Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 2 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තා වූ ග්‍රන්ථය

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (34)
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපති ගැන වාර්තා කළ කරුණු සම්බන්ධයෙන් මෙසේ පවසා සිටියහ: “මාගේ ගැත්තනි! අසාධාරණය (අපරාධය) මම මා මතම තහනම් කර ගත්තෙමි. ඔබ අතරත් එය මා තහනම් කරනු ලැබූවක් බවට පත් කළෙමි. එබැවින් නුඹලා එකිනෙකාට අසාධාරණකම් නොකරන්න. මාගේ ගැත්තනි, මා කවරෙකුහට මඟ පෙන්වූයේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නොමඟ ගියවුන් වෙති. එබැවින් නුඹලා මගෙන් යහමඟ පතනු. මම නුඹලාට මඟ පෙන්වමි. මාගේ ගැත්තනි! මා කවරෙකුහට පෝෂණය කළේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනාම සාගින්නෙන් පෙළෙන්නන් වෙති. එබැවින්ම නුඹලා මගෙන් පෝෂණය පතනු. මම නුඹලාට පෝෂණය ලබා දෙන්නෙමි. මාගේ ගැත්තනි! මා කවරෙකුහට අඳින්නට සැළැස්සුවේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නිරුවත් අය වෙති. එබැවින් නුඹලා මගෙන් අඳින්නට පතනු. මම නුඹලාට අඳින්නට සළසන්නෙමි. සැබැවින්ම නුඹලා රාත්‍රියේ හා දහවලේ වැරදි කරන්නෙහුය. මම සියලු පාපයන්ට සමාව දෙන්නෙක්මි. එබැවින් නුඹලා මගෙන් සමාව අයැදිනු. මම නුඹලාට සමාව දෙමි. නුඹලා මට හානියක් කරන තරමට මට හානි කිරීමට නුඹලාට නොහැක්කේමය. එමෙන්ම මට ප්‍රයෝජනයක් කරන තරමට නුඹලා මට ප්‍රයෝජනයක් කළ නොහැක්කේමය. මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා නුඹලාගේ අන්තිමයා නුඹලාගේ මනුෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ වඩාත් ධාර්මික හදවත තරම් බැතිමත් වූයේ නම්, එය කිසිසේත් මාගේ ආධිපත්‍යය වැඩි නොකරනු ඇත. එමෙන්ම මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ දුෂ්ට හදවත තරම් දුෂ්ට වූයේ නම්, එය කිසිම දෙයකින් මාගේ ආධිපත්‍යය අඩු නොකරනු ඇත. මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනුෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා උස් තැනකට නැගී මාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් (එසේ ඉල්ලන) සෑම මිනිසෙකුටම ඔහු ඉල්ලන දෑ මම පිරිනමමි. ඉඳිකටුවක් මුහුදට දමනු ලැබූ විට එය (එහි ජලය) අඩු නොකරන පරිදි මා සතුව ඇති දෑ ද එය අඩු කරන්නේ නැත. මාගේ ගැත්තනි! සැබැවින්ම නුඹලාගේ ක්‍රියාවන් වූ කල්හි, ඒවා මම නුඹලා වෙනුවෙන් සටහන් කර තබා ඇත්තෙමි. පසුව නුඹලාට මා ගෙවනුයේ ඒවාට පමණි. එබැවින් කවරෙකු යහපත සොයා ගත්තේ ද ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුයි. ඒ හැර වෙනත් දෙයක් ලැබුවේ ද ඔහු ඔහුටම මිස (අල්ලාහ්ට) දොස් නොපැවරිය යුතුයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිතුරන් අතරින් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: "අහෝ අල්ලාහ්ගේ දූතයාණණි!, ධනවත් අය ප්‍රතිඵල වලින් ඉදිරියට ගොස් ඇත. අප සලාත් ඉටු කරන්නාක් මෙන් ඔවුහු ද සලාත් ඉටු කරති. අප උපවාසය රකින්නාක් මෙන් ඔවුහු ද උපවාසය රකිති. අමරත ව ඔවුන්ගේ ධනයෙන් ඔවුහු දානමාන (පුණ්‍ය කටයුතු ද සිදු) කරති" යැයි පවසා සිටියහ. එවිට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): “නුඹලා පුණ්‍ය කටයුතුවල නිරතවන දෑ අල්ලාහ් නුඹලාට ඇති නොකළේ ද? (සුබ්හානල්ලාහ් - -අල්ලාහ් සුවිශුද්ධය- යැයි පවසන) සෑම තස්බීහයක්ම දානයකි. (අල්ලාහු අක්බර් - අල්ලාහ් අතිශ්රේෂ්ඨය- යැයි පවසන) සෑම තක්බීරයක්ම දානයකි. (අල්හම්දුලිල්ලාහ් - සියල පැසසුම් අල්ලාහ්ටය- යැයි පවසන) සෑම තහ්මීදයක්ම දානයකි. (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත යැයි පවසන) සෑම තහ්ලීලයක්ම දානයකි. යහපත විධානය කිරීමද දානයකි. පිළිකුල් සහගත දැයින් වැළැක්වීමත් දානයකි. නුඹලා අතර කෙනෙකු (බිරිද සමග) කාමුකව හැසිරීම ද දානයකි.” යැයි පවසා සිටියහ. එවිට ඔවුහු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් කෙනෙකු ඔහුගේ කාමය සංසිදුවා ගැනීමට පැමිණෙයි. එහි දී ඔහුට කුසල් හිමි වන්නේ දැ?’යි විමසා සිටියහ. එතුමාණෝ: “තහනම් දෑහි ඔහු එය (කාමය) සංසිදුවා ගත්තේ නම් ඔබ දකින පරිදි එය බරපතල පාපයක් නොවන්නේ ද? එමෙන්ම ඔහු එය අනුමත දෑහි සංසිදුවා ගත් විට ඔහුට කුසලක් හිමි වනු ඇත” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.