Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දුනිමි. “අහෝ ආදම්ගේ දරුව! සැබැවින්ම නුඹ මා ඇරයුම් කර මා කෙරෙහි අපේක්ෂා තබන්නෙහි නම් නුඹ තුළ සිදුවූ දෑ සඳහා මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. ආදම්ගේ දරුව! නුඹේ පාපකම් අහසේ වළාකුළු උසට ළඟා වුව ද පසුව නුඹ මගෙන් සමාව අයැද සිටින්නේ නම් මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. අහෝ ආදම්ගේ දරුව! මහපොළොව තරම් වැරදි සමග නුඹ මා වෙත පැමිණිය ද නුඹ මට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ මා මුණ ගැසුණේ නම් එය පිරෙන තරම් සමාව මම නුඹට පිරිනමමි යැයි උත්තරීතර අල්ලාහ් පවසා ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය මෙලොවෙහි ඔහුට පිරිනමනු ලබන අතර මතුලොවෙහි ද ඒ සඳහා ප්‍රතිඵල පිරිනමනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වනාහි, ඔහු මෙලොවෙහි සිදු කළ යහපත් දෑ වෙනුවෙන් පෝෂණය කරනු ලැබේ. නමුත් මතුලොවෙදී ඒ සඳහා ප්‍රතිඵල පිරිනමන්නට තරම් යහපතක් එහි ඔහුට නොවනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අවම දඬුවමක් ලබන අපාවාසීන් හට මෙසේ පවසා සිටියි: “සැබැවින්ම ඔබට මහපොළොවේ ඇති යමක් සතුව තිබුණේ නම්, එය වන්දි වශයෙන් පිරිනමන්නෙහි ද?” යැයි විමසයි. ඔහු එයට ‘එසේය’ යැයි පිළිතුරු දෙයි. ඔහු: ‘ඔබ ආදම්ගේ කොඳු නාරටියෙහි සිටියදී මීට වඩා පහසු දෙයක් මම ඔබෙන් ඉල්ලුවෙමි. එනම් ඔබ මට ආදේශ නො කිරීමය. නමුත් ඔබ මට ආදේශ කිරීම හැර අනෙකුත් දෑහි පිටුපෑවෙහිය.” යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ගමනක දී මුආද් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පසුපසින් වාහනයේ යමින් සිටිය දී එතුමා මෙසේ පැවසීය: ‘අහෝ මුආද්!' ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. එතුමා නැවතත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. තුන්වන වරටත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. පසුව එතුමා මෙසේ පැවසූහ. “කවර හෝ ගැත්තකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ දූතයා වේ - යැයි තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරන්නේ ද අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත. එවිට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජනතාවට සතුට ගෙන දෙනු පිණිස මෙය ඔවුනට මා දන්වා සිටිය යුතු නොවේ ද?' යැයි විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා: ‘නැත! ඔවුන් ඒ මතම (පමණක්) සිටිනු ඇතැයි' පැවසූහ. පසු ව මුආද් (රළියල්ලාහු අන්හු) තුමා තම අවසන් කාලයේ, දැනුම සැගවීමේ පාපයට බියෙන් එය දන්වා සිටියේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ආසාදනය හෝ අශුභවාදය නැත. නමුත් සුභවාදය මා සතුටු කරවයි. සුභවාදය කුමක්දැයි ඔවුහු විමසුවෝය. ‘දැහැමි වචනය’ යැයි එතුමාණෝ පැවසූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, ඔටුවකු මත නැග ආ මිනිසෙක් මස්ජිදයට පිවිස එහි ඌ දණ ගස්වා උගේ පාද ගැට ගසා දැමීය. පසුව ඔහු ඔවුනට: "නුඹලා අතර මුහම්මද් කවුදැ?"යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිටියේ ඔවුන් පසුපස හේත්තු වෙමිනි. එවිට අපි: "හේත්තු වී ඉන්න සුදු මිනිසා ඔහු ය" යැයි පැවසුවෙමු. එවිට එම මිනිසා එතුමාණන්ට: "අහෝ අබ්දුල් "මුත්තලිබ්ගේ පුතුනි!" යැයි ඇමතුවේය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මම ඔබට පිළිතුරු දෙමි" යැයි පැවසූහ. එවිට එම මිනිසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට "සැබැවින්ම මම ඔබෙන් ප්‍රශ්න කර සිටිමි. ප්‍රශ්න කිරීමේ දී ඔබ අපහසුතාවයට පත් විය හැක. නමුත් ඔබ මා ගැන වරදක් නොසිතිය යුතුය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "ඔබට මතු වන දෑ විමසන්න." යැයි කීහ. එවිට ඔහු "ඔබේ පරමාධිපති මත හා ඔබට පෙර වූවන්ගේ පරමාධිපති මත දිවුරා විමසමි. සියලු මිනිසුන් වෙත ඔබ ව එවා ඇත්තේ අල්ලාහ් ද?" යැයි විමසීය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු "අල්ලාහ්ගේ නාමයෙන් මම ඔබෙන් විමසා සිටිමි. දහවලේ හා රාත්‍රියේ පස් වාරයක් අප සලාත් ඉටු කිරීම සඳහා ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසා සිටියෙ ය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. වසරේ මෙම මාසයේ උපවාසයේ නිරත වීමට ඔබට නියෝග කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. අප අතර පොහොසතුන්ගෙන් සදකා හෙවත් සකාත් ලබා එය අප අතර සිටින දුප්පතුන් අතර බෙදා දෙන්නට ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණා්: "අල්ලාහ් මත දිවුරමි. ඔව්" යැයි පිළිතුරු දුන්හ. පසුව එම මිනිසා: ඔබ කවර කරුණක් ගෙන ආවේ ද එය මම විශ්වාස කළෙමි. මම මාගේ ප්‍රජාව විසින් එවනු ලැබූ දූතයා වෙමි. මම බනූ සඃද් ඉබ්නු බක්ර්ගේ සහෝදර ළිමාන් ඉබ්නු සඃලබා වෙමි" යැයි පැවසුවේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.