Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 12 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ භාරහාර තැබීමෙන් වැළැක්වූහ. එමෙන්ම මෙසේ ද පැවසූහ: “සැබැවින්ම එය යහපතක් ගෙන දෙන්නේ නැත. එය සිදු වන්නේ මසුරෙකුගෙනි”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉබ්නු අල්-ලුත්බියා නම් මිනිසෙකු සුලෙයිම් ගෝත්‍රයේ සකාත් එකතු කරන්නෙකු ලෙස සේවයේ යෙදවීය. ඔහු ගණන් හිලව් කිරීමට ආපසු පැමිණි කල්හි, මෙසේ පැවසීය: "මෙය ඔබලා සතුය. මෙය මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී." එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: “ඔබ සත්‍යවාදී නම්, ඔබේ තෑග්ග ඔබ වෙත පැමිණෙන තෙක් ඔබ ඔබේ පියාගේ සහ මවගේ නිවසේ රැඳී නො සිටියේ මන්ද?” පසුව එතුමාණෝ අප වෙත දේශනාවක් කළහ. අල්ලාහ්ට ප්‍රශංසා කිරීමෙන් හා පැසසුම් කිරීමෙන් පසු, මෙසේ පැවසූහ: "අල්ලාහ් මට පවරා ඇති අධිකාරියේ කොටසක් ලෙස, සේවය කිරීම සඳහා මම ඔබ අතරින් මිනිසෙකු යොදවා ගත්තෙමි. ඔහු පැමිණ මෙසේ කියයි: 'මෙය ඔබලා සතුයි. මෙය මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී. ඔහුට තෑගි ලැබේදැයි බැලීමට ඔහු තම පියාගේ හෝ මවගේ නිවසේ රැඳී නොසිටියේ ඇයි? අල්ලාහ් මත දිවුරමින්! ඔබගෙන් කෙනෙකු අයුතු ලෙස යමක් ගන්නේ නම්, ඔහු නියත වශයෙන්ම විනිශ්චය දිනයේදී එය දරාගෙන සර්වබලධාරී අල්ලාහ් හමුවනු ඇත. එසේ ඔබ අතරින් කෙනෙකු අල්ලාහ් හමුවන්නේ, කෑ ගසන ඔටුවෙකු හෝ කෑ ගසන එළදෙනක් හෝ කෑ ගසන බැටළුවෙකු රැගෙන බව මම නිසැකවම දනිමි. ඉන්පසු, එතුමාණන්ගේ කිහිලිවල සුදු පැහැය අපට පෙනෙන තෙක් දෑත් ඔසවා “අහෝ දෙවිඳුනි! මම (ඔබේ පණිවිඩය) ප්‍රකාශ කර තිබේ ද? මාගේ දෑසේ බැල්ම හා මාගේ දෙකන්හි ශ්‍රවණය සහතිකය." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සැබැවින්ම අසල්වැසියා උරුමක්කරුවකු වේ යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මට අසල්වැසියා සම්බන්ධයෙන් උපදෙස් දෙමින්ම සිටියහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"යම් දිවුරුමක් මත දිවුරා එමගින් ඔහු මුස්ලිම්වරයකුගේ ධනය දුෂ්ට ලෙස පැහැර ගනු පිණිස කටයුතු කරන්නේ ද අල්ලාහ් ඔහු කෙරෙහි දැඩි කෝපයෙන් යුතුව ඔහුව මුණ ගැසෙයි." වාර්තාකරු තවදුරටත්: අෂ්අස් තුමා මෙසේ පැවසීය: "මා සම්බන්ධයෙන් නම්, අල්ලාහ් මත දිවුරා පවසමි, එය සිදු විය. මා අතර හා යුදෙව් මිනිසෙකු අතර භූමි භාගයක් විය. ඔහු මට බලපෑම් කළේය. පසුව මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ඔහුව ඉදිරිපත් කළෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් : ඔබට සාක්ෂි තිබේදැ?යි විමසා සිටියහ. මම නැතැයි පිළිතුරු දුන්නෙමි. එතුමාණෝ යුදෙව්වාට ඔබ දිවුරා සිටින්නැයි කියා සිටියහ. මම: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එසේ නම්, ඔහු දිවුරා මාගේ ධනයත් රැගෙන යනු ඇත' යැයි පැවසුවෙමි . එවිට උත්තරීතර අල්ලාහ් මෙය පහළ කළේය. "සැබැවින්ම අල්ලාහ්ගේ ගිවිසුම හා ඔවුන්ගේ දිවුරුම් සුළු මිලකට විකුණනන්නන් වනාහි.." පාඨයේ අවසානය දක්වා පහළ විය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“රන් හෝ රිදී හිමි අයකු ඒ සඳහා වූ (සකාත්) නියමය ඉන් ඉටු නොකරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබේ. පසුව අපා ගින්නෙහි රත් කරනු ලැබ එමගින් ඔහුගේ ඇලපැත්ත ඔහුගේ නළල සහ ඔහුගේ පිට ගිනි තැටියෙන් මදිනු ලැබේ. එය සිසිල් වන සෑම විටෙකම නැවතත් රත් කරනු ලැබේ. මෙම දඬුවම වසර පනස්දහසක කාල ප්‍රමාණයකින් යුත් එක් මතු දිනයක සිදු වේ. තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහුගේ මඟ ඔහු දකින තුරු නැවත නැවතත් ඔහු වෙනුවෙන් මෙසේ සිදු කරනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"නුඹලා එකිනෙකා අතර ත්‍යාග පිරිනමා ගනු. එමඟින් නුඹලා එකිනෙකා අතර සෙනෙහස ඇති කර ගනු ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය බුහාරි අල්-අදබ් අල්-මුෆ්රද් හි ද, අබූ යඃලා සහ බයිහකී විසින් ද වාර්තා කර ඇත.
අත්පිට ලෙස මිස රිදී රනට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස තිරිඟු තිරිඟුවට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස බාර්ලි බාර්ලියට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස රට ඉඳි රට ඉඳියට හුවමාරු කිරීම පොලියකි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත අෂ්අරී ගෝත්‍රයේ පිරිසක් සමග පැමිණ, ප්‍රවාහන පහසුකම් ඉල්ලා සිටියෙමි. එවිට එතුමාණෝ, "අල්ලාහ් මත දිවුරා, මා ඔබට ප්‍රවාහන පහසුකම් සලසා නොදෙමි. ඔබට ප්‍රවාහන පහසුකම් සලසා දෙන්නට මා ළඟ කිසිවක් නැත." යැයි පැවසූහ. අල්ලාහ් අභිමත කරන තෙක් අපි රැඳී සිටියෙමු. පසුව එතුමාණන් වෙත ඔටුවන් ගෙන එන ලදී. දැකුම් කළු ඔටුවන් තිදෙනෙකු එතුමාණෝ අපට නියම කළහ. පසුව අපි හැරී ගමන් ගත් කල්හි අප අතරින් ඇතැමෙක් ඇතැමෙකුට 'අල්ලාහ් අපට අභිවෘද්ධිය සළසා නොදෙත්වා. අපි අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ ප්‍රවාහන පහසුකම් ඉල්ලා සිටි විට, එතුමාණන් දිවුරා අප වෙත ප්‍රවාහන පහසුකම් නො දෙන බව පවසා, පසුව අපට ප්‍රවාහන පහසුකම් සළසා ඇත.' යැයි පවසා සිටියෝය. අබූ මූසා තුමා තවදුරටත් මෙසේ දන්වා සිටියේය: පසුව අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මේ ගැන එතුමාණන්ට සඳහන් කළෙමු. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "මම ඔබට ප්‍රවාහන පහසුකම් ලබා නොදුන්නෙමි. ඔබට ප්‍රවාහන පහසුකම් සළසා දුන්නේ අල්ලාහ් ය. අල්ලාහ් මත දිවුරා පවසමි. - අල්ලාහ් අභිමත කළේ නම් - සැබැවින්ම මම යමක් කිරීමට දිවුරා පසු ව ඊට වඩා එය නොවන වෙනත් යහපතක් දුටුවේ නම් එම යහපත ගෙනැවිත් මාගේ දිවුරුම වෙනුවෙන් මම සමාව අයැද සිටිමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.