සත්ව පරිත්‍යාගය, උල්හියියා සත්ව කැපය හා බැඳි නීති කිහිපයක්
ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා සතු ය. ලෝකයට කරුණාවක් ලෙස යවන ලද දේව දූතයාණන්හටත් එතුමාණන්ගේ පවුලේ උදවියහටත් එතුමාණන්ගේ සහගාමීන්හටත් එතුමාණන්ගේ පිළිවෙත අනුගමනය කළ උදවියහටත් විනිශ්චය දිනය දක්වා එතුමාණන්ගේ මග පෙන්වීම අනුගමනය කළ උදවියහටත් ශාන්තිය හා සමාදානය අත් වේවා!
මෙය කෙටි ලිපියක් වන අතර, මුස්ලිම්වරුන්ට හද්යු (සත්ව පරිත්‍යාගය), කුර්බානි (සත්ව කැපය) සහ තද්කියා (සත්වයා කපා හැරීම) හා බැඳුණු ඉතා අත්‍යවශ්‍ය නීති අඩංගු වේ. අපි එය ශුද්ධ ස්ථානයන් දෙක වෙත පැමිණෙන්නන් සඳහා සංස්කරණය කර ඇත්තෙමු. එය ඔවුන්ගේ ආගමික කටයුතු පිළිබඳව දැනුවත්වීම සහ මූලාශ්‍ර අනුව කටයුතු කරනු පිණිසය. මෙයින් ප්‍රයෝජනය ලබා දෙන මෙන් අපි කාරුණික පරිත්‍යාගශීලී අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමු. මෙය දැහැමි කටයුත්තක් ලෙසත් ඔහුගේ තෘප්තතිය උදෙසා අවංකව ඉටු කළ කාර්යයක් ලෙසත් පිළිගනිත්වා! සැබැවින්ම ඔහු විශිෂ්ඨ විනිශ්චයකරු ය. තබන බලාපොරොත්තු සඳහා මහා ත්‍යාගශීලී ය. විවිධ භාෂා සඳහා වූ ඉස්ලාමීය අධ්‍යන කටයුතු පිළිබඳ සේවා සංගමය
සත්ව කැපය හා උල්හියියා සත්ව කැපය හා බැඳුනු නීති
හද්යු යනු: හරම් වෙත පුදනු ලබන සියලුම දෑ හා එහි දී කපාහරිනු ලබන සියලුම සතුන් වේ. මෙසේ හද්යු යනුවෙන් නම් කර ඇත්තේ උත්තරීතර අල්ලාහ් වෙත එය පරිත්‍යාගයක් ලෙස පුදන බැවිනි.
උල්හිය්යා යනු අල්ලාහ්ට සමීප වීම සඳහා 'ඊදුල් අල්හා' (හජ් උත්සව) දිනයේ සහ 'අය්යාමුත් තෂ්රීක්' (හජ් උත්සව දිනයෙන් පසු 11,12 සහ 13 වන) දිනවලදී අල්ලාහ් වෙනුවෙන් සත්ත්වයෙකු කැප කිරීමයි.
මෙම දෙකම ආගමානුගත කරුණු බවට මුස්ලිම්වරුන් ඒකමතික තීරණයක් මත පසුවෙති.
සතෙකු පරිත්‍යාග කිරීමේ දී වඩාත් උතුම් වනුයේ: ඔටුවකු පරිත්‍යාග කිරීමය. ඉන් පසු ගවයකුය. ඒවා සම්පූර්ණයෙන් පිරිනමන්නේ නම් මැනවි. මක්නිසාදයත් ඒවා වටිනාකමින් ඉහළය. වැඩි මස් ප්‍රමාණයක් ඇති බැවින් දිළිඳුන් බොහෝමයකට සෙත සලසනු ඇත. පසුව එළුවෙකි.
මාස හයක් වයසැති බැටළුවෙකු හැර අනුමත වන්නේ නැත. ඒ හැර 'සනීය්' වර්ගයේ පසුවන වෙනත් ඕනෑම ඔටුවෙකු හරකෙකු හෝ එළුවෙකු මෙන් පිළිගනු ලැබේ. 'සනී' වර්ගයේ ඔටුවෙකු යනු අවුරුදු පහක් වයසැති සතෙකු වන අතර, 'සනී' වර්ගයේ හරකෙකු යනු අවුරුදු දෙකක් සම්පූර්ණ වූ සතෙකි. 'සනී' වර්ගයේ එළුවෙකු යනු අවුරුද්දක් වයසැති සතෙකි.
හද්යු දීමේ දී එක් අයෙකු වෙනුවෙන් එළුවෙකු ප්‍රමාණවත් වේ. උල්හියා දීමේ දී එය එක් අයෙකු වෙනුවෙන් මෙන්ම ඔහුගේ පවුලේ අය වෙනුවෙන් ප්‍රමාණවත් වේ. හද්යු දීමේ දී හා උල්හිය්යා දීමේ දී ඔටුවා සහ ගවයා සත් දෙනෙකු වෙනුවෙන් ප්‍රමාණවත් වේ. එය ජාබිර් ඉබ්න් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කළ හදීසයකට අනුවය. "අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග හුදෙයිබියාවේදී හත්දෙනෙකු වෙනුවෙන් ඔටුවකු සහ හත්දෙනෙකු වෙනුවෙන් ගවයකු කපා දැමුවෙමු." තවත් ප්‍රකාශයක: "අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සමඟ හජ් සඳහා තල්බියා කියමින් පිටත්ව ගියෙමු. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්)
ඔටුවා හා ගවයා සම්බන්ධයෙන් මෙසේ නියෝග කළහ. ඔටුවා දීමේ දී අප අතරින් සත් දෙනෙකු හවුල් විය යුතුය." තවත් ප්‍රකාශයක: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සමග අපි හජ් ඉටු කළෙමු. එවිට සත්දෙනෙකු වෙනුවට ඔටුවකු ද සත්දෙනෙකු වෙනුවට ගවයෙකු ද කපා හරිනු ලැබීය."
එය අබූ අය්යූබ් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයකට අනුවය. අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යුගයේදී උල්හිය්යා ලබා දුන්නේ කෙසේදැ?යි එතුමාගෙන් විමසූ විට, එතුමා මෙසේ ප්‍රකාශ කළේය. “මිනිසකු තමන් වෙනුවෙන් සහ තම පවුලේ අය වෙනුවෙන් එළුවකු පරිත්‍යාග කළ අතර, ඔවුන් ඉන් අනුභව කර අන් අයට ආහාර වශයෙන් දන් දුන්හ. මිනිසුන් අතර තරඟකාරීත්වය ඇතිවූ විට, එය ඔබ දකින පරිදි විය.”[2]
ඔටුවකු හෝ ගවයෙකු විෂයයෙහි හත් දෙනෙකුගේ හවුලේ එක් කොටසක හවුල් වීමට වඩා එළුවකු කපා හැරීම උතුම් වන්නේය.
සෞඛ්‍ය සම්පන්න සහ ශරීර අවයවවල අඩුපාඩු නැති සත්ත්වයන් පමණක් හදිය්යු සහ උල්හිය්යා සඳහා සුදුසු වේ; එබැවින්, ඇසක් අන්ධ හෝ සම්පූර්ණ අන්ධ භාවයෙන් පෙළෙන හෝ අතිශයින් දුර්වල හෝ සෞඛ්‍ය සම්පන්න අනෙකුත් සත්ත්වයන් සමඟ ඇවිද යා නොහැකි හෝ මුල් දත් නැති හෝ වයස්ගත හේතුවෙන් කිරි එරෙන්නැති හෝ පැහැදිලිව රෝගී තත්ත්වයෙන් පසුවන සත්ත්වයන් සුදුසු නොවේ; එය බරා බින් ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයක් අනුවය. ඔහු මෙසේ පැවසුවේය. අප අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නැගී සිට, මෙසේ පැවසූහ. අන්ධ බව පැහැදිලිව පෙනෙන අන්ධ සතුන්, රෝගී බව පැහැදිලිව පෙනෙන රෝගී සතුන්, ඍජුව නැගී සිටීමට නොහැකි බව පැහැදිලිව පෙනෙන කකුලේ දුර්වලතාව ඇති සතුන්, සහ ශරීරයේ මස්පිඩු නැතිව පැහැදිලිව පෙනෙන දුර්වල සතුන් කුර්බාන් කිරීම සඳහා සුදුසු නොවේ.
ඉමාම් තිර්මිදි (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි: "විද්වතුන් මේ අනුව ක්‍රියාත්මක වෙති" [4].
හජ්හි තමතුඃ ක්‍රමය සඳහා දිය යුතු සත්ත්ව කැපය හා උලුහිය්යා සත්ත්ව කැපය ඉටු කිරිමේ කාලය, නිවැරදි මතය අනුව අවුරුදු දිනයේ සලාතයෙන් පසු, අය්යාමුත් තෂ්රීක් අවසන් දිනය දක්වා වූ කාලයයි.
තමන් පරිත්‍යාග කරන සත්ව කැපය ‘තමත්තුඋ’ හෝ 'කිරාන්' සඳහා වූ හද්යු හෝ උල්හිය්යා සඳහා වන සත්ව කැපයක් වූ විටෙක, එහි මාංශ කොටසක් අනුභව කිරීම සතුටුදායකය. එය තුනට බෙදා කොටසක් පරිත්‍යාග කරයි. දන් දෙයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "එහෙයින් නුඹලා එයින් අනුභව කරනු. තවද දුෂ්කරතා ඇති දිළින්දාට ආහාර සපයනු." (සූරා අල්-හජ්: 28)
ඉහ්රාම් තහනම් කර ඇති කටයුතුකින් හෝ අත්‍යවශ්‍ය කටයුත්තක් අතහැරීමෙන් ඇති වූ ‘හද්යුල් ජුබ්රාන්’ නම් සත්ව කැපයෙන් කිසිවක් අනුභව නොකරයි.
උල්හිය්යා දීමට අපේක්ෂා කරන කවරෙකු හෝ වේවා, දුල් හජ් මාසයේ දින දහය උදාවෙත්ම ඔහුගේ රෝම හෝ ඔහුගේ නියපොතු කිසිවක් උල්හිය්යා දෙන තෙක් ඉවත් නොකළ යුතුය; එය නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයකට අනුව ය: "දුල් හජ් මාසයේ දින දහය උදාවෙත්ම, ඔබ අතර කවරෙකු උල්හිය්යා දෙන්නට අපේක්ෂා කරන්නේ ද, ඔහුගේ රෝම හෝ ඔහුගේ නියපොතු කිසිවක් උල්හිය්යා දෙන තෙක් ඉවත් නොකළ යුතුය."
එසේ කළේ නම්, අල්ලාහ්ගෙන් පාප ක්ෂාම අයැද සිටිය යුතු අතර ඒ සඳහා ඔහුට කිසිදු වන්දික් නැත.
'හදි', 'උල්හිය්යා' සහ අනෙකුත් සත්ත්වයින් කැපීමේ ක්‍රමය පහත පරිදි වේ:
1 - බුද්ධිමත් වැඩිවියට පත් මුස්ලිම්වරයකු හෝ මුස්ලිම් නොවන අගාමික පුස්තක ලත් අයෙකු විසින් හැර එසේ සත්වයා කපා හැරීම සුදුසු වන්නේ නැත. ඔහු කැපීමේදී අල්ලාහ් වෙනුවෙන් පමණක් එය කැප කළ යුතු ය. අල්ලාහ් වෙනුවෙන් හැර වෙනත් කිසිවක් සඳහා කැප නොකළ යුතු ය, අල්ලාහ් හැර වෙනත් කිසිවකුට නැමදුමක් ලෙස පිළිනොගැන්විය යුතු ය. කපන මොහොතේ අල්ලාහ්ගේ නම පැවසිය යුතු ය. දත් හෝ නියපොතු නොවන මුවහත් ආයුධයක් භාවිතා කරමින් කපා හැරිය යුතු ය. එම ස්ථානයේ ලේ ගලා යන්නට ඉඩ හැරිය යුතු ය. කපන්නා ආගමානුකූලව අවසර ලත් කෙනෙකු විසින් කළ යුතු ය.
2- කුර්බාන් සදහා සත්වයා තෝරාගන්නා විට, යථාසම්පූර්ණ හා නිවැරදි සත්වයෙකු තෝරාගැනීම සඳහා උනන්දු විය යුතුය. "අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අං සහිත කළු සහ සුදු මිශ්‍රිත බැටළුවන් දෙදෙනෙකු කැප කළහ. එය එතුමාණන් විසින්ම කපා හරින ලදී. එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහු අක්බර් (අල්ලාහු අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා එතුමාණන්ගේ පාදය උන්ගේ ඇළපත මත තැබූහ.
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලද හදීසයකට අනුව සත්ත්වයා ඉදිරියේදී පිහිය මුවහත් කිරීම පිළිකුල් සහගතය. එතුමා මෙසේ වාර්තා කළේය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පිහිය මුවහත් කළ යුතු බවටත් එය සත්වයන්ගෙන් සඟවා තැබිය යුතු බවටත් අණ කළහ. තවද එතුමාණෝ මෙසේ පැවසූහ.: "ඔබ අතුරින් කෙනෙකු සත්වයකු කපා හරින විට, සම්පූර්ණයෙන් ඉක්මනින් නිම කළ යුතුය.» (9).
4- උල්හිය්යා සත්වයා ඔටුවෙකු වී නම්; උගේ වම් අත බැඳ, සිටගෙන සිටින තත්ත්වයේ ගෙල සිඳිය යුතුය. එය අබ්දුල්ලාහ් බ්න් උමර් (රළියල්ලාහු අන්හුමා) තුමාගේ හදීසයකට අනුවය, "මිනිසෙකු තමන්ට හිමි ඔටුවකු බිමට පෙරලා කපා හැරීමට සූදානම් වූ අවස්ථාවක එතුමා: මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙත අනුගමනය කරමින් ඌ සිටගත් තත්ත්වයේ ගැට දමා කපා හරින්න.” යැයි පැවසූහ.
5- උල්හිය්යා සත්වයා ඔටුවෙකු නොවී නම්, ඌ වම් පැත්ත්තට පෙරළා තබා කපා, උගේ බෙල්ල මත පාදය තබා ඌ පාලනය කළ යුතුය. එය අනස් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයකට අනුවය. "අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අං සහිත කළු සහ සුදු මිශ්‍රිත බැටළුවන් දෙදෙනෙකු කැප කළහ. එය එතුමාණන් විසින්ම කපා හරින ලදී. එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා එතුමාණන්ගේ පාදය උන්ගේ බෙල්ල මත තැබූහ." (11)
ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් පැවසූ හදීසයකට අනුව, 'අල්ලාහු අක්බර්' යන තක්බීර්ය සමඟ 'බිස්මිල්ලාහ්' යනුවෙන් පැවසීම වඩාත් සුදුසු ය. එතුමා මෙසේ පැවසීය: ඊදුල් අළ්හා උත්සව දින මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සමඟ සලාත් ඉටු කරන ස්ථානයට සහභාගී වූයෙමි. එතුමාණන්ගේ දේශනාව අවසන් කළ පසු, එතුමාණෝ මින්බර් වේදිකාවෙන් බැස්සහ. පසුව එතුමාණන් වෙත බැටලුවෙකු ගෙන එන ලදී. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තම අතින්ම එය කපා හැරියහ. එහිදී එතුමාණෝ මෙසේ පැවසූහ: බිස්මිල්ලාහි වල්ලාහු අක්බර්, හාදා අන්නි වා අන් මන් ලම් යුළහ්හි මින් උම්මති."
(තේරුම: අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. මෙය මා වෙනුවෙන් මෙන්ම මගේ සමූහයේ කවරෙකු උල්හිය්යා ලබා නොදුන්නේ ද ඔහු වෙනුවෙනි.)
7. උගුර, ගලනාලය සහ කණ්ඨ ශිරා දෙක කපා හැරීම සහ රුධිරය ගලා යාමට සැලැස්වීම. ඔටුවකු ගවයකු හා එළුවකු නිත්‍යානුකූලව ගෙල සිඳ දැමීමේ තත්ත්වයන් තුනක් ඇති බව බින් බාස් (රහිමහුල්ලාහ්) තුමා පවසයි.
පළමු තත්ත්වය: කපන්නා විසින් උගුර, ගලනාලය, සහ රුධිර නාල දෙක කපා හැරීම එය සම්පූර්ණ සහ යහපත්ම ක්‍රමයයි. මෙම ස්ථාන හතර කපාහරින ලද්දේ නම්; සියලු විද්වතුන්ගේ මතය අනුව කැපීමේ එම ක්‍රියාවලිය අනුමත බවය.
දෙවන තත්ත්වය: උගුර, ගලනාලය හා රුධිර නාල දෙකෙන් එකක් කපා ඉවත් කිරීම. මෙය පළමු තත්ත්වයට වඩා අඩු වුව ද අනුමත නිවැරදි හා යහපත් ක්‍රමය වේ.
තුන්වන තත්ත්වය: රුධිර නාල දෙක හැර දමා උගුර සහ ගලනාලය පමණක් කපා ඉවත් කිරීම, එය ද නිවැරදි වේ. විද්වතුන් සමූහයක් විසින් මෙය පිළිගන්නා ලද්දකි. ඔවුන්ගේ සාධකය වූයේ, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයයි: «ලේ ගලා යාමට සැළැස්සූ සහ අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ පමණක් ඔබ අනුභව කරනු, එය දත් සහ නියපොත්තෙන් නොවිය යුතුයි.» [14], මෙම ගැටළුවේදී තෝරා ගනු ලැබූ මතය මෙයයි [15].
අල්ලාහ් අපට ඉගැන්වූ දැයින් අප ප්‍රයෝජනය ලබන්නටත්, අපට ප්‍රයෝජනවත් දේ ඔහු අපට උගන්වා දීමත් අපි අල්ලාහ්ගෙන් අපේක්ෂා කරමු. සැබැවින්ම ඔහු ත්යාගශීලීය ඉමහත් කාරුණිකය. අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හටත් හා එතුමාණන්ගේ පවුලේ උදවිය හටත් අල්ලාහ් ශාන්තිය හා සමාදාන උදා කරත්වා!