Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම අල්ලාහ් ඔබ වෙනුවෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් තෘප්තියට පත් වෙයි. එමෙන්ම ඔබ වෙනුවෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් ඔහු පිළිකුල් කරයි. එසේ ඔබ වෙනුවෙන් ඔහු තෘප්තියට පත් වනුයේ: ඔබ ඔහුට නැමදීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම හා ඔබ වෙන්ව නොයා සියලු දෙනා අල්ලාහ්ගේ රැහැණ තදින් අල්ලා ගැනීමය. ඔබ වෙනුවෙන් ඔහු පිළිකුල් කරනුයේ 'ඕපාදූප කීම, අධික ලෙස ප්‍රශ්න කිරිම හා ධනය නාස්ති කිරීම ය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබේ මැදිහත් වීම ලබන්නට වඩාත් භාග්‍යවන්තයා කවුරුන්දැයි විමසන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "අහෝ අබූ හුරෙයිරා, මෙම හදීසය කෙරෙහි ඔබ තුළ ඇති උනන්දුව මම දකින බැවින් ඒ ගැන ඔබට පෙර මගෙන් කිසිවකු විමසා නැතැයි මම සිතමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත්වීම ලබන්නට මිනිසුන් අතර වඩාත් භාග්‍යවන්තයා වනුයේ තම හදවතින් හා සිතින් අවංකවම 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) යැයි පවසන්නාය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වටා වාඩි වී සිටියෙමු. අප සමග එක් පිරිසක අබූ බක්ර් හා උමර් (රළියල්ලාහු අන්හුමා) ද වූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් අප අතරින් නැගිට, අපෙන් දුරස්ව ගියහ. අප නැතිව, එතුමාට යම් හානියක් සිදුවේදෝයි අපි බියවීමු. තිගැස්සී නැගිට සිටියෙමු. එසේ තිගැස්සුනු අය අතරින් පළමුවැන්නා මා විය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සොයමින් මම පිටත් වූයෙමි. නජ්ජාර් ගෝත්‍රයට අයත් අන්සාරිවරයකු සතු වතුයාය දක්වා පැමිණියෙමි. එයට දොරක් තිබේදැයි එය වටා ගොස් බැලුවෙමි. නමුත් මට කිසිවක් ලැබුණේ නැත. පිටත ඇති ලිඳකින් බිත්තිය මැදින් ගලා යන දියපහරක් විය. මම එහි රිංගා අල්ලාහ්ගේ දූතයාණන් වෙතට පිවිසුණෙමි. එවිට එතුමාණෝ: "අබූ හුරෙයිරාදැ?"යි විමසූහ. මම, "අල්ලාහ්ගේ දූතයාණනි, එසේය", යැයි පිළිතුරු දුන්නෙමි. "ඔබේ කාරණාව කුමක්දැ?"යි එතුමාණෝ විමසූහ. "ඔබ අප අතර සිටියෙහිය. පසුව නැගිට අපෙන් දුරස්ව ගියහ. අප නොමැතිව ඔබට යමක් සිදු කරනු ලබනු ඇතැයි අපි බිය වීමු. අපි තිගැස්සුණෙමු. එසේ තිගැස්සී ගිය අය අතරින් පළමුවැන්නා මම වූයෙමි. පසුව මම මේ බිත්තිය වෙත පැමිණියෙමි. නරියකු රිංගා යන්නාක් මෙන් මම ද රිංගා මෙහි ඇතුළු වූයෙමි. මට පසුපසින් ජනයා ද සිටිති" යැයි පැවසුවෙමි. "අහෝ අබූ හුරෙයිරා!" යැයි පවසා, මට එතුමාණන්ගේ පාවහන් යුගලය පිරිනමා, "මාගේ මේ පාවහන් දෙක ඔබ රැගෙන ගොස්, මෙම බිත්තියට පිටුපසින්, 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔබ හමු වූයෙහි නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන්න." යැයි පැවසුහ. මා හමු වූ පළමුවැන්නා උමර් තුමා විය. එවිට එතුමා: "අහෝ අබූ හුරෙයිරා! මේ පාවහන් යුගල කුමක් දැ?"යි විමසා සිටියේය. එවිට මම: "මෙය අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් යුගලයයි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහු' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු මා හමු වූයේ නම්, ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා එතුමාණෝ මා එවූහ." යැයි පැවසුවෙමි. මාගේ පපු දෙක අතරට උමර් තුමා එතුමාගේ දෑතින් පහරක් දුන්හ. මම පසු පස්සට ඇඳ වැටුණෙමි. පසුව එතුමා: "අහෝ අබූ හුරෙයිරා! ඔබ නැවත හැරී යනු" යැයි පැවසීය. පසුව මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත හැරී ගියෙමි. මම හඬා වැළපුණෙමි. උමර් තුමා මා මෙහෙය වූහ. මම ද එහි සළකුණු සමගම සිටියෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "අහෝ අබූ හුරයිරා ඔබට කුමක් සිදුවී ද?" යැයි විමසූහ. මම: "මා උමර්ව හමුවී ඔබ මා කවර කරුණක් සඳහා එවා සිටියේ ද ඒ ගැන මම එතුමාට දන්වා සිටියෙමි. එවිට එතුමා මාගේ පපු දෙක අතරට පහරක් දුන්හ. මාගේ පසු පැත්තට මම ඇද වැටුණෙමි. එවිට එතුමා මට: "හැරී යන්න"යි පැවසූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ, අහෝ උමර්, ඔබ කළ දෑ සඳහා ඔබව පෙළඹවූයේ කුමක් ද?" එතුමා: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මගේ මව හා මගේ පියා ඔබට කැප කරමි. 'ලා ඉලාහ ඉල්ල්ලලාහ්' යැයි තම හදවතින් දැඩි විශ්වාසයකින් යුතුව සාක්ෂි දරන්නෙකු ඔහු හමු වූයේ නම් ඔහුට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන මෙන් පවසා ඔබේ පාවහන් දෙක සමග ඔබ අබූ හුරෙයිරාව එව්වෙහි ද?" යැයි විමසුහ. එතුමාණෝ, "එසේය" යැයි පැවසූහ. එවිට උමර් තුමා, "ඔබ තුමාණන් එසේ නොකරන්න. මිනිසුන් හුදෙක් ඒ මතම රැඳී සිටිනු ඇතැයි මම බියවීමි. ඔවුන්ට ක්‍රියා කරන්නට ඔවුන් අත්හරින්න." යැයි පැවසුහ. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "එසේ නම් ඔවුන් අත්හැර දමන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.