Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 40 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුව ය. සෑම පුද්ගලයකුටම ඔහුගේ චේතනාව මත ප්‍රතිඵලය පිහිටනු ඇත. එබැවින් කවරෙකුගේ හිජ්රත් හෙවත් දේශාන්තරය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් කරන්නේද, ඔහුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ හිජ්රතය ලෞකික ප්‍රතිලාභ සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා සිදු කරන්නේ ද ඔහුගේ හිජ්රතය ඔහු කවර දෙයක් වෙත හිජ්රත් කරන්නේ ද ඒ සඳහා පිහිටනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ අබ්දුල්ලාහ් මුහම්මද් බින් ඉස්මාඊල් බින් ඉබ්‍රාහීම් බින් අල්-මුගීරා බින් බර්දිස්බා අල්-බුහාරි හා අබුල් හුසෙයින් මුස්ලිම් බින් අල්-හජ්ජාජ් බින් මුස්ලිම් අල්-කුෂෙයිරි අන්-නෙයිසාබූරි යන හදීස්වේදීන්ගේ ඉමාම්වරුන් දෙදෙනා, සම්පාදිත ග්‍රන්ථ අතුරින් වඩාත් නිවැරදිම ග්‍රන්ථ දෙක වන තම සහීහ් ග්‍රන්ථවල එය වාර්තා කර ඇත.
“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
“මිනිසුන්, නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දරා සලාතය විධිමත්ව ඉටු කර, සකාත් ද පිරිනමන තෙක් ඔවුන් සමග අරගල කරන මෙන් මම අණ කරනු ලැබුවෙමි. එසේ ඔවුන් ඒවා සිදු කළේ නම්, ඉස්ලාමයේ ඇති උරුමයක් වෙනුවෙන් හැරෙන්නට ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ දේපළ ඔවුහු මගෙන් ආරක්ෂා කර ගත්තෝය. ඔවුන්ගේ විනිශ්චය ඇත්තේ උත්තරීතර අල්ලාහ් අබියසය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මම ඔබට කවර දෙයක් තහනම් කළේ ද ඉන් ඔබ වැළකී සිටිනු. මම ඔබට කවර දෙයක් නියම කළේ ද ඉන් ඔබට හැකි පමණින් ඉටු කරනු. ඔබට පෙර විසූවන් විනාශ වූයේ ඔවුන්ගේ අධික ප්‍රශ්න කිරීම් හා ඔවුන්ගේ වක්තෘවරුන් පිළිබඳව ඔවුන් තුළ තිබූ මතභේදය නිසාය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපති ගැන වාර්තා කළ කරුණු සම්බන්ධයෙන් මෙසේ පවසා සිටියහ: “මාගේ ගැත්තනි! අසාධාරණය (අපරාධය) මම මා මතම තහනම් කර ගත්තෙමි. ඔබ අතරත් එය මා තහනම් කරනු ලැබූවක් බවට පත් කළෙමි. එබැවින් නුඹලා එකිනෙකාට අසාධාරණකම් නොකරන්න. මාගේ ගැත්තනි, මා කවරෙකුහට මඟ පෙන්වූයේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නොමඟ ගියවුන් වෙති. එබැවින් නුඹලා මගෙන් යහමඟ පතනු. මම නුඹලාට මඟ පෙන්වමි. මාගේ ගැත්තනි! මා කවරෙකුහට පෝෂණය කළේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනාම සාගින්නෙන් පෙළෙන්නන් වෙති. එබැවින්ම නුඹලා මගෙන් පෝෂණය පතනු. මම නුඹලාට පෝෂණය ලබා දෙන්නෙමි. මාගේ ගැත්තනි! මා කවරෙකුහට අඳින්නට සැළැස්සුවේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නිරුවත් අය වෙති. එබැවින් නුඹලා මගෙන් අඳින්නට පතනු. මම නුඹලාට අඳින්නට සළසන්නෙමි. සැබැවින්ම නුඹලා රාත්‍රියේ හා දහවලේ වැරදි කරන්නෙහුය. මම සියලු පාපයන්ට සමාව දෙන්නෙක්මි. එබැවින් නුඹලා මගෙන් සමාව අයැදිනු. මම නුඹලාට සමාව දෙමි. නුඹලා මට හානියක් කරන තරමට මට හානි කිරීමට නුඹලාට නොහැක්කේමය. එමෙන්ම මට ප්‍රයෝජනයක් කරන තරමට නුඹලා මට ප්‍රයෝජනයක් කළ නොහැක්කේමය. මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා නුඹලාගේ අන්තිමයා නුඹලාගේ මනුෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ වඩාත් ධාර්මික හදවත තරම් බැතිමත් වූයේ නම්, එය කිසිසේත් මාගේ ආධිපත්‍යය වැඩි නොකරනු ඇත. එමෙන්ම මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ දුෂ්ට හදවත තරම් දුෂ්ට වූයේ නම්, එය කිසිම දෙයකින් මාගේ ආධිපත්‍යය අඩු නොකරනු ඇත. මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනුෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා උස් තැනකට නැගී මාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් (එසේ ඉල්ලන) සෑම මිනිසෙකුටම ඔහු ඉල්ලන දෑ මම පිරිනමමි. ඉඳිකටුවක් මුහුදට දමනු ලැබූ විට එය (එහි ජලය) අඩු නොකරන පරිදි මා සතුව ඇති දෑ ද එය අඩු කරන්නේ නැත. මාගේ ගැත්තනි! සැබැවින්ම නුඹලාගේ ක්‍රියාවන් වූ කල්හි, ඒවා මම නුඹලා වෙනුවෙන් සටහන් කර තබා ඇත්තෙමි. පසුව නුඹලාට මා ගෙවනුයේ ඒවාට පමණි. එබැවින් කවරෙකු යහපත සොයා ගත්තේ ද ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුයි. ඒ හැර වෙනත් දෙයක් ලැබුවේ ද ඔහු ඔහුටම මිස (අල්ලාහ්ට) දොස් නොපැවරිය යුතුයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ඔබ අතරින් කෙනෙක්, තමාට ප්‍රිය කරන යමක් වී නම්, එය තම සහෝදරයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක් දේවත්වය විශ්වාස කරන්නෙකු නොවනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මම කවර කරුණක් ගෙන ආවේ ද එය පිළිපැදීම ඔබ අතරින් කිසිවකුට ප්‍රිය මනාප වන තෙක් ඔහු දේවත්වය විශ්වාස කළ අයකු නොවන්නේය."
නවවි තුමා මෙසේ පවසයි: සහීහ් වර්ගයට අයත් නබි හදීසයකි. සහීහ් ගණයට අයත් වාර්තා දාමයක් සහිතව මෙය කිතාබුල් හුජ්ජා ග්‍රන්ථයේ අපි වාර්තා කර ඇත්තෙමු.
හිරු උදාවන සෑම දිනකම මිනිසාගේ සෑම සන්ධියක් සඳහාම දානයක් විය යුතුය. දෙදෙනකු අතර සමතයට පත් කිරීම දානයකි. මිනිසෙක් තම වාහනයේ නංවාගෙන හෝ ඔහුගේ බඩු බාහිරාදිය ඒ මත පටවාගෙන ගොස් ඔහුට උපකාර කිරීම දානයකි. දැහැමි වචනය දානයකි. සලාතය වෙත ගමන් කරමින් එහි තබන සෑම පියවරක්ම දානයකි. මාර්ගයෙන් හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.