යනාදිය එහි අර්ථවත් වේ.
එනිසාවෙන් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ.
“ප්‍රාර්ථනාව යනු නැමදුමේ (සාරය වේ)."
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ යටහත් පහත් බවින් නිහතමානීව අධික ලෙස ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. සර්වබලධාරී අල්ලාහ් වෙත තම අසරණභාවය හා අවශ්‍යතාව ඉදිරිපත් කළහ.
එතුමාණන්ගේ තවත් ප්‍රාර්ථනාවක් වූයේ,
اللهم أصلح لي ديني الذي هو عصمة أمر، وأصلح لي دنياي التي فيها معاشي، وأصلح لي آخرتي التي إليه معادي، واجعل الحياة زيادة لي في كل خير، واجعل الموت راحة لي من كل شر“මාගේ පරමාධිපතියාණනි! මාගේ කටයුතුවලට ආරක්ෂාවක් වන මාගේ දහම මට විධිමත් කර දෙනු මැනව. මාගේ ජීවිතය රඳා පවතින මෙලොව මට විධිමත් කර දෙනු මැනව. මා ආපසු හැරී යන මතු ලොව ද මට විධිමත් කර දෙනු මැනව. මාගේ ජීවිතය සියලු හොඳ දේ කිරීමෙහි දීර්ඝ කර දෙන මැනව. සියලු නරක දැයින් මිදී සුවපත් ලබන්නට මට මරණය දෙනු මැනව."
එතුමාණන්ගේ තවත් ප්‍රාර්ථනාවක් මෙසේය.
اللهم عالم الغيب والشهادة فاطر السموات والأرض، رب كل شيء ومليكه، أشهد أن لا إله إلا أنت أعوذ بك من شر نفسي، ومن شر الشيطان وشركه وأن أقترف على نفس سوءًا أو أجره إلى مسلم "මාගේ සියලු අභ්‍යන්තර හා බාහිර දේ ගැන දන්නා, මහපොළොව සහ අහස් නිර්මාණය කළ දෙවිඳුනි! සියලු දෑහි පරමාධිපතියාණනි! භාරකරුවාණනි! ඔබ හැර නැමදුමට සුදුසු වෙනත් කිසිදු දෙවියකු නොමැති බව මම සාක්ෂි දරමි. මා තුළින් ඇතිවන හානියෙන් සහ ෂෙයිතාන් ගෙන් සිදු වන හානියෙන් ද නුඹට සමාන තැබීම මගින් සිදු වන පාපයෙන් ද මෙම පාපය තවත් මුස්ලිම් වරයෙකුට පැවරීමින් සිදු වන පාපයෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි."
එතුමාණන්ගේ තවත් ප්‍රාර්ථනාවක් මෙසේය.
اللهم اكفني بحلالك عن حرامك وأغنني بفضلك عمن سواك “මාගේ පරමාධිපතියාණනි! ඔබ තහනම් කළ දැයින් මා ඉවත් කොට, ඔබ අනුමත කළ දැයින් සෑහීමට පත් වීම සඳහා ආශිර්වාද කරනු මැනව. ඔබ හැර අන් කිසිවෙකුගෙන් උපකාර පැතීමේ අවශ්‍යතාවෙන් මා මුදවා ගනු මැනව."
සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන් ආයාචනා කළ එතුමාණන්ගේ තවත් ප්‍රාර්ථනාවක් මෙසේය.
اللهم اغفر لي وارحمني وألحقني بالرفيق الأعلى “මාගේ පරමාධියාණනි! මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව!. උසස් මිත්‍රයා සමඟ මා එකතු කරනු මැනව.!”
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සතුටින් පිරුණු මෙන්ම දුකින් පිරුණු අවස්ථාවන්හි පවා අල්ලාහ් වෙත අධික ලෙස ප්‍රාර්ථනාවේ යෙදුණහ. බද්ර් යුද පිටියේ ප්‍රතික්ෂේප කළවුන් පරාජයට පත් වී, මුස්ලිම්වරුන්ට විජයග්‍රහණය ලබා දෙන තුරු, තම උරහිස මත තිබුණු සළුව පොළොව මත ලිස්සී වැටෙන තරමට දෑත් ඔසවා ප්‍රාර්ථනා කළහ.
එතුමාණන් තමන්ට පමණක් නොව, තම පවුලේ අය වෙනුවෙන් ද, තම හිතමිතුරන් වෙනුවෙන් ද, පොදුවේ සියලු මුස්ලිම්වරුන් වෙනුවෙන් ද ප්‍රාර්ථනා කළහ.
නැරඹුමේ අවසානය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ හදීස් පිළිබඳ ව, එතුමාණන්ගේ උතුම් ජීවන රටාව පිළිබඳ ව, එතුමාණන්ගේ කැපවීම් හා එතුමාණන් මුහුණ දුන් පරීක්ෂණ පිළිබඳ ව විස්තර දැන ගැනීමෙන් පසු:
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් අප විසින් ඉටු කළ යුතු අනිවාර්ය වගකීම් ඇත. එය කුසල ක්‍රියාවන් සම්පූර්ණ කර, එතුමාණන්ගේ නිවැරදි මාර්ගය පිළිපැදීමෙනි.
එතුමාණන් වෙනුවෙන් එතුමාණන්ගේ ප්‍රජාව ඉටු කළ යුතු යුතුකම් වනුයේ:
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි ස්ථීර විශ්වාසය තබා, එතුමාණන් රැගෙන ආ සියලු දේ වදනින් හා ක්‍රියාවෙන් සැබෑ කිරීම. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට අවනත වී, එතුමාණන්ට පිටුපෑමෙන් වැළකී සිටීම අනිවාර්යය වගකීමකි.
එතුමාණන් වෙතින් තීන්දු පැතීම හා එතුමාණන්ගේ තීන්දු පිළිගෙන සෑහීමට පත් වීම.
කිසිදු අතිශයෝක්තියක් හෝ අඩුවක් කිරීමක් හෝ නොමැතිව එතුමාණන්ගේ නිලය ඒ තත්ත්වයේම තබා ක්‍රියා කිරීම.
එතුමාණන් අනුගමනය කර, සියලු විෂයයන් හී එතුමාණන් ව ආදර්ශයක් හා පෙර උදාහරණයක් බවට පත් කර ගැනීම.
පවුලට, වස්තුවට, දරුවන්ට හා සෙසු සියලු මිනිසුනට වඩා අධික ව එතුමාණන් වෙත ආදරය දැක්වීම;
එතුමාණන්ට ගරු කිරීම, එතුමාණන් මහිමයට පත් කිරීම, එතුමාණන්ගේ දහමට උපකාර කිරීම, එතුමාණන්ගේ පිළිවෙතින් දුරස් නොවී එය මුස්ලිම් සමාජය අතර ජීවමාන බවට පත් කිරීම එතුමාණන්ගේ හිතමිතුරන්හට ආදරය කිරීම. ඔවුන් පිළිගැනීම ඔවුනට මඩ ගැසීමෙන් වැළකී සිටීම. ඔවුන්ගේ ඉතිහාසය කියවා බැලීම.
එතුමාණන් හට ආදරය දැක්වීමේ තවත් කරුණක් වන්නේ එතුමාණන් කෙරෙහි සලවාත් පැවසීමයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
"සැබැවින්ම අල්ලාහ් සහ ඔහුගේ මලක්වරු නබි වෙත සලාම් පවසති. එහෙයින් විශ්වාස කළවුණි! නුඹලා ද එතුමා වෙත සලවාත් පවසනු සලාම් පවසනු."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ.
“ඔබ ගෙවන දින අතරින් වඩාත් උතුම්ම දිනය වනුයේ ජුමුආ දිනය හෙවත් සිකුරාදා දිනයයි. එදින ආදම් නිර්මාණය කරනු ලැබීය. එමෙන්ම සූර් හෙවත් හොරණෑව නාද කරනු ලබන්නේ ද එදිනය. එහිදී සිහිමූර්ඡා වී වැටෙනු ඇත. එබැවින් එදින අධික ලෙස සලවාත් පවසනු. සැබැවින්ම ඔබගේ සලවාතයන් මා වෙත ඉදිරිපත් කරනු ලැබේ.” එවිට මිනිසෙක් “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ තුමාණන් දිරාපත් වී ගිය පසු ඔබ තුමාණන්ට අපගේ සලවාතය පෙන්වනු ලබන්නේ කෙසේද? යැයි විමසුවේය. එවිට එතුමාණෝ “නබිවරුන්ගේ සිරුර කා දමන්නට අල්ලාහ් මහ පොළොවට තහනම් කර ඇත.” යනුවෙන් පිළිතුරු දුන්හ.
එම ගෞරවනීය නබිවරයාගේ යුතුකම් ඉටු කිරීමේදී නො මසුරු වීම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සමූහයා වන අපගේ යුතුකමකි.
එතුමාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙස් පවසා සිටියහ.
“කවරෙකු ඉදිරියේ මා සිහිපත් කරනු ලැබූ විට, ඔහු මා හට සලවාත් නොපැවසුවේ ද ඔහු මසුරෙකි."
එතුමාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසා සිටියහ.
අල්ලාහ්ව මෙනෙහි කිරීමකින් හා ඔවුන්ගේ නබිවරයාණන් කෙරෙහි සලවාත් පැවැසීමකින් තොරව යම් කිසි පිරිසක් යම් සභාවක අසුන් ගත්තේ ද ඔවුන්ට (අල්ලාහ්ගෙන්) අලාභයක්ම සිදුවෙනු ඇත. ඔහු කැමති නම් ඔවුනට දඬුවම් කරයි. ඔහු කැමති නම් ඔවුනට සමාව දෙයි.
සමු ගැනීම
කීකරුකම මත පදනම්ව, දේව විශ්වාසයෙන් පිරුණු මේ නිවසින් අපි පිටව යන්නෙමු. කවරෙකු සාර්ථකත්වය පතන්නේ ද ඔහුට ගුරුවරයෙකු වශයෙන් ද, කවරෙකු යහ මාර්ගය සොයන්නේද ඔහුට සෘජු මාර්ගයක් වශයෙන් ද එතුමාණන් බැබලේ.
අපගේ පැරණි විද්වතුන් හා පඬිවරුන් සමගත් මෙම මහඟු පිළිවෙත අනුගමනය කිරීම සඳහා ඔවුන් දැක්වූ උනන්දුවත් සමගත් අප නතර වන්නෙමු. යහපත් සැනසුමක් සහ අලංකාර අනුකරණයක් අල්ලාහ් අපට ආශිර්වාද කරනු ඇත.
අහ්ලුස් සුන්නාහි ඉමාම්වරයකු වන අහ්මද් ඉබ්නු හම්බල් (රහ්මහුල්ලාහ්) මෙලෙස ප්‍රකාශ කරයි.
“කිසියම් හදීසයක් වේවා එම හදීසය අනුව කටයුතු කරීමෙන් පසුව මිස එය මම නොලිව්වෙමි."
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හිජාමා ප්‍රතිකාරය ලබා, අබු තය්බා (රළියල්ලාහු අන්හු) තුමාට දිනාරයක් ගෙවා, මා අසළින් ගමන් ගත්තේය. ඒ අනුව මම ද හිජාමා ප්‍රතිකාරය ලබා ගත් අවස්ථාවේ එක් දීනාරයක් හිජාමා කළ තැනැත්තාට ගෙව්වෙමි.
අබ්දුර් රහ්මාන් ඉබ්නු මහ්දි විසින් මෙසේ වාර්තා කරන ලදී.
සුෆ්යාන් තුමා පවසා සිටි හදීසයකට මම සවන් දුන්නෙමි. එතුමා: “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් කවර හදීසයක් හෝ අසන්නට ලැබුණේ නම්, එය සඳහන් කළ ආකාරයෙන්ම එක් වරක් හෝ ක්‍රියා නොකර සිටියේ නැත.”
මුස්ලිම් ඉබ්නු යසාර් තුමා මෙසේ විසින් මෙසේ දන්වා සිටියි.
“පාවහන් ගලවා සලාත් කිරීම මට පහසු වුව ද, පාවහන් පැළඳ මම සලාත් ඉටු කරමි. එමගින් මම බලාපොරොත්තු වනුයේ නබි පිළිවෙත පිළිපැදීම හැර වෙනත් කිසිවක් නොවේ."
හිතවත් සහෝදරය! අවසාන වශයෙන් වැදගත් හදීසක් මම මෙහි සඳහන් කරමි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ.
“ප්‍රතික්ෂේප කළවුන් හැර මගේ සමාජයේ සෙසු සෑම කෙනෙකුම ස්වර්ගයට පිවිසෙති; .” එවිට (එහි සිටි පිරිස) අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ප්‍රතික්ෂේප කරන්නන් කවුරුන් දැ?” යි විමසුවෝය. එවිට එතුමාණෝ “මට කීකරු වූ තැනැත්තා ස්වර්ග ගත වේ. මට අකීකරු වූ තැනැත්තා ප්‍රතික්ෂේප කළ අය වේ.” යනුවෙන් පිළිතුරු දුන්හ.
අහෝ දෙවිඳාණනි! ඔබගේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත ආදරය කරන්නට අපට ආශිර්වාද කරනු මැනව! නොමඟ ගියවුන් සහ නොමඟ යවන්නන්ගේ මාර්ගය මත නොව, සෘජු මාර්ගයට එකඟ ව ඒ මත ගමන් කරන්නට අපට මඟ පෙන්වනු මැනව!
අහෝ දෙවිඳාණනි! මුහම්මද් (සල්ලල්ලාලා අලෙයිහි වසල්ලම්) තුමාණන්හට රාත්‍රියෙහි හා දහවලෙහි මාරුවෙන් මාරුව ආශීර්වාද කරනු මැනව! මෙනෙහි කරන දැහැමියන් මෙනෙහි කර සිටින දැයින් ද මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ආශිර්වාද කරනු මැනව!
අහෝ දෙවිඳාණනි! උසස්තම ෆිර්දවුස් ස්වර්ගයේ අපගේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ අපව ද රැස් කරනු මැනව! එතුමාණන් දැක ගැනීමෙන්, එතුමාණන්ට දෙන ලැබු ජලාශයේ ජලය පානය කිරීමෙන් අපගේ නෙතට සිසිල ගෙන දෙනු මැනව!
අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ ඥාතී හිතමිතුරන් ඇතුළු සියලු දෙනා හටත් අල්ලාහ්ගේ සාමය හා ශාන්තිය හිමි වේවා!
Related books
All books
පවිත්‍රතාවය, සලාතය සහ ජනාසා කටයුතු පිළිබඳ ෆික්හ් නීති රීති කිහිපයක්.14 භාෂාපවිත්රතාවය, සලාතය සහ ජනාසා කටයුතු පිළිබඳ ෆික්හ් නීති රීති කිහිපයක්.
මහාචාර්ය අෂ්-ෂෙයික් මුහම්මද් බින් සාලිහ් අල්-උසයිමීන් (රහිමහුල්ලා) විසින් රචිත "පවිත්‍රතාවය, සලාතය සහ ජනාසා කටයුතු පිළිබඳ ෆික්හ් නීති රීති කිහිපයක්." නම් කෘතිය, උක්ත වත්පිළිවෙත් ගැන පැහැදිලි කර ඇත්තේ අල්-කුර්ආනය හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මාර්ගය නම් සුන්නාවට අනුගතව ය. මුස්ලිම්වරුන් සඳහා ඔවුන්ගේ වත්පිළිවෙත් අවබෝධයෙන් යුතුව හා පහසුවෙන් ඉටු කිරීමට ඉඩ සලසා දීමේ අරමුණින් මෙම කෘතිය ග්‍රන්ථාරූඨ කිරීම මෙහිලා ඉතා වැදගත් කර්තව්‍යයක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම ශරීආව තුළ ඇති සාධක මත බැඳී සිට ලිහිල් මධ්‍යම මාර්ගය අනුගමනය කර තිබීම මෙහි විශේෂත්වයයි. අල්ලාහ්ගේ පිළිගැනීම හා ඔහුගේ සමීපත්වය ලබා…
උදේ සවස කිව යුතු දේව ගුණ ගායනා සහ ප්‍රාර්ථනා57 භාෂාඋදේ සවස කිව යුතු දේව ගුණ ගායනා සහ ප්‍රාර්ථනා
මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් "අල්ලාහු ලාඉලාහ ඉල්ලාහුවල් හයියුල් කයියූම් ලා තඃහුසුුහු සිනතුව් - වලා නව්මුල්-ලහූ මා ෆිස්-සමාවාති වමා ෆිල්-අර්ළිළිමන් දල්ලදී යෂ්ෆඋ ඉන්දහු ඉල්ලා බි ඉද්නිහි යඃලමු මා බයින අයිදීහිම් වමා කඃල්ෆහුම් වලා යුහීතූන බි ෂෙයිඉන් මින් ඉල්මිහි ඉල්ලා බිමාෂා-අ වසිඅ කුර්ෂියියුහුස් සමාවාති වල්-අර්ළ වලා යඌදුහු හිෆ්ලුහුමා වහුවල් අලියියුල් අලීම්." අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහු ව ග්‍රහණය නොකරයි. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ…
ඉස්ලාමයේ නිවැරදි ඇදහිලි ක්‍රම සහ එයට පටහැනි කරුණු48 භාෂාඉස්ලාමයේ නිවැරදි ඇදහිලි ක්‍රම සහ එයට පටහැනි කරුණු
සංස්කරණය: අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි. පෙරවදන ප්‍රශංසා සියල්ල අල්ලාහ්ට හිමිය. අල්ලාහ්ගේ කරුණාව හා ශාන්තිය මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ට, එතුමාගේ පවුලේ අයට හා අනුගාමිකයන්ට හිමි වේවා.
ඉස්ලාමය අල්ලාහ්ගේ දූතවරුන්ගේ ආගමයි.85 භාෂාඉස්ලාමය අල්ලාහ්ගේ දූතවරුන්ගේ ආගමයි.
ඉස්ලාමය යනු විශ්වයේ මැවුම්කරු වන එය පරිපාලනය කරන අල්ලාහ්ට ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව යටත් වීමය. ඔහුට අවනත වීමය. ඉස්ලාමයේ මූලික කරුණු වනුයේ අල්ලාහ් පිළිබඳ විශ්වාසය කිරීමය. එනම් ඔහු මැවුම්කරුය. ඔහු හැර සෙසු සියලු දෑ ඔහු විසින් මවනු ලැබූ දෑය. නැමදුමට වඩාත් සුදුස්සා සැබැවින්ම ඔහු පමණය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවකු නැත. ඔහුට අලංකාර නාම හා උසස් ගුණාංග ඇත. කිසිදු අඩුවකින් තොර වූ සියලු පරිපූර්ණත්ව ඔහු සතුය. ඔහු කිසිවකු ජනනය කළේ නැත. ඔහු ජනනය වූයේ ද නැත. ඔහුට කිසිදු සමානයක් හෝ උපමාවක් හෝ නැත. ඔහුගේ මැවීම් අතරින් කිසිවක තුළ ඔහු වැඩම සිටින්නේ නැත. ආරූඪ වන්නේ ද නැත.…