Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 28 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණන් වෙත (මරණයේ දූතයා) පහළ වූ කල්හි එතුමාණන්ගේ මුහුණ මත ඉරි සහිත රෙදි කඩක් එළීය. එය එතුමාණන්ගේ හුස්ම හිරකළ කල්හි, එතුමාණෝ තම මුහුණින් එය ඉවත් කර ගත්හ. -එතුමාණන් එසේ සිටිය දී,- යුදෙව්වන් හා කිතුනුවන් මත අල්ලාහ්ගේ දොසක්ම වේවා! ඔවුහු ඔවුන්ගේ නබිවරුන්ගේ මිණීවලවල් දේවස්ථාන බවට ගත්තෝය. යැයි පවසා ඔවුන් සිදු කළ දෑ ගැන අවවාද කරමින් සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"උෆෙයිර් නම් බූරුවකු මත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පසුපසින් මා වාඩි වී සිටියෙමි. එවිට එතුමාණෝ: අහෝ මුආද්, අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම හා ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම කුමක් දැයි ඔබ දන්නෙහි ද? යැයි විමසුහ. මම: 'අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඒ ගැන මැනවින් දන්නෝ වෙති' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම වනුයේ, ඔහුට නැමදුම් කිරීම හා කිසිවක් ඔහුට ආදේශ නොකිරීමය. ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නොකරන තැනැත්තන් හට දඬුවම් නොකිරීමය" යැයි පැවසූහ. එවිට මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මා මේ ගැන මිනිසුන්ට ශුභාරංචි දන්වා සිටිය යුතු නොවේ ද? යැයි විමසුවෙමි. එතුමාණෝ: ඔවුනට මේ ගැන ශුභාරංචි දන්වා නොසිටින්න. එවිට ඔවුහු එහිම එල්බගෙන සිටිනු ඇතැ"යි පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පවසා අල්ලාහ් හැර නැමදුම් ලබන අනෙකුත් දෑ ප්‍රතික්ෂේප කළේ ද, ඔහුගේ ධනය සහ ඔහුගේ ජීවිතය (අහිමි කිරීම) තහනම් වන්නේය. ඔහුගේ විනිශ්චය අල්ලාහ් මත පවතිනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබේ මැදිහත් වීම ලබන්නට වඩාත් භාග්‍යවන්තයා කවුරුන්දැයි විමසන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "අහෝ අබූ හුරෙයිරා, මෙම හදීසය කෙරෙහි ඔබ තුළ ඇති උනන්දුව මම දකින බැවින් ඒ ගැන ඔබට පෙර මගෙන් කිසිවකු විමසා නැතැයි මම සිතමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත්වීම ලබන්නට මිනිසුන් අතර වඩාත් භාග්‍යවන්තයා වනුයේ තම හදවතින් හා සිතින් අවංකවම 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) යැයි පවසන්නාය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
අලී ඉබ්නු අබී තාලිබ් මට මෙසේ පවසා සිටියේය: “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මා කවර කරුණක් මත එව්වේ ද ඒ කරුණ මතම මා ඔබවත් යැවිය යුතු නොවේද? යම් පිළිරුවක් වී නම් ඔබ එය විනාශ නොකර හෝ යම් ගෞරවනීය සොහොනක් වී නම්, එය සමතලා නොකර හෝ අත් හැර නොදමන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“නුඹලා පිළිම මත නොදිවුරනු. තවද නුඹලාගේ පියවරුන් මත ද නොදිවුරනු.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වටා වාඩි වී සිටියෙමු. අප සමග එක් පිරිසක අබූ බක්ර් හා උමර් (රළියල්ලාහු අන්හුමා) ද වූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් අප අතරින් නැගිට, අපෙන් දුරස්ව ගියහ. අප නැතිව, එතුමාට යම් හානියක් සිදුවේදෝයි අපි බියවීමු. තිගැස්සී නැගිට සිටියෙමු. එසේ තිගැස්සුනු අය අතරින් පළමුවැන්නා මා විය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සොයමින් මම පිටත් වූයෙමි. නජ්ජාර් ගෝත්‍රයට අයත් අන්සාරිවරයකු සතු වතුයාය දක්වා පැමිණියෙමි. එයට දොරක් තිබේදැයි එය වටා ගොස් බැලුවෙමි. නමුත් මට කිසිවක් ලැබුණේ නැත. පිටත ඇති ලිඳකින් බිත්තිය මැදින් ගලා යන දියපහරක් විය. මම එහි රිංගා අල්ලාහ්ගේ දූතයාණන් වෙතට පිවිසුණෙමි. එවිට එතුමාණෝ: "අබූ හුරෙයිරාදැ?"යි විමසූහ. මම, "අල්ලාහ්ගේ දූතයාණනි, එසේය", යැයි පිළිතුරු දුන්නෙමි. "ඔබේ කාරණාව කුමක්දැ?"යි එතුමාණෝ විමසූහ. "ඔබ අප අතර සිටියෙහිය. පසුව නැගිට අපෙන් දුරස්ව ගියහ. අප නොමැතිව ඔබට යමක් සිදු කරනු ලබනු ඇතැයි අපි බිය වීමු. අපි තිගැස්සුණෙමු. එසේ තිගැස්සී ගිය අය අතරින් පළමුවැන්නා මම වූයෙමි. පසුව මම මේ බිත්තිය වෙත පැමිණියෙමි. නරියකු රිංගා යන්නාක් මෙන් මම ද රිංගා මෙහි ඇතුළු වූයෙමි. මට පසුපසින් ජනයා ද සිටිති" යැයි පැවසුවෙමි. "අහෝ අබූ හුරෙයිරා!" යැයි පවසා, මට එතුමාණන්ගේ පාවහන් යුගලය පිරිනමා, "මාගේ මේ පාවහන් දෙක ඔබ රැගෙන ගොස්, මෙම බිත්තියට පිටුපසින්, 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔබ හමු වූයෙහි නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන්න." යැයි පැවසුහ. මා හමු වූ පළමුවැන්නා උමර් තුමා විය. එවිට එතුමා: "අහෝ අබූ හුරෙයිරා! මේ පාවහන් යුගල කුමක් දැ?"යි විමසා සිටියේය. එවිට මම: "මෙය අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් යුගලයයි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහු' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු මා හමු වූයේ නම්, ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා එතුමාණෝ මා එවූහ." යැයි පැවසුවෙමි. මාගේ පපු දෙක අතරට උමර් තුමා එතුමාගේ දෑතින් පහරක් දුන්හ. මම පසු පස්සට ඇඳ වැටුණෙමි. පසුව එතුමා: "අහෝ අබූ හුරෙයිරා! ඔබ නැවත හැරී යනු" යැයි පැවසීය. පසුව මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත හැරී ගියෙමි. මම හඬා වැළපුණෙමි. උමර් තුමා මා මෙහෙය වූහ. මම ද එහි සළකුණු සමගම සිටියෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "අහෝ අබූ හුරයිරා ඔබට කුමක් සිදුවී ද?" යැයි විමසූහ. මම: "මා උමර්ව හමුවී ඔබ මා කවර කරුණක් සඳහා එවා සිටියේ ද ඒ ගැන මම එතුමාට දන්වා සිටියෙමි. එවිට එතුමා මාගේ පපු දෙක අතරට පහරක් දුන්හ. මාගේ පසු පැත්තට මම ඇද වැටුණෙමි. එවිට එතුමා මට: "හැරී යන්න"යි පැවසූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ, අහෝ උමර්, ඔබ කළ දෑ සඳහා ඔබව පෙළඹවූයේ කුමක් ද?" එතුමා: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මගේ මව හා මගේ පියා ඔබට කැප කරමි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔහු හමු වූයේ නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා ඔබේ පාවහන් දෙක සමග ඔබ අබූ හුරෙයිරාව එව්වෙහි ද?" යැයි විමසුහ. එතුමාණෝ, "එසේය" යැයි පැවසූහ. එවිට උමර් තුමා, "ඔබ තුමාණන් එසේ නොකරන්න. මිනිසුන් හුදෙක් ඒ මතම රැඳී සිටිනු ඇතැයි මම බියවීමි. ඔවුන්ට ක්‍රියා කරන්නට ඔවුන් අත්හරින්න." යැයි පැවසුහ. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "එසේ නම් ඔවුන් අත්හැර දමන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
හෙතෙම සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් සමග ඇතැම් ගමන් බිමන් හි නිරත වී ඇති බව පවසා, "ජනයා ඔවුන්ගේ නවාතැන්හි සිටිය දී- එතුමා ‘එකදු කර පටියක් හෝ වලල්ලක් හෝ ඔටුවාගේ බෙල්ලේ ඉතිරි වන්නට ඉඩ නොහරින මෙන් පවසා දූතයකු එවා සිටියහ." යැයි දන්වා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.