Skip to content

හුදකලා වූවෝ පෙරට ගියහ

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මක්කාවේ මාර්ගයක ගමන් කරමින් සිටියහ. එතුමාණෝ ජුම්දාන් නම් කන්ද අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ ගමන් ගන්න. මෙය ජුම්දාන් කන්දය. හුදකලා වූවෝ පෙරට ගියහ." යැයි පැවසූහ. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! හුදකලාවූවෝ කවුරුන්ද?යැයි විමසා සිටියෝය. එවිට එතුමාණෝ “අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් වෙති“ යැයි පැවසූහ.

كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسِيرُ فِي طَرِيقِ مَكَّةَ، فَمَرَّ عَلَى جَبَلٍ يُقَالُ لَهُ جُمْدَانُ، فَقَالَ: «سِيرُوا هَذَا جُمْدَانُ، سَبَقَ الْمُفَرِّدُونَ» قَالُوا: وَمَا الْمُفَرِّدُونَ يَا رَسُولَ اللهِ؟ قَالَ: «الذَّاكِرُونَ اللهَ كَثِيرًا وَالذَّاكِرَاتُ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අල්ලාහ්ව අධිකව මෙනෙහි කරන්නන්ගේ නිලය ගැනත්, සැබැවින්ම ඔවුන් ‌හුදෙකලා වී ස්වර්ග උයහන්හි උසස් නිලයන් ලබමින් සෙසු අයට වඩා පෙරටුගාමීන් වන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. එමෙන්ම සෙසු කඳුවලින් වෙන්වී ඇති ජුම්දාන් කන්ද ඔවුනට උපමා ලෙස ගෙන හැර දැක්වූහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

වැඩි වැඩියෙන් අධිකව අල්ලාහ් ව මෙනෙහි කිරීම හා එහි නිරත වීම සතුටුදායකය. මතුලොවෙහි ‌පෙරමුණ ගනුයේ අධික ලෙස අවනත වූවන් හා නැමදුම්හි අවංකභාවය ඇත්තවුන්ය.

අල්ලාහ්ව මෙ‌නෙහි කිරීම දිවෙන් පමණක් හෝ හදවතින් පමණක් හෝ දිව හා හදවත යන දෙකින්ම හෝ විය හැකිය. උසස්ම නිලය එයයි.

උදේ සවස උසුරන ප්‍රාර්ථනාවන්, අනිවාර්යය සලාතයන්ට පසු ඇති ප්‍රාර්ථනාවන් වැනි නියම කරන ලද ආගමානුගත ප්‍රාර්ථනාවන් ද මෙම දික්ර් අතරට අයත් වේ.

නවවි තුමා මෙසේ පවසයි. "මෙනෙහි කිරීමේ මහිමය, අල්ලාහ්ට 'සුබ්හානල්ලාහ්' යැයි සුවිශුද්ධ කරමින් තස්බීහ් පැවසීම, 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි තහ්ලීල් පැවසීම, 'අල්හම්දු ලිල්ලාහ්' යැයි ප්‍රශංසා කරමින් තහ්මීද් පැවසීම හා අල්ලාහු අක්බර් යැයි අල්ලාහ් ශ්‍රේෂ්ඨත්වයට පත් කරමින් තක්බීර් පැවසීම හා එවැනි යම් වදන් මත පමණක් සීමා වන්නක් නොවේ. උත්තරීතර අල්ලාහ්ට අවනත වෙමින් ක්‍රියා කරන සෑම කෙනෙකුම උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කරන්නෙකු වේ.

අල්ලාහ්ව මෙනෙහි කිරීම ස්ථාවරභාවයේ කරුණු අතරට ඇතුළත් වේ. සුවිශුද්ධයාණෝ මෙසේ පවසයි: "අහෝ විශ්වාස කළවුනි! ඔබ යම් පිරිසක් දුටු විට, ස්ථාවරව සිටින්න. ඔබ ජය ලැබිය හැකිවනු පිණිස අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරන්න." (අල්-අන්ෆාල්: 45)

අල්ලාහ්ව මෙනෙහි කරන්නන් හා ජුම්දාන් කන්ද අතර උපමා කර පෙන්වා ඇත්තේ එය වෙන්ව හා හුදෙකලාවේ පවතින ස්වභාවයයි. ජුම්දාන් කන්ද සෙසු කඳුවලින් වෙන්ව පවතින්නකි. උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කරන්නා ද ඔහු ජනයා අතර සිටිය ද, ඔහුගේ හදවත හා ඔහුගේ දිව ඔහුගේ පරමාධිපතිව මෙනෙහි කරමින් තනිවී පවතී. ඔහු මිනිසුන් සමග අධික ලෙස ගැවසීමෙන් දුරස්ව හුදෙකලා වේලාවන් හි එහි බැඳී සිටියි. එමෙන්ම එම උපමාව තවත් පැතිකඩකින් බැලූ කල, මහපොළොව ස්ථාවරව පිහිටීමට කන්ද හේතුවක් වන්නා සේම දහම මත ස්ථාවරව පිහිටීමට අල්ලාහ්ව මෙනෙහි කිරීම හේතුවක් ‌වන්නේය. එසේ නැතහොත් මදීනාවේ සිට මක්කාව වෙත ගමන් කරන මගියෙකු මෙන් ඔහු ජුම්දාන් කන්ද වෙත ළඟා වූ විට මක්කාව වෙත පිවිසුණු බවට සළකුණකි. ඒ වෙත කවුරුන් ළගා වූයේ ද ඔහු පෙරටුගාමියෙකු වේ. එසේම උත්තරීතර අල්ලාහ් මෙනෙහි කරන්නා ද අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කිරීම තුළින් සෙසු අයට වඩා පෙරටුගාමී ව සිටින්නෙකු වේ.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 2062) (2676).

තවත් බලන්න (8)

نزهة المتقين.

لمجموعة من الباحثين (2/ 983).

تيسير الكريم الرحمن في تفسير كلام المنان.

لابن سعدي (ص665).

بهجة الناظرين.

لسليم الهلالي (2/ 510).

شرح رياض الصالحين.

لابن عثيمين (5/ 516).