يومي الأول في الإسلام

يومي الأول في الإسلام

ඉස්ලාමයට පිවිසි මගේ පළමු දවස

Language: lang_si
Prepared by:
Version: 1.0
Translations 20
Amharic Bosnian English Spanish +16
Attachments 7
PDF
Audio
Video
+3

ඉස්ලාමයට පිවිසි මගේ පළමු දවස

අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්

පෙරවදන

ලෝවැසියන්හට ආශිර්වාදයක් වශයෙන් ඔහුගේ නබිවරයා වූ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව මෙලොවට එවූ අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමි වේවා! අල්ලාහ් හැර නැමදුමට වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත, ඔහු එකීයකි. ඔහුට හවුල්කරු නැති බවට සාක්ෂි දරමි. ආරම්භකයා සහ අවසානයාද ඔහුය. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔහුගේ ගැත්තා හා දූතයා බව ද ඔහු නබිවරුන් හා රසූල්වරුන් අතර අවසානයා වේ යනුවෙන්ද මම සාක්ෂි දරමි. එතුමාට ලෝක අවසානය දක්වා අල්ලාහ් දෙවිඳාණන්ගේ ආශිර්වාධය හා ශාන්තිය අධික ලෙස හිමිවේවා.

සෑම මිනිසෙකුම සෞභාග්යයෙන් සපිරි සතුට සොයයි; සමහරු සිතන්නේ සතුට රැඳී පවතින්නේ මුදල් රැස්කිරිම මත බවයි. තවත් සමහරු කීර්තියේ හිණි පෙත්තට නැඟීීම තුලින් එය සොයති, වෙනත් සමහරු හිතන්නේ උසස් තනතුරු හෝ ජීවිතයේ වෙනත් සැප සම්පත් ලබා ගැනීමෙන් එය ලඟා කර ගැනීමට හැකි බවයි. නමුත් යථාර්ථය නම් මෙසේ ලබාගත් බොහෝ දේවල්වලින් ඔවුන්ට අවශ්ය සහ බලාපොරොත්තු වූ සතුට ලැබෙන්නේ නැත යන්නයි.

මේ සතුට අපට අත්කර ගත හැක්කේ, මුළු මිනිස් සංහතියේම මැවුම්කරු අප වෙනුවෙන් තෝරාගෙන ඇති සැබෑ ආගමට අපව යොමු කළ විට පමණි. අපි දෙවිඳාණන්ට නමස්කාර කර ඔහුගේ ඉගැන්වීම් පිළිපදිමු. මෙලොව සුගතිය හා යහපත් ජීවිතයක් ද, පරලොව සදාකාලික සැපක් ද ලබා ගත හැක්කේ ඒ තුළින් පමණි. අල්ලාහ් මෙසේ පවසයි.

"එසේ නොව, කවරෙක් දැහැමියෙකු ව සිට තම මුහුණ අල්ලාහ් ට අවනත කළේ ද එවිට ඔහු ට ඔහු ගේ ප්රතිඵල ඔහු ගේ පරමාධිපති අබියස හිමි වනු ඇත. ඔවුන ට කිසිදු බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත."

(අල් බකරා 112)

දෙවිඳාණන් අල්ලාහ් මෙසේද පවසා ඇත.

“පුරුෂයින්ගෙන් සහ ස්ත්රීන්ගෙන් කවරෙකු හෝ වේවා ඔහු විශ්වාස කරන්නෙකු ලෙස යහපත් ක්රියා කරන්නේද අපි (මෙලොව) හොඳ ජීවිතයක් ගත කිරීමට ඔහුට ජීවය ලබා දෙන්නෙමු. තවද ඔවුන් කරමින් සිටි විශිෂ්ඨ දෑ අනුව අපි (එලොවෙහි) ඔවුන්ට යහපත් විපාක නියත වශෙයන්ම පිරිනමන්නෙමු.”

(අන් නහ්ල්: 97)

මා ආදරණීය සොහොයුර! ඔබ ඉස්ලාම් දහමට ඇතුළු වීමෙන් ඔබ නිවැරදි මාර්ගෝපදේශය, ආලෝකය සහ සෞභාග්ය යන මාවත වෙත ඔබේ පාදය තබා ඇත, එබැවින් ඔබ ඉස්ලාමයට පිවිසි දිනය ඔබේ ජීවිතයේ (හැරවුම් ලක්ෂණයක් බවත්) වෙනත් කිසිම දිනයක් මෙන් නොවන බව ඔබ විශ්වාස කළ යුතුයි. ඇත්ත වශයෙන්ම මෙම දිනය ඔබගේ ජීවිතයේ ඔබ නැවැත ඉපදුනු නව උපන් දිනයයි.

ඉතින් ඔබ ඉපදුණු දිනයේදී ඔබ ඔබේ මවගේ අඳුරු සහගත පටු කුසෙන් ලෝකයට සහ එහි ආලෝකයට පැමිණියා නම්, අද ඔබ අවිශ්වාසයේ අඳුරු ඇදහිල්ලේ සිට විශ්වාසයේ ආලෝකය වෙතටත්, නොමඟ යෑමේ පටු මාර්ගයේ සිට යහමඟ ලැබීමේ සංකීර්ණවත් මාර්ගය දක්වාත් ඔබ පැමිණ ඇත. සර්වබලධාරී දෙවිඳාණන් අල්ලාහ් මෙසේ පවසයි.

"යමෙකු (ජීවතුන් අතර සිටියද දේව ප්රතික්ෂේපය හේතුවෙන්) මළමිනියක්ව සිටි පසු ඔහුට අපි ප්රාණය (යහමග) ලබා දී ඔහුට ආලෝකය ද ඇති කොට එමගින් ජනයා අතර ඇවිද යන ඔහු (ආදේශ කිරීම හෙවත් ) අන්ධකාරයන්හි සිට එයින් බැහැර ව යා නොහැකි අයකු මෙන් වන්නේද?"

(අල් අන්ආම් -122)

ජයවේවා! ඔබව ඉස්ලාම් දහමට සාදරයෙන් පිළිගනිමු, ඔබ ඉස්ලාම් දහමට හැරුණු පළමු දිනයේ ඔබ දැනගත යුතු වැදගත් කරුණු සහ වැදගත් මූලධර්ම අඩංගු මෙම පොත් පිංච ඔබේ දෝතට පිරිනමමු.

පිවිසීම.

ඉස්ලාම් යනු සත්ය ධර්මයයි.

ඉස්ලාම් දහම යනු සර්ව බලධාරී දෙවිඳාණන් අල්ලාහ් සියලු මිනිසුන් සඳහා පිළිගෙන ඇති සැබෑ ආගම වන අතර මෙම දහම හැර වෙනත් දහමක් අල්ලාහ් විසින් පිළි නොගනු ඇත. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

"අල්ලාහ් වෙත පිළිගන්නා ලද ධර්මය ඉස්ලාම් ධර්මයයි."

(ආලු ඉම්රාන් :19)

දෙවිඳාණන් අල්ලාහ් මෙසේද සඳහන් කරයි.

"කවරෙකු ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් (කිසිදු දහමක්) පිළිගනු නොලබන්නේ මය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතුරින් කෙනෙකි."

(ආලු ඉම්රාන්: 85)

යමෙක් ඉස්ලාම් දහම වැළඳගෙන එයට ඇලුම් කරන්නේද, ඔහු ආලෝකයේ සහ මග පෙන්වීමේ මාවතේ ගමන් කරයි; එම මාවත වනාහි මිනිසා නිර්මාණය කර ඔහුව මේ ජීවිතයට ගෙන ආ දෙවිඳාණන් අල්ලාහ්ගේ සෘජු සහ පැහැදිලි මාර්ගයයි.

ඉස්ලාම් දහම විසින් මිනිසාගේ මෙලොව ජීවිතයේ යහපත, සන්සුන්කම සහ සෞභාග්ය මෙන්ම මරණින් මතු ජීවිතයේදී අල්ලාහ් දෙවිඳාණන් විසින් ඔහුව ස්වර්ගයට ඇතුලත් කර සොම්නස, සාර්ථකත්ව හා එහි සදාකාලික සතුට භුක්ති විඳීමට මං පාදා දී ඇත.

සෑම පුද්ගලයෙකුම මෙලොව සහ පරලොව යහපත ලබා ගැනීම සඳහා සැබෑ ආගම වන ඉස්ලාමය සොයා ගත යුතුය, එය දැන හඳුනා ගත යුතුය, එය විශ්වාස කරමින් එයට ඇතුළු විය යුතුය, එහි ඉගැන්වීම් සහ නීතිවලට අනුකූල විය යුතුය.

පුද්ගලයෙකු ඉස්ලාමයට ඇතුළු වන්නේ කෙසේද?

"අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත්, මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) අල්ලාහ්ගේ පණිවිඩකරුවෙකු බවත් මම සාක්ෂි දරමි" යනුවෙන්, අවංකව සහ නිශ්චිතභාවයෙන් සහ එයින් ඇඟවෙන්නේ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයෙන් යුතුව පුද්ගලයෙකු මෙසේ පැවසුවහොත් ඉස්ලාමයට ඔහු ඇතුල් වනු ඇත. පසුව ඉස්ලාම් දහමට අදාල පොත් පත් ඉගෙන ගැනීමටත්, හැකි පමණින් ඒවා මත ක්රියා කිරීමටත් වග බලාගත යුතුයි. ඔහුගේ යහපත් ක්රියා වැඩි වන තරමට ඔහුගේ (ඊමාන්) විශ්වාසය අධික වන අතර සර්වබලධාරි අල්ලාහ් වෙතින් ඔහුට ඒ සඳහා කුලියද වැඩි වේ.

ෂහාදා හෙවත් සාක්ෂි දෙකහි අර්ථය:- නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවටත් සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) අල්ලාහ්ගේ දූතයාණන් බවටත් මම සාක්ෂි දරමි.

(අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත්, මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) අල්ලාහ්ගේ පණිවිඩකරුවෙකු බවත් මම සාක්ෂි දරමි) යනුවෙන්, අවංකව සහ නිශ්චිතභාවයෙන් ප්රකාශ කිරීමෙන් ඔබට ඉස්ලාමයට ඇතුල් වීමට හැක, මෙම ප්රකාශයෙන් ඇඟවෙන සත්ය අර්ථය කුමක්ද කියා ඔබ දන්නවාද?

අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට සාක්ෂියේ සඳහන් අර්ථය: එක් දෙවියෙකු හැර නමස්කාරයට සහ යටහත්භාවය දැක්වීමට සුදුසු වෙනත් දෙවියෙකු නොමැති බව විශ්වාස කිරීම සහ පිළිගැනීමයි. ඔහු විශ්වයේ මැවුම්කරු සහ එහි පාලකයා වන සර්වබලධාරී අල්ලාහ්ය.

දෙවන ෂහාදාව වන මුහම්මදුර් රසූලුල්ලාහ් යන්නෙහි අරුත වන්නේ මුහම්මද් තුමාණන් මුළු මහත් මිනිස් සමාජයට ම එවනු ලැබූ අල්ලාහ්ගේ ගැත්තා හා අවසාන දේව දුතයා යන්න මුළු හදවතින් ම මෙන් ම වචනයෙන් හා ක්රියාවෙන් ද පිළිගැනීම, එතුමාණන්ගේ අණ පිළිපැදීම, එතුමාණන් පැවසූ සියල්ල සත්යයක් යැයි විශ්වාස කිරීම, එතුමාණන් වැළැක් වූ කරුණුවලින් ඉවත් ව සිටීම හා එතුමාණන් පෙන්වා දුන් අයුරින් පමණක් අල්ලාහ් නැමදීම ය.

ඉස්ලාමයට පිවිසීම ගැන ඔබට අපේ සුභ පැතුම්

මගේ ආදරණීය සොහොයුර! ඔබ ඉස්ලාම් ආගමට ඇතුළු වූ දිනය ඔබේ ජීවිතයේ විශිෂ්ඨම දවසයි. අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා ඇත.

ඉස්ලාමය ඊට පෙර තිබූ දේ (පව්) සුනු විසුනු කරයි.

එය ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කර ඇත.

(ඉහත සඳහන් හදීසයේ අර්ථය නම්) ඔබ ඉස්ලාම් දහම වැළඳ ගැනීමට පෙර ඔබ විසින් සිදු කළා වූ පව් සියල්ල ඉස්ලාම් විසින් මකා දමයි. එනම් ප්රතික්ෂේප කිරීම තුලින්, නපුරෙන්, පව්වලින් සහ අකටයුතුකම් වලින් එසේ ඔබ විසින් කළා වූ සියලු දෙයට සර්වබලධාරී අල්ලාහ් සමාව දීම ගැන සතුටට පත් වන්න, අද දින ඔබ ඔබේ පව්වලින් පිවිතුරු වී, ඔබේ මව ඔබව ප්රසූත කළ දවස මෙන් පිවිතුරු ලෙස නැවත පැමිණ ඔබේ ජීවිතයේ සුදෝ සුදු නව පිටුවක් විවෘත කරන්න. යහපත්කමෙන් සපිරුණු නව ජීවිතයක් ආරම්භ කර, ආලෝකය, සතුට සහ සෞභාග්ය යන මාවතේ ගමන් කරන්න.

ඉස්ලාම් ආශිර්වාදයේ සතුට

ඔබ ඉස්ලාම් ආගමට ඇතුළු වූ විට ඇති වූ ඒ මහත් ප්රීතිය, ජීවිත කාලය පුරාවටම ඔබ තුළ පැවතිය යුතුය. මක්නිසාද යත් සෘජු මාර්ගය ලැබීම ආශිර්වාදයකි. එය සර්වබලධාරි අල්ලාහ් දෙවිඳාණන් විසින් ඔහුගේ ගැත්තාට පිරිනමන උතුම්ම ආශීර්වාදයයි. එය වාතය, ජලය, ආහාර පාන සහ මුදල්, තනතුර සහ කීර්ති නාමයට වඩා උතුම්ය. පොදුවේ ගත් විට මෙය මෙතෙක් ලැබී ඇති උතුම්ම ආශීර්වාදයයි. එබැවින් අපි ප්රීති නොවී සිටින්නේ කෙසේද?සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

"පවසන්න! මෙය අල්ලාහ්ගේ දයාවෙන් හා ඔහුගේ භාග්යයෙනි. මෙමගින් ඔවුන් සතුටු වෙත්වා!" එය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්රේෂ්ඨය."

යූනුස් - 59

අල්ලාහ් දෙවිඳාණන්ගේ කරුණාව ඔබ කෙරෙහි ඇති බව ඔබට දැනිය යුතුය, කුමක් නිසාද යත් ඔහු ඔබව මිලියන සංඛ්යාත මිනිසුන් අතරින් ඉස්ලාමයට ඇතුළු වීමට තෝරාගෙන ඇති බැවිනි. අල්ලාහ් මෙසේ පවසයි.

"අල්ලාහ් කවරෙකුට මඟ පෙන් වීමට සිතන්නේ ද ඔහුගේ හදවත ඉස්ලාමය වෙතට විවෘත කරනු ඇත."

(සූරා අල් අන්ආම් : 125)

මෙම උතුම් ආශිර්වාදය කෙරෙහි අධික ලෙස කෘතඥතාවය දැක්වීම අවශ්ය වේ. එබැවින් ඔබ සර්වබලධාරි අල්ලාහ්ට ස්තූතිවන්ත විය යුතුය, මක්නිසාද යත් ඔහු ඔබව සත්ය දහම වෙත යොමු කර ඇත.

ඔබ දැනගත යුතු අත්යවශ්ය කරුණු :

ඔබ ඉස්ලාම් ආගමට පිවිසෙන්නේ නම්, ඔබ ඉගෙන ගත යුතු සහ දැනගත යුතු කරුණු තිබේ, ඒවා අතරින් මරණයෙන් පසු සෑම පුද්ගලයෙකුම ප්රශ්න කරනු ලබන වැදගත් ප්රශ්න තුනට පිළිතුරු දැන ගැනීම අවශ්ය වන අතර එම පිළිතුරු ඔහුගේ සදාකාලික ඉරණම තීරණ කරයි; එක්කෝ ඔහුට ස්වර්ගයට හිමි කර දෙයි, නැත්නම් නිරය හිමි කර දෙයි, ඒ්වා නම්:

ඔබේ දෙවියා කවු ද?

ඔබේ ආගම කුමක්ද?

ඔබේ නබිවරයාණන් කවු ද?

පළමු කරුණ: ඔබේ පරමාධිපති කවු ද?

මාගේ පරමාධිපති අල්ලාහ් වේ.

මුස්ලිම්වරයෙකු විසින් තම පරමාධිපති (අල්ලාහ්) බව විශ්වාස කරන අතර ඔහු මෙම විශ්වයේ මිනිසා අතුලු එහි ඇති සියල්ල මැවූ බවට විශ්වාස කරයි.

තවද අපි මේ මහා විශ්වය ගැනත් එහි ඇති ග්රහලෝක සහ තරු බිලියන ගණනක් ඇතුළු අතිවිශාල මන්දාකිණි ගැනත් සිතන්නේ නම්, ඒ් වගේම අප ජීවත් වන මේ භූමිය ගැනත් එහි තැනිතලා, කඳු, ගොඩබිම, මුහුද, ගංගා සහ එහි අඩංගු සංයුතිය ගැන අවධානය යොමු කරන්නේ නම් මුහුදු පතුලේ, කාන්තාරවල සහ වනාන්තරවල ජීවත්ව සිටින ජීවීන්ගේ අරුමපුදුම කරුණු ගැන දැන ගැනීමට හැක. තවද අපි මිනිසාගේ මැවීම් සහ අනෙකුත් ජීවීන්ගේ ආශ්චර්යය ගැන මෙනෙහි කළහොත්, අපගේ චින්තනය අපව මඟ හැරිය නොහැකි නිගමනයකට ගෙන යනු ඇත; එනම් මේ සියලු නිර්මාණයන් සඳහා ශ්රේෂ්ඨ මැවුම්කරුවෙකු, සියල්ල දන්නා සර්වබලධාරී, ප්රඥාවන්තයෙකු සිටිය යුතුය. ඔහු මෙම විශ්වය නිර්මාණය කළේය. ඇත්ත වශයෙන්ම මැවුම්කරු දෙවි කෙනෙකු නොමැතිව මෙම ජීවීන්ට පැවැත්මක් නැත. ඔවුන්ව නිර්මාණය කර, ඔවුන්ගේ කටයුතු සංවිධානය කර, සිත් ඇදගන්නා ආකාරයෙන් ඔහු විසින් ඔහුගේ නිර්මාණය පරිපූර්ණ කළ අතර, මෙම කාරණය සර්වබලධාරි අල්ලාහ් විසින් සෑම නුවණැති පුද්ගලයෙකුටම පැහැදිලිව විස්තර කළේය. අල්ලාහ් මෙසේ පවසයි.

"ඔවුහු කිසිවක් නොමැති ව (ස්වභාවයෙන් ම) නිර්මාණය කරනු ලැබුවෝ ද? නැත්නම් ඔවුහු (තමන් ව ම) නිර්මාණය කරගත්තෝ ද?"

(අත්තූර්: 35)

මෙම විශ්වයේ ඇති ජීවීන් තමන් විසින්ම තමන්ව නිර්මාණය කරගෙන නැත, මැවුම්කරුවෙකු නොමැතිව මේ සියල්ල ඇති වූයේද නැත, මන්ද (මැවුම්කරුවෙකු නොමැතිව මේ සියල්ල ඇති වූ බවට) ප්රඥාවන්තයින්ට පිළිගත නොහැක්කකි.

එබැවින් වන්දනාමානයට සුදුසු වන්නේ අල්ලාහ් දෙවිඳාණන් පමණි:

වන්දනාමානය ලැබීමට සුදුසු එකම දෙවි වන්නේ අල්ලාහ් දෙවිඳාණන්ය; මක්නිසාද යත් ඔහු මැවුම්කරුය, මේ විශ්වයේ ඇති සියල්ලෙහි මහ මොළකරු සහ එහි සිටින සෑම කෙනෙකුම පෝෂණය කරන්නා, සපයන්නා ඔහු බැවිනි. සියලු මිනිසුන් මවා මේ මිහිමත ඔවුන්ට ජීවන මාර්ගය ලබා දුන්නේ ඔහු ය, සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

“ඔහුය අල්ලාහ්. නුඹලාගේ පරමාධිපතිය. ඔහු හැර නැමඳුම් ලබන්නට කිසිවකු නොමැත. සියලු දෑහි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. තවද සියලු දෑහි භාරකරු වන්නේද ඔහුය.”

(අල් අන්ආම්: 102)

සෑම මනුෂ්යයෙකුම අල්ලාහ්ට පමණක් නමස්කාර කිරීම අනිවාර්ය වන අතර ඔහුට නමස්කාර කිරීමේදී කිසිවකට /කිසිවෙකුට ආදේශ නොකළ යුතුය. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

“මිනිසුනි! නුඹලා හා නුඹලාට පෙර වාසය කළ උදවිය මැවූ නුඹලාගේ පරමාධිපතිට නැමඳුම් කරනු. (එමඟින්) නුඹලාට අල්ලාහ් කෙරෙහි බැතිමත් විය හැකි ය.”

(අල් බකරා:21)

සර්වබලධාරී අල්ලාහ් මෙසේද පවසයි.

නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නොකරනු.

(අන් නිසා:36)

ඒක දේවත්ව වාදය තහවුරු කිරීම සඳහා වක්තෘවරුන්ගේ කැඳවීම:

මෙම කරුණ මනාව පැහැදිලිය, සර්වබලධාරි අල්ලාහ් දෙවිඳාණන්, ඔහුගේ කරුණාව, ත්යාගශීලීභාවය සහ අප කෙරෙහි ඇති ඔහුගේ දයාව නිසා, අපව නිර්මාණය කර, අපව මෙලොව ජීවිතයේදී ව්යාකූලත්වයට පත්වී යාමට ඉඩ දුන්නේ නැත. ඒ වෙනුවට, ඔහු අපහට රසූල්වරුන් හෙවත් පණිවිඩකරුවන් එවූ අතර ඔවුන් සමඟ අපට නිවරදි මඟ පෙන්වන දේව ග්රන්ථ ද එව්වේය. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

"නියත වශයෙන්ම අපි ඔබ සත්යයෙන් යුතු ව ශුභාරංචි දන්වන්නකු වශයෙන් හා අවවාද කරන්නකු වශයෙන් එව්වෙමු. කිසිදු සමූහයක් එහි අවවාද කරන්නෙකු පැමිණ ඉකුත් ව ගියා මිස නැත."

(ෆාතිර් - 24)

මානව වර්ගයාගේ පියා ආදම්, (ඔහුට සාමය ලැබේවා) සහ නූහ් (නෝවා) ඉබ්රාහීම් (ආබ්රහම්), මූසා (මෝසෙස්), ඊසා (ජේසුස්) සහ අනෙකුත් අනාගතවක්තෘවරුන් ඇතුළු සියලුම අනාගතවක්තෘවරුන් සහ අවසන් වශයෙන් පැමිණි පණිවිඩ කරුවෙකු වූ අපගේ මුහම්මද් නබිතුමාණන් - අල්ලාහ්ගේ ශාන්තිය සහ සාමාදානය ඔවුන්ට හිමි වේවා - මේ සියලුම වක්තෘවරුන් විශිෂ්ඨ වූ මූලධර්මයකට එකඟ වූූහ. එනම් සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳාණන්ව විශ්වාස කරන ලෙසත්, අල්ලාහ්ට පමණක් වන්දනාමානය කරන ලෙසත්, අල්ලාහ් හැර ගල්, ගස්, තරු, ග්රහලෝක සහ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීම අත්හැරීමටත්, මිනිසුන්ට ආරාධනා කිරීමයි. මේ ගැන සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

“සැබැවින් ම අපි සෑම සමාජයකට ම ‘අල්ලාහ් නමඳින්න. තාගූත් (අල්ලාහ් හැර නමඳිනු ලබන අනෙකුත් දෑ) වලින් ඈත් වී සිටින්න’ යනුවෙන් (ජනයාට දේශනා කිරීම පිණිස) දේව දූතවරයෙකු යවා ඇත්තෙමු.”

(අන්-නහ්ල්:36)

අල්ලාහ් දෙවිඳාණන් මෙසේද සඳහන් කරයි.

"(ඕ මුහම්මද්!) ඔබට පෙර අපි යැවූ සෑම දූතවරයෙකුට ම 'මා හැර (නැමදීමට සුදුසු) වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් ඔබලා මා හට ම නැමදුම් කරන්න' යැයි අපි වහී (දේව හෙළිදරව්) මඟින් දැනුම් දුන්නෙමු."

(අල් අන්බියා: 25)

අල්ලාහ් දෙවිඳාණන්ගේ ලක්ෂණ සහ අලංකාර නම්

සර්වබලධාරී අල්ලාහ් දෙවිඳාණන්ට අලංකාර නම් සහ උත්තරීතර වූ ගුණාංග ඇත. අපි ඒවා දැන හඳුනා ගත් විට, අපට අපගේ අල්ලාහ් දෙවිඳාණන් පිළිබඳ අපගේ දැනුම, ඔහු කෙරෙහි ඇති අපගේ ආදරය සහ බිය බැතිකම වැඩි කර ගැනීමට හැක. තවද ඔහුගේ ත්යාගශීලීභාවය බලාපොරොත්තු වීමටද හැක. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

"අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔහුට අලංකාර නාමයන් ඇත."

(සූරා තාහා: 08)

අල්ලාහ්ගේ ගුණාංග පෙන්නුම් කරන ඔහුට අයත් නම් බොහෝය. සර්වබලධාරී අල්ලාහ්ගේ නම් අතර:

අර්රහ්මාන් අර් රහීම්. අල්ලාහ් මෙසේ පවසයි.

"නුඹලාගේ දෙවියා එකම දෙවියාය. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ඔහු හැර වෙනත් දෙවියෙකු නැත."

(අල් බකරා :163)

ඔහු (අල්ලාහ්) සෑම දෙයක්ම ආවරණය කරන, සියලු සත්වයන් අතර ව්යාප්තව පැතිර ඇති මහා, විස්තීරණ දයාවේ හිමිකරු වන අතර, මෙලොවදී ඔහුගේ දයාව ඔහුගේ සියලු මැවීම් වෙත පොදුවේ පැතිර පවතී. එනම් සතුන් සහ මිනිසුන්, මුස්ලිම්වරුන් සහ මුස්ලිම් නොවන අය කෙරෙහිද ආවරණය වෙයි. සර්වබලධාරි අල්ලාහ් මෙසේ පවසයි.

"තවද මාගේ දයාව සියලු දෑහි ව්යාප්ත ව ඇත."

(අල් අඃරාෆ්: 156)

ඔහු මෙලොව සිටින සියල්ලන්ම පෝෂණය කරයි. ඔවුන්ට සෞඛ්යය, ආහාර, දරුවන් යනාදිය ලබා දෙයි. නමුත් මරණින් මතු ජීවිතයේදී ඔහුගේ දයාව, ඔහුගේ අනාගත වක්තෘවරුන් සහ දූතයන් අනුගමනය කළ ඔහුව විශ්වාස කළවුන් සඳහා පමණක් ලැබෙනු ඇත. තවද ඔහුගේ (අල්ලාහ්ගේ) සම්පූර්ණ දයාව, සදාකාලීන සතුට ලැබීමට හේතු වූවෝ ඔවුහුමය.

§ මැවුම්කරුවාණන් (වූ අල්ලාහ්) මෙසේ පවසයි.

"සියල්ලෙහි ම මැවුම්කරු අල්ලාහ් ය."

(අස්Zසුමර්: 62)

අහසත් පොළොවත් ඒ දෙක අතර ඇති දේත් මැව්වේ ඔහුය. තවද පරමාණුවේ සිට මන්දාකිණිය දක්වා සියල්ල මැව්වේද, ඊට වඩා පුළුල් දේ මැවූවේද ඔහුය. ඔහුගේ මැවීම්, ප්රඥාව, බලය සහ කරුණාවෙන් සමන්විතය. එබැවින් ඔහුගේ මැවිල්ලේ කිසිදු අඩුපාඩුවක් හෝ අසමතුලිතතාවයක් ඔබට දැක ගැනීමට නොහැකිය.

§ සමාව දෙන්නා - කෙනෙකුගේ පෙර කළ ක්රියාවන්ගෙන් කුමක් සිදු වී තිබුණද, අවංකව තමන්ගේ පව් ගැන සිතා, පසුතැවිලි වන තැනැත්තා වෙනුවෙන් අල්ලාහ් සියලු පව් කමා කරන්නේය. තවද ඔහුගේ ගැත්තන්ගේ බොහෝ පව්වලට ඔහුගේම ත්යාගශීලීභාවයෙන් සමාව දෙන්නේය. නමුත් වන්දනාමාන කටයුතු වලදී ඔහුට ආදේශ කිරීමේ පාපයට සමාව දෙන්නේ නැත. නමුත්, මෙවැනි පාප සඳහා තව්බා හෙවත් පසුතැවිලි වීම තුලින් සමාව ලබා දෙයි. අල්ලාහ් අභියස කළ පව් සඳහා පසුතැවිලි වීමෙන්, සමාව අයද සිටීමෙන්, ඔහුට වන්දනාමානය කිරීමෙන්, ධර්මිෂ්ඨ ක්රියාවන්හි යෙදීමෙන් සහ අල්ලාහ්ගේ මැවීම්වලට කරුණාව දැක්වීමෙන් ඔහුගේ (අල්ලාහ්ගේ) සමාව ලබා ගැනීමට ඔහුගේ සියලු මැවීම් සඳහා දොරටුව විවෘත කර ඇත. සර්වබලධාරි අල්ලාහ් මෙසේ පවසයි.

"තවද පසුතැවිලි වී, විශ්වාස කොට, දැහැමි දෑ සිදු කොට, පසු ව යහ මග යොමු වූවන්හට සැබැවින්ම මම අතික්ෂමාශීලී වෙමි."

(අන් නජ්ම්: 82)

§ පෝෂණය කරන්නා- අල්ලාහ් සුවිශුද්ධය. ඔහු සියල්ලෙහි ආධිපත්යය හිමි රජු වන අතර ඔහු අවශ්යතාවන්ගෙන් තොර වන්නාය. ඔහුගේ උත්තරීතරභාවයෙන් ඔහු මහා ත්යාගශීලීය. ඔහු විසින් මැවූ කිසිවෙකු වීද ඔහුගේ පෝෂණය ඔහුට ලැබෙනු ඇත.

"ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මාහට නැමඳීමට මිස අන් කිසිවක් උදෙසා මම නොමැව්වෙමි."

"ඔවුන්ගෙන් කිසිදු පෝෂණ සම්පතක් මම අපේක්ෂා නොකරමි. එමෙන් ම, නුඹලා මාහට ආහාර සැපයිය යුතු යැයි ද මම අපේක්ෂා නොකරමි."

"සැබැවින් ම (සියල්ලන්ට ම) ආහාර සපයන්නා සහ මහා බලසම්පන්නයා අල්ලාහ් වේ."

(අස් සාරියාත්: 56-58)

§ සාමය ඇති කරන්නා: අඩු ලුහුඬු කම්වලින් තොර වූ ද, සියලු අඩුපාඩු ලක්ෂණවලින් ද තොර වූ ද, පරිපූර්ණ වූ ද, මහිමයෙන් යුක්ත වූ ද, ශෝභමාන වූ ද, මහා ගුණ ලක්ෂණ වලින් යුක්ත වූ අල්ලාහ් තම ගැත්තන් වචනයෙන් හා ක්රියාවෙන් සාමය පැතිරවීම ප්රිය කරන්නේය. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

”ඔහුය අල්ලාහ්ය. ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහු රජුය. පාරිශුද්ධය. සාමය ඇති කරන්නාය."

(අල්-හෂ්ර්: 23)

§ සර්වඥානීය: සර්වබලධාරී අල්ලාහ් සියල්ල අසයි; දකියි; දනී. ඔහුගේ දැනුම සියල්ල ආවරණය කරයි. මක්නිසාද යත්, ඔහු ප්රසිද්ධියේ ඇති දේ ද,රහසිගතව ඇති දේ ද, සිත් සතන් තුළ සැඟවී ඇති දේ ද දන්නේය.තවද ඔහු අතීතයේ ඇති වූ දේ දනී. වර්තමානයේදී සහ අනාගතයේදී කුමක් සිදුවේද යන වගද ඔහු දනී. ගැත්තන්ගේ ක්රියාවන් ගැන දන්නා මුරකරු ඔහුය.එබැවින් කීකරු අයගේ කීකරුකම හෝ අකීකරු අයගේ අකීකරුකම හෝ දුර්වලයන්ගේ අවශ්යතා හෝ කැඳවන්නන්ගේ හඬ ඔහුගෙන් සඟවා තැබීමට නොහැක. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

"සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය."

(අල් බකරා: 231)

ඔහු සුවිශුද්ධය. ඔහු විශ්වයේ පරමාධිපතිය. ඔහු විසින් නිර්මාණය කරන ලද සෑම දෙයක්ම පරිපූර්ණත්වයට පත් කර ඇති අතර, මේ ලෝකයේ සෑම යහපතක්ම හා පරිපූර්ණත්වය මනාව නිමා කර ඇත. එබැවින් එය ඔහුගේ පරිපූර්ණත්වයේ එක් ලක්ෂණයකි. ඔහු සුවිශුද්ධය.

දෙවන මූලික කරුණ: ඔබේ ආගම කුමක්ද?

මගේ ආගම ඉස්ලාම් වේ.

ඉස්ලාම් යනු දේවත්වය එකීයකරණය තුළින් අල්ලාහ්ට යටත් භාවය දැක්වීමයි. කීකරුකමෙන් ඔහුට යටත් වීමයි. තවද බහු දේවවාදය (ආදේශ කිරීම) ප්රතික්ෂේප කිරීමයි.

මුස්ලිම්වරයෙකු යනු ඉස්ලාම් ආගමට ඇතුල් වූ කෙනෙකු වන අතර, අල්ලාහ්ගේ නිත්ය බව සහ ඒකීයභාවය විශ්වාස කරමින්, ඔහුගේ අණපනත්වලට යටත්ව, ඔහු තහනම් කළ දේවලින් වැළකී, සර්වබලධාරී අල්ලාහ්ට තම යටහත් පහත් භාවය ඉදිරිපත් කරන්නා වේ. සර්වබලධාරී අල්ලාහ් ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ පවසයි:

“යහපත් දෑ කරන්නෙකු ව සිට තම මුහුණ අල්ලාහ් වෙතට අවනත කරවා ඉබ්රාහීම්ගේ පිළිවෙත අවංක ව පිළිපදින්නෙකුට වඩා දහමින් වඩා අලංකාර වන්නේ කවරෙකු ද? අල්ලාහ් ඉබ්රාහීම් ව මිතුරෙකු බවට ගත්තේය.”

(අන් නිසා: 125)

අල්ලාහ් දෙවිඳාණන් මෙසේද පවසා ඇත.

"අල්ලාහ් වෙත ඇරයුම් කොට දැහැමි දෑ සිදු කොට නියත වශයෙන්ම මම මුස්ලිම්වරුන් අතරින් වෙමි” යැයි පවසන අයට වඩා කතාවෙන් වඩාත් අලංකාර වනුයේ කවරෙකු ද?"

(ෆුස්සිලත්: 33)

ඉස්ලාම් ආගමේ ඇති සුවිශේෂි කරුණු අතර

ඉස්ලාම් යනු යුක්තියේ ආගමයි: එය සමීපව සිටින්නා සහ දුරස්ථව සිටින්නා, සතුරා සහ මිතුරා, ඇදහිලිවන්තයා සහ නොඇදහිලිවන්තයා යනාදී වශයෙන් සියලු දෙනා සමඟ යුක්තිය සර්ව සාධාරණව පසිඳලීමට අණ කරයි. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

"සැබැවින්ම අල්ලාහ් යුක්තිය සර්ව සාධාරණව පසිඳලීමට අණ කරයි."

(අන් නහ්ල්: 90)

තවද, සර්වබලධාරී සහ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කිසිවෙකුට අසාධාරණයක් නොකරන, සාධාරණ විනිශ්චයකරුවෙකි. නැවත නැඟිටීමේ දිනය ගැන සර්වබලධාරි අල්ලාහ් මෙසේ පවසයි.

"අද දින සෑම ආත්මයක්ම ඔවුන් උපයා ගත් දෑ වෙනුවෙන් ප්රතිඵල දෙනු ලබති. අද දින කිසිදු අසාධාරණයක් නැත."

(ගාෆිර්: 17)

ඉස්ලාම් යනු කරුණාවේ ධර්මයයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

“අපි ඹබ ලෝවැසියනට දයාවක් ලෙස මිස නොඑව්වෙමු.”

(අල් අන්බියා: 107)

අල්ලාහ්ගේ දූතයාණන් මුහම්මද් තුමාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා සිටියහ.

කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණාව දැක්වූවෝ වෙති. මිහිකතේ වැසියනට ඔබ කරුණා කරනු. අහස්හි සිටින්නන් ඔබට කරුණා කරනු ඇත.

ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

ඉස්ලාම් යනු ආදරය, සමාජශීලිත්වය සහ සමීපත්වයේ ආගමයි: මුහම්මද් නබි තුමාණන් (අල්ලාහ්ගේ ශාන්තිය සහ සාමය ඔහු කෙරෙහි ඇති වේවා), මෙසේ පවසා ඇත.

"ඔබ අතුරින් කිසිවකු තමන් ප්රිය කරන දෑ තම සහෝදරයා වෙනුවෙනුත් ප්රිය කරන තෙක් ඔහු දෙවියන් විශ්වාස කරන්නෙකු නොවේ."

ඉමාම් බුහාරි තුමා විසින් එය වාර්තා කරන ඇත.

ඉස්ලාම් යනු සරළ බවේ ආගමයි: ඉස්ලාමයේ ඉගැන්වීම් දුෂ්කරතාවයකින් තොරය, එය හදාරන සෑම දෙනා උදෙසා එහි අඩංගු කරුණු පහසු කර ඇත. සර්වබලධාරි අල්ලාහ් මෙසේ පවසයි:

"අල්ලාහ් නුඹලාට පහසු ව ප්රිය කරයි. අපහසුතාව ප්රිය නොකරයි. (අල් බකරා: 185)

දෙවිඳාණන් මෙසේද පවසා ඇත.

"නුඹලාට කිසිදු දුෂ්කරතාවක් ඇති කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරයි."

(අල් මාඉදා: 6)

දෙවිඳාණන් මෙසේද පවසා ඇත.

“අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස (නියමයන්) පටවන්නේ නැත.”

(අල්-බකරා: 285.

ඉස්ලාම් යනු ඥානයේ ආගමයි: කුර්ආනයෙන් පහළ වූ පළමු වැකිය වන්නේ:

"මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු."

(අල් අලක්: 1)

ඉස්ලාමය සෑම මුස්ලිම් ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ඉගෙනීමට සහ දැනුම වැඩි කර ගැනීමට උනන්දු කරවයි. අල්ලාහ් මෙසේ පවසයි.

“මාගේ පරමාධිපතියාණනි! මට දැනුම වර්ධනය කර දෙනු මැනව!”

(තාහා: 114)

තවද (ඉස්ලාමයට අනුව) ඉගෙන ගන්නා තැනැත්තා ඉහළම තත්වයට පත් වනු ඇත, සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

"නුඹලා අතරින් විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම් වලින් අල්ලාහ් උසස් කරයි."

(අල් මුජාදලා: 11)

ඉස්ලාම් යනු විශ්ව දහමකි

ඉස්ලාම් යනු විශ්ව දහමකි, එය පෘථිවියේ එක් කොටසක් නොසලකා හැර තවත් කොටසකට පමණක් සීමා වූවක් නොවේ. තවද එය අරාබි ජාතිකයින්ට පමණක් සීමා වූ දහමක්ද නොවේ. එසේ නම් එය පෘථිවියේ සෑම කොටසකටම අයිති දහමකි. අල්ලාහ් දෙවිඳාණන් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමා අමතා මෙසේ ප්රකාශ කරයි.

"අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා සියලු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි. අහස් හා පොළොවේ ආධිපත්යය ඔහු සතුය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නොමැත. ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. එබැවින් නුඹලා යහමඟ ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ව ද ඔහු හා ඔහුගේ වදන් විශ්වාස කරන ඔහුගේ දූත උම්මි (ශාක්ෂරතාව නොදන්නා) නබිවරයාව ද විශ්වාස කරනු. තවද ඔහුව අනුගමනය කරනු. එවිට ඔබයහ මඟ ලබනු ඇත යැයි (නබිවරය) ඔබ පවසනු."

(අල් අඃරාෆ්: 158)

එමෙන්ම මෙම දහම අතීත කාලයකට විශේෂිත වූවක් නොවේ, නමුත් එය මුහම්මද් නබිතුමාගේ දූත මෙහෙවරේ සිට නැවත නැඟිටීමේ (අල්කියාමා) දිනය දක්වා (සදාකාලිකව) පවතින දහමකි. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

“කවරෙකු ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් (කිසිදු දහමක්) පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතරින් කෙනෙකි.”

(ආලු ඉම්රාන්: 85)

ඉස්ලාම් පරිපූර්ණත්වයට පත් දහමකි:

ඉස්ලාම් යනු ජීවන සැළැස්මකි; මුස්ලිම් තනි පුද්ගලයා, මුස්ලිම් ප්රජාව සහ මුස්ලිම් ජාතිය යන සෑම අංශයකින්ම සහ දේශපාලනය, ආර්ථික විද්යාව, සමාජ විද්යාව යන සෑම ක්ෂේත්රයකින්ම සහ වෙනත් අංශ තුළ ප්රායෝගිකව ක්රියාත්මක කළ හැකි දහමකි.

ඉස්ලාම් යනු විශ්වාසයකින් සහ නීති පද්ධතියකින් සමන්විත දහමකි. එම දහමට නිවැරදි විශ්වාසය, ශ්රේෂ්ඨ වන්දනාමාන ක්රමයක්, බුද්ධිමත් ගනුදෙනු ක්රම වේදයක්, අලංකාර සදාචාරයක් සහ විනය ගරුක හැසිරීම් රටාවක් යනාදි වශයෙන් සෑම කරුණක්ම ඇතුළත් වේ.

ඉස්ලාමයේ ඉගැන්වීම් සහ එහි නීති රීති මගින් පුද්ගලයෙකු තම පරමාධිපතියාණන් සමඟ ඇති සම්බන්ධය, පුද්ගලයෙකු තමා සමඟ ඇති සම්බන්ධය, පුද්ගලයෙකු වෙනත් මිනිසුන් සමඟ ඇති සම්බන්ධය සහ සතුන් සහ අජීවී වස්තූන් සමඟ පවා ඔහුගේ සම්බන්ධතාවය ශක්තිමත් කරයි.

ඉස්ලාමයේ ඉගැන්වීම්, ගත සහ ආත්මය යන දෙකෙහිම ධාර්මික වශයෙන් වැදගත් වන කරුණු ආවරණය කර ඇත.

සාරාංශයක් ලෙස: ඉස්ලාමය පැමිණ ඇත්තේ මිනිසුන්ගේ යහපත, ඔවුන්ගේ අභිවෘද්ධිය සහ මෙලොව සහ පරලොව සතුට සමඟිනි.

ඉස්ලාමීය විශ්වාසයේ පදනම් (ඊමාන් හේවත් විශ්වාසයේ කුළුණු):

ස්ථිර විශ්වාසයට අදාල ඉස්ලාමීය විශ්වාසයේ පදනම (ඊමාන් හේවත් විශ්වාසයේ කුළුණු) ලෙස හඳුන්වනු ලැබේ. ඒවා කරුණු හයකින් සමන්විතය, ඒවානම්:

1. සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය: එනම් අල්ලාහ්ගේ පැවැත්ම පිළිබඳ විශ්වාස කිරීම, ඔහු පමණක් මුළු විශ්වයේම මැවුම්කරු ලෙසත්, විශ්වයේ ඇති සෑම දෙයහිම හිමිකරු සහ පාලකයා ඔහු පමණක් බවත්, වන්දනාමානය කිරීමට එකම සුදුස්සා ඔහු පමණක් බවත්, ඔහුට කිසිඳු සහකරුවෙකු නැති බවත්, ඔහු අලංකාරය සහ තේජස යන ගුණාංග වලින් සංලක්ෂිත වන අතර, ඔහු පරිපූර්ණ බවත් හා සියලු අඩුපාඩු වලින් තොර වන අතර, ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙක් නොමැති බවත් විශ්වාස කිරීමයි.

2. මලාඉකාවරුන් හෙවත් දේවදූතයන් කෙරෙහි විශ්වාසය: එනම් ඔවුන් සර්ව බලධාරී අල්ලාහ් විසින් මවන ලද මැව්ම් අතර එක් මැවීමකි. ඔවුන් මවනු ලැබුවේ අල්ලාහ්ට ගැතිකම් කිරීම සඳහාය, ඔවුන් අල්ලාහ්ගේ අණට සම්පූර්ණයෙන්ම යටත් වන අතර, ඔහු ඔවුන්ට භාර දී ඇති ක්රියාවන්/නියෝග ඉටු කරති, එබැවින් අපි ඔවුන්ගේ පැවැත්ම ගැනත් පොදුවේ විශ්වාස කරමු. තවද අල්ලාහ්ගේ වහී හෙවත් දේව හෙළිදරව්ව මගින් විස්තරාත්මකව අපට දැනුම් දී ඇති ඔවුන්ගේ නම්, ගුණාංග සහ ඔවුන් භාරව සිටින කටයුතු ගැනත් විශ්වාස කරමු. එනම්.නබිවරුන් හෙවත් අනාගතවක්තෘවරුන් සහ රසූල්වරුන් හෙවත් පණිවිඩකරුවන් වෙතට අල්ලාහ්ගේ වහී නම් නියෝගයන් රැගෙන ඒමේ වගකීම ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාට පවරා ඇත. වර්ෂාව සහ ගහකොළ පිළිබඳ වගකීම මීකාඉල් (අලයිහිස් සලාම්) වෙත ද, එමෙන් ම (ලෝකාන්ත දිනයේ ද, මළවුන් යළි නැගිටුවනු ලබන අවස්ථාවේ දී) සූර් නම් හොරණෑව නාද කිරීමේ වගකීම ඉස්රාෆීල් (අලයිහිස් සලාම්) වෙත ද, මළවුන්ගේ ප්රාණය අත්පත් කර ගැනීමේ වගකීම මලක් අල් මවුත් (අලයිහිස් සලාම්) වෙත ද, අපාය භාර කටයුතු මාලික් (අලයිහිස් සලාම්) වෙතද පවරා ඇත. යනුවෙන් විශ්වාස කරමු.

3. අල්ලාහ්ගේ ග්රන්ථ කෙරෙහි විශ්වාස කිරීම: මේවා අල්ලාහ්ගේ මැවීම් කෙරෙහි ඇති දයාව නිසාද, ඔවුනට මග පෙන්වීම සඳහාද, මෙලොව සහ මරණින් මතු ජීවිතයේදී සතුට ලබා ගැනීම සඳහාද අල්ලාහ් විසින් තම රසුල්වරුන් හෙවත් පණිවිඩකරුවන්ට පහළ කළ ග්රන්ථය; අපි ඒවා පොදුවේ විශ්වාස කරන අතර, විස්තර සහිතව වහී හෙවත් හෙළිදරව් කිරීම තුළින් අප විසින් ඉගෙන ගත් දේ අපි විශ්වාස කරමු; එනම් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාට පහළ වූ අල් කුර්ආනය, ඊසා (අලයිහිස් සලාම්) තුමාට පහළ වූ ඉන්ජීලය, මූසා (අලයිහිස් සලාම්) වෙත පහළ වූ තව්රාතය, දාවුද් (අලයිහිස් සලාම්) වෙත පහළ වූ zසබූරය, අල්ලාහ් විසින් ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) -ආබ්රහම්- තුමාට හෙළි කළ ලියවිලි යන සියල්ල විශ්වාස කරමු.

4. රසූල්වරුන් හෙවත් පණිවිඩකරුවන් කෙරෙහි විශ්වාස කිරීම: ඔවුන් මනුෂ්යයන් වන අතර සර්වබලධාරී අල්ලාහ් ඔවුන් වෙත මගපෙන්වීම් හෙළිදරව් කළේය. ඔවුන්ව අල්ලාහ්ගේ ආගම ප්රචාරය කිරීම සඳහා මිනිසුන් වෙත එව්වේය. ඔවුන්ගෙන් පළමුවැන්නා නූහ් (අලෛහිස් සලාම්) වන අතර ඔවුන්ගෙන් අවසාන තැනැත්තා මුහම්මද්, (අල්ලාහ්ගේ ශාන්තිය සහ සාමය එතුමාට හිමි වේවා!) ය. ඔවුන් තම ආගම සහ සදාචාරය මත පරිපූර්ණත්වයෙන් පිහිටා සිටියහ. ඔවුන්ගේ පැමිණීමේ වැදගත්ම අරමුණ වන්නේ, වන්දනාමානයේදී සර්වබලධාරී අල්ලාහ්ව ඒකියත්වයට පත්කිරීමත්, තවද අල්ලාහ්ට කිසිවක් සමාන කීරීමෙන් සහ අල්ලාහ් හැර අන් සියල්ලට නමස්කාර කිරීමෙන් වැළැකී සිටීමටත්, යහපත් දෑ කිරීමට සහ අයහපත් දෙයින් වැළැකී සිටීමටත් මිනිසුන්ට ආරාධනා කිරීම සඳහාය.

අල්ලාහ් විසින් මිනිසුන් අතරින් පණිවිඩකරුවන් (රසූල්වරුන්) එවූ බව අපි විශ්වාස කරමු; පණිවිඩකරුවන් විසින් ගැත්තන්ට පැවසූ දේ විශ්වාස කිරීමත්, ඔවුන්ට කීකරු වීමත්, ඔවුන්ට අණ කළ දේ අනුගමනය කිරීමත් අනිවාර්ය වේ. තවද ඔවුන් අතර අල්ලාහ් විසින් ඔවුන්ගේ නම් සහ ඔවුන්ගේ සමාජය ගැන දැනුම් දුන් අය සිටින බව අපි දනිමු. ඉද්රිස්, නූහ්, ඉබ්රාහීම්, මූසා, ඊසා, හූද්, සාලිහ් සහ ෂුඅයිබ් යන අය මෙසේ අල්ලාහ් විසින් අපට දැනුම් දුන් නබිවරුන්ය. තවද ඔවුන් අතර අල්ලාහ් විසින් ඔවුන්ගේ නම් අපට දැනුම් නොදුන් අයද සිටිති; උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

"ඔබට පෙර දහම් දූතවරු සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතරින් අපි ඔබ වෙත කතා විස්තර කළ අය වෙති. තවද ඔබ වෙත අපි කතා විස්තර නොකළ අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු සාධකයක් ගෙන ඒමට කිසිදු දහම් දූතයකුට නොවීය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි විට යුක්ති සහගත ව තීන්දු කරනු ලැබීය. එහි දී වැරදි කළවුන් පරාජිත වුහ."

(ගාෆිර්: 78)

5. අවසාන දිනය විශ්වාස කිරීම: එය වනාහි අල්ලාහ් දෙවිඳාණන් විසින් මිනිසුන් මෙලොවදී ඔවුන් කළ ක්රියාවන් විනිශ්චය කිරීමට සහ විපාක දීමට නැවත නැඟිටුවන දිනයයි. එහිදී මිනිසුන් කණ්ඩායම් දෙකකට බෙදී සිටිනු ඇත. දේවත්වය විශ්වාස කළවුන් ස්වර්ගයට ඇතුල් වනු ඇත, එහි ඔවුන් සදහටම සිටිනු ඇත. තවද දේවත්වය විශ්වාස නොකළවුන් නිරයට ඇතුල් වනු ඇත. ඔවුන් එහි සදාකල් වෙසෙනු ඇත. නමුත් කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස හිඳ පාපකම් සිදු කර ඇත්තේ ද එක්කො අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. එසේ නැතිනම් නියමිත කාලයක් ඔවුනට දඬුවම් දී පසුව ස්වර්ගයට ඇතුළත් කරනු ඇත.

6. පූර්ව නියමය, එහි හොඳ සහ නරක යන දෙක විශ්වාස කිරීම: මුස්ලිම්වරුන්ගේ විශ්වාසය නම්, සිදු වූ දේ කුමක්ද? මතුවට සිදුවන දේ කුමක්ද? යන්න ගැන අල්ලාහ් දන්නා බවත්, අල්ලාහ් ජීවීන්ගේ නියෝග ලියා, ඒවා ඔහුගේ කැමැත්තට අනුව පවත්වාගෙන යන බවත්ය. එබැවින් ඔහුගේ අනුදැනුමකින් තොරව විශ්වයේ කිසිවක් සිදු නොවේ. ඔහුගේ සටහන, ඔහුගේ අභිමතය සහ ඔහුගේ මැවීම වනාහි ඒ තුළින් කෙනෙකුට යහපතක් සිදුවන්නේ නම්, එය සර්වබලධාරී අල්ලාහ්ගේ දයාව හේතුකොට ගෙන සිදු වෙන බවත්, වෙනත් ආකාරයකින් සිදුවන්නේ නම් එය සර්වබලධාරී අල්ලාහ්ගේ පරීක්ෂණයක් හෝ දඬුවමක් වන අතර, එය සර්වබලධාරී අල්ලාහ්ගේ ප්රඥාව සහ යුක්තිය තුළින් සිදු වන බවත් විශ්වාස කිරීම. එහි ඇති ශ්රේෂ්ඨත්වය සහ පරිපූර්ණත්වය හේතුවෙන් මිනිසුන්ට ඒවා බුද්ධි ගෝචර නොවනු ඇත. තවද ගැත්තා පූර්ව නියමය, එහි යහපත සහ අයහපත විශ්වාස කරන විට ඔහුගේ සිත සැනසීමට පත් වන අතර ඔහුගේ ආත්මය සාමයෙන් යුක්තව පවතී, තවද සියල්ල ඇත්තේ අල්ලාහ්ගේ අතේ පමණක් බව ඔහු හොඳින් දන්නා බැවින් ඔහු තම සියලු කටයුතු සර්වබලධාරි අල්ලාහ්ට භාර කරයි. මක්නිසාද යත් අල්ලාහ් සිතූ දේ සිදු වන අතර, අල්ලාහ් නොසිතූ දේ සිදු නොවන බැවිණි.

ඉස්ලාමයේ කුළුණු

ඉස්ලාමයේ කුළුණු වනාහි, එය ඒ මත ගොඩනැගුණු අත්තිවාරමයි. ඒවා මුස්ලිම්වරයෙකු විසින් ඉටු කළ යුතු කුළුණු පහකි:

1- අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවටත්, මුහම්මද් අල්ලාහ්ගේ සංදේශකවරයා බවටත් සාක්ෂිය දැරීම: එය දිවෙන් උච්චාරණය විය යුතු සාක්ෂියක් වන අතර හදවත එයට එකඟ විය යුතුයි. තවද නිසැකවම හවුල්කරුවෙකු නොමැති එකම සැබෑ දෙවියා අල්ලාහ් බව සහ මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ අල්ලාහ් ගැන දැනුම් දෙන පණිවිඩකරුවෙකු බවට සාක්ෂි දැරීමයි.

2- සලාතය ඉටු කිරීම: මුස්ලිම්වරයෙකු දිවා සහ රාත්රියේ දෛනිකව සලාත් පහක් ඉටු කළ යුතුය. එය සර්වබලධාරී අල්ලාහ්ට ගරුබුහුමන් කරනු වස් නැගීට සිටීම, රුකූඋ කිරීම සහ සුජූද් කිරීම ඇතුළත් යාඥා ක්රමයකි. ඒවා ඉටු කිරීම සඳහා ඒ ඒ නමින් හැඳින්වෙන වේලාවන් ඇත, ඒවා නම්: ෆජ්ර් සලාතය, ළුහර් සලාතය, අසර් සලාතය, මග්රිබ් සලාතය, ඉෂා සලාතය යනාදි වශයෙනි. තවද මෙයට අමතරව අනිවාර්ය නොවන සලාත්ද ඇත.

3- සකාත් ප්රධානය කිරීම: මුදල් ඇති මුස්ලිම්වරයෙකු තම මුදලින් කුඩා, සීමිත මුදල් ප්රමාණයක් නිකුත් කොට දුප්පත්, අසරණ සහ සකාත් ලැබීමට සුදු වෙනත් අය සඳහා ලබා දිය යුතුය.

4- රාමසාන් උපවාස ශීලය: රාමසාන් මාසය තුළ අලුයම සිට හිරු බැස යෑම දක්වා මුස්ලිම්වරයෙකු විසින් අල්ලාහ්ට වන්දනාමාන කිරීමක් ලෙස ආහාර, බීම, ලිංගික සංසර්ගය සහ උපවාසය කඩ කරන වෙනත් දේවලින් වැළකී සිටීම.

5. අල්ලාහ්ගේ ශුද්ධ වූ නිවස වෙත ගොස් හජ් ඉටු කිරීම: එය මුස්ලිම්වරුන් මක්කා අල්-මුකර්රමා වෙත යාමයි; මේ සඳහා ශක්තිය ලද මුස්ලිම් කෙනෙකු විසින් සර්වබලධාරී අල්ලාහ්ට නමස්කාර කිරීම සඳහා හජ් චාරිත්ර වාරිත්ර පිළිපදිමින් ජීවිත කාලය තුළ එක් වරක් හෝ ඉටු කිරීමය.

වන්දනාමානය පිළිබඳ ඉස්ලාමීය සංකල්පය.

වන්දනාමානය: වන්දනාමානය වනාහි බාහිර වශයෙන් හෝ අභ්යන්තර වශයෙන් හෝ වේවා, ක්රියාවෙන් සහ වචනයෙන් අල්ලාහ් ප්රිය කරන සහ ඔහුව තෘප්තියට පත් කරන ආකාරයට සර්වබලධාරී අල්ලාහ්ව ඒකීයත්වයට පත්කිරීම සහ අල්ලාහ්ට සමීප කරවන ක්රියාවන්හි නිරත වීමයි.

කියමන් (වචන) සඳහා උදාහරණ: අල් කුර්ආනය කියවීම, කන්නලව් කිරීම, සර්වබලධාරී අල්ලාහ්ව සිහිපත් කිරීම, ප්රයෝජනවත් දැනුම ඉගැන්වීම, අන් අයට උපදෙස් දීම යනාදිය වේ.

ක්රියාවන් සඳහා උදාහරණ : පිරිසිදු කිරීම, සලාත් ඉටුකිරීම, හජ් ඉටු කිරීම, මිනිසුන්ගේ අවශ්යතා වලදී උදව් උපකාර කිරීම යනාදිය වේ.

බාහිර ක්රියාවන් සඳහා උදාහරණ: සලාතය, හජ් වන්දනාව, අල් කුර්ආනය කියවීම, අල්ලාහ් වෙත ඇරයුම් කිරීම සහ ඥාතී සම්බන්කම් ආරක්ෂා කිරීම වැනි බාහිර වශයෙන් පෙනෙන සහ ඇසෙන ක්රියාවන් වේ.

අභ්යන්තර ක්රියාවන් සඳහා උදාහරණ: මේවා හදවතේ සිතිවිලි මගින් ඇතිවන ක්රියා වේ. එනම් සර්වබලධාරී අල්ලාහ් කෙරෙහි දක්වන ආදරය, අල්ලාහ් කෙරෙහි ඇති කර ගන්නා වූ යහපත් බලාපොරොත්තුව, ඔහු කෙරෙහි වන භිය බැතිකම, ගෞරවය සහ සර්වබලධාරී අල්ලාහ් වෙත විශ්වාසයකින් යුතුව සියල්ල භාර කිරීම යනාදිය වේ.

ඉස්ලාම් දහමේ වන්දනාමානයට ඇති වැදගත්කම

අල්ලාහ් දෙවිඳාණන් විසින් මිනිසුන්ව මැවීමේ මුඛ්ය අරමුණ, සර්වබලධාරී අල්ලාහ්ට වන්දනාමානය කිරීමයි. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

"ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා නැමඳීමට මිස අන් කිසිවක් උදෙසා මම නොමැව්වෙමි."

(අද් දාරියාත්: 56)

මහා ප්රඥාන්විත හේතූන් සහ අනන්තවූ යහපත් ප්රතිඵල මිනිසුන්ගේ ආත්මයන් සහ ඔවුන්ගේ ජීවිතය තුළ සාක්ෂාත් කර ගැනීම සඳහා වන්දනාමාන පිළිවෙත් ඉස්ලාමය විසින් නියම කර ඇත. වන්දනාමානයේ භාග්යයන් තුළින් එය මිනිසාගේ ආත්මය පිරිසිදු කරයි, ඔවුන් පවිත්රත්වයට පත් කරයි, එමෙන්ම ඔවුන්ව මනුෂ්යත්වයේ පරිපූර්ණත්වය අතින් ඉහළම මට්ටමකට ඔසවා තබයි.

මිනිසාට වන්දනාමානය කෙරෙහි විශාල අවශ්යතාවයක් ඇත. ඔහුගේ ශරීරයට ආහාර පාන අවශ්ය වන්නා සේම, ඔහුගේ සිතත් ආත්මයත් අල්ලාහ් දෙවිඳාණන් වෙතට වන්දනාමානය කිරීම සඳහා යොමු විය යුතුය. අල්ලාහ් දෙවිඳාණන්ව මෙනෙහි කිරීමෙන් හා වන්දනාමානය කිරීමෙන් මිස ආත්මයක් සන්සුන් බවට පත් වන්නේ නැත. සර්වබලධාරී අල්ලාහ්ට සමීප වී ඔහු සමඟ හොඳ සම්බන්ධතා ඇති කර ගැනීමකින් තොරව සිතට සතුටක් හා හදවතට ප්රෙබා්දයක් නොලැබෙනු ඇත. සැබෑ වන්දනාකරුවන් ජනයා අතර සිටින වඩාත් ප්රීතිමත් උදවියයි. එමෙන්ම හදවතින් වඩාත් පුළුල් වූ උදවියයි. කවරෙකු සතුට අපේක්ෂා කළේ ද ඔහු අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීම පිළිපැදිය යුතු වේ.

ඉස්ලාමයේ වන්දනාමානය තුළ ඇති විශ්වීයත්වය.

ඉස්ලාමයේ නමස්කාරයට දෙවියන් ප්රිය කරන සියලුම යහපත් ක්රියා ඇතුළත් වන අතර, ඒවා ක්රියාවට නැංවීමෙන් අපි සර්වබලධාරී හා උත්තරීතර වූ අල්ලාහ්ට සමීප වෙමු. පහත සඳහන් කරුණු එයට ඇතුළත් වේ:

වන්දනාමානයේ චාරිත්ර: සලාත් හෙවත් යාච්ඤාව, සකාත් හෙවත් දුගී බද්ධ, අස්සව්ම් හෙවත් උපවාස ශීලය, හජ් වන්දනාව, අල් කුර්ආනය කියවීම, ප්රාර්ථනා කිරීම සහ අල්ලාහ් දෙවිඳාණන්ව (දික්ර්) මෙනෙහි කිරීම යනාදියයි.

යහපත් සැලකිලි: දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීම, ඥාතීන් අතර හොඳ සබඳතා පැවැත්වීම, බිරිඳ සහ දරුවන් සමඟ හොඳින් කටයුතු කිරීම, ගණුදෙනු වලදී සහ ව්යාපාරික කටයුතු වලදී ධාර්මිකව කටයුතු කිරීම, සමාජ සම්බන්ධතාවන් වලදී විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම, අසල්වාසීන්ට යහපත් දෑ සිදු කිරීම, අසරණයන්ට උපකාර කිරීම, සතුන්ට කරුණාව දැක්වීම යනාදියයි.

සත්ය කථා කිරීම, කෙනෙකු විසින් තැබූ විශ්වාසය ඉෂ්ට කිරීම, පොරොන්දු ඉටු කිරීම, සිනහ මුහුණකින් යුක්ත වීම, කාරුණික වචන පිටකිරීම, නිහතමානිකම, ලැජ්ජා සහගත වීම සහ වෙනත් යහපත් පුරුදු ද එයට ඇතුළත් ය.

මුස්ලිම්වරයෙකු තම සියලු තත්වයන් තුළ අල්ලාහ්ට වන්දනාමාන කරයි. එනම්, දේවස්ථානයේ දී, නිවසේදී, රැකීයා කරන ස්ථානයේදී සහ සෑම තැනකම වන්දනාමානය කරයි. මන්ද ඔහුගේ මුළු ජීවිතයම සර්වබලධාරී දෙවියන් සඳහා ය. සර්වබලධාරි අල්ලාහ් මෙසේ පවසයි.

“සැබැවින්ම මාගේ සලාතය, මාගේ වන්දනාව, මාගේ ජීවය, මාගේ මරණය විශ්වයෙහි පරමාධිපති වන අල්ලාහ් වෙනුවෙනි.”

(අල් අන්ආම්: 162)

තුන්වන මූලිකාංගය: ඔබේ වක්තෘ කවුද?

ඔහු නබි මුහම්මද් තුමාණන් වේ. (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා)

අපගේ නබිවරයාගේ පෙළපත මෙසේය: මුහම්මද් බින් අබ්දුල්ලා බින් අබ්දුල් මුත්තලිබ් බින් හාෂිම් සිට එතුමාගේ පෙළපත ඉබ්රාහීම් නබි තුමාගේ පුත් ඉස්මායිල් නබිතුමා වෙත සම්බන්ධ වෙයි. ඔවුන් දෙදෙනා කෙරෙහි සහ අපගේ නබිවරයා කෙරෙහි ශාන්තිය සහ සාමාදානය ඇති වේවා!

එතුමාණන්ට වයස අවුරුදු හතළිහක් වන විට අල්ලාහ් එතුමාණන්ව ශුද්ධ වූ මක්කම දේශයට (දහම් දූතයෙකු වශයෙන්) යැවූ අතර, අල් කුර්ආනය ද එතුමාණන්ට පහළ කළේය. එතුමාණෝ ජනයාව ඒක දේවත්වය වෙත සහ ඉස්ලාම් ආගම වෙත ආරාධනා කළහ. එතුමාගේ ජනතාව එතුමාව දැඩි ලෙස වේදනාවට පත් කර, එතුමාගේ මිතුරන්ට වධ දී ඔවුන්ගෙන් බහුතරයක් ඝාතනය කළෝය. පසුව එතුමාණෝ යත්රිබ් නගරයට සංක්රමණය කළහ. (එම නගරය දැන් මදීනා අන් නබවියියා යනුවෙන් හැඳින්වේ.) වසර දහතුනකට පසුව එහිදී එතුමාණෝ ඉස්ලාම් රාජ්යය පිහිටුවා, ඉස්ලාමීය සමාජයක්ද ගොඩනැගූහ. පසුව ෂරිආ පිළිවෙත් සම්පූර්ණ වන තෙක් වසර දහයක් එහි රැඳී සිටිමින් ජනතාවට මඟ පෙන්වමින්, ඔවුන්ව මෙහෙයවමින්, (දවා) කැඳවීම් සහ මග පෙන්වීම් කටයුතුවල නිරත විය. එතුමාණෝ මේ ආකාරයට මෙම කර්තව්ය දිගටම කරගෙන ගියහ. එබැවින් ඉස්ලාමය සම්පූර්ණ වී ආගම පරිපූර්ණ විය. (මේ සම්බන්ධව) සර්වබලධාරී අල්ලාහ්ගේ මෙම වදන පහළ විය:

"අද දින මම ඔබලාට ඔබලාගේ දහම පරිපුර්ණ කළෙමි. තව ද මාගේ දායාදය ද ඔබලාට පරිපූර්ණ කළෙමි. ඉස්ලාමය ඔබලාට දහමක් ලෙස මම තෝරා ගතිමි."

(අල් මාඉදා:3)

මිනිසුන් ආදරයෙන් සහ කැමැත්තෙන් අල්ලාහ්ගේ ආගමට ඇතුළු වන ආකාරය එතුමාණන් සිය දෑසින් පැහැදිලිව දුටු පසු එතුමාණන් අභාවයට පත්ව ගියේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

අල්ලාහ්ගේ උපකාරය හා (මක්කා) ජයග්රහණය පැමිණි විටද, (1)

තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද, (2)

නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී විය. (3)

(අන් නස්ර්: 1-3)

කරුණා දයාවේ නබිවරයෙකි.

අපගේ නබි මුහම්මද්! (අල්ලාහ්ගේ ශාන්තිය සහ සමාදානය ඔහු කෙරෙහි ඇති වේවා,) තුමාණන් දයාවේ වක්තෘවරයෙකු වේ, එතුමාගේ දයාවේ ගුණාංගය එතුමාගේ මුළු ජීවිත කාලය තුළම එතුමාණන්ව හැර ගියේ නැත. එතුමාගේ ජීවිතයේ සෑම අදියරක් ගැනම සහ එතුමාගේ තත්ත්වයන් ගැන සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

“අපි ලෝවැසියනට මෛත්රියක් ලෙස මිස ඹබව නොඑව්වෙමු.”

(අල් අන්බියා: 107)

නබි තුමාණන්ගේ (අල්ලාහ්ගේ සාමය සහ ශාන්තිය ඔහු කෙරෙහි ඇති වේවා,) දයාව අතර, එතුමා මිනිසුන්ට මග පෙන්වීමට හා දේව අවිශ්වාසයේ, නොදැනුවත්කමේ සහ රැවටීමේ අන්ධකාරයෙන් මුදවා ගැනීමටත්, විශ්වාසයේ, දැනුමේ සහ මග පෙන්වීමේ ආලෝකය වෙත ගෙන යාමටත් දැඩි ලෙස උනන්දුවක් දැක්වීම ඇතුළත් වේ. එතුමාගේ ජනයා දහම විශ්වාස නොකළ විට, එතුමාණන් ශෝකයෙන් හා ඔවුන් තුළ දේව විශ්වාසය නොමැතිකම ගැන පසුතැවිල්ලෙන් එතුමා එතුමාවම විනාශ කර ගන්නට තැත් කරන තරමටම විය. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

"මෙම දෙසුම (අල්කුර්ආනය) ඔවුන් විශ්වාස නොකළේ නම්, ඔවුන්ගේ බලපෑම මත දුකට පත් ව නුඹ නුඹවම විනාශ කරගන්නට බලන්නෙහිය."

(අල් කහ්ෆ්: 6)

එලෙසම, එතුමාගේ දයාවේ අරුත විශ්වාස කරන්නන් කෙරෙහි එතුමා දක්වන සැලකිල්ල සහ ඔවුන් කෙරෙහි එතුමා පෙන්නුම් කරන අනුකම්පාව තුළ ප්රකාශ වේ. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

“ඔබ අතුරින් වූ ධර්ම දූතයකු ඔබ වෙත සැබැවින්ම පැමිණ ඇත. ඔබ සැම දුෂ්කරත්වයට පත්වීම ඔහු වෙත බැරූරැම්ය. ඔහු ඔබ සැම කෙරෙහි (ඔබ සැමගේ විශ්වාසය පිළිබඳ) සතුටු වන්නෙකි. දේව විශ්වාස කරන්නන් පිළිබඳ සෙනෙහෙවන්ත වූ අතිශය කාරුණිකය.”

(අත්-තව්බා: 128)

ආගමික කටයුතු පහසු කිරිමට සහ තම සමාජයට දුෂ්කර දේ සහ ඔවුන්ට ඉටු කළ නොහැකි දේ නොපැවැරීමට එතුමා තුළ ඇති උනන්දුව නිසා, මුහම්මද් නබි (අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය එතුමා කෙරෙහි ඇති වේවා) මෙසේ පැවසීය: "(ආගම) පහසු කර ගන්න. එය අපහසු කර නොගන්න., සුභ දේවල් පවසන්න. අසුභ දේවල් නොපවසන්න." අල්-බුහාරි සහ මුස්ලිම් විසින් වාර්තා කරන ලදී.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ආත්මය දයාවෙන් පිරී ඉතිරී ගිය අතර, එතුමා බිරියන්ට සහ ළමයින්ට වඩාත්ම දයාවන්ත කෙනෙකු විය. එතුමාණන්ගේ මිතුරෙකු වන අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) වරක් මෙසේ පැවැසුවේය. "මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට වඩා පවුලේ සාමාජිකයින්ට කරුණාව දක්වන කිසිවෙකු මම දැක නැත." (මුස්ලිම් විසින් වාර්තා කරන ලදී.)

මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ දයාව, මිනිසුන් කෙරෙහි පමණක් නොනැවතී, සතා සිව්පාවන්ට පවා දයාව දැක්වූහ. තවද සතුන්ට කරුණාව දක්වන ලෙසත් ඔවුන්ට හිංසා නොකරන ලෙසත් අවවාද කළහ. වරක් ගණිකාවක් පිපාසයෙන් පසු වූ සුනඛයෙකුට වතුර පොවා උගේ පිපාසය සංසිඳු වූ බැවින් අල්ලාහ් ඇයට සමාව දී ඇයව ස්වර්ගයට ඇතුළු කළ බවත්, කාන්තාවක් බළලෙකු බැඳ දමා ඌ මිය යන තුරුම ඌට ආහාර පාන නොදුන් බැවින් එම කාන්තාව නිරයට ඇතුළු වූ බවත් සිය සහාබාවරුන් අමතා විස්තර කළහ.

සියලුම මිනිස් ප්රජාවට එතුමාණන්ගේ පණිවිඩය

පෙර පැමිණි වක්තෘවරුන් සහ දූතයින් (අලෛහිමුස් සලාතු වස්සලාම්) විශේෂයෙන් ඔවුනොවුන්ගේ ජනතාව වෙත යවන ලද අතර, මුහම්මද් නබි තුමාණන් සම්බන්ධයෙන්, එතුමාණන් ගෙනා පණිවිඩය සෑම අවස්ථාවකම සහ සෑම තැනකම සියලු මිනිසුන්ට පොදු වේ.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.

"(නබිවරය!) මිනිස් සංහතියට සමස්තයක් වශයෙන් ශුභාරංචි දන්වන්නකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි ඔබ නොඑව්වෙමු. එනමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා නොදනිති."

(සූරා සබඃ: 28)

උත්තරීතර අල්ලාහ් මෙසේද ප්රකාශ කරයි.

"අහෝ ජනයිනි! 'සැබැවින්ම මම නුඹලා සියලු දෙනා වෙත පැමිණි අල්ලාහ්ගේ දූතයෙකු වෙමි’ යැයි නුඹ පවසනු."

(අල් අඃරාෆ්: 158)

නියත වශයෙන්ම නබි තුමාණෝ (අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය එතුමා කෙරෙහි ඇති වේවා) මෙසේ පැවසූහ.

"නබිවරු ඔහුගේ ජනතාව වෙත විශේෂයෙන් යවන ලද අතර, මම පොදුවේ (සියලු) මිනිසුන් ට එවනු ලැබුවෙමි."

මෙය ඉමා බුහාරි විසින් වාර්තා කර ඇත.

සෑම මනුෂ්යයෙකුටම, මුහම්මද් නබි (අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය එතුමා කෙරෙහි ඇති වේවා) තුමාගේ මෙහෙවර ආරම්භ වූ දා සිට, මෙම කාලයේදී සහ නැවැත නැගිටවනු (කියාමත්) දිනය දක්වා එතුමාණන්ව අනුගමනය කිරීම, එතුමා ගෙන ආ දේ විශ්වාස කිරීම සහ එතුමාගේ ආගමට ප්රවිශ්ඨ වීම අනිවාර්ය වේ. එතුමාගේ පහළවීමත් සමග අල්ලාහ් විසින් ආගම් පහළ වීම සම්පූර්ණ කළේය. තවද එතුමාණන්ව අනුගමනය කිරීම අනිවාර්ය කර ඇත. යමෙක් එතුමාණන්ට අවනත වන්නේද, මෙලොවදී ඔහුට අභිවෘද්ධිය ලැබෙනු ඇත. තවද ඔහු මරණින් මතු දිනයේදී ස්වර්ගයට ඇතුළු වනු ඇත. එතුමාණන්ට අවනත නොවන තැනැත්තා මෙලොවදී දුක්ඛිත තත්වයට පත් වන අතර පරලොවදී අපායටද ඇතුල් වන්නේය. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

"එහෙයින් කවරෙකු මාගේ යහ මග පිළිපදින්නේ ද එවිට ඔහු නොමග නොයනු ඇත. තවද අභාග්යවන්ත නොවනු ඇත."

"මා මෙනෙහි කිරීමට කවරෙකු පිටුපෑවේ ද, එවිට නියත වශයෙන්ම ඔහුට පීඩිත ජීවිතයක් ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධයකු ලෙස අපි ඔහු ව නැවත නැගිටුවන්නෙමු."

(සූරා තාහා : 123, 124)

සිය නිවසේදී හා පවුල් ජීවතයේදී නබිතුමාගේ ආදර්ශමත් මඟපෙන්වීම (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!)

කෙනෙකුගේ නිවස යනු ඔහුගේ යහපත් හැසිරීම්, පරිපූර්ණ විනය ගරුක බව, යහපත් සහජීවනය පෙන්නුම් කරන ස්ථානයකි. යමෙක් තම බිරිඳ, දරුවන් හෝ සිය සේවකයා සමඟ සිටින විට, ඔහු මවාපෑමකින් තොරව අව්යාජ ලෙස ඔවුන් සමග කටයුතු කරනු ඇත.

ඉස්ලාම් සමාජයේ රසූල් හෙවත් පණිවිඩකරුවාගේ, එහි නායකයාගේ සහ ගුරුභවතාගේ (අල්ලාහ්ගේ සාමය සහ ශාන්තිය එතුමාට ලැබේවා) තත්ත්වය අධ්යයනය කරන ඕනෑම කෙනෙකු, එතුමාණන් එතුමාගේ නිවස තුළ සහ පවුලේ අය සහ දරුවන් සමඟ උතුම් මිනිසෙකු විය යුතු ආකාරය පිළිබඳ වඩාත්ම ලස්සන ආදර්ශයන් ඉදිරිපත් කර ඇති බව සොයා ගනී.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ භාර්යාව වන ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන්, "නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් නිවස තුළ කටයුතු කළේ කෙසේද?" යනුවෙන් ප්රශ්න කරන ලදී. එවිට ඇය මෙසේ පැවැසුවාය.

"එතුමා තම පවුලේ (ගේ දොර) කටයුතුවල යෙදී සිටියහ - එනම් එතුමාගේ පවුලේ අයට සේවය කරමින් සිටියහ. - තවද සලාත් (යාඥා) කරන වේලාව පැමිණි විට එතුමා සලාතය සඳහා පිටත්ව ගියහ."

ඉමාම් මුස්ලිම් මෙම හදීසය වාර්තා කර ඇත.

නබි තුමාණෝ තම පවුලට සහ භාර්යාවන්ට මිනිසුන් අතින් යහපත්ම කෙනෙකු ලෙස සිටියහ. යහපත් හැසිරීම් අතින් හොඳ ගති ලක්ෂණ පෙන්නුම් කරමින්, ඔවුන් සමග මෘදු ලෙස කටයුතු කරමින්, තම බිරිඳගේ චිත්තාවේගී හා මානසික ආශාවන් ගැන මනාව දැන ගෙන, ඔවුන්ට සතුට හා සොම්නස ගෙන දෙන අවස්ථා ඇති කර දෙමින් (යහපත් සැමියෙකු ලෙස) කටයුතු කළේය. අයිෂා (රළියල්ලාහු අන්හා) මෙසේ පවසයි.

හබෂීවරුන් මස්ජිදයේ ක්රීඩා කරමින් සිටිනා අතර තුර අල්ලාහ්ගේ දූතයාණන් මගේ කාමරයේ දොරටුව අසල සිටිනු දුටුවෙමි, එවිට අල්ලාහ්ගේ දූතයාණන් ඔවුන්ගේ ක්රීඩාව මා විසින් නැරඹීම සඳහා එතුමාගේ වස්ත්රයෙන් මා ආවරණය කරගෙන ඔබ ඔවුන්ගේ ක්රීඩාව නරඹන්න යැයි පැවසූහ.

බුහාරි හා මුස්ලිම් විසින් මෙම හදීසය වාර්තා කර ඇත.

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එතුමාගේ දූවරුන්ට ආදරය හා ගෞරවය කළහ; එතුමාගේ දියණිය ෆාතිමා එතුමා වෙත පැමිණි විටක, එතුමා නැගී සිට ඇය වෙත ගොස් ඇයව සිපගෙන ඇයව තම සභාවේ වාඩි කරවා ගත්තේය. තවද එතුමා තම දියණියන් හමුවීමට ගොස් ඔවුන්ගේ දුක සැප සොයා බැලුවේය.

එතුමාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තම සමාජයට දුන් අවවාද අතරින් ප්රකාශයක් වනුයේ:

"කාන්තාවන්ට කරුණාවෙන් සලකන්න" යන්නයි.

බුහාරි හා මුස්ලිම් විසින් මෙම හදීසය වාර්තා කර ඇත.

අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ යහපත් ගති ගුණ අතරින් කිහිපයක් (පහත සඳහන් වේ.)

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ, මිනිසුන් අතරින් උසස් සදාචාරයෙන් සහ ඔවුන්ගෙන් හොඳම ආචාර විධිවලින් හෙබි කෙනෙකු බවට පත් ව සිටියහ. සර්වබලධාරී අල්ලාහ් එතුමාණන් ගැන මෙසේ වර්ණනා කරයි.

“(නබිවරය!) සැබැවින්ම ඔබ මහඟු සාරධර්ම මත පිහිටා ඇත්තෙහිය”

(අල් කලම්ඥ: 4)

අන් කිසිවකුට සමාන විය නොහැකි තරමට එතුමා පරිපූර්ණවූ ගති ගුණවලින් යුක්ත වූහ. තවද සෑම අඩුවකින්ම ආරක්ෂා කරනු ලැබූහ. සෑම ගුණයකින්ම පරිපූර්ණත්වයට පත් විය. එතුමාගේ ගති පැවැතුම් යනු ශුද්ධ වූ අල්කුර්ආනය විය. ඒ අනුව එතුමාණන් සංවර විය. ඒ යටතේ ජනයාව විනය ගරුක භාවයට පත් කළේය. එතුමාණන්ගේ ගති ගුණ අතරින්,

එතුමාණෝ මිනිසුන්ගෙන් වඩාත්ම බුද්ධිමත්, වඩාත්ම සාධාරණ, වඩාත්ම දූර දර්ශී, වඩාත්ම ත්යාගශීලී සහ වඩාත්ම ගෞරවශීලි කෙනෙකු වූහ.

එතුමාණෝ මිනිසුන්ගෙන් වඩාත්ම නිහතමානී ලැජ්ජා සහගත කෙනෙකු වූහ.

තවද එතුමාණෝ අවංක වූහ. ඕනෑම කෙනෙකුගේ ආරාධනාවට පිළිතුරු දුන්හ, තෑග්ගක් එය කුඩා වුවද, එය පිළිගෙන ඒ සඳහා ත්යාගයක් පිරිනැමුහ.

එතුමාණෝ රෝගීන් බැලීමට ගියහ; අවමංගල්යයට සහභාගී වුුහ; දුප්පතුන් සමඟ හිඳ ගත්හ; දුප්පතුන්ට ආහාර පාන සැපැයූහ; සිල්වත් මිනිසුන්ට සහ සත්පුරුෂ දනන්ට ගරු කළහ. ගෞරවනීය පුද්ගලයින් සමඟ එක්රැස් වීමට පුරුදුව සිටියහ.

අවශ්යතාවයක් ඇති කෙනෙකු එතුමා හමුවට පැමිණි විට, ඒ පුද්ගලයා සමග එක්ව ඔහුගේ අවශ්යතා ඉටුකර දුන්හ. එතුමාණෝ රළු ගතියකින් හා දැඩි සිතකින් යුත් අයෙකු නොවූහ. අයහතක් කළ කෙනෙකුට නරකක් නොකළහ. සමාව දුන්හ. නමුත් කෙනෙකු විසින් අල්ලාහ් තහනම් කළ දෙයක් කඩ කළහොත් එවිට එතුමාණන් කෝපයට පත් වන්නේ තමා වෙනුවෙන් නොව අල්ලාහ් වෙනුවෙන්ය.

එතුමාණන්ව හමුවූ තැනැත්තාට පළමුව සලාම් කියා ආචාර කිරීම එතුමාණන්ගේ චරිතයේ කොටසක් වූ අතර, එතුමාගේ සගයකු හමු වුවහොත්, ඔහුට අතට අත දීමෙන් පිළිගත්හ.

එතුමාණන් සමඟ වාඩි වී කතා බහක නිරත වී සිටින අයට එතුමාණන්ගේ මුහුණ ඒ අය වෙත හරවා, එතුමාගේ ශ්රවණය, එතුමාගේ කතාව සහ එතුමාගේ මෘදු සුන්දරත්වය සහ මග පෙන්වීම ඔවුන්ට ලබා දුන්හ.

එතුමාණෝ මිනිසුන්ගෙන් ඉතා කරුණාවන්ත, මිනිසුන්ට වඩා යහපත් සහ වඩාත්ම ප්රයෝජනවත් කෙනෙකු වූහ.

එතුමාණන් විහිළු කරයි, නමුත් එහිදී එතුමාණන් සත්ය පමණක් පවසයි, බොහෝසේ සිනාසෙයි නමුත් කොක්හඩලමින් සිනාසෙන්නේ නැත. සිය භාර්යාවන් සමඟ ක්රිඩා කරයි, ඔවුන් ආදරයෙන් රුලු කර ගනී.

එතුමාණන්ට පිළිගැන්වූ දේ අනුභව කිරීමට පුරුදුව සිටි අතර, එතුමාණන්ට ඉදිරිපත් කළ ආහාරයක් (ප්රතික්ෂේප කර) ආපසු හරවා ඒව්වේ නැත. එතුමාණෝ කිසි විටෙකත් ආහාරයේ වරදක් නොපැවැසුහ. රටඉඳි ලැබෙනු විටක ඒවා අනුභව කරයි. මාංශ තිබෙන විටක ඒවා අනුභව කරයි. රොටී නැත්නම් බාර්ලි ධාන්ය වලින් සකස් කරන ලද ආහාරයක් ඇත්නම් ඒවා අනුභව කරයි. පැණි රස කෑමක් හෝ මීපැණි ලැබුනු විටක ඒවා අනුභව කරයි. රොටී නැතුව කිරි පමණක් තිබෙන අවස්ථාවක එයින් එතුමාණන් සෑහීමට පත් වෙයි. තවද එතුමාණෝ කොමඩු හෝ භාගෙට ඉදුනු ඉඳි අනුභව කළහ.

එතුමාට ලැබුනු දෙයක් එතුමාණෝ ඇඳ පැලැඳ ගත්හ. වරෙක ෂම්ලා නම් වස්ත්රයක් වරෙක ලොම්වලින් නිම වූ ලෝගුවක් යනාදි වශයෙන් අනුමත වූ ඕනෑම දෙයක් ඇඳ පැළඳ ගත්හ.

එතුමාණෝ (ගමන් බිමන් සඳහා) තමන්ට පහසු වාහනයක් භාවිතා කළහ. වරෙක අශ්වයකු, වරෙක ඔටුවකු, වරෙක කොටළුවකු සහ තවත් වරෙක බූරුවකු වැනි සිවුපාවුන්ගේ පිට නැග ගමන් කළහ. නැත්නම් පයින් ඇවිද ගියහ.

තවද එතුමාණෝ සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන් කටයුතු කිරීමෙහි හෝ තමා සහ තම පවුල වෙනුවෙන් කළ යුතු දෑහි හැර කාලය ගත කරන්නේ නැත.

අනෙකුත් යහපත් ගුණධර්ම සහ මිනිසුන් සමග ධාර්මිකව හැසිරීම වැනි බොහෝ යහපත් ගති ගුණ මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තුළ දක්නට ලැබිණි.

සමාප්තිය

ඉස්ලාම් යනු එහි ඉගැන්වීම් පිළිපදින මුස්ලිම් තනි පුද්ගලයාට සැනසීම, යහපත් ජීවිතය සහ මෙලොවේදී යහපත් තත්වයක් සහ පරලොව සදාකාලින සතුට හා සෞභාග්ය ලබා දෙන විශිෂ්ට දහමකි. තවද මෙම ඉගැන්වීම්වලට ඇප කැපවී සිටින මුස්ලිම් ප්රජාවට ප්රගතිය,පාරිශුද්ධත්වය, සමාජ වර්ධනය, සමාජ සහජීවනය සහ ආරක්ෂාව ද අත්කර දෙයි.

එබැවින්, උතුම් ආශිර්වාදයක් වූ ඉස්ලාමය වෙතට පිවිසුනු ඔබට හෘදයාංගම සුබ පැතුම් හිමි වේ. එබැවින් එහි විශ්වාසය, ෂරිආව, එහි ඉගැන්වීම්, නීති රීති, සදාචාරය සහ ආචාර විධි ඉගෙන ගෙන ඒවා ඔබ තුළින්ම පිළිපැදීමට වගබලාගන්න; ඔබගේ ජීවිතයේ ඔබේ ශක්ති ප්රමාණයට අනුව සෑම අංශයකම එය පිළිපදින්න; මක්නිසාද යත්, එසේ පිළිපැදීමෙන් ඔබ කෙරෙහි ඉස්ලාමයේ යහපත් බලපෑම ඔබව ධර්මිෂ්ඨ පුද්ගලයෙකු බවට පත් කරන්නේ කෙසේදැයි ඔබ දකිනු ඇත; එවිට ඔබද ඔබ අවට සිටින දෙමව්පියන්, අඹු දරුවන්, සමීපත ඥාතීන්, අසල්වාසීන්, මිතුරන් සහ අල්ලාහ්ගේ ආගමට ඇතුළු වී එම මාර්ගයේ ගමන් කරමින් ගෞරවාදරයට පාත්ර වූ මුස්ලිම්වරයෙකු සමඟ ගනුදෙනු කරන සෑම කෙනෙකුම සතුටු වනු ඇත.

මෙම පොත් පිංච වනාහි ඔබේ ආගමේ නීති රීති ඉගෙන ගැනීම සඳහා වූ ඔබේ ගමනේ ආරම්භයයි. ඉන් පසු ඔබ විසින් ප්රයෝජනවත් දැනුම හා දැහැමි ක්රියාවන් වර්ධනය කර ගැනීමටත්, ඔබේ ආත්මය පිරිසිදු කර ගැනීමටත්, ඔබේ සිත් සතන් යහපත් තත්වයට පත් කර ගැනීමටත් උත්සාහ කළ යුතුය. ඉස්ලාමය පිළිබඳ ඔබේ දැනුම වර්ධනය වන තරමට සහ එසේ ඔබ ඉගෙන ගන්නා ලද දේ අනුව ඔබේ ජීවිතයේ වැඩ කටයුතු සකස්කර ගන්නා තරමට, ඔබ ඔබේ සර්වබලධාරී හා උත්තරීතර අල්ලාහ්ට සමීප වනු ඇත. එබැවින් ශුද්ධ වූ අල්කුර්ආනය ඉගෙන ගැනීමටත්, එය පාරායනය කිරීමටත්, එය නැවත නැවත මතකයේ රඳවා ගැනීමටත් එය වෙතටම යොමුවන්න. මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) දූතයාණන්ගේ ජීවන චරිත රටාව සමඟ ඔබව පුහුණු කර ගන්න. කුමක් නිසාද යත් මෙලොවේදී ඔබේ ජීවිතය සකස්කර ගැනීමට ඔබට එතුමාණන්ගේ චරිතාපදානය හොඳ ආදර්ශයකි. තවද අල්ලාහ් දෙවිඳාණන් ඔබට පිළිගැනීමට අණ කළ එකම තැනැත්තා මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ය. එතුමාණන් හැර අනෙකුත් මිනිසුන් සම්බන්ධයෙන්, ඔවුන්ගේ තරාතිරම කුමක් වුවද, ඔවුන්ගේ අදහස් අල්-කුර්ආනය සහ සුන්නාහ් සමඟ එකඟවේ නම් පමණක් පිළිගත යුතුය. ඒවාට පටහැනි නම් ප්රතික්ෂේප කළ යුතුය. තවද ඔබ විසින් සහෝදර මුස්ලිවරු සමග දහම් සම්බන්ධ කරුණුවලදි වාද විවාද කිරීමෙන්ද, අන් අය සමඟ තර්ක කිරීමෙන්ද, ආරවුල් ඇති කර ගැනීමෙන්ද වැළැකී සිටින්න.

සර්ව බලධාරී අල්ලාහ් අප ගැන තෘප්තියට පත්වන තත්ත්වය යටතේ අපි ඔහුව මුණගැසෙන්නට අල්ලාහ් අපට සහ ඔබට මෙම දහමෙහි සාර්ථකත්වය සහ ස්ථීරභාවය ලබා දෙත්වා! තවද සියලු ප්රශංසාව විශ්වයේ අධිපතියාණන් වන අල්ලාහ්ට හිමිවේවා! තවද අපගේ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ටද, එතුමාණන්ගේ පවුලේ අයට සහ එතුමාණන්ගේ සියලු මිතුරන්ට සහ විනිශ්චය දක්වා එතුමාණන්ව අනුගමනය කරන සියඵ දෙනාටම අල්ලාහ්ගේ ශාන්තිය සහ සමාදානය ඇති වේවා!